Last Updated on 1 week by admin

පුරාණ එංගලන්තයේ ගෘහණියක කසල බාල්දිය ජනේලයෙන් මහ පාරට විසි කරන අතර පාරේ සිටින අයකු බාල්දියකට මළපහ කරනු දැක්වෙන පැරණි චිත්‍රයක්. Pic. credit: British Museum.
ඊශ්‍රායල් ජනතාව පෙරොන්දු වූ දේශයට කැඳවාගෙන යන මෝසස් ‘ඔබේ බඩු භාණ්ඩ අතරේ හාරන හැන්දක් විය යුතුය. මළ පහ කිරීමට වුවමනා වූ විට හැන්දෙන් වළක් හාරා ඊට මළ පහකර ආපසු හැරී හැන්දෙන් එය වසා දැමිය යුතුය’ යැයි කී බව බයිබලයේ ද්වීතිය නීති සංග්‍රහයේ සඳහන් වේ. මෙයින් කියැවෙන්නේ එදා අරාබියේ වැසියන් ශරීර කෘත්‍යය කළ ආකාරයයි.
හිට්ලර්ගේ සමයේ ජර්මනියේ බර්ලින් නගරය ලෝකයේ ප්‍රධානම නගරය වූයේය. බර්ලින් මධ්‍යම දුම්රිය ස්ථානය ( Berlin Hauptbahnhof) යුරෝපයේ රටවල් සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය ස්ථානය වශයෙන් සැලකුණි. දෙවන ලෝක සංග්රමයෙන් පසු මේ මහා නගරය නටබුන් නගරයක්ව පැවතිණි. පාළුවට ගිය එහි තට්ටු නිවාසවල වැසිකිළි නොතිබුණි. ලන්ඩන්, පැරිස්, මැඩ්රිඩ් ආදි නගරවල තට්ටු නිවාසවලත් තත්වය මෙයමයි. මේවායේ විසූවන්ට මළපහ කරන්නට පොදු භාජනයක් තිබී ඇත. ඔවුන් වස්ත්‍රයට යටින් කලිසමක් අඳින්නේ ශරීරයෙන් පැතිරෙන දුර්ගන්ධය වළක්වා ගැනීමටයි.
පෘතුගීසීහු කලක් ලංකාවේ බස්නාහිර මුහුදුබඩ පළාත් අල්ලාගෙන සිටියහ. ඔවුන් යමෙකු සමග කෝපවූ අවස්ථාවල ‘මගෙ පුක ලෝපන්’ කී බව ජනශ්රැතියේ කියැවේ. පෘතුගීසීන් පාලනය කළ ගෝව රාජ්‍යයේත් ඒ කතාව තිබුණි. මෙයින් කියැවෙන්නේ පෘතුගීසිකාරයාගේ ශරීරය පිළිබඳවයි.
වර්තමානයේ ඇතැම් උගත්තු සිංහලයා මළ පහ කළ හැටි විවේචනය කරමින් ඔවුන්ට නින්දා කරති. මොවුන් කියන්නේ කැලේට රිංගා මළපහ කර දොළකින් පස්ස හෝදාගත් සිංහලයා වැසිකිළි භාවිත කරන්නට ඉගෙන ගත්තේ යුරෝපීන්ගෙන් බවයි.
රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වශයෙන් ලංකාවට පැමිණි චිලී ජාතික පැබ්ලෝ නෙරූදා ගැමියෙකු යැයි අනුමාන කරන්නට කරුණු තිබේ. ඔහු විසූ වැල්ලවත්තේ නිවෙසේ තිබුණේ බාල්දි කක්කුස්සියකි. එය පිරිසිදු කරන්නට පැමිණි කාන්තාව දෙමළ යැයි සමහරුන් ලියා ඇත්තේ දෙමළ ජනයා සිංහලයන්ගේ හිංසනයට ලක්වූ බවට ගෙන ගිය ප්රචාරයට ආධාරයක් හැටියටය. නෙරූදා ඇසුරු කළ අයෙකු වූ කොළඹ තරුණ ක්‍රිස්තියානි සංවිධානයේ ඉහළ තනතුරක් දැරූ හෙට්ටිආරච්චිගෙන් දැනගන්නට ලැබුණු ලෙසට ඇය තෙලිඟු භාෂාව කතා කළ සක්කිලි කාන්තාවක් වූවාය.
තෑගිබෝග දී ඇය හා මිතුරු වීමට තමා උත්සාහ කළ හැටි නෙරූදා සඳහන් කරයි. ඒ කිසිම තෑග්ගක් නොගත් ඈ ඔහු සමග සිනාසුනේ වත් නැත. දිනක් නෙරූදා, වැසිකිළිය පිරිසිදු කර ආපසු යන කාන්තාව ගේ ඇතුළට ඇදගෙන ඇය දූෂණය කළේය. කාන්තාව ඔහුට විරුද්ධත්වයක් හෝ කැමැත්තක් හෝ නොදක්වා ගල්ගැසී සිටියාය. තමා ගලින් නෙළුෑ දේවතා ප්‍රතිමාවක් සමග හැසුරුන බවක් නෙරූදාට හැඟුණි.
සාහිත්‍යය පිළිබඳ නොබල් තෑග්ග ලැබූ නෙරූදා සහ ඔහුගේ නිර්මාණ ගැන ලිපි සිය දහස් ගණනක් විවිධ භාෂාවලින් ලියැවී තිබේ. ඒ ලේඛකයින් අතර මාක්ස්වාදීන් වැඩිය. ඒ කිසිවෙකු, නෙරූදා අසරණ කාන්තාවට බලහත්කාරකමක් කළ බවක් සඳහන් නොකරයි. නෙරූදා සිංහල බෞද්ධයෙකු වූයේ නම් සායම ඉවරය.
