බේගල්

Last Updated on 6 months by admin

මැවුම්කාරයා විසින් මවන ලදුව ලොව වෙසෙන ජනතාව මුදවාගැනීමට ගැලවුම්කාරයෙකු පැමිණෙන බව යුදෙව් සහ ක‍්‍රිස්තියානි බයිබල් පොත්වල සඳහන් වේ. ඇමරිකාවේ ‘නිව්යෝක් තියෝසොෆි’ සංගමය පිහිටුවූ රුසියානු මූලයක් සහිත හෙලේනා බ්ලැවට්ස්කි මහත්මියට ලාමාවාදය හා මහායාන දර්ශනය ගැන දැනුමක් තිබුණි. අවලෝකිතේශ්වර බෝසත්වරයා සහ යුදෙව් ගැලවුම්කාරයා එකට සම්බන්ධ කිරීමට ඇයට හැකි විය.

බ්ලැවට්ස්කි සහ ඕල්කොට් ප‍්‍රධාන මදුරාසියේ අද්යර්හි තියොසොෆි මූලස්ථානයේ ප‍්‍රබලයෝ, ගැලවුම්කරුවකු පහළ වන තුරු බලා නොසිට, ලෝකයට ගැලවුම්කරුවකු ඉදිරිපත් කිරීමට වෙහෙසුනහ. ඉන්දියාවෙන් සහ ලංකාවෙන් තෝරාගත් ශිෂ්‍ය කණ්ඩායමක් ඒ සඳහා යොදාගත් ඔවුහු ඒ අතුරින් එක ශිෂ්‍යයෙකු වූ ක‍්‍රිෂ්ණමුර්ති ගැලවුම්කරු (වර්ල්ඞ් ටීචර්* සඳහා තෝරාගත්හ.

තියෝසොෆිවාදියෝ, ඉංග‍්‍රීසි සහ අනෙකුත් දැනුම සැපයීමේ පරමාර්ථයෙන් ක‍්‍රිෂ්ණමුර්තිව එංගලන්තයට ගෙන ගියහ. ඉගෙනුමෙන් පසු ක‍්‍රිෂ්ණමුර්ති වෙනස් විය. තමන් ලෝකගුරු ලෙස ප‍්‍රකාශ කළ නොහැකි යයි ඔහු කීය. එහෙත් ඔහු ගැලවීමේ දර්ශනයක් ඉදිරිපත් කළේය.

ඊ. ඩබ්ලිව්. අදිකාරම්, එංගලන්තයේ ඉගෙනුම ලබමින් සිටි, මාක්ස්වාදය ගැන උනන්දුවක් දැක්වූ ලාංකික තරුණයෙකි. ආචාර්ය උපාධිය සඳහා ලංකාවේ බුදු සසුනේ ඉතිහාසය පිළිබඳ නිබන්ධනයක් සකසමින් සිටි ඔහු ක‍්‍රිෂ්ණමුර්තිගේ ගෝලයෙකු වූයේය. ආචාර්ය උපාධිය ලැබීමෙන් පසු ලංකාවට පැමිණ හෙතෙම, කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ පාසලක විදුහල්පති තනතුරට පත් විය. ‘පන්සිල් පද නොකඩන්නේ නම් ජීවිතයට එක් වරක් පන්සිල් ගැනීම සෑහේ’ යන්න ඔහු ඉදිරිපත් කළ ‘විප්ලවවාදී’ අදහසකි. අදිකාරම්ගේ පාසල්වල ගුරුවර ගුරුවරියෝ අදිකාරම් මගේ ගියහ. එනිසා ඔවුන්ගේ පාසල්වල ළමයි පන්සිල් ගැනීමෙන් වැළකුනහ.

එංගලන්තය ඇමරිකාව හෝ වෙනත් යුරෝපා රටක ඉගෙනුම ලබා ලංකාවට පැමිණ අදිකාරම්ට සමාන ‘විප්ලවවාදී’ ප‍්‍රකාශ ඉදිරිපත් කරන සෑහෙන පිරිසක් වර්තමාන ලංකාවේ සිටිති. ඔවුන් හැම දෙනෙකුම බුදු සසුනට හෝ සිංහල ජාතිකත්වයට පහර ගසන්නේ, ප‍්‍රසිද්ධිය ලැබීමට හා වීරකම පෙන්වීමටයි. ‘බුදුන් විසූ දඹදිව යනු ලංකාවයි’, ‘මහාරජ අශෝක හෙළයෙකි’, ‘හියුංසාං පැමිණි රට ලංකාව මිස ඉන්දියාව නොවේ’, ‘මගධ රාජධානිය පිහිටා තිබුණේ රුහුණු රටෙහිය’ ආදී වශයෙන් ඔවුන්ගෙන් කියවුන කතා ගොන්නකි.

අපට මුණගැසුණ ඇමරිකාවේ වෛද්‍යවරයෙක්, ‘රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම පෙර තරම් පහසු ක‍්‍රියාවක් නොවන බව’ කීවේය.
‘‘දැන් රෝගියෙක් දොස්තර හමුවට එන්නෙ රෝගය ගැන දැනුම ඇතිවයි. සමහර රෝගීන්ට රෝගය ගැන අපට වඩා හොඳ දැනුමක් තියෙනව’’ ඔහු පැහැදිලි කළේය.

එයින් පැහැදිලි වන්නේ ඇමරිකාව බඳු රටවල වැසියන් දැනුමැත්තන් වන පිළිවෙළයි.

බුදුන්ට, බුදු සසුනට සහ සිංහල ආත්මයට පහර ගසන්නන් දුර්වල කිරීමට හොඳම මඟ ඇත්ත සෙවීමයි. කාලාම සූත‍්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇත්ත දැන ගන්නා ක‍්‍රමයයි.

මාටින් වික‍්‍රමසිංහ, ‘අපේ ගම’ ලියමින් බොරු කියමින් ගැමියන් හිනැස්සූ ගැමියෙකු ගැන සඳහන් කරයි. ගැමියෝ එම තැනැත්තා ‘බේගල්’ යනුවෙන් හැඳින්වූහ. මෙවැනි බොරු කියන්නන්ගේ චරිත, තොවිල් පවිල්, දහඅට සන්නිය ආදී යාතු කර්මයන්හි ද දක්නා ලැබේ.

සමාජය අලංකාර කිරීමට බේගල් චරිතද අවශ්‍ය කෙරේ.

2 thoughts on “බේගල්”

  1. බුදුන් හිටියේ ලංකාවේය යන්නට ඔබේ පිලිතුර කුමක්ද

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link