මහතුන්ගේ දිනපොත

Last Updated on 7 months by admin

2023.12.28 අද උදේට කෑවේ ලබු කිරිබත්ය. ප්‍රථිපල ලැබෙන්න වැඩි වේලාවක් ගියේ නැත. ලෝක බැංකුවෙන් ණයට සල්ලි ඇරං මහා ලොකුවට උදම් ඇනුවා වගේ ඇඟට පණ නැති ගතියක් දැනේ.  

2023.12.29 මාටිනාලගේ වැස්සීට ඒඩස් විය යුතුය. මාටිනා හැර ඇගේ ගෙදර සියල්ලෝම පුත්තලමේ ගිය වේලාවේදී පශුවෛද්‍ය කාර්යාලයේ ඩ්‍රයිවර්, මාටිනාලගේ ගෙදරට හීංසැරේ ඇතුළු වූයේ බෙහෙත් දීමට විය යුතුය. ඔය ඩ්‍රයිවරයා එළිපිට පක්ෂ මාරු කළ එකෙකි.

2023.12.30 දවල් ගෙදර ආවිට අපේ අක්කා වැඩට නොගිය බවත් ඈ නෑම සඳහා රාජිකාලගේ ළිඳ ළඟට ගිය බවත් සැලවිය. අක්කා පර්ස් එක ඇරංම නාන්න ගොස් ඇත්තේ තමන්ගේම සහෝදරයා තමන්ට අවිස්වාස නිසා නේදැයි හිතෙන විට අක්කා ගැන විශාල කළකිරීමක් මතුවේ. ක්‍රිකට් ඇතුළු සියල්ල කඩා වැටුණේත් ඔය සැකය නිසාය, නැතිව නිසි වැඩපිළිවෙළක් ඇත්තේම නැති නිසා නොවේය.

2023.12.31 කවුදෝ බූරුවෙක් ඉමාලිගේ අයියාගේ ත්‍රීවීලර් එකේ රෝද හතරේම හුළං යවා තිබේ. ඉමාලිත් උන්දැගේ භාගෙට පිස්සු අයියාත් සැක කරන්නේ මාවය. පීටර් අයියාගේ ඇල්ටෝවේ හුළං ඇරියාට පස්සේ මං වෙන කාගේවත් වාහනයක හුළං ඇරියේ නැත. ඒ සෙල්ලම මට කාලයක් අමතකවී තිබිණි. වැඩි වෙන වැට් එක මතක් වන විට වාහනවල විතරක් නොවේ, අපේත් හුළං යන බවක් දැනේ. ඉබේ අඳෝ වාත පිටවේ.

2023.12.32 රබර් වත්ත ළඟදී සිරිසේන අයියාගේ ඔළුවට පොල් ගෙඩියක් වැටී තිබිණී. මධ්‍යම ප්‍රමාණයේ වූ එම පොලය හිසේ වැදුණු විට සිරිසේනයා බිම ඇදවැටී ශබ්දයක් නිකුත්වී තිබේ. සිරිසේනයාගේ ගෑනි සිරිසේනයා වත්තේම තබා පොල් ගෙඩිය ගෙදර ඇරං ගොස් තිබේ. සිරිසේනයා ගෙදර ගියේ පසුවදාය. ඒ තරම් පොල් ලාභය. පොල් ගෙඩි කිහිපයක් ඇති මිනිස්සු බදු ෆයිල් ඇරිය යුතුය.

2023.12.33 දිගින් දිගටම කල් දැමූ ඡන්දයක් හිටිගමං තිබ්බා වගේ මල්කාන්තිගේ නංගී මෙව්වා විය. හෙට අනිද්දාම අපිට කැවුම් කිරිබත් කේක් ලැබෙනු ඇත. අපරාදේ! මල්කාන්තිලාගේ ගෙදර මෙව්වා වෙන්ට ආයේ කෙනෙක් නැති බව හිතෙන විට ගමම මූසල පාටට පෙනේ. 2023.12.34 ගාමන්ට් ඇරෙන වේලාවට හන්දියට කොල්ලෝ රැස්වේ. පිගේරාට කෙල්ලෝ හතර දෙනෙක් කුඩ බෑග් සෙරෙප්පු වැනි න්‍යෂ්ටික අවිවලින් පහර දුන්නෝය. හරියටම ඊශ්‍රායලය, පලස්තීනෙට ගැහුවා වගේය. ඇමරිකාව වගේ අපි නොදැක්කා වගේ සිටියෝය. කෙල්ලෝ හතර දෙනා පිටව ගියාට පසු පිගේරා බේරා ගැනීම සඳහා පිගේරාහු ළඟට අපි කිට්ටු වූවෝය. “මොකද පිගා වුණේ”යි අපි කෙතෙක් ඇසුවත් ඌ උත්තර නොදුන්නෝය. ඌ ඌරෙක් වගේ සිටියෝය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link