මාමා ගැන තවත් රචනාවක්

Last Updated on 5 months by admin

පසු ගිය දා රෝස නැන්දලා සමග අපේ මාමා අනුරාධපුරයේ ගොස් තිබේ. (රෝස නැන්දා යනු අපේ මාමා සමග ඉස්කෝලේ එකම පන්තියේ ඉගෙනගත් කන්‍යාවියකි.)

අපේ අම්මාට අනුව නම් රෝස නැන්දා වූ කලි පත්තිනි දේවියගේත් අක්කාය. ඈ ඒ තරම් සිල්වත්‍ ය. ගුණවත් ය. අපේ මාමාගේ බිරිඳ හෙවත් අපේ සුදු නැන්දා නම් රෝස නැන්දා ගැන මාමාගේ මයිල් ගහක් තරම්වත් දෙයක් දන්නේ නැත. [මාමාට මයිල් ගොඩක් තිබේ. අපේ අයියා කියන විදිහට නම් අපේ මාමා තාම පරිණාමය වෙලා නැත. ඇඟ පුරා මයිල් තියෙන්නේ ඒ නිසාය].

රෝස නැන්දා ගැන දන්නේ නම් සුදු නැන්දා කළු නැන්දා වනවාට කිසිදු සැකයක් නැත. සුදු නැන්දාට තරහාගිය විට වනේ වන සතෙක් පවා අහළ පහළ සිටින්නේ නැත. එබඳු වේලාවට බදු වත්තේ බූරුවා පවා නැන්දා ඉදිරියේ උණ සන්නිපාතෙන් වගේ වෙව්ලයි. අලි පවා දුවන්නේ අලිවැටවල් කඩාගෙනය. මාලිමාවක කටු පවා උතුර දකුණ පැටලී යයි. පොහොට්ටු දවල් තරු මතුකරමින් පිපිරේ. ටෙලිෆෝන් ඔලුවෙන් හිටවේ. අපේ පරම්පරා ගෞරවය අපට මහමෙරටත් රහමෙරටත් වඩා වටිනා නිසා අපි කිසිවෙක් රෝස නැන්දා ගැන කිසිවක් සුදු නැන්දාට කියන්නේ නැත.

මාමා ප්‍රයිඩ් නංගීගේ තාත්තාට හෙවත් අකෙලෝ ලොකු අප්පච්චීට නොනවත්තා බැන්න දිනයක දී රෝස නැන්දා ගැන සුදු නැන්දාට කියන්ටම ගොස් මං ආපසු හැරී ආවේ සුදු කොඩි දාන්ට, දැන්වීම් අලවන්ට, මාරි අල්ලන්ට, නිදි මරන්ට සිදුවන්නේ මටම නේදැයි සිතීය.

අපේ තාත්තාට අනුව නම් රෝස නැන්දා වනාහි එළවැස්සියකි. ඔහු කියන්නේ එහෙම නොවේ නම් ඈ මාමා දෙසවත් නොබලනු ඇතැයි කියාය. කසිකබල් කබල්ලෑවෙකු වගේ මාමාව ප්‍රතික්ෂේප කරනු ඇතැයි කියාය.

මට අනුව නම් අපේ මාමා පල් හොරෙකි. ඉඳහිට දාඹරේ මාමාගෙන් රෝස නැන්දා හොරකම් කරගන්නේ ඒ නිසාය. පරම්පරාවේ ගෞරවය දිවිහිමියෙන් රැකගන්නා බවට ලොකු අත්තා ඉදිරියේ පහන් දල්වා දිවුරුම් දී ඇති නිසා මේ කිසිවක් මා කාටවත් කියාද, කියන්නේද නැත).

අනුරාධපුරයේ දී අපේ මාමාගේ ශරීරයේ වැදගත් ස්ථාන තුනක් රිලවෙකු විසින් සපාකනු ලැබී තිබේ. මාටින් ආතා [රෝස නැන්දාගේ තාත්තා] කියා තිබෙන්නේ ඒ පිස්සු රිළවෙක් වෙන්ටෑ කියාය. මොන පිස්සුද! ඒ රිලවාට පිස්සු නැත. පිස්සු ඇත්තේ මාමාටය. සත්‍යවශයෙන්ම මට හිතෙන්නේ එහෙමය. ඒ, අපේ මාමා උන්හිටිගමං මල්ලිකාලාටද බනින නිසාය. මාමා හිතන්නේ මල්ලිකාලා, මාමාගේ ඉඩමෙන් තීරුවක් බලධාරියෙකුට කප්පම් දී හොරෙන් ඩැහැගෙන ඇතැයි කියාය.

උඩහා ලන්සි ගෙදර මිනිස්සු අපේ මාමාට රේස් අස්වයෙකුට වගේ කැමතිය. ඒ ඇයි දැයි මට නොතේරේ. එය උභතෝකෝටිකය. (ලන්සි ගෙදර ෆියෝනා සුන්දරය. දේවතාවියක් බඳුය. එහෙත් ඇගේ අයියා උභයජීවී විශේෂයකි) (පරම්පරා ගෞරවය මට සියල්ලටම වඩා වටිනා නිසා මට ඒක ප්‍රසිද්ධියේ කීමට කිසිදු හැකියාවක් නැත) රිළා ප්‍රහාරය නිසා අපේ මාමා විඳින වද වේදනා දකින විට මගේ හිත උණුවේ. සියලු ලේ ලුණු වතුර වී මුහුදක් ව යයි. බඩේ ගින්දර පත්තු වේ. අපේ මාමාට මෙබඳු අසහනයක් යළි කිසිදා උදා නොවේවා! මාමාට ඉක්මන් සුවය ලැබේවා! මාමා මෙවර ඡන්දය ඉල්ලන නිසා ඇස්වහ හා කටවහ, පොහොර නැති වූවා සේ නැති වේවා!, දුරුවේවා! ජයග්‍රහණය ලබන්න වාසනාව හිමි වේවා! මාමාගේ ඡන්ද ප්‍රචාරක අංශයේ අධ්‍යක්ෂකම මට හිමි වේවා!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link