Last Updated on 1 month by admin
අපි ලෙනින් කියවමු – 9
කොලට් සේනානායක
නාරද කරුණාතිලක

පරම්පරාවෙන් යුදෙව්වන් වුවද කාල් මාක්ස්ගේ දෙමව්පියෝ ක්‍රිස්තියානි වී සිටියහ. මේ නිසා මනුෂ්‍ය වර්ගයාගේ උත්පත්ති කතාව හා සමාජ විකාශනය ගැන මාක්ස් කළ අධ්‍යයනයට පදනම වැටෙන්නේ ක්‍රිස්තියානි චින්තනයෙනි. පංති රහිත ලෝකයක් ගොඩනැඟීමෙන් මනුෂ්‍ය වර්ගයාට ස්වර්ග රාජ්‍යය බිහිකර ගත හැකි යයි මාක්ස්ට සිතුණි. ඒ බව සනාථ කර මානව සමාජයට වටහාදීමට වෙහෙසුන ඔහු පොත් පත් කියවමින් ඊට සාක්කි රැස් කළේය. මේ කාලයේ ඔහු තදින් දුම්පානයට පෙළඹුණි. සිය අරමුණ සාර්ථක කර ගැනීමට වෙහෙසුන ඔහුට අඹුදරුවන් කෙරෙහි සැලකිල්ලක් දක්වන්නට ඉතිරි වූයේ ඉතා සුළු කාලයකි.
මෙය මාක්ස්ට සීමා වූ දෙයක් නොවේ. විද්‍යාඥයින්, කලාකරුවන් හා දාර්ශනිකයන්ගේ පොදු ලක්ෂණයකි. ඔවුහු විශේෂ අරමුණක් වෙනුවෙන් මනස මෙහෙයවති. එවිට ඔවුන්ගේ මනසට ජීවිතයේ සෙසු දේ දැනෙන්නේ සුළුවෙනි. ඇල්බට් අයින්ස්ටයින් ඇතැම් දිනවල ආහාර ගැනීම අමතක කළේය. නෑමට යන ඔහු පැය පහ හය නාන කාමරයේ රැඳී සිටියේය. ’මං ආයෙ ඉපදුනොත් භෞතික විද්‍යාඥයෙක් වෙනවාට වඩා පයිප්ප බාස් කෙනෙක් (ප්ලම්බර්) වීම හොඳයි’ ඔහු කියයි. භෞතික විද්‍යාඥයෙකු වශයෙන් ඔහු කෙතරම් පීඩාවක් ලැබුවේ දැයි ඒ කතාවෙන් පැහැදිලි වේ.
මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය පිළිබඳ ගැඹුරු දර්ශනයක් ඉදිරිපත් කළ මාක්ස් දිළින්දෙකු ලෙස මිය ගියේය. ඔහුගේ දර්ශනය ලෝකයේ ඇතැම් රටවලට සහ පුද්ගලයින්ට අමිල වස්තුවක් විය. චීනය හා රුසියාව ලෝකයේ බලවත් රටවල් වූයේ මාක්ස්වාදයේ පිහිටෙනි. ලංකාවේ මාලිමා ආණ්ඩුව බිහි වූයේද මාක්ස්වාදයේ ආධාරයෙනි. මාක්ස්වාදය නිසා බොහෝ පුද්ගලයින් මිලියන පතියන් වී තිබේ. මාක්ස්වාදය ප්‍රයෝජණයට ගෙන කීර්තිය ධනය බලය සැප සම්පත් ලැබූ පුද්ගලයන් ප්‍රමාණය කෙතරම් දැයි කිව නොහැකිය.
රහස් පොලිස් අත්අඩංගුවේ පසුවන හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මාක්ස්වාදියෙක් නොවේ. ඔහුගේ මව, බිරිඳ, පුතා, සොහොයුරන් පසුගිය දිනවල ජනමාධ්‍යයන්ට කළ ප්‍රකාශයන්ගෙන් පැහැදිලි වන්නේ සලේ කීර්ති ප්‍රශංසා ප්‍රසිද්ධිය වැනි දේ ගැන කිසිදු සැලකිල්ලක් නොදැක්වූ හමුදා නිලධාරියෙකු බවයි. වෘත්තියට ලැබුණ වැටුප හැර ඔහු රැස් කරගත් විශේෂ ධනයක් නැත. හමුදා නිලධාරියකු වශයෙන් ඔහු වෙහෙසී ඇත්තේ ත්‍රස්තවාදයෙන් සහ බෙදුම්වාදීන්ගෙන් රට බේරාගැනීමටයි.
සලේගේ ජීවිතය මාක්ස්වාදය හා දේශප්‍රේමය තේරුම් ගැනීම සඳහා කදිම නිදසුනකි. සිරකරුවෙකු වන තුරු සලේ දේශප්‍රේමියෙකු බව දැන සිටියේ රටවැසියන්ගෙන් සුළු පිරිසකි. ජවිපෙ මාක්ස්වාදී පක්ෂයක් බව රටම දැන සිටියේය. ජවිපෙ හඳුන්වා දුන් පන්ති පහ එය දේශප්‍රේමීන්ගේ දේශපාලන පක්ෂයක් බවට සාක්කියකි. ඔවුහු පසුකලෙක දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය නමින් සංවිධානයක් ගොඩනැගූහ. එහි නායකයා නිවේදන නිකුත් කළේ කීර්ති විජයබාහු නමිනි. පොළොන්නරුව රාජධානිය කරගත් විජයබාහු රජතුමා විදේශිකයන්ට විරුද්ධව සටන් මෙහෙයවා ඇත්තේ ‘කීර්ති’ නමිනි.
සුරේෂ් සලේ සිංහලයෙකු හෝ බෞද්ධයෙකු හෝ නොවේ. ඔහුගේ භාර්යාවගේ ආගම ගැන දැනුමක් අපට නැත. මවගේ ප්‍රකාශවලින් කියවෙන්නේ ඈ කතෝලික කාන්තාවක් බවයි.
ඔහු අත්අඩංගුවට පත්වීම ගැන කතෝලික දේවගැතිවරුන් සෑහෙන පිරිසක් ප්‍රමෝදයට පත්ව සිටින බවක් පෙනේ. ආණ්ඩුව සහ එල්ටීටීඊය අතර යුද්ධය පැවති කාලයේ ඔවුන් සෑහෙන පිරිසක් කොටින්ට හිතවාදීන් වූහ. යුද්ධයට සහභාගි වූ හමුදා නායකයින්ට ජාත්‍යන්තර සංවිධාන හමුවේ චෝදනා ඉදිරිපත් කිරීමට මුල් වූයේද කතෝලික පූජකවරුන්ය. පාස්කු ප්‍රහාරය අවස්ථාවේ බෝම්බ පුපුරුවා ගත් ත්‍රස්තයන් දෙදෙනා ජවිපෙ සාමාජික ඊබ්‍රාහිම් නානාගේ දරුවෝ වෙති.
සලේ අත්අඩංගුවට ගෙන කුරිරු ලෙස සැලකීම බෞද්ධයින්ගේ වේදනාවට කරුණක්ව තිබේ. එය පැහැදිලි වෙන්නේ භික්ෂුන් වහන්සේ සමග ඔවුන් බෝධි පූජා සහ පිංකම් පැවත්විමෙනි. බෙල්ලන්විල රජමහා විහාරය ප්‍රධාන දිවයිනේ විහාරස්ථානයන්හි පැවති මෙවැනි පූජා උත්සවවල පරමාර්ථය වූයේ සලේට කරදරයක් නොවී ඉක්මනින් නිදහස ලැබේවායි සාමූහිකව ප්‍රාර්ථනා කිරීමයි.
අතීත ලංකාවේ නිදහස් සටන්වලදී ගුජරාත්, නායක්කර්, කාලිංග නායකයින් සිංහලයින්ට නායකත්වය දීම හා මෙම ක්‍රියාව අතර සමානකමක් පවතී. සලේ මැලේ ජාතිකයෙකි. ඔහුගේ හැසිරීම ලංකාවේ ජීවත්වන සියලුම මැලේ ජාතිකයන්ට ගෞරවයකි. සලේ සිද්ධිය සිංහල බෞද්ධයා යනු කවරෙක්දැයි වටහා ගැනීමට අවස්ථාවකි.
