හිරුණිකාට ඊ….. මේලක්

Last Updated on 4 months by admin


ඩයනා දැක්ක දා සිට මහතුවා කවියෙක් වී සිටී. මහතුවා උදෑසන ගැන කවියක් ලියා මට පෙන්නුවේය. සැබවින්ම එය අතිවිශිෂ්ටය. සුන්දරය. මම එය මහතුවාගෙන් ණයට ඉල්ලාගෙන හෙට හිරුණිකාට දෙමි. පහත ඇත්තේ මහතුවා ලියූ ඒ අපූරු කවියය.

“සුබ උදෑසනක් රන්!
වැව රවුමේ
අර කපල් එකක් ගහගත්ත දවස වගේ
අදත් හරී ලස්සන දවසක්.
ඈත ඉන්න
හරිම හුරතල් වහු පැටියෙක්
ගොම ටිකක් අරපරිස්සමට
බිමට දානවා.
චන්ද්‍රිකා නැන්දා
ඩොලර් රටට එනකං වගේ බලන් හිටියේ
මොකෙක් හරි ගොනෙක්
ගොම ටිකක් දානකං,
අවුරුද්දට ලිපේ ගාන්න.
මිදුලේ
පොල්කිච්චෙක් බිම හාරනවා.
ඒක දිහා
පාට මාරු කරකර
කටුස්සෙක් බලාගෙන
ඔලුව හොල්ලනවා.
ලස්සන හරිම සුදු ගැඩවිලි පණුවෙක් කාබනික පොහොර වළෙන් මතුවෙලා
අවට සිරි නරඹනවා.
වවුලෙක්
හරිම නිදහසේ
කරන්ට් කම්බියේ එල්ලිලා
ඔන්චිලි පදිනවා.
හොරි හැදුන වයිටා පැත්ත පළාතේ නෑ.
(කොච්චර ඇහැව්වත්
ඌත් එක්ක යාළු වෙන්න
රාජිතලාගේ ටානියා බෑ ම කිව්වලු.
හොරි බල්ලෙක් එක්ක දීග කන්න
මට පිස්සුද කියලා
හන්දියේ බල්ලන්ගෙන් ඒකි ඇහැව්වලු)
පැටව් පහක් එක්ක අනාථ වෙච්ච
පූසී
වනාතේ කෑගහනවා.
චමුදිත
පත්තරේ විස්තරේ කියවනවා.
කනෙන් ලාවා දුම් පිට වෙනවා.
පණදාගෙන
පීරිස් සයිකලේට හුළං ගහනවා.
නන්දෝරිස් දුවද්දී
ඔහුගේ පස්සෙන්
ඔහුගේ බිරිඳ වන
මාලක්කා කොස්ස ඇරං යනවා.
දෙන්නා හැම වැඩක්ම කරන්නේ එහෙම සමගියෙන්.
අද පඩි වැඩිවුණ බැංකුවේ මහත්තයා
ගමට එනවා.
ඇත්තටම අද
කොච්චර ලස්සන දවසක්ද ඩයනා?
හරියට
අර පිස්සා
හිරුණිකා දැක්කා වගේ…
අපි දෙන්නා සජිත්ගේවත්
රනිල්ගේවත් මහින්දගේවත් බැසිල්ගේවත්
වෙන කාගේවත් නෙවෙයි නේද?
අපි දෙන්නා අපි දෙන්නාගේමයි නේද?
ඒමදිවාට
ඩයනා,
මුතුගල සර්
ප්‍රජනනය ගැන පාඩම
යූටියුබ්, ටික්ටොක් දෙකේම දාලා…
ඔයා ඒක බැලුවද රන්?”

    +++++++++++++++++++++++++++++++

    මහතුවා ලියූ, ඉහත දැක්වූ කවිය සමඟ මම, මම ම ලියූ පහත ඊමේල් එක හිරුණිකාට යවමි.

    “හිරුණිකා, ඔයාට විතරක් සුබ උදෑසනක්!
    ඊයේ උදේ කෝන්ගහ යට දී මට ඔයා මතක් වුණා. ඊයේ දවල් පීරිස්ලාගේ වත්තේ වරකා කද්දී මට ඔයා සිහිවුණා. ඊයේ හවස අපේ අක්කගේ ලොකු කොල්ලා ඇතිකරන්නට ගෙනාපු තාරාවා දකිද්දීත් මට ඔයා ඉස්මරණය වුණා. කොරියා ගිහිං ආපු ෆ්‍රැන්සිගේ ලොකු දුව කොටහළු වෙලා කියලා දැනගත්ත වෙලාවේත් මට ඔයා මතක්වුණා. ඒ හැම අවස්ථාවක දී ම මට පැළෙන්ට තරම් ආදරයක්, ඡන්දේ දෙන්ට තරම් සෙනෙහසක් මතු වුණා. කැම්පස් කොල්ලෝ පෙළපාලි යනකොට උන්ට ගහපු කඳුළු ගෑස් අහක හිටපු මටත් වැදුණ වෙලාවේ පලස්තීනෙට හෙණ ගැහුවා වගේ මට ඔයා මෙව්වා වුණා… රෑ නම් මට ඔයා සිහිවුණේ නෑ. මට නින්ද ගියා. උදේ ඇහැරුණේත් තමන්ගේ ම එවුන් තමන්ට හෙවත් අපේ ම අය මට ම හතුරුකම් කරන නිසා. වස්තුවේ, චන්ද්‍රිකා නම් අපේ ලොකු අක්කා මට වතුර ජෝගුවක් හැළුවා, “තෝ අර කුණු වජිරයා එක්ක ඊයේ රෑ කුණු වෙන්න බීවා නේද?” කියකිය උත්තර දෙන්න බැරි අමානුෂික ප්‍රශ්න මගෙන් ඇහුවා. ආදරය කරද්දී ඒ වගේ නොයේකුත් බාධා එනවා. ඊයේ මං ඔයාට ලියූ කවිය එකෙක් ෆේක් බුක් එකේ දාලා. ඒ මදිවට ඒක ඌ ඩයනාටත් දෙන්ටත් ගන්නවලු. ඌ තමා යහපත් මිනිස්සුන්ට හතුරුකම් කරන්නේත්. අපිට ඕවා වැඩක් නෑ. අපි අපි ගැන ම විතරක් කතා කරමු. සයිමලාගේ වත්තේ ආනමාළු කැනක් පැහිලා. මට හිතුණෙම ඒක හොරකන් කරන්‍ට. ඒත් මං ඔයා ගැන හිතලා, පුපුරන්ට වගේ රිදිලා කැක්කුම් දුන්න හිත හදාගත්තා. අපිට හැම තැන ම හතුරෝ වස්තුවේ. ප්‍රාර්තනාලගේ මිදුලේ මලක් පිපිලා. මං ඒක ප්‍රාර්තනාගෙන් ඉල්ලුවා ඔයාට ගෙනත් දෙන්න කියලා. ප්‍රාර්තනා ගස්සලා ඒ මලත් කඩාගෙන ගේ ඇතුළට ගියා. ඒ නිසා තමයි මං ඔයාට අපේ වත්තේ තිබුණ කෙහෙල්මුවේ කඩාගෙන ගෙනත් දෙන්න හිතුවේ. ළඳබොළඳ මල් වගේ නෙවෙයි කෙහෙල්මුව උයාගෙන කන්න පුළුවන්. ඒවා හරී ගුණයි. කෙහෙල්මුවවල සීෆෝ, පොස්පරස්, මීතේන්, එතනෝල් වාගේ විවිධ පෝෂණ පදාර්ථ ඇතුළත් වෙලා තියෙනවා. මං හෙට ඔයාට මතුරපු බංග්ලාදේශ කුරුම්බා ගෙඩියක් එවන්නම්. හතුරුකම් කරන මිතුරුසිංහලාගේ වත්තේ ගහක කුරුම්බා තියෙනවා මං ඊයේ රෑ හඳපානේ දී ම දැක්කා. ඒවාත් ගුණයි. පරිස්සමෙන් ඉන්න. මොනවා කෑවත් මාව මතක්කර ගන්න. ඔයාට දෙවි පිහිටයි රන්!
    සියලු නම් ගම් මනක්කල්පිතය. හිමිකම් ඇවිරිණි.

    Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    Scroll to Top
    Share via
    Copy link