ගිය හකුරට නාඬන්නේ තියෙන හකුර රැකගන්නේ

Last Updated on 7 hours by admin

ලංකාවේ සංවර්ධන ගාමක බලය (Drivin force) කුමක් දැයි වටහා ගැනීමට බොහෝ සිංහලයන් අසමත් වීමට හේතු ගණනාවක් බලපා ඇත. දේශීය විද්වතුන්ගෙන් අති බහුතරය බි්‍රතාන්‍ය අධ්‍යාපන ක්‍රමය මගින් සකස් කරන ලද මනස් ඇත්තන් වීම ප්‍රධාන හේතුවකි. එස්. ඒ. වික්‍රමසිංහ බඳු වමේ නායකයින් කිහිප දෙනෙකු ජාතික මනසක් පෙන්වූ නමුදු බහුතරය විජාතික මනස් ඇත්තෝ වූහ. දේශපාලන ලෝකයේ ජාතික නායකයින් හැටියට පෙනී සිටි බහුතරය හැසිරී ඇත්තේ චියං කායි ෂෙක්ගේ මනසිනි.

ජවිපෙ, ඉන්දියාවේ නක්සලයිට්වරුන්ගේ දේශපාලන අදහස් දැරූ සංවිධානයකි. මාලිමා ආණ්ඩුවේ ජානගතව ඇත්තේ ඔවුන් පන්ති පහෙන් ඉගැන්වූ මඟයි. සිංහල බෞද්ධයින්ගේ ශක්තිය නැති කිරීම මගින් පන්ති රහිත සමාජයක් බිහි කරන්නට හැකි බව ඔවුන්ගේ අදහසයි. බෞද්ධ විරෝධීන්ට රජයේ හා ආයතනයන්හි බලය ලබාදෙමින් බෞද්ධයන්ට රිද්දීම එහි ලකුණකි. කියුබාව අනාථාධාරවලින් යැපෙන යාචකයින්ගේ රටක් බව පිළිගැනීමට ඔවුන් අකමැතිවීමද ඊට නිදසුනකි. කස්ත්‍රෝ කියුබාව ස්වයංපෝෂිත රටක් බවට පත් කළා යැයි ඔවුහු උග්‍ර බැතිමතුන් සේ අදහති.

ඇමරිකාව ඔවුන්ගේ ගාමක බලය ගොඩනැංවූයේ විද්‍යා තාක්ෂණික මෙවලම් දියුණු කිරීමෙනි. ඊට මිලිටරි හා ආර්ථික ක්ෂේත්‍රයන්ට සම්බන්ධ නිෂ්පාදන හා සේවා විශාල දායකත්වයක් දක්වයි. ඒවා නිසාම ජාත්‍යන්තර යුද හා දේශපාලන කටයුතුවලදි වෙනත් රටවලට බලපෑම් කිරීමේ දෘඪ බලයක් (Hard Power) ඔවුන් හිමි කරගෙන සිටියි. හොලිවුඩ් චිත්‍රපට, මෙටා, එක්ස්, වට්ස්ඇප්, ස්පේස් එක්ස්, ඇමසන්, කොකා කෝලා, මැක්ඩොනල්ඩ්, මානවහිමිකම්, හාවඩ් බඳු විශ්වවිද්‍යාල ඇමරිකාවේ මෘදු බලයට (Soft power) නිදසුන් කිහිපයකි. රෙපරමාදු ක්‍රිස්තියානි ආගම පදනම් කරගෙන ගොඩනගා ගෙන ඇති ප්‍රබල චින්තනය සම්ප්‍රදයද ඊට ඇතුළත්ය. ‘හාඩ් පවර්’ නිසාම ලංකාව වැනි රටවලට ’මෘදු බලය’ පැතිරවීමේ හැකියාවත් ඇමරිකාවට තිබේ.

සමකාලීන ලෝකය හා සමාන කිරීමේදී අනුරාධපුර රාජධානි සමයේ යකඩ හා වානේ කර්මාන්තය ඉතා උසස් තත්වයක පැවතුණි. දුටුගැමුණු රජතුමාගේ පුත් සාලිය විවාහ කරගත්තේ ආයුධ නිපදවන්නකුගේ දුවක බව මහාචාර්ය සෙනරත් පරණවිතාන පැහැදිලි කළේය. අරාබිවරුන් කුරුස යුද්ධවලදි භාවිත කළ සිරියානු ඩැමස්කස් කඩුව ලංකාවේ නිෂ්පාදනයක් බව ඇතැම් ඉතිහාසකරුවන්ගේ අදහසයි .

පුරාණයේ වී නිපදවීම සිංහලයන්ගේ ආර්ථික ක්‍රමයේ ශක්තිය බවට පත් විය. පළමු වැනි පරාක්‍රමබාහු රජ සමය වන විට ආර්ථික වශයෙන් හා යුදමය වශයෙන් දෘඪ බලයක් ගොඩනගා ගන්නට පදනම වැටුණේ ඒ ශක්තියෙනි. සුවිශාල රටක් හැදූ චෝලයන්ට, සිංහලයින්ට වඩා විශාල ජන බලයක් හා සම්පත් තිබුණි. ඒ සම්පත්වල පිහිටෙන් ගොඩනැගූ යුද ශක්තිය යොදවා සිංහල රාජ්‍යය බිඳ දැමීමට ඔවුන්ට හැකි විය. කේරළය වැනි නෑදෑ රාජ්‍යයන් සමග එකතු වී, ගිලිහෙන ආර්ථික බලය සුරක්ෂිත කරගන්නට සිංහලයන් උත්සාහ කළත් ඔවුන්ට එය නොකළ හැකි විය.

උම්මග්ග ජාතක පොත සතුරු ආක්‍රමණ හේතුවෙන් බුද්ධාගමට සහ සිංහල චින්තන සම්ප්‍රදායට සිදුවූ විපත පැහැදිලි කර දෙන වටිනා උපදේශ ග්‍රන්ථයකි. එහි එක් කතාවකින් කියැවෙන්නේ මැණික තල්ගසේ තිබියදී එහි ප්‍රතිබ්ම්භය පොකුණේ පෙනෙන බව වටහා නොගත් පුරෝහිතයන් පිරිස පොකුණ හිස් කරවමින් මැණික සෙවූ බවයි. ධර්මපාල කුමරාගේ රුවට පෘතුගාලයේ ජෝන් රජු ලවා ඔටුණු පැළඳවීමත් මීට සමාන සිද්ධියකි. මහාවංශයට කොටස් එකතු කිරීම මහාවංශය (මහාවංසො) නම ගැන වැටහීමකින් තොරව කළ වැඩකි. බ්‍රිතාන්‍ය පාලන සමයේ මහාවංශය කොටස් ලියන්නේ ඉංග්‍රීසි ආණ්ඩුකාරයාට ප්‍රශංසා කරමිනි. එහි නොර්ත්, මේට්ලන්ඩ ආණ්ඩුකාරවරුන් මහාවංශයට අයිති කර තිබේ.

1917 රුසියානු විප්ලවයෙන් පසුව සෝවියට් දේශය නමින් කොමියුනිස්ට් අධිරාජ්‍යයක් බිහි විය. ජර්මනිය එය විනාශ කිරීමට ඉදිරිපත් විය. ඒ මොහොතේ නැණවත් සෝවියට් උපදේශකවරු, ඇමරිකාව, බි්‍රතානය හා ප්‍රංශය සමග එක්වෙන්නැයි ස්ටාලින්ව පෙළඹවූහ. යුධ ජයග්‍රහණයෙන් පසුව පිටරටවල සැඟව සිටි තක්කඩින් එකා පස්සේ එකා සෝවියට් කඳවුර වෙත පැමිණ නැණවත් උපදේශකයින් ගිල දැමූහ. චෙන්ගිස් අයිත්මාතව් ‘පළමු ගුරුවරයා’ කතාවෙන් කියන්නේ ඒ සිදුවීමයි. එහෙත් එහි සිංහල පරිවර්තනය කියවන බොහෝ දෙනෙකු නවකතාකරු පවසන්නේ කුමක් දැයි නිවැරදිව වටහා ගෙන නැත. ඇතැම් විට පාඨකයින් සමාජවාදී විචාරකයින්ගේ අදහස්වලට රැවටුනා වන්නටත් පුළුවන. ‘අම්මා’ ලියූ මැක්සිම් ගෝර්කි විප්ලවවාදින්ගෙන් ඈත් වූ බව ඔවුන් බොහෝ දෙනෙක් නොදනිති.

ඇමරිකාවේ සිටි බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් නැගෙනහිර ජර්මනියට පැමිණ කොමියුනිස්ට් පාලනයට සේවය කරමින් කොමියුනිස්ට් වීරයෙකු වී බොහෝ සම්පත් ඉපයුවේය. ඔහුගේ පුතා පියාගේ සියලු ධනය රැගෙන ඇමරිකාවේ පංදිංචියට ආවේය. ඒ කාලයේ ලංකාවේ නැ. ජර්මන් තානාපති කාර්යාලයේ ප්‍රධාන ක්‍රියාව වූයේ සමාජවාදී කලාකරුවන් සැදීමයි. බ්‍රෙෂ්ට්ට වහල්වූ සමාජවාදී කලාකරුවන් සමූහයක් බිහි කරන්නට ඔවුන් ලබාදුන් මුදල්, ශිෂ්‍යත්ව හා රට චාරිකාවලට හැකි විය. (විස්තර සඳහා බලන්න: බෞද්ධ නාට්‍ය ශාස්ත්‍රය)

වර්තමාන ලංකාවට දෘඪ බලයක් ගොඩනැංවිය නොහැකිය. බුදුදහම සහ සිංහල සංස්කෘතිය ඔවුන් සතුව පවතින මෘදු බලයකි. එය ආධාරයෙන් ඉන්දියාව සහ දකුණු ආසියාවේ රටවල් සමග බොහෝ සම්බන්ධකම් ගොඩනැගීමට පුළුවන. එහෙත් කියුබාව වැනි සමාජවාදී රටක් හදන්නට සිතා ඒ බලය විනාශ කරගත් පසු, වාල්කම හැර ලංකාවට ඉතිරි වන කිසිම දෙයක් නැත. කියුබාව තනිකරම ජාත්‍යන්තර ආධාරවලින් යැපෙන කතෝලික රටකි. ගිය හකුරට නාඬන්නේ තියෙන හකුර රැකගන්නේ යැයි පැරණි කියමනක් ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top