සිංහබාහු සහ වෘකබාහු: කිරි කෑ මුත්තන්ගේ කතා

Last Updated on 1 hour by admin

විජයබාහු, පරාක්‍රමබාහු, ජයබාහු, ගජබාහු, වික්‍රමබාහු, වීරබාහු ආසි වශයෙන් ‘බාහු’ නම සහිත රජවරුන් හා ප්‍රදේශාධිපතියන් ලංකාවේ වාසය කර ඇත. මේ නම්වලින් හැඟවෙන්නේ පුරුයෙකුගේ ශක්තිය පෙන්වන ශරීර කොටස දෙඋර (උරහිස්) බවයි. වංශකතාවට අනුව, ‘සිංහබාහු’, ‘බාහු’ නාමාවලියේ ආරම්භකයා වන්නේය. ‘සිංහබා’ නමට අටුවා සපයන මහාවංශ ටීකාව, ‘පුතුගේ අත් පා සිංහයාගේ අත්පා හා සමාන විය. යම් හෙයකින් පුතුගේ අත් පා සිංහයාගේ අත් පා හා සමානවීද එහෙයින් තම පුතු සිංහබා යයි නම් කළේ’ යැයි සඳහන් කරයි.

ඉක්ෂවාකු රාජ සමයේ ආචාර්ය ජිනසේන නමැති ජෛන භික්ෂුව ‘ආදිපුරාණ’ නමින් සංස්කෘත කාව්‍යයක් රචනා කළේය. පරමාර්ථය, පළමුවැනි fජෛන තීර්ථංකරයාණන් වහන්සේගේ චරිතාපදානය ඉදිරිපත් කිරීමයි. එහි සඳහන් වන ‘බාහුබලි’ රජු දිග්විජය කෙරූවෙකි. ඉතා ශක්තිමත් බාහු ඇත්තා යන අර්ථය බාහුබලි නමේ අඩංගුය. බාහුබලි වසරක් එක තැන හිටගෙන ධ්‍යානයක යෙදුණි. මේ කාලය තුළ ඔහුගේ සිරුර දිගේ වැල් ගමන් ගත්තේය. කුරුල්ලෝ හිසේ කූඩු හැදූහ.

ජානක වංශපුර බොහෝ දෙනෙකුට නොවැටහෙන ඉතා සරල සිදුවීමක් ‘ෆේස්බුක්’ පිටුවෙන් ඉදිරිපත් කර තිබුණේ මෙසේය: ‘යමෙකුට මෙරට කලා ක්ෂේත්‍රයේ රැඳී සිටින්නට නම් ඔවුන්ට තේරුනත් නොතේරුනත් ඔවුන් බටහිර ලිබරල් අදහස් වෙනුවෙන් පෙනී සිටින්නට වෙනවා. බටහිර ලිබරල් අදහස් වෙනුවෙන් පෙනී සිටිනවා යනු කෙටියෙන් ගතහොත් ජාත්‍යන්තරවාදී වීමයි. වෙනත් ආකාරයකට කිවහොත් සිංහල බෞද්ධ ජාතිකත්වයට විරුද්ධවීමයි.’

සරච්චන්ද්‍රගේ සිංහබාහු නාඩගම මෙම පැහැදිලි කිරීම සනාථ කෙරෙන නිදසුනක් යැයි අපට සිතේ. සරච්චන්ද්‍රගේ සිංහබාහු නාට්‍යයේ ඇත්තේ වෙනස් කරන ලද ඉතිහාස කතාවකි. ඔහු, ‘සිංහයා’ වනාන්තරයේ වෙසෙන තිරිසනෙකු බවට පත් කරයි. එම නිසා, සමහරුන්ට, සිංහබාහු නාඩගම සිංහල ජාතියට පහර ගැසීමට හොඳ පොටකි. සිංහබාහු කතාවට තරමක් සමාන කතා වෙනත් රටවලත් තිබේ. යුරෝපයේ – විශේෂයෙන්ම ප්‍රංශයේ – ප්‍රසිද්ධ වළහෙකුට දාව ගැහැණියකට උපන් පුතෙකුගේ කතාව නිදසුනකි. මිනිස් පියෙකුට දාව ‘අසේනා’ නම් වෘක ධේනුවකගේ කුසින් උපන් දරුවන්ගෙන් තුර්කි ජාතිකයන් පැවත එන බව තුර්කි ඉතිහාසයේ සඳහන් වේ. එහෙත් ඒ කතාව අල්ලාගෙන තුර්කි ජාතියට නින්දා කරන්නන් නැත.

ඉතිහාසයේ සඳහන් පරිදි, සිංහබාහු, ලාට රටේ කතාවකි. විජය ගැන සඳහන් කරන මහාවංශ ටීකාව, ‘සිංහබාහු නරේන්ද්‍රයෝ’ යනුවෙන් සඳහන් කරයි. දෙවිවරුන්ගේ රජු ඉන්ද්‍ර නම් වේ. එවිට, විජය, මනුෂ්‍යයින්ගේ ඉන්ද්‍ර (නර ඉන්ද්‍ර) හෙවත් සිංහබාහු නරේන්ද්‍රයාගේ පුතාණෝය. එහෙත්, විජයගෙන් සිංහල ශිෂ්ටාචාරය ඇරඹෙන බවක් මහාවංශයේ කිසිම තැනක සඳහන් නොවේ.

ඈත අතීතයේ සිට ලංකාවේ යක්ෂ රාජධානි පැවති බව කියැවෙන කතා ගණනාවක් තිබේ. ඒ සියලු තැන්වල යක්ෂයින්, යක්ෂයින් වශයෙන් විනා, සිංහලයින් හෝ හෙළයින් හෝ ලෙස සඳහන් නොවේ. ලංකාව යක්ෂයින් වාසය කළ එකම ස්ථානය නොවන බව ජම්බුද්වීප ඉතිහාසය පිළිබඳව යන්තමින් දැනගැනීමෙන් වටහා ගැනීමට පුළුවන. එය යක්ෂ ගම් ජනාවාස පමණක් නොව රාජධානි පවා පැවති භූමි කලාපයකි. බාහුබලි කතාවේත් යක්ෂයින්, යක්ෂණියන් ගැන කියැවේ.

ජම්බුද්වීපවාසී යක්ෂයින්ගෙන් බුදුන්ට හා බුදුදහමට අනුග්‍රහය ලැබුණි. සාංචියේ කැටයම් අතර යක්ෂ දේවතාවියන්, රජුන් හා බිසෝවරුන් දැක්වෙන රූප ඇත. සිරිමා දේවි යක්ෂණියගේ රුව භාර්හුත් කැටයම් අතර වෙයි. මේ හා සමාන යක්ෂ රූප දැක්වෙන කැටයම් රූප ලංකාවෙන් සොයාගෙන නැත. බුදුසසුනේ ප්‍රථමයෙන් පැවිදි වූ යස කුල පුත්‍රයා යක්ෂ වෙළෙන්දෙකු යයි විශ්වාසයක් පවතී. මිහින්තලය යක්ෂයින්ගේ දේවාලයක් වී යැයි මතයක්ද පවතී.

ගුජරාතය වර්තමාන ඉන්දියාවේ කර්මාන්ත මෙහෙයුම් මධ්‍යස්ථානයකි. එය මූලස්ථාන කරගත් සමාගම් ලොවේ විවිධ රටවල කර්මාන්ත පවත්වාගෙන යති. මෙය ඉන්දු නිම්න ශිෂ්ඨාචාර කාලයේ සිට සිදුවන්නකි. තඹ හා තඹ භාණ්ඩ නිෂ්පාදනය, ලාට (ලොතෙල්) රටේ පැවති ප්‍රධාන කර්මාන්ත දෙකකි. කපු නිපදවීම හා රෙදි විවීමද එහි පැවති තවත් ප්‍රධාන කර්මාන්ත දෙකකි. මේවා හැර වී නිපදවීම හා අපනයනය කිරීමත් සිදු විය. ඉන්දු නිම්න ශිෂ්ටචාරය, සුමේරියානු, මෙසෙපොතේමියානු වැනි ශිෂ්ටාචාර සමඟ වෙළෙඳ සබඳතා පවත්වා තිබේ. මෙවැනි තොරතුරු විමර්ශණය කිරීමේදී ඈත අතීතයේ ලංකාවේ පැවති කර්මාන්ත බොහෝමයක් ලොතෙල් වෙළෙඳුන් සමඟ සම්බන්ධ පැවති ඒවාද යන සැකය මතු වේ.

විජයගේ කතාව පැහැදිලි කරන්නේ ලංකාවේ සිංහල බෞද්ධ මුල හටගත් පිළිවෙළයි. භාරත වාසීන් බෞද්ධයන් හැඳින්වූයේ, සිංහලයන් නමින් බව මහාචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද් සිං පැහැදිලි කර තිබේ. විජය ලංකාවට ආවේ ලාට රටේ සිංහපුරයෙනි. ධර්මාශෝක රජතුමා සිංහපුරයක් පිහිටුවූයේය. එය සාරනාත් නමින් හැඳින්වේ.

විජය සහ පිරිවර පිටත් වූ ස්ථානය හා පිටත්වීම සිදු වූ පිළිවෙළ ගැන ඇතැම් තොරතුරු වංශකතාවේ අඩංගුය. ඒ අනුව සිංහපුරයේ විසූ සිංහබාහු රජතුමා ඔහුගේ පුත් විජය කුමාරයා ප්‍රධාන හත් සියයක් පිරිස අඩක් හිස් මුඩුකරවා නැව් නංවා රටින් පිට කළේය. මෙයද අටුවාවකින් ගත් තොරතුරකි. පොත පතේ හා සූත්‍රයන්ගේ වචන, පද හා අර්ථ විභාග කරමින් අටුවා ලිවීම පැරණි සිරිතකි. මෙම කටයුත්තේදී මුල් කතාවට වඩා වෙනස් කතා අටුවා මගින් ඉදිරිපත්වීම නොවැළැක් විය හැකි කාරණයක් වූයේය.

හිසකේ ඉගිල්ලීම ජෛන සම්ප්‍රදායයි. හිස මුඩුකිරීම භික්ෂු ශාසනයට ඇතුළු කිරීමේ බෞද්ධ සිරිතයි. විජය කතාව ගැන විස්තර කෙරෙන අටුවාවක එය දඬුවමක් වශයෙන් සඳහන්ව තිබුණා නම් එය වෙනස් කිරීමේ හැකියාව මහානාම හිමියන්ට නැත. ජම්බුද්වීපයේ සිට ලංකාවට පැමිණි විශේෂ පුද්ගලයින් පරිබ්‍රාජක වෙසින් හෝ බ්‍රාහ්මණ වෙසින් හෝ පැමිණි බව කියවෙන පුවත් ගණනාවක් මහාවංශයේ තිබේ. මෙයත් එවැනි සිදුවීමක් විය හැකිය.

ලොතෙල්හි සිංහපුරය සමීපයේ පිහිටි භාරුකච්ච වරාය මෙම කලාපයේ පිහිටි නැව් නිෂ්පාදන මධ්‍යස්ථානයකි. ඇතැම් මූලාශ්‍රවල හැටියට විජය ගමන අරඹන්නේ භාරුකච්චයෙනි. ඔවුන්ගේ පළමු වැනි නවාතැන් පොළ සුප්පාරක වූයේය. මෙය ජම්බුද්වීපයේ ප්‍රධාන වරායකි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, සිංහල දේශය, ජාවා, සුමාත්‍රා වැනි රටවල් පමණක් නොව අරාබිය සමගත්, සුප්පාරක වරාය කේන්ද්‍ර කරගෙන සබඳතා පවත්වා තිබේ.

මහාවංශය සඳහන් කරන්නේ ශක්‍ර දේවේන්ද්‍රයා විජයට ලංකාවට ගොස් සසුන පිහිටුවන්නැයි ආරාධනා කළ බවයි. ඒ සඳහා ලංකාවට පැමිණි විජය පළමුව කරන්නේ තොටපොළ අසල නුගගසක් යට සිටි උපුල්වන් දෙවිඳුන් වෙත යෑමයි. විජය එතුමාට නමස්කාර කළ පසුව දෙවියෝ ඔහුට පිරිත් කියා පිරිත් පැන් ඉස අතේ පිරිත් නූලක් ගැට ගැසූහ. භික්ෂුන් වහන්සේ, රාජ්‍ය පාලකයාට පිරිත් කියා, පිරිත් පැන් ඉස, අතේ පිරිත් නූලක් බැඳ ආශිර්වාද කිරීමේ සිරිත ඇරඹෙන්නේ එතැන් සිටයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top