ඇඟ පුරාම කුණු ගාගෙන කුණුකූඩයට යන ආණ්ඩුව

Last Updated on 9 hours by admin

Pic. credit: istockphoto.com

‘Clean Sri Lanka’ කතිකාවට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ වී ඇති ආසියානු දර්ශන, ආගම් හා ඇදහිලි, සුද්ද කළ යුතු “කුණු” ගණයෙහිලා සලකන බවක් මේ දිනවල ගමේ කඩමණ්ඩියේ සිට පාර්ලිමේන්තුව දක්වා පැතිර ගිය උණුසුම් කතා බහ තුළින් ගම්‍ය වෙනවා.

මේ තත්වයට උදාහරණයක් ලෙස කැනඩාවේ සිටින මාගේ මිත්‍රයෙක් අසරණ ගැමියන්ගේ දේව විශ්වාස වලට ඇදහිලිවලට හිනහෙන්න එපා කියා සුප්‍රසිද්ධ කීවියෙකු වන විමරත්න කුමාරගම මහතා විසින් වසර 65 කට පමණ ඉහතදී රචනා කරන ලද කව් පෙළක් ම⁣වෙත එවා තිබුණා.

“සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කොණේ
කාලය විසින් හෑරුව නුග ගසක බෙ‍ණේ
මළකා කළුව ගිය ආයුධ කැබලි පෙනේ
දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැනේ

සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
කෙම්මුර දවස්වල පානින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම”

විමලරත්න කුමාරගම මහතා ලංකා පරිපාලන සේවයේ දිසාපති මට්ටමේ හිටපු විශිෂ්ඨ නිලධාරියෙක්. ඒ වගේම අති දක්ෂ කවියෙක්.

අපි උසස් පෙළ කරන කාලයේ සිංහල සාහිත්‍යය ඉගෙන ගනිද්දි එතුමාගේ මෙම කවි පෙළ කියවූ බව මට මතකයි.

උගත්කම කියන්නේ නූගතුන්ට ගැරහීම නොවන බව පසක් කරමින් කුමාරගම කවියා කදිම පාඩමක් සමාජයට කියා දී තිබෙනවා.

මාලිමා රජයේ “පවිත්‍රතා ප්‍රයත්නය” කියන්නේ අතීසාරයට අමුඩ ගැසීමක් කියායි මට සිතෙන්නේ. “Clean Sri Lanka” කියන ඉංග්‍රීසි යෙදුම තුළින්ම අපි තවමත් ජීවත් වෙන්නේ යටත් විජිත යුගයේම බව ගම්‍ය වෙනවා. අතුගාගෙන යන කසල ගොඩට “clean” කියන වචනයත් ඇතුළත් නොකළහොත් මොළ පිරිසිඳු වීම නම් කිසිසේත්ම සිදුවන්නේ නැහැ.

සුද්දා වැසිකිළි කෘත්‍යය කර කඩදාසි කැබැල්ලකින් පශ්චාත් භාගය පිසිද්දී, හෙළයන් වසර දහස් ගණනක සිට වැසිකිළි කටයුත්තේ දී පවිත්‍ර වීම සඳහා ජලය පාවිච්චි කළ බවට පැරණි නටබුන් සාක්ෂි දරනවා.

අපේ පැරැන්නන් ඉදි කළ කාණු පද්ධතිවල අප ද්‍රව්‍ය ගොඩ ගැසී හිරවුනේ නෑ. නගර ආශ්‍රිතව අහස උසට කසළ කඳු ගොඩගැසුණේ නෑ.

මුළු ලොවම පරිසර දූෂණයට ලක් කර ඇති එක් ප්‍රධාන සාධකයක් වන්නේ ප්ලාස්ටික් භාවිතයයි.

නෙළුම් කොළයට බත් බෙදාගෙන කන ගොවියෙක්, එසේත් නැති නම් කෙසෙල් කොළයේ ඔතාගත් බත්මුලක් දිවා ආහාරය සඳහා රැගෙන යන ගොවියෙක් සහ ප්ලාස්ටික් දවටනයක ඔබාගත්
sandwich එකක් දිවා ආහාරය සඳහා කාර්යාලයට ගෙන යන සුදු මහතෙක් පරිසරය සුරැකීම පිළිබඳ කතිකාවට සම්බන්ධ වන්නේ කුමන ආකාරයෙන්ද කියා සිතා බැලූ විට අපේ ඉතිහාසයේ අපට ‘clean’ කරන්න දෙයක් තිබුණේ නැති බව අමුතුවෙන් කිව යුතු නැහැ.

හේතුඵල වශයෙන් ගත් කල, කාර්මික සභ්‍යත්වය තුළින් බිහිවුණු උදාර පාරිභෝජනය (conspicuous consumption) විසින් ලොව පුරා ගොඩ ගසන ලද විවිධ අන්දමේ කසල කඳු, විසඳුම්වලින් තොරව අදටත් නගර ආශ්‍රිතව ගොඩ ගැසෙද්දී ශ්‍රී ලංකාවේ වර්තමාන ප්‍රශ්නය, කසළ නමැති ප්‍රතිඵලය සමඟ නොව කසල ගොඩ ගැසෙන හේතුව සමග සම්බන්ධ බව “පුනරුදයේ අඬහැරය” කියාපාන මාලිමාවේ විද්වතුන්ට නොතේරෙනවා නොවෙයි. නමුත් බටහිර සැනසීම සඳහා නොදන්නා මෝඩයින් සේ සිටීම ඇඟට ගුණ බව ඔවුන් වටහාගෙන තිබෙනවා

කසළ සංස්කෘතිය අපට හඳුන්වා දුන් බටහිරයන් කසළ ප්‍රතිචක්‍රීකරණය මගිව් පරිසරයත් බේරාගෙන මුදල්ද උපයාගන්නා අතර බංකොළොත් ධනවාදී සංකල්ප ඔස්සේ අපගේ පරිසරයට අපද්‍රව්‍ය බැහැර කිරීමට අමතරව අපගේ මොළද කුණුවලින් පිරවීම අඛණ්ඩව සිදුකර තියෙනවා.

ශ්‍රී ලංකාවේ ගතානුගතික දේශපාලනය යනු කසළ තැනූ මිනිසුන් එකිනෙනාට කසළවලින්ම දමා ගසා ගැනීමකි. කසළ බිහි කරන සංස්කෘතිය අකාමකාදැමීමක් ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. එසේ නොකරන්නේ ඔවුන්ට ඒ සඳහා අවබෝධයක් හෝ සැලසුමක් නොමැති නිසයි.

දකුණු ආසියාවේ මාර්ග අනතුරු හා ඉන් මිය යන සංඛ්‍යාව වැඩිම රට ශ්‍රී ලංකාව බව ශ්‍රී ලාංකිකයින් වැඩි දෙනෙක් දන්නේ නෑ.
ඊට හේතුව ජනතාව දැනුවත් කිරීම සඳහා එම සංඛ්‍යා ලේඛන ජන මාධ්‍ය හෝ අන්තර්ජාලය ඔස්සේ නිතර ප්‍රචාරය නොකිරීමයි.

“පවිත්‍රතා උප්පරවැට්ටියේ” අලුත්ම සංස්කරණයෙන් ප්‍රචාරය කරන්නේ, මාර්ග අනතුරු වැඩි වී තිබෙන්නේ බස් රථ හා ත්‍රීවිලර්වලට නොයෙකුත් අතිරේක කොටස් එකතු කිරීම නිසා බවයි. වෙනත් වචනවලින් කියනවා නම්, බුදුපිළිම හා සතර වරම් දෙවිවරුන්ගේ රූපද එම අනතුරු වැඩිවීමට හේතු වී තිබෙනවාලු.

ඒ කතාව ඇත්තක් නම් පාස්කු ඉරිදා ප්‍රහාරයට හේතුව සහරාන්ලාගේ ඉස්ලාම් අන්තවාදය නොව පල්ලිය තුළ වන්දනාමාන කිරීම සඳහා සවිකර ඇති යේසුතුමන්ගේ රූපය විය යුතුයි.

‘Clean’ වීම ඇරඹිය යුත්තේ වටාපිටාවෙන් නොව ගෙදරින්. ගෙදර ගෘහමූලිකයාගෙන්.

ප්‍රජා සෞඛ්‍යයට අවතීර්ණ වීමට කලින් පුද්ගල සෞඛ්‍යය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය අභිප්‍රේරණය දැනුම හා ක්‍රමවේද සෑම පුද්ගලයෙක් තුළම තිබිය යුතුයි.

රට සුද්ද කිරීම දේශපාලන කටයුත්තක් නොවේ. ඒ සඳහා අවශ්‍ය කරන සමාජ සංස්ථා සමාජය තුළ ඕනෑවටත් වඩා වැඩියෙන් තිබෙනවා. වසර පහක් බලා සිට අලුත් ආණ්ඩුවක් බිහි කර ගන්නේ, චිත්ත අභ්‍යන්තරයෙන් පවිත්‍ර වූ මිනිසුන් පිරිසකට රටේ පාලනය භාරදීම සඳහායි.

වෙනත් බොහෝ ප්‍රශ්නවලට මෙන්ම පරිසරය අපිරිසිදු වීම පිළිබඳ ප්‍රශ්නයට බලපාන්නේත් සමාජයේ ආකල්පයි.

දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකිවීම නිසා දීප ව්‍යාප්ත කුණු ප්‍රශ්නයක් හඳුන්වාදී ජනතාවට එය කර ගැසීමට සලස්වා තමන්ගේ නොහැකියාව සඟවා ගැනීමට ආණ්ඩුව දුබල උත්සාහයක් දරමින් ඉන්නවා.

වැඩේ අවසන් වන විට කුණු ඉවත් කිරීම කෙසේ වෙතත් ඇඟ පුරාම කුණු තවරා ගැනීම බොහෝ දුරට සිදුවිය හැකියි. මෙය වටහා නොගත හොත් මේ ආණ්ඩුවත් ඉතිහාසයේ කුණු කුඩයට එකතුවීම නොවැළැක්විය හැකි වනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link