ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය ගවේෂණයක යෙදෙන මෙම ලේඛකයෝ දේහ ලක්ෂණයෙන් සහ ගතිි සිරිත් වලින් සිංහලයන් හා සමාන සිංහලයට ඉතා සමීප භාෂාවන් භාවිතා කළ ඉන්දියාවේ දක්ෂිණාපථයේ බෞද්ධ ප‍්‍රජාවන් විසූ රටවල් ගැන තොරතුරු හෙළි කරමින්, මෙතෙක් ඉතිහාසඥයින් නොදුටු සහ බැලීමට අකමැති වූ විෂය පථයක් පිළිබඳ කථිකාවක් අරඹති.

මණිමේඛලයි තුරව් සහ සිලප්පාදිකාරම් මහා කාව්‍යයන්ගේ බෞද්ධ උරුමය පැහැදිලි කිරිම කෘතියෙන් කෙරෙන ප‍්‍රධාන කාර්යකි. ගජබා රජුගේ මිතුරකු වූ, කේරළයේ සෙංගුවාට්ටුවන් රජුගේ වන්දනාවට ලක් වූ කන්නගී, අවලෝකිතේශ්වර බෝධිසත්ව වන්දනාවට අයත් බෞද්ධ දේවතාවියක බව කෘතියෙන් පැහැදිලි කෙරේ. ‘තාරා’ (අම්මා) වන්දනාව ලෙස ලංකාවේ ප‍්‍රචලිත වූ කන්නගී පිදීම, හින්දු බමුණන් විසින් ‘පත්තිනි’ වන්දනාවට පරිවර්තනය කළ ආකාරය ද මෙහි සඳහනි.

අතීතයේ පටන් රජුන් සැදූ ආගම් බෞද්ධ උරුමයන් කොල්ලකෑ අයුරු පැහැදිලි කරන කෘතිය, යුරෝපා උගතුන් විසින් පෙරදිග මතු නොව ලෝක ඉතිහාසය පිළිබඳව ද සාවද්‍ය මතවාද ‘සත්‍ය’ ඉතිහාසය නමින් ස්ථාපිත කළ අයුරු ද පෙන්වා දෙයි.

යුරෝපීය ආක‍්‍රමණවලින් පසු කේරළය ඉන්දියාවේ ප‍්‍රධාන ක‍්‍රිස්තියානි ප‍්‍රාන්තය වූයේ ය. ඒ ඉන්දියාවෙන් වෙන් වූ ස්වාධීන රටක් කිරීමට යම් පිරිසකට වුවමනා වූ නමුදු ඉන්දීය මධ්‍ය ආණ්ඩුව විසින් ඒ උපාය වළක්වන ලදි. කේරළයේ පරිදි ආගම යොදාගනිමින් ලංකාව ක‍්‍රිස්තියානි රටක් බවට පත් කිරීමට දරනු ලබන උත්සාහය මෙන්ම, චෝලයන් විසින් කොල්ල කන ලද දකුණු ඉන්දියානු බෞද්ධයන්ගේ ප‍්‍රධාන භාෂාවක් වූ ‘දෙමළ’ භාෂාවේ ආදිපත්‍යය භාවිත කරමින්, වර්තමානයේ තමිල්නාඩුව ලංකාව ගිල ගැනීමට දරන උත්සාහය මෙයින් පැහැදිලි කෙරේ. විමුක්ති දේවධර්මය පදනම් කරගෙන බිහි වූ ජවිපෙ නායක රෝහණ විජේවීර ඝාතන උත්සාහයන් යට සැඟව තිබුණු ආගමික දේශපාලන අරමුණු පැහැදිලි කරන මේ කෘතිය, වර්තමාන ලංකාවේ සිදුවන බෞද්ධ විරෝධී දේශපාලන ව්‍යාපාරය පිළිබඳව ද පාඨකයා දැනුවත් කරයි.

Scroll to Top