අණ්ඩරේගෙ ටෙලි මේල්

කුකුළු නින්දෙන් හිටි මහතුවාට උන්හිටිගමං මහතුවාගේ ආතා කෙනෙක් හීනෙන් පෙනී තිබේ.

තමන්ගේ උසස් පරම්පරාවේ මුල් පුරුකක් එලෙස හීනෙන් පෙනීම කුකුළු සායම් නිෂ්පාදනාගාරයක් කුලියාපිටියේ වොක්ස් වැගන් රථ නිෂ්පාදනාගාරය ළඟ දැම්මා වගේ සතුටක් මහතුවාට ගෙන දෙන්නක් වී තිබේ.

හීනෙන් පෙනුණු එතුමා මහතුවාට ඉංග්‍රීසි භාෂාව හෝ කොරියානු භාෂාව නොව, නොමිලයේ ම සතුන් සමඟ කතා කරන භාෂාව උගන්වා තිබේ.

දැන් මහතුවාට ඕනෑ ම සතෙකු සමඟ කතා කළ හැක.

කිකිළියන් විසි ගණනක් ඉන්න මහතුවාගේ කුකුළු කොටුවටම හිටියේ එක තනි කුකුළෙකි.

තනි කුකුළා කොටුවේ ඉන්නේ පරණ සුල්තාන් කෙනෙකු වගේය. එහෙම නැත්නම් හන්දියේ ජිම් එකට යන නාඹර තරුණයෙකු වගේය. කරමල ඔටුන්න. පොරකටු කඩු දෙක.

මහතුවා දැන් නිතර නිතර කුකුළා සමඟ කතා කරයි. හිනා වෙයි. අපට කුකුළු භාෂාව නොතේරෙන නිසා මහතුවා ගැන ඉරිසියාවකට වඩා කුකුළු කේන්තියක් හට ගනියි.

මහතුවාගේ අයියා මහතුවාට කියා තිබුණේ, “උඹ කොයි කිකිළිටද වැඩියෙන් කැමති?” කියා කුකුළාගෙන් අසන ලෙසය.

එබඳු ප්‍රශ්නයක් මස් කඩ මුදලාලිවත් අහන්නේ නැති බවත් එබඳු ප්‍රශ්නයක් අහන එක සංස්කෘතියට අනුව ශිෂ්ට නැති නිසාත් මහතුවා කරබාගෙන සිට ඇත.

උපතින්ම මස් පෙරේතයෙකු වූ උඩහ ගෙදර දාඹරේ නම් කැමති අර රතු කිකිළිටය. බරෙන් වැඩි ම ඒ රතු කිකිළි බව ත්‍රස්තවාදියෙකු වන දාඹරේට ඉවෙන් මෙන් තේරේ.

අනෙක් අතට ගමේ අසමජ්ජාති එවුන් මහතුවාගේ අයියාට කියන්නේද කුකුළා කියාය. ඒ නිසා මහතුවා නිකන් ඉන්න වෙලාවට කල්පනා කරන්නේ, කුකුළා ද වඩා හොඳ?, තමන්ගේ ම අයියා ද වඩා හොඳ? කියාය.

උදේ පාන්දරම බිත්තර එකතු කරන්ඩ ගිය මහතුවාගේ අම්මාට කුකුළා විරෝදය පා තිබේ.

වහාම මාරයා වගේ කූඩුවට පැන්න මහතුවා තමන්ගේ එකම අම්මාට විරෝදය පෑ කුකුළාට කුකුළු මස් කන්ඩ තරම් ආවේගයකින් යුක්ත ව කෑ ගැසුවේය. ” මොකද අඩෝ උඹ අපේ අම්මට කොටන්ඩ ගියේ?”

“මහතුවා මේ… තොපිත් ඉන්දියාවෙන් ගේන බිත්තර ගනිල්ලා… මෙතන මගේ ගෑනු දාන බිත්තර ගන්ඩ එන්නේ…” කුකුළා ද කොටන තරම් තරහාකින් මහතුවාට හඬලා තිබේ.

 කෝප ගින්න වැඩි කමට මහතුවා මොකුත් ම නොකියා ඉන්නා තැන නැවතත් කුකුළා හොට ඇර තිබේ. “දැන් බලහං උඹලා අපේ බිත්තර ඇරං අපිට සත පහක් නොදී විකුණනවා… අනික මගේ ගෑනු කොච්චර ආසාවෙන්ද බං පැටව් දකින්ඩ ඉන්නේ… උඹලට බැරිද ප්ලාස්ටික් බිත්තර චීනෙන් ගෙන්වන්න…”

මහතුවා කෝප ගින්න වැඩි කමට ආයෙත් මොකුත්ම නොකියන තැන නැවතත් කුකුළා හොට ඇර තිබේ. “තෝ දන්නවද බොල, දැන් කුකුළු මස් කිලෝ එකක් කීයද කියලා? අපිට කියලද ඔය වැඩි කරන්නේ? අනික අපේ මස් විකුණන්නේ, උඹලා උඹලගේ මස් විකුණපල්ලකෝ!”

ඒ පාර නම් මහතුවා කරබාගෙන සිටියේ නැත. “ගොන් කුකුළෝ තෝ දන්නෙ නැති වුණාට අපි විතරක් නෙවෙයි, දැන් අපේ රටත් එක එකා විකුණලා තියෙන්නේ! දීපිය මෙහාට ඔය බිත්තර ටික! විලිලැජ්ජා නැතිව රටිනුත් බිත්තර ගේන තැනට මේක පත්කරන්නේ නැතිව!”

 “පිට දීප දේස ජය ගත්තා ආදී සිංහලුන්…

පිටරට හාලත් බිත්තර නැත්තං බඩගින්නේ සිංහලයා…”

යනුවෙන් වද කොස් ගහේ සිට ගිරවෙක් රැපක් කියනවා ඒ අල්ලපනල්ලේ මහතුවාට ඇසුණි. ඒ සින්දුවේ සමහර පද වරද්දපු නිසා ශුද්ධ සිංහලයේ නාමයෙන් තරහා පිට තරහා ගත් මහතුවා, ගිනි පිටවෙන මකර කටින් “තෝත් කුකුළෙකුම වෙහිවා!”යි ගිරවාට සාප කළේය.

ගිරවා ඡන්දදායක මහතුවාට විතරක් නෙවෙයි, මුළු රටේ ම හිසටත් කටටත් පපුවටත් වර්චස් හෙළා ඉගිළ ගියේය.

මහතුවා තමන්ගේ ආතා වළලපු සොහොන ගාවට වහාම ගියේ, “ආතේ, සත්තු එක්ක කතා කරන්න පුළුවන් භාෂාව මට වහාම අමතක කරන්න” කියලා කීමටය.

Scroll to Top