Last Updated on 13 hours by admin
සෑම් සෙනෙවිරත්න

මෝදි හා නෙතන්යාහු 2018 වසරේ නවදිල්ලියේදී Pic. credit: Getty images
ඉන්දියාව හා පකිස්ථානය අතර ඇවිලී ඇති යුද්ධය හමුවේ ඇතැම් ශ්‍රී ලාංකිකයින් පාකිස්ථානයේ පැත්ත ගන්නා බවක් පෙනෙන්නට හේතු කිහිපයක් තිබේ. ප්‍රධාන කාරණය ඉස්ලාම් පාර්ශවයේ ප්‍රචාරක හැකියාවයි. ඉන්දියාව සමග මාලිමා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් තවත් හේතුවකි. මාලිමා ආණ්ඩුව බලයට පත් කිරීමට ඉස්ලාමිකයන් හවුල් නමුදු ඉන්දියාව හා පකිස්ථානය අතර ගැටුමකදී ඉස්ලාමිකයෝ පකිස්ථානයට පක්ෂ වෙති. මාලිමාව සතුරු පිලේද මිතුරු පිලේද නැත්නම් මධ්‍යස්ථද යන සැකය ඔවුන්ට ඇති වේ.
ඉන්දියාව හා පකිස්ථානය අතර අපේ දීර්ඝකාලීන සම්බන්ධයක් තිබේ. අතීතයේ මේ මහත් කලාපයම බුද්ධ භූමියකි. සිංහලයන්ට ඥාති රාජධානි ඉන්දියාවේ තිබුණි. යටගිය ඒ නෑකම් යළි පිහිටුවීමට ලංකාවේ රාජ්‍ය පාලකයින්ට වුවමනා නොවීය. එහි ප්‍රතිඵලය තමිල්නාඩුවේ ජාතිවාදීන්ගේ කරල පැහීමයි.
මේ යුද්ධය ආරම්භ වූයේ අප්‍රේල් මස 22 වැනිදා කාශ්මීරයේ පහල්ගම් අසල බයිසරාම් සංචාරක කලාපයේදී එල්ල වූ ත්‍රස්ත වෙඩි ප්‍රහාරයකින් ඉන්දියානුවන් 26 දෙනෙකු ඝාතනය වීමෙනි. පකිස්ථාන සබඳතා ඇති ලෂ්කාර් – ඊ – ටයිබා Lashkar-e-Taiba (LeT) සංවිධානයට සම්බන්ධ ‘ද රෙසිස්ටනන්ස් ෆ්‍රන්ට්’ The Resistance Front ත්‍රස්ත සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගත්තේය. පකිස්ථාන රජය මේ ත්‍රස්ත සංවිධාන සමග සබඳතා පවත්වන බවට ඉන්දියාව චෝදනා කළත් පකිස්ථානය එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.
මේ අතර ඉතා වැදගත්ම සිදුවීම ස්කයි ප්‍රවෘත්ති සේවයේ යල්දා හකීම්, පකිස්ථාන ආරක්ෂක ඇමති ඛවාජා අසීෆ් සමග කළ සම්මුඛ සාකච්ඡාවයි. ත්‍රස්තවාදීන්ට මුදල් හා පුහුණුව ලබාදීම ඇතුළුව විවිධාකාරයෙන් උපකාර කිරීම පිළිබඳව පකිස්ථානයට ඇති දීර්ඝ ඉතිහාසය පිළිබඳව ඇය විමසුවාය. එහිදී අසීෆ්ගේ පිළිතුර වූයේ ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා අනෙක් බටහිර රටවල අවශ්‍යතාව පිණිස දශක තුනක් මුළුල්ලේ පාකිස්ථානය මේ ‘කුණු වැඩේ’ කරමින් සිටින බවයි.
පකිස්ථාන ආරක්ෂක ඇමතිවරයාගේ මේ ප්‍රකාශය නිසා විවිධ ත්‍රස්තවාදී සංවිධාන සමග පකිස්ථානයට සම්බන්ධතා ඇති බවත් පකිස්ථානය ඔවුන්ට ආධාර උපකාර කරන බවත් නිල වශයෙන් ලෝකය හමුවේ අනාවරණය විය. සම්මුඛ සාකච්ඡාවේදී පකිස්ථාන ආරක්ෂක ඇමතිවරයා පහල්ගම් ප්‍රහාරයට මෙන්ම ඉන්දියාවේ සිදුවූ වෙනත් ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ ත්‍රස්තවාදී සංවිධාන සමග පකිස්ථානයට කිසිදු සම්බන්ධයක් නැතැයි පෙන්වන්නට උත්සාහ කළේය. ලක්ෂාර් ත්‍රස්ත සංවිධානය තවදුරටත් ක්‍රියාත්මක නැති බවත්, කාශ්මීර ප්‍රහාරයේ වගකීම භාරගත් ‘ද රෙසිස්ටන්ස් ෆ්‍රන්ට්’ ත්‍රස්ත සංවිධානය ගැන තමන් නොදන්නා බවත් ඔහු කීවේය. ඔහුගේ එම ප්‍රකාශ සත්‍යයෙන් තොර බව ආරක්ෂක විශ්ලේෂකයන්ගේ අදහසයි.
බටහිර වුවමනාව මත පකිස්ථානය ත්‍රස්තවාදීන්ට උදව් කරන බවට අසීෆ් කළ ප්‍රකාශය කිසිවකු බලාපොරොත්තු නොවුවකි. ඔහුගේ උත්සාහය වූයේ, මාධ්‍යවේදිනියට පෙරළා පහරදීම වුවද, එය ආපසු කැරකී පකිස්ථානයටම පාරාවළල්ලක් විය. ඔහුගේ ප්‍රකාශය නිසා ඉන්දියාව කාලයක් මුළුල්ලේ දේශ සීමාවන්හි ත්‍රස්තවාදය පෝෂණය කිරීම පිළිබඳව පකිස්ථානයට එල්ල කරමින් සිටින චෝදනාව ලෝකයේ දැඩි අවදානයට ලක්වී තිබේ. මේ අර්බුදයේ මෙතෙක් තිරෙන් වැසී පැවති ත්‍රස්තවාදය සමග පකිස්ථානයට ඇති සම්බන්ධය දැන් විවෘතය.
පකිස්ථානය ත්‍රස්වාදීන්ට උපකාර කිරීමේ අතීතය, ජම්මු කාශ්මීරය ඉන්දියාවට හිමිවීමේ සිද්ධිය දක්වා ඈත දිවෙයි. කාශ්මීරය බෙදාගැනීමට 1947-48 පැවති ඉන්දු පකිස්ථාන යුද්ධය එ.ජා. සංවිධානයේ මැදිහත්වීමෙන් සටන් විරාමයකට ගියද, එහි ප්‍රතිඵලය වූයේ එහි කොටසක් පකිස්ථානය යටතට පත්වීමයි. ඉන්දියාව මේ කොටස හඳුන්වන්නේ ‘පාකිස්ථාන් ඔකියුපයිඩ් කාශ්මීර්’ (Pakistan-Occupied Kashmir (POK) නමිනි. පාකිස්ථානය එය හඳුන්වන්නේ ‘අසාඩ් කාශ්මීර්’ Azad Kashmir නමිනි. එයින් පසුව මේ පීඕකේ කලාපය දේශසීමා ත්‍රස්තවාදය පතුරුවන කලාපයක් බවට පත් විණි.
පකිස්ථාන බුද්ධි සේවයේ (පකිස්ථාන් ඉන්ටර් සර්විසස් ඉන්ටෙලිජන්ස් හෙවත් අයිඑස්අයි Pakistan Inter-Services Intelligence (ISI) සහාය ලබන ලෂ්කාර් ඊ ටයිබා සහ ජයිෂ් ඊ මොහොමඩ් ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීර ප්‍රදේශයේ ප්‍රහාර ගණනාවක් එල්ල කර තිබේ. චිටිසිංපුර සංහාරය (2000), ඌරි ප්‍රහාරය (2016) අමර්නාත්හි වන්දනාකරුවන්ට එල්ල වුණු ප්‍රහාරය (2017) සහ පුල්වමා ප්‍රහාරය (2019) ඒවා අතර ප්‍රධාන වේ.
ජේඊඑම් ත්‍රස්තයින් 2001 වසරේ ඉන්දීය පාර්ලිමේන්තුවට පහරදීම හා එල්ඊටී ත්‍රස්තයන් 2008 වසරේ එල්ල කළ මුම්බායි ප්‍රහාරවලින් සනාථ වූයේ පාකිස්ථානය කේන්ද්‍ර කරගත් ත්‍රස්ත සංවිධාන දේශසීමාවලින් ඔබ්බට ගොස් ඉන්දියාවේ අභ්‍යන්තරයටම පහර දීමට ගන්නා වෑයමයි. ඔවුන්ට උපකාර කරන්නට බටහිර රටවල සිට ක්‍රියාත්මක ත්‍රස්ත නායකයින් සිටින බවට තොරතුරු එම ප්‍රහාරවලින් පසුව අනාවරණය විය. පාකිස්ථාන ඇමරිකානුවකු වූ ඩේවිඩ් කෝල්මන් හෙඩ්ලි හා පකිස්ථාන කැනේඩියානුවකු වූ තහව්වුර් හුසේන් රානා එල්ඊටී සංවිධානයේ අන්තර්ජාතික නායකයින් බව හෙළිදරව් විය.
පකිස්ථානයට ත්‍රස්තවාදී සංවිධාන සමග ඇති සම්බන්ධතා නිසා මතුව ඇති අන්තර්ජාතික ත්‍රස්තවාදී අනතුර ගැන, ඉන්දියාව ජාත්‍යන්තරයේ අවධානය යොමු කරමින් සිටියේය. එහෙත් විවිධ සාක්කි තිබෙන පසුබිමක වුව පාකිස්ථානය දිගින් දිගටම එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. එමෙන්ම, නිසි පියවර ගන්නැයි ඉන්දියාව කළ ඉල්ලීම් නොතකිමින්, රකිඋර් රෙහ්මාන් ලඛ්වි Zakiur Rehman Lakhvi වැනි ඉහළ ත්‍රස්තවාදී නායකයින්ට දිගින් දිගටම ඇප ලබාදීම මගින්ද පකිස්ථානය ත්‍රස්ත මර්දනයට සිය සහයෝගය නොදෙන ස්ථාවරයක් පළ කර තිබේ.
පකිස්ථානයට එරෙහිව ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්තවාදී ක්‍රියාවලට අනුග්‍රහය දැක්වීමේ චෝදනාද තිබේ. හකානි ත්‍රස්ත සංවිධානය Haqqani network පකිස්ථාන රජයේ අනුග්‍රහ ඇතිව ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්ත ක්‍රියාවල නිරත වන බවට ඇති චෝදනාව උදාහරණයකි. හකානි ත්‍රස්ත ජාලය, අල් ඛයිඩා, තලිබාන්, ලෂ්කාර් ඊ ටයිබා, ජයිෂ් ඊ මොහොමඩ් වැනි ත්‍රස්ත සංවිධාන සමග මෙන්ම පාකිස්ථාන රාජ්‍ය බුද්ධි සේවාව (අයිඑස්අයි) සමගද දැඩි සබඳතා පවත්වයි. 2008 කාබුල්හි ඉන්දියානු තානාපති කාර්යාලයට එල්ල කළ ප්‍රහාරය, 2011 කාබුල් ප්‍රහාරය, 2011 ඉන්ටර්කොන්ටිනන්ටල් හෝටලයට එල්ල කළ ප්‍රහාරය, 2013 පක්ටියා ට්‍රක් රථ බෝම්බ සැලසුම ආදිය නිසා, 2012 දී ඇමරිකාව විසින් හකානි ජාලය විදේශ ත්‍රස්තවාදී සංවිධානයක් (එෆ්ටීඕ) වශයෙන් නම් කරන ලදි.
රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කෙරෙන ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ වීමේ චෝදනාව යටතේ 2018 වසරේදී පාකිස්ථානය, ‘මුල්‍ය ක්‍රියාකාරී කාර්යසාධක බලකායේ’ Financial Action Task Force (FATF) ‘අළු ලැයිස්තුවට’ ඇතුළත් කෙරුණු අතර එයින් මුදාහරින ලද්දේ වසර 4කට පසුවය.
එම නිසා, අප්‍රේල් 22 පහල්ගම් ප්‍රහාරය සහ ඊට සම්බන්ධ ත්‍රස්වාදීන්ට පකිස්ථානය යටිතල පහසුකම් සැපයීමේ චෝදනාව ඉන්දියාව මෙන්ම අවට වෙනත් රටවල පමණක් නොව ජාත්‍යන්තරයේද දැඩි අවධානය මේ සිද්ධිය කෙරෙහි යොමුවීමට හේතුවකි.
ප්‍රසිද්ධ මාධ්‍යවල පළ නොවන අතිශය බැරැරුම් කරුණු කීපයක් මේ සිද්ධියේ පසුබිමේ ක්‍රියාත්මකය. එය එක් අතකින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක බලධාරීන්ගේ දැඩි අවධානයට යොමු විය යුත්තකි.
මැයි 1 වැනිදා සිය දේශසීමාව උල්ලංඝණය කළේ යැයි චෝදනා කරමින් පකිස්ථානය ඉන්දියානු ඩ්‍රෝන 25ක් බිම හෙළීය. මේ ඩ්‍රෝන ඊශ්‍රායල් එරෝස්පේස් ඉන්ඩස්ට්‍රීස් ආයතනය මඟින් නිෂ්පාදිත ඒවා බව හෙළිදරවු වීම නිසා ඊශ්‍රායලය හා ඉන්දියාව අතර දශක කිහිපයකට පෙර පටන් පවතින සන්ධානයේ උපායමාර්ගික වැදගත්කම පිළිබඳව ලෝක ආරක්ෂක විශේෂඥයින්ගේ අවධානය යොමු වී තිබේ.
ඉන්දියාව ඊශ්‍රායලයේ විශාලතම ආරක්ෂක උපකරණ ගැනුම්කරු වේ. ඊශ්‍රායලයේ පැත්තෙන් බැලූ විට, ඉන්දියාව ඔවුන්ගේ ප්‍රධාන ගැනුම්කරුවකු පමණක්ම නොවේ. දේශසීමා ආරක්ෂාව, ත්‍රස්තවාදය හා ඉස්ලාම් අන්තවාදය පිළිබඳව උපායමාර්ගික වශයෙන් වැදගත් සගයෙක්ද වේ. අන්තවාදී තර්ජනවලට එරෙහිව දෙරටම නිරන්තරයෙන් අන්‍යොන්‍ය සහයෝගයෙන් කටයුතු කරයි. දෙරට අතර ඇති සබඳතා ඉතාම දැඩි ස්වරූපයක් ගන්නා බව පැහැදිලි වූ අවස්ථාවක් නම්, ගාසා ගැටුම් අවස්ථාවේ ඉන්දියාවේ ස්ථාවරයයි. බටහිර රටවල් ඊශ්‍රායලයට යුද උපකරණ සැපයීම ප්‍රමාද කළ ඒ අවස්ථාවේ, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ වැටීමේ අවධානම නොලසකමින්, ඉන්දියාව ඊශ්‍රායලය සමඟ සිටියේය.
ඊශ්‍රායලය දකුණු ආසියාවේ අර්බුද පිළිබඳව දේශපාලන තීන්දුවලට එලඹීමෙන් වැළකී සිටියද, පකිස්ථානය, සහ චීනය සමග ඇති ගැටුම් හමුවේ ඊශ්‍රායලයේ යුද සැපයුම් ඉන්දියාවට මහත් ශක්තියකි. ඊශ්‍රායලයේ මේ සමබර ක්‍රියාපිළිවෙත, සිය ලාබදායී යුද උපකරණ අලෙවිය කරගෙන යන අතරම අන් රටවල් සමග ඇති සම්බන්ධතා බිඳ නොවැටී පවත්වාගෙන යෑමටද උපකාරී වේ.
ඊශ්‍රායලය පකිස්ථානය සමඟ විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොපවත්වයි. සෙසු මුස්ලිම් රටවල් සමඟ සන්සන්දනය කළ විට එය ඉතාම පහළ මට්ටමක පවතී. මේ තත්වය යටතේ ඍජු බලපෑමක් අපේක්ෂා නොකළද, කලාපීය අන්තවාදී කණ්ඩායම්, උද්ගතව ඇති තත්වයෙන් ප්‍රයෝජන ගන්නට කටයුතු කරන්නට ඉඩ ඇතැයි, ජෙරුසලම්හි උපායමාර්ග හා ආරක්ෂාව පිළිබඳ ආයතනයේ (JISS) ජ්‍යෙෂ්ඨ උපදේශකවරික හා ඉන්දියාව හා මැදපෙරදිග සබඳතා පිළිබඳ විශේෂඥවරියක වන ආචාර්ය ඔෂ්රිට් බිර්වාඩ්කර් පවසන්නීය. ඉන්දියාවේ ප්‍රහාර හා ඊශ්‍රායල මැදිහත්වීම උළුප්පා දක්වමින්, ‘ජනසංහාර’, ‘මැදිහත්වීම්’ වැනි යෙදුම් පාවිච්චි කරමින් අන්තවාදී කණ්ඩායම් කලාපයේ ගැටුම් ඇති කිරීමට ඉඩ ඇතැයි ඇය අවධාරණය කරන්නීය. ඉස්ලාමය නැති කිරීම සඳහා හින්දුන් හා යුදෙව්වන් එක්ව කටයුතු කරන බවට චෝදනාවක් කාලයක් මුළුල්ලේ කාශ්මීරයේ ඇතැම් පළාත්වල පවතී. මේ අවස්ථාවේ එම මතවාදය ඉදිරියට දමා ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතී. මේ ආකාරයෙන් බැලූ විට කලාපය එකම යුද පිටියක් වීමේ අවදානමක් තිබේ.
එසේම මේ තත්වය දඩමීමා කරගනිමින් දෙපාර්ශ්වයටම යුද උපකරණ විකිණීමට ආයුධ වෙළෙන්දන් උත්සාහ ගත හැකිය. දැනටමත් පාකිස්ථානය ඉන්දියාවට එරෙහිව පාවිච්චි කළ චීනයේ නිෂ්පාදිත ප්‍රහාරක ගුවන් යානාවල නිෂ්පාදන තත්වය පිළිබඳ ඇතැම්හු පර්යේෂණ පවත්වමින් සිටිති. ඉන්දියාව හා පකිස්ථානය ඔවුන්ගේ පර්යේෂණාගාර මීයන්ගේ තත්වයට පත්වීමේ යම් ඉඩක් පවතී.
ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් මැදිහත් වී සටන් විරාමයක් ඇති කිරීමට වෙහෙසුනේ මේ සංකීර්ණ අවදානම් තත්වය සමනය කිරීමේ අරමුණ ඇතිවය. ඉන්දියාව හා පකිස්ථානය අතර යුද්ධය දික්ගැසුනහොත් ලෝක ආර්ථික හා ආරක්ෂක අර්බුදයක් දක්වා තත්වය දුර යෑම නොවැළැක්විය හැක්කකි. එසේම, චීනයේ ඇති ඇමරිකානු කර්මාන්තශාලාවලින් කොටසක් ඉන්දියාවට ලබාදීමේ වැඩපිළිවෙළක් යෝජිතය. ඉන්දියාව යුද්ධයකට පැටලීම ඊටද බාධාවකි.
අනෙක් අතින් ඉරානය මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කළ හැකිය. ඉරානයේ න්‍යෂ්ටික ශක්තිය අනවශ්‍ය මට්ටමකට යෑම වැළැක්වීම පිණිස ඇමරිකාව හා ඉරානය අතර පසුගියදා සාකච්ඡා ඇරඹිණි. ඉරානය මේ කරන්නේ සිය විනාශ වී ගිය ගුවන් ආරක්ෂක පද්ධතිය පිළිසකර කරගෙන, න්‍යෂ්ටික ශක්තිය වැඩි කරගැනීම සඳහා කල්මැරීමක් යැයි ඊශ්‍රායලය චෝදනා කරයි. ඉන්දියාව හා ඊශ්‍රායලය අතර ඇති සබඳතාව නිසා ඉරානය ඉන්දියාවට එරෙහිව ත්‍රස්තවාදී කණ්ඩායම්වලට ආධාර කිරීමේ ඉඩක් පවතී.
ඊයේ නිකුත් වූ වාර්තාවකට අනුව, චීනය සහ ඇමරිකාව දෙරට වෙනුවෙන් පනවා තිබුණු බදු විශාල වශයෙන් (තාවකාලිකව) අඩුකිරීමට එකඟ වී ඇත. මේ අනුව, චීනය ඇමරිකානු භාණ්ඩවලට පනවා තිබුණු 125% බද්ද 10% දක්වාත්, ඇමරිකාව චීන භාණ්ඩවලට පනවා තිබුණු බද්ද 145% සිට 30% දක්වාත් අඩු කරනු ඇත. මේ තත්වය ඉන්දියා ඇමරිකා සබඳතාවලට කෙසේ බලපානු ඇත්දැයි දැන්ම පුරෝකථන කළ නොහැකිය.
ශ්‍රී ලංකාව ආරක්ෂාව අතින් ඉතා දුර්වල මට්ටමක පවතී. යහපාලන යුගයෙන් පසු බුද්ධි සේවා කඩාවැටුණි. දැනට මහජන ආරක්ෂක අමාත්‍යංශය භාරව ඉන්නේ අකාර්යක්ෂමතාව පිළිබඳ චෝදනාවට ලක්වූ රවි සෙනෙවිරත්නය. ඊට අමතරව ආරක්ෂක අමාත්‍යංශය තුල ගැටලු රාශියක් පවතින බවට ඉතාම විශ්වාසදායක ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබුණි. පසුගිය කාලය පුරා පකිස්ථානය, මාලදිවයින්, බංගලාදේශය වැනි රටවලින් විශාල මුස්ලිම් ජනකායක් ලංකාවට පැමිණ පදිංචිව සිටිති. ඔවුන් අතර ත්‍රස්තවාදීන් නැති බවට සහතිකයක් දෙන්නට සමතෙකු නැත.
ශ්‍රී ලංකාව තුළ ඊශ්‍රායල් ජාතිකයින් සුළු පිරිසක් වෙසෙති. මාස කීපයකට පෙර ආරුගම්බේ ප්‍රදේශයේ ඇති වූ අර්බුදකාරී තත්වයට හේතු වූයේ, මුස්ලිම්වරුන් පිරිසක් එහි ඇති ඊශ්‍රායල් ප්‍රජා මධ්‍යස්ථානයකට විරෝධය පෑමයි. ඊශ්‍රායලය හා ඉන්දියාව අතර ඇති යුද සබඳතා කලඑළියට පැමිණ ඇති නිසා, ශ්‍රී ලංකාවේ සිටින ඉස්ලාම් අන්තවාදීන් ඊශ්‍රායල්වරුන්ට එරෙහිව කටයුතු කිරීමේ අවදානමක් තිබේ. ආචාර්ය බිර්වාඩ්කර්ගේ පැහැදිලි කිරීමෙන් අපට ගත හැකි පාඩම එයයි. මේ තත්වය රටේ ආරක්ෂාවට මෙන්ම සංචාරක කර්මාන්තයටත් පොදුවේ ආර්ථිකයටත් සුබදායී නොවේ. එම නිසා ශ්‍රී ලංකාවේ ආරක්ෂක බලධාරීන් ඉතා සැලකිල්ලෙන් කටයුතු කළ යුතුව තිබේ.