ඊශ්‍රායල් – ඉරාන ගැටුම සහ නූතන කුරුස යුද්ධය

Last Updated on 1 day by admin

පාප්තුමාගේ නායකත්වයෙන් සටන් කළ ක්‍රිස්තියානි හමුදා සහ කාලිෆ්වරයාගේ නායකත්වය පිළිගත් ඉස්ලාම් හමුදා අතර යුරෝපයේ බලය උදෙසා දිගු කලක් තිස්සේ සිදු වූ සටන් මාලාව, ඉතිහාසයේ සඳහන් වන්නේ ‘කුරුස යුද්ධ’ ලෙසිනි. යුද්ධ නිම වූයේ ලක්ෂ සංඛ්‍යාත ඉස්ලාම් සොල්දාදුවන්ගේ ජීවිත අහිමි කරමින් ක්‍රිස්තියානි පාර්ශ්වය ජයග්‍රහණය කිරීමෙනි. ඊට සමාන කුරුස යුද්ධයක් නුදුරේදී යුරෝපයේ සිදු වෙතැයි සමහරු අනුමාන කරති. බටහිර රටවල සීඝ්‍රයෙන් පැතිරෙන ඉස්ලාම් ජනගහණය, මෙවැනි අදහසක් ඇති වීමට ප්‍රධාන හේතුව විය යුතුය. ඉස්ලාමික ජනගහණ ව්‍යාප්තිය, මස්ජිඩ් හා සංස්කෘතිය පීඩනයක් වශයෙන් සලකන ඇතැම් කිතුනුවන් ඔවුන්ගේ පරම්පරා දීර්ඝ කාලයක් තිස්සේ ජීවත් වූ නගරවලින් ඉවත් වන පුවත් යුරෝපාකරයෙන් අසන්නට ලැබේ.

ලන්ඩන් නගරාධිපතිකම සදික් ඛාන්ට හිමි විය. ඩයනා කුමරිය ඉස්ලාමිකයෙකු සමග අනියම් සබඳකමක් පැවැත්වූ බව රහසක් නොවේ. ලන්ඩනයේ ඇතැම් පළාත් අරාබිය විසින් අත්පත් කරගෙන දැයි යන සැකය එහි සැරිසරන්නෙකුගේ සිතේ පහළ වේ. ලංකාවේ නැගෙනහිර පළාතේ මාර්ග අලංකරණයට දේශීය ගස් වෙනුවට රට ඉඳිගස් වගා කර ඇති සැටි දකින්නෙකුටද මෙවැනි හැඟීමක් ඇති වේ. ඉස්ලාම් ජනගහණ හා සංස්කෘතික ව්‍යාප්තිය ආක්‍රමණයක් ලෙසින් සලකන ඇතැම් යුරෝපා රටවල සුදු ජාතිකයින් ඊට මුහුණ දීම සඳහා කරන්නේ විශේෂ ආරක්ෂණවාදී දේශපාලන ව්‍යාපාර යටතේ ගොනු වීමයි. ඕලන්දයේ බලය දිනා ගනිමින් සිටින ගීට් විල්ඩර්ස් හා ඔහුගේ දේශපාලන පක්ෂය එවැන්නකි.

අතීතයේ එංගලන්තය කළ හැම යුද්ධයකම පසුපස කැන්ටබරියේ ආච් බිෂොප්වරයා සිටියේය. එතුමා හැම කල්හිම එංගලන්තයේ ආරක්ෂක හමුදාවනට චිත්ත ධෛර්යය ලබා දුන්නේය. එංගලන්තය රටවල් යටත් කරගත්තේ හා පාලනය කළේ, ආච් බිෂොප් ධෛර්යය සැපයූ හමුදාවේ බලයෙනි. කැන්ටබරියේ ආච් බිෂොප්වරයාගේ සන්නද්ධ හමුදා බිෂොප් නියෝජිතවරයා (Bishop to the Forces – “The Archbishop of Canterbury’s Episcopal Representative to the Armed Forces”) වන හියු නෙල්සන් පසුගිය දිනක හමුදාවේ උසස් නිලධාරීන් සමග සාකච්ඡා කරන අතරතුර ප්‍රකාශයක් කරමින් එංගලන්තය ‘තීරණාත්මක යුද්ධයකට’ සූදානම් වෙමින් සිටින බව කීවේය.

ඉරාන ඇමරිකා යුද්ධයෙදී ‘නැටෝව’ ඇමරිකාවට පක්ෂ ප්‍රකාශ නිකුත් කළේ මන්දැයි නොවැටහෙන සමහරු විකාර දොඩවති. ඔවුන් නැටෝව දකින්නේ ලංකාවේ සමගි පෙරමුණ වැනි සන්ධානයක් ලෙසිනි. එය නොදැනුවත්කමකි. නැටෝව යනු යුද සන්ධානයකි. නැටෝ සාමාජිකයන් සියලු දෙනා පොදු ආරක්ෂණවාදී ප්‍රතිපත්තියකින් බැඳී සිටිති. ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය එහි සමාජිකත්වය දරන රටවල් තුනකි. වතිකානුව නම් එහි සාමාජිකයෙක් නොවේ.

පාප්වරයා ප්‍රධාන කතෝලික සභාව, මධ්‍යතන යුගයේ රෝම අධිරාජ්‍යය වෙනුවෙන් යුරෝපය පාලනය කළ සංවිධානයයි. දැන් එහි දේශපාලන මුහුණ සැඟවී ආගමික මුහුණ ඉදිරියට පැන ඇත. නමුත් ‘වෝර්සෝ’ හවුල විනාශ කිරීමට නැටෝව ඉදිරිපත් වූ විට පාප්වරයා වැදගත් වැඩ කොටසක් කළේය. ඒ, වෝර්සෝ හවුලට බැඳී සිටි පෝලන්තය එයින් ඉවත් කිරීම මගිනි. මෙවැනි කරුණු සැලකිල්ලට ගන්නා ඇතැමුන් පාප් ධුරයට ඇමරිකානුවෙකු පත්වීම ජාත්‍යන්තර දේශපාලන වුවමනාවක් සේ සැලකීම වරදක් නොවේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඊශ්‍රායල් ජනතාව සඳහා ඉස්ලාම් රටවල් මැද රටක් හැදීම ඇමරිකාව කළ අඥාන ක්‍රියාවක් හැටියට සැලකූවෝ සිටිති. නමුත් ක්‍රිස්තියානි ලෝකයේ පැවැත්ම සඳහා ඊශ්‍රායලයේ අගය වචනයෙන් කිව නොහැක. ඊශ්‍රායලය වටා ඇති සියලුම ඉස්ලාම් රටවල් ‘සුන්නි’ මුස්ලිම් රටවල්ය. මේ හැම රටකම පොදු ස්වභාවය මෑත කාලයේ දැඩි මුස්ලිම් ප්‍රතිපත්තියෙන් ඉවත් වීමයි. සවුදි අරාබියේ සිදු වන සංස්කෘතික වෙනස්වීම් එක් නිදසුනකි. අතීතයේ ඉස්ලාම් නීති අකුරට ක්‍රියාත්මක වූ නිසා සවුදියේ කාන්තාවෝ පීඩනයට පත් වූහ. දැන් සවුදි කාන්තාවෝ රාජ්‍ය පාලනයට පවා සම්බන්ධ වෙමින් සිටිති. ඔවුන්ට වාහන පැදවීමේ නිදහස ලැබී ඇත. සවුදියේ ගැහැණු පාසල්වල යෝග අභ්‍යාස පාඨමාලා ක්‍රියාත්මකය. මේ කිසිවකට ඊශ්‍රායලය සම්බන්ධ ඇති බවක් නොපෙනෙතත් ඇමරිකාව ප්‍රධාන ක්‍රිස්තියානි රටවල්වලට අරාබිය විවෘතව පවතින්නට එක් හේතුවක් ඊශ්‍රායලය පැවතීමයි.

ඉරානයේ සිදු වූයේ අරාබියට වඩා වෙනස් දෙයකි. එය දෙවන ලෝක යුද්ධයෙන් පසුව අරාබි ලෝකයේ වඩාත්ම රැඩිකල් රට වූයේය. ටෙහ්රාන් වැනි නගරයක වැසියන්ගේ ජීවිතය බර්ලින්, පැරිස් වැනි නගරයක ජීවිතයට සමාන විය. රට පාලනය කළ ෂා රජු ඇමරිකාවේ හොඳ මිතුරෙක් වූයේය. ඒ රජුට විරුද්ධව මුස්ලිම් ලෝකයම නැගී සිටියේය. එහි ප්‍රතිඵලය ඉරානයේ සිදු වූ ඉස්ලාම් ආගමික විප්ලවයයි. එය ලෙනින් රුසියාවේ කළ විප්ලවයට වඩා ප්‍රබල විප්ලවයකි. මාඕ සේං චීනයේ කළ දේශපාලන විප්ලවයෙන් පසු ඔහුගේ බිරිය සංස්කෘතික විප්ලවයක් කරන්නට ගියාය. චීන නායකයෝ එය අසාර්ථක කළහ. ඉරානයේ ෂා පාලනයෙන් මිදීමට කළ විප්ලවය සමග රට තුළ ආගමික හා සංස්කෘතික විප්ලවයන්ද සිදු විය. විප්ලවකරුවෝ පැරිසියේ විසූ අයතුල්ලා කොමෙයිනි ගෙන්වා රටේ නායකයා කර ගත්හ. මොහු කාලිෆ්වරයාට සමාන වන්නෙකි. කොමෙයිනි යටතේ ඉරානයේ ඉස්ලාම් ආගමික පොලිසියක් පවා ඇති විය.

කලක සිට ඉරානය ඉස්ලාම් ලෝකයේ නායකයා බවට පත්වෙමින් සිටී. ගාසා තීරයේ ඊශ්‍රායලය සමග සටන් කරන සුන්නි හමුදාවට පවා ආධාර කරන්නේ ඉරානයයි. එසේම ඉරානය, ඇමරිකාව සමග තරග කරන රුසියාව හා චීනය සමග සම්බන්ධ වී කටයුතු කරයි. ඉන්දියානු සාගරයේ මර්මස්ථානයක පිහිටි ලංකාව පවා මිතුරෙකු කරගෙන සිටියි. මේ අතර න්‍යෂ්ටික බලය දියුණු කරගෙන යුද්ධ ශක්තිය ඉහළ නංවා ගනියි.

පාර්ලිමේන්තු ක්‍රමය, බ්‍රිතාන්‍යයින් සිය යටත් විජිතවලට හඳුන්වා දුන් පාලන ක්‍රමයකි. ඊට අනුව මහා මැතිවරණයකින් බලයට පත් වන දේශපාලන පක්ෂයකට රටක පාලන බලය හිමි වේ. යුරෝපා රටවල ඉස්ලාම් ජනගහණය වැඩි වීම කුරුස යුද්ධයෙන් පරාජය වූ සුන්නි ඉස්ලාමිකයන් ලෝක බලය අත්පත් කරගැනීමට භාවිත කළ දේශපාලන උපක්‍රමයකි. දැන් සිදු වන්නේ සුන්නි රටවල් වෙනස් වන විට ඒ රටවල ආගමික බලය ඉරානය අතට පත් වීමයි. එම නිසා යළිත් ඊශ්‍රායල් ඉරාන යුද්ධයක් ඇවිලීම ලෝකයටම තර්ජනයකි. එය ලොව පුරා පැතිරෙන කුරුස යුද්ධයකි.

ලෝක දේශපාලන බලය තුළ බුද්ධාගමට නම් කිසිම තැනක් නැත. එය බුද්ධාගම අවිහිංසාවාදී ආගමක් නිසා සිදු වූ දෙයක් නොවේ. ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආධිපත්‍යයන් හමුවේ සිදු විය යුතු ස්වභාවික ක්‍රියාවකි. ලංකාව නිදසුනකට ගතහොත් ලංකාවේ බෞද්ධයින්ට දේශපාලන නායකයින් නැත. සාමාන්‍ය බෞද්ධ ජනතාවට ඇත්තේ දේශපාලනය පිළිබඳ ඇත්තේ ඉතාම අඩු දැනුමකි. ඔවුන් මහා බලාපොරොත්තු ඇතිව බොදු බල සේනාව පස්සේ යාම හෝ මාලිමාවට රටේ පාලන බලය ලබාදීම හෝ බුද්ධිමත් ක්‍රියා නොවේ. මාලිමා ආණ්ඩුව යටතේ සිදු වන්නේ රට කොටස් කිහිපයකට බෙදීයාමයි. එය සිදු වන්නේ සිංහල බෞද්ධයාට බලයක් නැතිව යාමෙනි.

මෙවැනි ශෝචනීය තත්වයක් හමුවේ පවා අපූරු දේ සිදු වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා තමන් වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේ, ’නවනන්දනි පිල්ලෙයි වගේ ඔබත් ලංකාවට පැමිණියේ අපේ වැරදි හොයන්ඩද?’ දැයි මල්වතු මහානාහිමියන් ඔහුගෙන් ප්‍රශ්න කිරීම නිදසුනකි. එවැනි ප්‍රශ්නයක් අසන්නට හැකි දේශපාලන නායකයෙකු ලංකාවේ සිටින බව දැනගන්නට නැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top