කකුල උස්සපං මල්ලියෙ ගහන්ඩ ලාඩං

Last Updated on 2 months by admin

ඉංග‍්‍රීසින්ගේ පාලන සමයේ ඉංග‍්‍රීසි කතාකරන සිංහලයන් ස්වල්ප දෙනෙකු හැරුණු විට, සිංහල ජාතිය රැකුනේ ගොවිතැනිනි. ඒ කාලයේ සිංහල පාසල් ගුරුවරු පවා රැකියාව සඳහන් කළ යුතු ලේඛනවල, රැකියාව වශයෙන් ‘ගොවිතැන’ සඳහන් කළෝය. ඉංග‍්‍රීසි ආණ්ඩුව මේ කාලයේ කපටිකමක් කළාය. ඒ, ගොවියන් නොවන ගම්මුන්ට, ‘ගොවිතැන රැකියාව වශයෙන් සඳහන් කිරීමට ඉඩ නොදෙන්නැ’යි ගම්මුලාදැනිවරුන් පෙළඹවීමෙනි. මේ උපක‍්‍රමය නිසා සිංහල සමාජය තුළ පෙර නොවූ කුල භේදයක් නිර්මාණය විය.

නගරය තුළ මේ කුල භේදය ඇති වූයේ නැත. ඊට හේතු වූයේ මාක්ස්වාදින්ගේ පංති සහෝදරත්වය නොවේ. හොඳම උදාහරණය ආර්. පේ‍්‍රමදාස චරිතයයි. පේ‍්‍රමදාසගේ පියා ගොවියෙකු නොවේ. කම්කරුවෙකුද නොවේ. රික්ෂෝ ගාලක් මුර කළ, කොළඹට සංක‍්‍රමණය වූ ගැමියෙකි. ඔහු ඉංග‍්‍රීසි දැන සිටියෙකු වශයෙන් පිළිගැනීමට නොපුළුවන. එජාපය සමසමාජයට පහර ගැසීම සඳහා, පේ‍්‍රමදාස තරුණයා නාගරික මන්ත‍්‍රී තරගයට පක්ෂයෙන් ඉදිරිපත් කළේය.

එංගලන්තයේ උසස් අධ්‍යානය ලැබූ එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක, 1956 වසරේ පිහිටුවූ මහජන එක්සත් පෙරමුණ ආණ්ඩුවේ අගමැති වූයේය. ඔහු සිංහල භාෂාව රජයේ භාෂාව කරන්නට මුල් වූයේය. මේ නිසා, පසුව සිංහලයින්ගේ සමාජ තත්වය වෙනස් වන්නට විය. ඒ ඔවුන්ගේ දරුවන්ට සිංහලෙන් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලැබීමෙනි. කන්නන්ගර මහතා මධ්‍ය මහා විදුහල් පිහිටුවීම නිසා ඉංග‍්‍රීසියෙන් ඉගෙනුම ලබන සිංහලයන්ගේ දරුවන් ස්වල්පයකට විශ්වවිද්‍යාලයේ දොරටුව විවෘත වී තිබුණි. බණ්ඩාරනායක රජය විද්‍යාලංකාර සහ විද්‍යෝදය පිරිවෙන් විශ්වවිද්‍යාල තත්වයට උසස් කිරීම නිසා සිංහලෙන් අධ්‍යාපනය ලැබූ බෞද්ධ පාසල්වල ළමයින්ට සරසවි යාමට මග පෑදුනි. වර්තමාන ලංකාවේ විශේෂයෙන්ම ආණ්ඩුවේ කන්තෝරුවල උසස් තනතුරු දරන වැඩි පිරිස විද්‍යාලංකාර, විද්‍යෝදය විශ්වවිද්‍යාලයන්හි අධ්‍යාපනය ලැබූවන්ගේ දරු මුනුබුරෝ වෙති. බටහිර සංස්කෘතිය විසින් ටයි පළඳින්නට පෙළඹවීම නිසා පවුල් මුල් වැසී ඔවුන්ට කළුසුද්දන්ගේ පෙනුම වැටේ.

මඑපෙ ආණ්ඩුව ඇතිවීමට පෙර ලංකාවේ පරිපාලන ක්ෂෙත‍්‍රයේ සිටි වැඩි දෙනෙකු සිංහල බෞද්ධයන් නොවේ. ඉංග‍්‍රීසියෙන් අධ්‍යාපනය දුන් පාසල්වලට ගිය ඔවුන් බොහෝ දෙනා දෙමව්පියන්ට ඉංග‍්‍රීසි කතාකරන්නට බැරිකම නිසා ශෝක වී ඇත. එවැන්නන් ලැජ්ජාව මකාගන්නට කළ වැඩ ගැන කියවෙන කතා, ‘ගුරු පරපුරේ වීරයෝ’ පොතේ දෙවන කොටස සඳහා රැස් කළෙමු. මේ එවැන්නකි:

ඉංග‍්‍රීසි පාසලක ඉගෙනුම ලැබූ පුතාණෝ කෙනෙකු, තම නිවසට එන්නැයි මිත‍්‍රයන් කිහිප දෙනෙකුට ආරාධනා කළේය. ගෙදර ඔවුන්ට කෑම මේසයක් පිළියෙල වූයේය. කෑම සූදානම් වූ පසු ආලින්දයට පැමිණ කෑම මේසය සූදානම් බව ඉංග‍්‍රීසියෙන් කියන හැටි පුතාණන් විසින් පියාට උගන්වා තිබුණි. පියාණෝ, ඉගැන්නූ පරිදි ආලින්දයට පැමිණ, මිතුරන් සමග කතාවේ යෙදී සිටින පුතාණන් දෙස බලා ’දඩිනරිස් ඔන් දටේබල් ’ කීහ.

ආර්. පේ‍්‍රමදාසගේ ලේ තමාගේ ශරීරයේ දුවන බව සුහුරුකාමර රැස්වීම්වල ළමයින්ට කියන සජිත් පේ‍්‍රමදාස රටේ දේශපේ‍්‍රමීන් කොටි පරදවා ලැබූ ජයග‍්‍රහණය සමරද්දී සමාජ මාධ්‍ය ජාලයේ තැබූ සටහනක් ප‍්‍රසිද්ධ වී ඇත. එහි ඔහු සඳහන් කරන ලෙසට:

‘‘1956 රාජ්‍ය භාෂා පනත මගින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමෙන් දමිළ භාෂාව කථාකරන ජනතාවට ඇති වූ කණගාටුව දශක දෙකක් ඇවෑමෙන් යුද්ධයක් බවට පත්වීම සැබෑ ඛෙදවාචකයකි. ….ජනතාව ලැබූ වැරදි ආදර්ශය තුළින් දශකයේ අගභාගය වෙනවිට ඇල්ටීටිඊ සංවිධානය ඇතුළු තවත් අවිගත් සටන්කාමී සංවිධාන කිහිපයක් බිහිවිය.’’

යුඇන්පිය නාගරික මන්ත‍්‍රී තරගයට ඉදිරිපත් කරන්නට පෙර කාලයේ බොහෝ දවස්වල සවස් යාමයට බොරැල්ලේ තරුණ බෞද්ධ සංගමය අසල ‘මංගල ෆොටෝ’ ඡායාරූප ශාලාව වෙත පැමිණීම ආර්. පේ‍්‍රමදාසගේ සිරිතක් විය. ඡායාරූප ශාලාව හිමියා පිටකෝට්ටේ විසූ ජී. බී. පෙරේරාය. ඔහු පසුව බොරැල්ල නාගරික මන්ත‍්‍රීවරයකු වූයේය. ‘මංගල ෆොටෝ’ එක අසලට රැස්වූ තරුණ පිරිස සමහර දිනක පොඩි බජව්වක් දමති. ඔවුහු අත්පුඩි ගසමින් ‘බයිලා’ කියති. මේ එවන් ‘බයිලාවක’ කෑල්ලකි:

රේල් පාරේ මම යනකොට සිරිබරන් කොටං
කකුල උස්සපං මල්ලියෙ ගහන්ඩ ලාඩං

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link