කලාවේ මුවාවෙන් පරම්පරා ගණනක මොළ හෝදපු හැටි

Last Updated on 4 months by admin

කලක් තමිල්නාඩුවේ ජනප්‍රිය වූ ‘සොයිල් ඔෆ් ශ්‍රී ලංකා’ (ශ්‍රී ලංකාවේ භූමිය) ගුවන් විදුලි නාට්‍යය පිළිබඳව සිංහලයින්ට ඇත්තේ ඉතා අඩු දැනුමකි. ඊට වඩා වැදගත් කාරණාව එල්ටීටීඊයක් සහ භයානක බෙදුම්වාදී තර්ජනයක් ලංකාව තුළ පැවතුන (සහ අදටත් එය වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක බව) බව බොහෝ දෙනෙකුට අමතක වීමයි. ඔවුන්ට ‘කොටි හඬ’ ගුවන් විදුලියක් පැවති බව සිහිපත් කරදීම පවා පහසු කරුණක් නොවේ. ඒ කාලයේ එල්ටීටීඊය ඔවුන්ගේ කොටිහඬ ජාත්‍යන්තර ගුවන් විදුලි විකාශනාගාරය පිහිටුවීම සඳහා ජර්මනියේ බර්ලින්හි ෆෝනවු විහාර භූමියෙන් ඉඩම් කොටසක් මිලයට ගැනීමට සූදානම් වී සිටියේය. එය වැළැක්වීමට මූලික වූයේ බර්ලින් ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානයයි. බර්ලින් පුරාවිද්‍යා නීතිය අනුව ෆෝනව් විහාර භූමිය බෙදා වෙන් කළ නොහැකි බව තහවුරු කිරීමට ඔවුහු සමත් වූහ.

බර්ලින් ෆෝනවු විහාරය බර්ලින් තාප්පය බැඳීමට පෙර බටහිර බර්ලිනයට අයිති නැගෙනහිර බර්ලිනය තුළ පැවති භූමි කොටසකි. බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් ලෝක ප්‍රකට කොමියුනිස්ට් නාට්‍ය නිෂ්පාදකයා නැගෙනහිර ජර්මනියේ විසූවෙකි. ඔහු නැගෙනහිර බර්ලින් වේදිකාවට ඉදිරිපත් කළ ‘කොකේෂියන් චෝක් සර්කල්’ (කොකේසියානු හුණුවටය) දරුවෙකුගේ අයිතිය උදෙසා කාන්තාවන් දෙදෙනෙක් අතර ඇතිවුණ ආරවුලක් තේමාකරගත් කතාවක් මුල්කර නිෂ්පාදනය කරන ලද්දකි. මේ පිළිබඳව අපි පසුගිය ‘අරුණ’ කලාපවලින් සාකච්ඡා කළෙමු. නාට්‍යය නැරඹූ ප්‍රේක්ෂකයින්ට භූමියේ අයිතිය පිළිබඳව ඊට වඩා යමක් දැනගන්නට ලැබුණි. ඒ සාමූහික ගොවිපළ පිළිබඳ සෝවියට් දර්ශනයයි.

නාට්‍යයේ භූමියට ආදරය කරන පාරම්පරික උරුමක්කරුවන් පිරිසක් සිටිති. මොවුන්ගෙන් ප්‍රකාශ වූයේ වැඩවසම් සමාජයයි. එම පිරිස සමග ගැටුණු, රෝසා ලක්ෂම්බර්ග් සාමුහික ගොවිපළ, කොමියුනිස්ට් විප්ලවය විසින් ගොඩනංවන ලද තරුණ පිරිස නියෝජනය කළේය.

“ද. පස මහල්ලා: මේ මිටියාවත හැමදාම අපට අයිතිවෙලා තිබුණෙ

ව. පස සොල්දාදුවා: මොකක්ද ඒකෙ තේරුම. හැමදාම දෙයක් කාටවත් අයිති වෙන්නෙ නෑ. හැමදාම? ඔහෙ තරුණ කාලෙ තමා තමන්ටවත් අයිතිවෙලා හිටියෙ නෑ. කස්බෙක් කුමරුන්ට අයිතිවෙලා හිටිය මිසක්.” (හුණුවටයේ කතාව පෙළ පොතිනි)

සාමූහික ගොවිපළ ඉදිරිපත් කළ කොමියුනිස්ට් දර්ශනය පරිදි භූමියට බැඳී සිටීම වැඩවසම් යුගයේ මනුෂ්‍යයින් සිතන ක්‍රමයයි. මාක්ස්වාදයට අනුව කොමියුනිස්ට් සමාජය බිහිවන්නේ වැඩවසම් ක්‍රමය නැති කරමිනි. ඒ තුළ පුද්ගලික ඉඩම් ක්‍රමය වෙනුවට ඇතිවූ සාමූහික ගොවිපළ ක්‍රමය මහජනයාට අනේක යහපත්කම් සිදුවන්නක් යැයි කොමියුනිස්ට්වාදීහු පෙන්වා දුන්හ. භූමියට නවීන තාක්ෂණය ලබාගැනීම, වැඩි අස්වැන්න ලැබීම, අස්වැන්න සාධාරණව බෙදීම, පන්ති සහෝදරත්වය ඇති කිරීම ආදි වශයෙනි. සම්ප්‍රදායට අනුව සිතූ ගැමියන් කොමියුනිස්ට් මතවාදයට කැමති නොවීය. මෙය සාමුහික ගොවිබිම් පිහිටුවන්නන් සහ පාරම්පරික ගැමියන් අතර ආරවුලකි. බ්‍රෙෂ්ට්, එම සිද්ධිය, කාන්තාවන් දෙදෙනා අතර දරුවාගේ අයිතිය උදෙසා ඇතිවූ ආරවුලට සමාන සිද්ධියක් කළේය.

ඉඩම් ආරවුල විසඳන විනිශ්චයකරුවන් කොමියුනිස්ට් රජයේ ඉඩම් කොමිසමේ නිලධාරියෝ වෙති. ඔවුහු අපක්ෂපාතී තීන්දු දෙන බව නාට්‍යයෙන් කියවේ. ඉඩම් අයිතිය විසඳන්නන්, දරුවාගේ අයිතිය විමසන යුක්තියේ හඬ හෙවත් අස්ඩෙක් විනිසුරුවරයාට සමාන බව බ්‍රෙෂ්ට් පෙන්වයි.

ගොවියෝ විනිසුරන්ට ආහාර පාන සපයා ආගන්තුක සත්කාර කරති. ඔවුහු ඒ අතර තම පාරම්පරික නිෂ්පාදනයන්ගේ රස ගුණ අගය කරති. සාමුහික ගොවිපළ නියෝජනය කරන්නන්ගේ එවැනි වැඩ නැත. ඉඩම් ලබාගෙන ඉතාම සැලසුම් සහගත සහ නවීන වගා ක්‍රම මගින් වැඩි අස්වැන්න ලබාගන්නා පිළිවෙළ ඔවුහු කියති.

“ව. පස මහල්ලා: මේ කාරණවෙදි අප කල්පනා කළේ මෙහෙමයි. අපේ සොල්දාදුවන්ට තමුන්නාන්සේලාගෙ අයයි අපගේ අයයි දෙගොල්ලටම වඩාත් ඵලදායි මවුබිමක් ලබාදීමයි.

ට්‍රැක්ටර පදවන්නිය: මායාකොව්ස්කි කවියා කිව්වා වගේ සෝවියට් ජනතාවගේ මවු බිම සාධාරණත්වයේ මව් බිමද විය යුතුයි.

තරුණ කම්කරුවෙක්: (ද පස මහල්ලාට) කඳු මැද තියෙන ඔක්කොම කුඹුරුවලට වතුර සපයන්නයි යන්නෙ. ඇල්කෝ මාමේ මේ බලන්න.” (හුණුවටයේ කතාව පෙළපොත)

හුණුවටයේ කතාව කාලයක්ම අපොස උසස් පෙළ නිර්දිෂ්ඨ ග්‍රන්ථයක් විණි. හුණුවටය නාට්‍යයෙන් ඉදිරිපත් වූයේ භූමිය පිළිබඳ සිංහල චින්තනයට විරුද්ධ දර්ශනයකි. බොහෝ සිංහලයින් මාතෘ භූමිය ජීවිතයට වඩා වටිනා වස්තුවක් වශයෙන් සැලකූ බව ඉතිහාසයෙන් හෙළිවේ. මෙම නාට්‍යය වේදිකාවට පැමිණි අවදිය හා පෙළ පොත පාසලට ඇතුළු වූ කාලය උතුරේ බෙදුම්වාදයේ වැදගත් කාලයකි. උතුර හා නැගෙනහිර පළාත් දෙමළ ජනයාගේ නිජභූමිය යයි මතයක් කිසියම් දෙමළ දේශපාලනඥයින් පිරිසක් විසින් ඉදිරිපත් කර තිබුණි. මොවුනට මේ සඳහා මගපෙන්වීමට ඕලන්දයන් උතුරට හඳුන්වා දුන් තේසවලමෙයි නමැති ජාතිවාදී බෙදුම්වාදී නීතියද එක හේතුවකි.

උතුර නැගෙනහිර ඉඩම් අයිතිය එහි පදිංචිව සිටින දෙමළ ජනතාවට හිමිවිය යුතුය යන අදහස මාක්ස්වාදයේ ආරම්භක නායකයින්ගෙන් ඉදිරිපත් වූ අදහසකි. එම නිසා ඩී. එස්. සේනානායක අගමැතිවරයාගේ ගොවි ජනපද ව්‍යාපාරයට විරුද්ධ වූ ඔවුහු ඊට දැඩි විවේචන එල්ල කළහ. ඇස්. ඒ. වික්‍රමසිංහ ලියූ ‘ගතයුතු මග’ පොත ඊට සාක්ෂ්‍යයි.

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුවේ ඇමතිවරයෙකු වූ ආර්. ජී. සේනානායක, එජාප ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් වූ සිරිල් මැතිව් ආදීන්ට විරුද්ධ වූ ඔවුහු සිංහල ජාතිය ගැන කතා කළ ඒ දේශපාලනඥයින් ජාතිවාදින් ලෙසින් හංවඩු ගැසූහ. එයින් නොනැවතී උතුරු නැගෙනහිර භූමිය පිළිබඳව සිංහල දේශපාලනඥයින් දැක්වූ අදහස්වලට විරුද්ධව කටයුතු කළහ. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම භූමිය පිළිබඳ අදහස් වෙනස් කිරීමට ඔවුන්ට හැකි විය.

සිංහලයෝ උතුරු නැගෙනහිර භූමියේ පාරම්පරික අයිතිය කියා සිටියහ. ඉතිහාසඥයින් පුරාවිද්‍යාඥයින් ඇතුළු උගතුන් පිරිසක් අතීතයේ උතුරු නැගෙනහිර පළාත්වල සිංහලයන් සිටි බව කීවේ පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික සාධක ඉදිරිපත් කරමිනි. මෙහිදී උතුරු නැගෙනහිර ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයන්හි නටබුන් ඔවුන්ගේ පැහැදිලි කිරීම් ඔප්පු කිරීමට යොදාගත් ප්‍රධාන සාධකයකි. හෙන්රි ජයසේනගේ හුණුවටයේ කතාව නාට්‍යය මගින් ඉදිරිපත් වන්නේ උතුරු නැගෙනහිර සිංහල උරුමය ගැන පැහැදිලි කළ ඉතිහාස කතාවට සම්පූර්ණයෙන්ම විරුද්ධ, භූමිය පිළිබඳ දර්ශනයකි. එමනිසා එය මාක්ස්වාදී ප්‍රචාරක නාට්‍යයකි.

රුසියාවේ කොමියුනිස්ට් විප්ලවයෙන් පසු කලාව කුමක් සඳහා දැයි මාක්ස්වාදී විචාරකයින් ඉදිරිපත් කළ අදහස් මගින් මෙය පැහැදිලි කරගත හැකිය. මාක්ස්, එංගල්ස් ආදීන්ගේ පොත්වලින් අදහස් උපුටා දක්වන මොවුහු, වැඩවසම් සමාජයේ කලාව, රජුන්ට හා රදළයන්ට සේවය කළ බවත් කොමියුනිස්ට් කලාව වැඩ කරන ජනතාවට සේවය කරන බවත් පැහැදිලි කරති.

කලාව පිළිබඳ පෙරදිග චින්තනය එකකි. යුරෝපා චින්තනය ඊට හාත්පසින්ම වෙනස් එකකි. යුරෝපා කලාව හැම කල්හිම ආගමික හෝ දේශපාලන ප්‍රචාරක මෙවලමකි. නාසි ජර්මනිය, කලාව නාසිවාදයේ ප්‍රචාරක ආයුධයක් කරගත් බව මාක්ස්වාදියෝ කියති. කොමියුනිස්ට්වාදීව පැවති නැගෙනහිර ජර්මනියේ කලාව මගින් සිදුවූයේ මාක්ස්වාදය ප්‍රචාරය කිරීමයි.

බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් යනු මුදල් ඉපයීම සඳහා කලාව ආයුධයක් කරගත් නාට්‍ය ශිල්පියෙකි. ‘කොකේෂියන් චෝක් සර්කල්’ නාට්‍යය වේදිකාගත කර සෝවියට් කොමියුනිස්ට්වාදය ප්‍රචාරය කළ ඔහු විශාල ධනවතෙකු බවට පත් වුණි. මෙවැනි ප්‍රචාරක නාට්‍යයක් සිංහල නාට්‍යයක් සේ වේදිකා ගත කිරීමද දේශපාලන ප්‍රචාරයකි. එයින් උතුරු නැගෙනහිර භූමිය පිළිබඳ සිංහල චින්තනයට විරුද්ධ මතවාදයක් ගොඩනැගිණි.

“සුදුස්සාටම අයිති විය යුතු
කී ලෙස දන පොරණ
ලැබිය යුතු අයමයි ලැබිය යුතු
මුදු ගුණය ඇති අය
දරුවන් දිනිය යුතු වේ
රියදුරු මනා වූ
ලැබිය යුතු සේම අස්රිය
මවු ගුණය ඇති අය
දරුවන් දිනිය යුතු වේ
ගොවි දන මනාවූ
දිනිය යුතු වූ සේ ම ගම් බිම්” (හුණුවටයේ කතාව පෙළපොත)

දරුවාගේ අයිතිය උදෙසා කාන්තාවන් දෙදෙනා අතර ඇතිවන ආරවුල විසඳන විනිශ්චයකාරයා, හුණුවටයක් මැද දරුවා තබා කාන්තාවන් දෙදෙනාට දෙපැත්තට ඇද දරුවාගේ හිමිකම ලබාගන්නැයි කියන පරිදි භූමිය පිළිබඳ අයිතිය විසඳිය නොහැක. සිංහලයන්ගේ උරුමයක් වූ නමුදු උතුරු නැගෙනහිර පළාත්, දැනට ඒවා භුක්ති විඳින දෙමළ ජනයාගේ විනා සිංහලයන්ගේ උරුමයක් නොවන බව පැතිරුණු මතවාදයට මෙවැනි නාට්‍ය මගින් තල්ලුවක් ලැබුණි. එම මතවාදය දශක කිහිපයක් මුළුල්ලේම උසස් පෙළ සිසුන්ගෙත් ගුරුවරුන්ගේත් මොළවලට කාන්දු විණි. රටේ භූමියේ උරුමය පිළිබඳ විපරිත අදහස් ඇති පිරිසක් බිහිවීමට කලාවේ නාමයෙන් කෙරුණු මේ මොළ ශෝධනයද බලපෑවේය.

‘කොටි හඬ’ ප්‍රචාරය කළ, ‘ලංකා භූමිය’ නාට්‍යය ගැන ඉහතින් සඳහන් කළෙමු. මෙය බ්‍රෙෂ්ට්ගේ හුණුවටයේ කතාවට ඉඳුරාම වෙනස් ගුවන් විදුලි නාට්‍යයකි. නමුත් එයද භූමිය පිළිබඳ කතාවකි. රාමායණ කතාව මුල් කරගනිමින් නාට්‍යය ලියවී ඇත. රාම නමැති ආර්ය ආක්‍රමණිකයා සේනාවක් රැගෙන පැමිණ රාවණ නමැති දෙමළ රජුගේ රට යටත් කරගත් බව එයින් කියවුණි.

මෙම නාට්‍යය පිළිබඳව ලියවුණු එක් විචාරයක් ගැන මෙහි දී සඳහන් කිරීම වටී. එයින් කියවුණු ලෙසට සිංහලයෝ රාවණ ඔවුන්ගේ හෙළ රජෙකු බව කියති. දෙමළ නිෂ්පාදකයා රාවණ දෙමළ රජෙකු බව කියයි. ඉංග්‍රීසි කාලයේ ඉන්දියාවට පැමිණි මිෂනාරින් පැහැදිලි කළ ක්‍රියාවක් මේ දෙපාර්ශ්වයම නොදනිති. ඔවුන් පෙන්වා දෙන ලෙසට, රාම ලංකාව යටත් කිරීමට සටන් කරන වේලේ ඔහුගේ ආධාරයට පැමිණි දෙමළ ජනතාව වඳුරන් ලෙස රාමායණයේ සඳහන් වේ. එම නිසා හින්දුන්ගේ රාමායණයට හා සංස්කෘත භාෂාවට විරුද්ධව නැගී සිටින්නැයි ඔවුහු දෙමළ ජනතාවගෙන් ඉල්ලති.

(2018 දෙසැම්බර් 30 ඉරිදා අරුණ පුවත්පත)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link