ජවිපෙ රටට උරුම කළ පාදඩ සමාජය

Last Updated on 3 months by admin

සෑම් සෙනෙවිරත්න

Pic. credit: Spotify

සෙසු බොහෝ සතුන් තුළ මෙන්ම මිනිසා තුළද ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩත්වය, අනුන් පෙළීමේ ආසාව සැඟව තිබේ. මෙම ස්වභාවය වෙනස් කිරීමට සිංහල බෞද්ධ සමාජයට හැකි විය. බුදු දහමට අමතරව ඊට ප්‍රධාන කරගත්තේ මිනිස් සිත ආකර්ශණය කරගැනීමට සමත් විවිධ කලාවන්ය. බණ පොත්, ධර්ම කාව්‍ය, ජාතක කතා, විහාර සිතුවම්, නාට්‍ය නිදසුන් කිහිපයකි. කලාව මගින් කරුණාව, මෛත්‍රිය, උපේක්ෂාව ආදි ගුණයන් වර්ධනය කරගැනීමට සිංහලයා සමත් විය. මෙය සිංහල කලාවේ විශේෂ ලක්ෂණයයි.

එවන් දියුණු සමාජයක් වෛරය කෝපය පළිගැනීම වැනි අවගුණ වැඩිවැඩියෙන් පෙන්වන සමාජයක් බවට පත්වූයේ කෙසේද යන්න ගැන අවධානය යොමු කළ සමාජ විද්‍යාඥයින් නැත. ‘තුන්සිය හැටපස් දවසේම පිරිත් ඇසෙන, බණ දෙසන රට අපරාධවලින් පිරිලා’ කියමින් බොහෝ දෙනා බුදුදහමට චෝදනා කරති. සමාජ විද්‍යාව රටවල් යටත් කරමින් සිටි බටහිර යටත් විජිවාදීන් ඔවුන්ගේ අධ්‍යාපනය ඔස්සේ කළ සාර්ථක නිපැයුමකි.

ලංකා සමාජය පිරිහෙන්නට බලපෑ හේතු අතර, වෛරය ක්‍රෝධය පතුරුවන සංකල්ප සහිත ආගම් රට තුළ පැතිරීම, ඒ සංස්කෘතීනට අයත් පුද්ගලයන් නිපදවූ වෛරය, ක්‍රෝධය පතුරුවන කලා කෘති සමාජය ආක්‍රමණය කිරීම, බලකාමයෙන් මත්වූ දේශපාලකයන් බලය ලබාගැනීම සඳහා ප්‍රචණ්ඩත්වය පාවිච්චි කිරීම වැනි හේතු කීපයක් තිබේ.

රට අල්ලා ගැනීමටත්, රට පාලනය කිරීමටත් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන යුරෝපා ජාතිකයන් ප්‍රචණ්ඩත්වය ඉතා කුරිරු අයුරින් පාවිච්චි කළහ. නිදහසින් පසු මුල් යුගයේ දේශපාලනයේද ප්‍රචණ්ඩත්වය දකින්නට තිබුණි. එහෙත් ඒ ඉතා සාහසික අයුරින් නොවේ. සමසමාජ පක්ෂයේ රැස්වීම්වලට පහරදෙන්නට එජාපය මැරයන් යෙදවූ සිද්ධි තිබුණි.

1977 ජයග්‍රහණයෙන් පසු එජාපය ප්‍රතිවාදීන් මර්ධනය කිරීම, 90 දශකයේ වාරියපොල එස්.බී. නාවින්න කාන්තාවක නිරුවත් කර පාරේ ඇවිද්දවීම වැනි ජරා සිදුවීම් වාර්තා අතර තිබේ.

දේශපාලන ප්‍රචණ්ඩත්වය පළමු වරට දරුණු අන්දමින් ක්‍රියත්මක වූයේ 1971 ජවිපෙ කැරැල්ල අවස්ථාවේදීය. 88-89 ජවිපෙ භීෂණ සමයට සාපේක්ෂව 71 කැරැල්ල අඩු ප්‍රචණ්ඩත්වයක් වාර්තා කළද එම කාලයේ ජවිපෙ තරුණ තරුණියන් තුළට ඇතුළු කළ ඇතැම් මතවාද ඔවුන්ගේ සිත් දූෂණය කරන්නට සමත් විය.

‘තම මතයට විරුද්ධ වන දෙමාපියන් මරා දමා හෝ ජවිපෙ සමග එකතු වන්නට තරම් සිත් ඇතැම් තරුණයින් තුළ තිබුණු බවට’ තොරතුරු ඒ කාලයේ ගම්මානවලින් අසන්නට ලැබුණි. ‘අපේ නීතියට අනුව අම්මා තාත්තා වුනත් වරදක් කළොත් වෙඩිතියලා මරන්න ඕනැ’යි ජවිපෙ සාමාජිකයකු කී බව කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ බණ දේශනාවකදී සඳහන් කෙරිණි.

ඉතා කලාතුරකින් මිනීමරුමක් වාර්තා වූ සිංහල ගම්වලට මෙය අලුත් අත්දැකීමක් විය. මේ ගැන කතාකරන්නට පවා ඇතැම් ගැමියෝ බිය වූහ. බොහෝ දෙනා ජවිපෙ සාමාජිකයන් කෙරෙහි බියක් දක්වන්නට වූහ.

88-89 කාලය ජනතාව භීතියෙන් භීතියට පත් කළ යුගයකි. එය දරුවන් ගැබිණි මව්වරුන්ගේ කුස කපා නූපන් දරුවන් එළියට ඇද දැමූ අසවේදු සමය සිහිගන්වන්නකි. ඇතැම් ජවිපෙ සාමාජිකයෝ සිය විරුද්ධවාදීන්ව ඉතාම කුරිරු අන්දමින් ඝාතනය කළහ. හිස් කඳින් වෙන්කර වැටඉණිවල ගසා ප්‍රදර්ශනයට තැබූහ. මිනිසුන්ගේ අතපය කෑලි කෑලිවලට කපා හන්දිවල ප්‍රදර්ශනයට තබා තිබුණි. ඇතැම් අවස්ථාවල මේ ඝාතන සිදු වූයේ පවුලේ සෙසු සාමාජිකයන් ඉදිරියේය.

ඒ සමග ආණ්ඩුවේ හමුදා, පාරා මිලිටරි හමුදා, වෙනත් දේශපාලන පක්ෂ ආදියෙන් එල්ලවූ ඊටත් අන්ත ප්‍රතිප්‍රහාර නිසා රට එකම ලේ විලක් බවට පත් විය. මරා, ටයර් දමා පිළිසෙන්නට හරින ලද මිනිසුන් මහමග දැකීම සුලබ දසුනක් බවට පත් විය. ගංගාවල මළකඳන් පාවී ගියේය. කබරුන්, බල්ලන්, කපුටන් කෑ මළසිරුරු දැකීම සිත් කම්මා කරවන දසුනක් විය.

මේ තත්වය ජනතාවගේ මානසිකත්වයට කළ බලපෑම පිළිබඳව සෙයාබැලීමක් කළ කෙනෙකු නැත. කොටි ත්‍රස්තවාදය නිසා ජන මනසට සිදුවූ අහිතකර බලපෑම පිළිබඳව සිංහලයන්ට වරද පටවා ලියූ පර්යේෂණ ලිපි නම් තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්මේන්තු කරන පරිදි යුදකාමී සමාජයක ජීවත් වන මිනිසුන්ගෙන් 10%ක් දරුණු මානසික ආබාධවලට ගොදුරු වෙති. තවත් 10%ක් පමණ දෙනා ක්‍රියාශීලී ජීවිතයට බාධා කරන මානසික තත්වයන් ඇත්තන් බවට පත් වෙති. ඒ අතර ආතතිය, කාංසාව, නින්ද නොයෑම පමණක් නොව කොන්දේ ආබාධ හා බඩේ අමාරු ආදියද වෙයි.

අද අප ජීවත් වන්නේ ඒ පශ්චාත් යුද මානසික හා කායික රෝගවලින් පෙළෙන ජනතාව සමගය.

විවිධ ජන කණ්ඩායම් අතර විරසකයක්, වෛරයක් ඇති කිරීම ජවිපෙ සමාජයට කළ තවත් අපරාධයකි. මුල් යුගයේ ජවිපෙ සාමාජිකයන් එකතු කරගන්නා ප්‍රධාන සාධක දෙකක් වූයේ කුල භේදය ඇවිස්සීම හා ධනවතුන් කෙරෙහි වෛරය පැතිරවීමයි. එකල ජවිපෙ සාමාජිකයන් වැඩි වශයෙන්ම සිටියේ ගොවිගම නොවන කුලවල ජනයා වැඩි වශයෙන් ජීවත් වූ ගම්වලය. අද නම් පක්ෂ නායකයන් අතර වැඩිපුරම ඉන්නේ වංශවතුන්ය.

ජවිපෙ ප්‍රචාරය කළ කුල භේදය හා දුප්පත් ධනවත් භේදය නිසා සමාජයේ විශාල පිරිසක් අනුන්ට වෛර කරන පිරිසක් බවට පත්වූහ.

නවක වධය, විශ්වවිද්‍යාලයට අලුතින් එකතු වන සිසුන් ජවිපෙට බඳවාගැනීමේ ආයුධයකි. පක්ෂයට බැඳුණ විට නවක වධයෙන් බේරිය හැකි බව දන්නා සිසුහු ඒ රැලට එක්වෙති. අවසානයේ ඔවුන්ද වධකයන් බවට පත් වේ. නවක වධය කොතරම් නරක තත්වයකට පත්වූයේද යන්න සනාථ වන කරුණු දෙකක් තිබේ.

එකක් නම්, පුහුණුව සඳහා විශ්වවිද්‍යාලයට පැමිණි ගුරුවරුන්ට නවක වධය දීමට තරම් පහත් තත්වයට සිසුන් පත්වීමයි. නවක වධය පිළිබඳව සොයාබැලීමට රජය පත් කළ කොමිසමකදී මේ බව අනාවරණය විය.

අනෙක් කරුණ, නවක සිසුවින් ඉතාම පහත් ආකාරයේ ලිංගික හිංසාවන්ට බඳුන් කිරීමයි.

ජවිපෙ තම අලුත් ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කියන්නේ, නවක වධය තුරන් කිරීමට සාමූහික ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි. සාමූහික ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බව ඔවුන්ට වැටහී ඇත්තේ, දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්වල බලය පෙරටුගාමීන්ට හිමිව ඇති බැවිනි. මේ නොකියා කියන්නේ පෙරටුගාමීන් හා එකතුවීමට ජවිපෙ කැමති බවයි.

විශ්වවිද්‍යාල නවක වධය සමාජයට දෙන පණිවිඩය නම්, අද උගතුන් වශයෙන් සමාජයේ පෙනී සිටින සැලකිය යුතු පිරිසක් ප්‍රචණ්ඩ මානසිකත්වයෙන් යුතු අය හෝ නවක වධයේ පුතිඵල ලෙස මානසික දුර්වලතාවන්ගෙන් පෙළෙන අය වන බවයි.

ජවිපෙ වරක් පාර්ලිමේන්තුවට බෝම්බ ගැසුවේය. ලලිත් ඇතුලත්මුදලි මරණයෙන් බේරුණේ යාන්තමිනි. අරගලය අවස්ථාවේ ඔවුහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ඔහුගේ ආරක්ෂකයා මහපාරේ මරාදැමුවෝය. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසකගේ නිවාස ගිනිතබා විනාශ කළෝය. වත්මන් ජනපති රනිල්ගේ නිවෙසත් ඒ අතර විය. තම ක්‍රමයට පණිවිඩ යවා රට ගිනිබත් කළ හැටි ඔවුහු උදාරම් ලෙස කීහ. ඒ අතර පාර්ලිමේන්තුවට පහරදී විනාශ කිරීමට ගත් උත්සාහ වෙනත් පාර්ශ්වවල විරෝධය නිසා අසාර්ථක විය. එය ඉටු කරගන්නට නොහැකිවීම ගැන ඔවුහු තවමත් කනගාටුව පළ කරති. තමන් රාජ්‍ය දේපළ විනාශ කළේ ඉතා සතුටින් යැයි ලාල් කාන්ත ප්‍රීති ඝෝෂා පවත්වයි. අරගලය සමයේ අනුර දිසානායක තවත් පිරිසක් චණ්ඩි පාට් දමන්නට ගොස් ගුටි නොකා බේරුණේ කඩයකට වැදී දොර වසාගැනීමෙනි.

ජවිපෙ ඉහළ පෙළේ නායකයින් බොහෝ දෙනෙකුට සංයමයෙන් කතාකිරීම අසීරු වන්නට එක් හේතුවක් ඔවුන්ගේ සිත්වල ඇති මේ ප්‍රචණ්ඩත්වයයි. තුවක්කුව, බෝම්බය අතට ගන්නට නොහැකි නිසා ඔවුහු ඒ වෙනුවට අත, කට පාවිච්චි කරති.

භික්ෂුන් වහන්සේලා සිය ව්‍යාපාරයට සම්බන්ධ කරගැනීම හරහා ජවිපෙ සසුනටත් සමාජයටත් සිදු කරන හානිය සුළුපටු නැත. මෙය විශාල ශාසනික කඩාවැටීමකි. භික්ෂු විනය බරපතල ලෙස කඩාවැටෙන්නට ජවිපෙන් සිදුවූ දායකත්වය ඉමහත්ය.

දැන් දැන් බුදන්ට වඩා කාල් මාක්ස්ට ගරු කරන, බෞද්ධ සංස්කෘතියට නින්දා කරන භික්ෂූන් පහළ වීම ජවිපෙ හපන්කමකි.

දශක 6කට අධික කාලයක් පුරා රටේ තරුණ පරපුරේ හා තරුණ භික්ෂු පරපුරේ සැලකිය යුතු පිරිසක් ජවිපෙ මොළ සේදීමට ලක්ව චණ්ඩ මානසිකත්වයෙන් පසුවෙති. ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිකුල්ය.

ඝාතන සංස්කෘතිය තව දුරටත් ඉදිරියට ගෙන යෑමට නොහැකි තැන දැන් ජවිපෙ පාවිච්චි කරන්නේ මානසික ප්‍රචණ්ඩත්වයයි. සිය මතයට විරුද්ධ අයට පන්න පන්නා පහරදීම ජවිපෙ අද පාවිච්චි කරන ප්‍රධාන උපක්‍රමයකි.

‘මාලිමා වේදිකාවට වඩිද්දී චීවරධාරියෝ භික්ෂුන් වහන්සේලා වෙනවා’ යි පසුගියදා මිහින්තලේ විහාරාධිපති හිමියන් කළ ප්‍රකාශය ඊට එක් උදාහරණයකි.

සමාජ ජාලාවන්හි ජවිපෙට හා මාලිමාවට විරුද්ධ අදහස් පළ කරන්නන්ට දරුණු ලෙස නින්දා අපහාස කිරීමේ ප්‍රවණතාවක් කාලයක සිට දකින්නට ලැබුණි. ප්‍රතිවාදී දේශපාලකයන්යට ඉතා දරුණු ලෙස නින්දා අපහාස කිරීමේ සමාජ ජාලා කුලී හමුදා ජවිපෙ යුද අවියක් ලෙස පාවිච්චි කරන්නේ කාලයක පටන්ය.

මේ ප්‍රහාරයනට ලක්වූවන්ගේ මානසික තත්වය එදා 87-89 භීෂණ සමයේ භීතියට පත්වූවන්ගේ මානසිකත්වයට බොහෝ දුරට සමානය.

වැඩිහිටියන්ට එරෙහි මතවාද තරුණයන්ගේ සිත්වල පැලපදියම් කරවීම ජවිපෙ තවත් සටන් උපක්‍රමයකි. ‘වයසක පරම්පරාව ඉන්නකල් නම් රට ගොඩගන්න බෑ’ ‘චමින්දලා දන්න දේශපාලයක් නෑ’ වැනි අදහස් ඇති තරුණ තරුණියෝ බොහෝය.

බලය ලබාගැනීමේ අරමුණින් ජවිපෙ මේ විනාශ කරන්නේ, වැඩිහිටියකු දුටු විට අසුනින් නැගිටින්නට පුරුදු වී සිටි සමාජයකි.

තරුණ පිරිස පමණක් නොව කුඩා දරුවන්ගේද මනස විනාශ කරන්නට ජවිපෙ කටයුතු කරමින් සිටී. වරක් කිසියම් මැයි පෙළපාළියක දරුවකු සමග ගිය පියෙකු ජවිපෙ දැඩි ප්‍රහාරවලට පක් විය. දැන් ජවිපෙ මහ දවාලේම දරුවන් දේශපාලනය සඳහා පාවිච්චි කරමින් සිටී. ජවිපෙ ප්‍රචණ්ඩ දේශපාලනය ඔවුන්ගේ සිත් කවර තැනකට ඇද දමනු ඇතිද?

පසුගිය කාලය පුරාම ජවිපෙ කළේ වෙනත් පක්ෂවල දේශපාලකයන් කෙරෙහි ජනතා සිත් තුළ වෛරයක් ඇති කිරීමයි. ජවිපෙ මේ කරන්නේ, මේ ලිපියේ මුලදී සඳහන් කළ මිනිස් සිතේ සැඟව ඇති ප්‍රචණ්ඩත්වය, පරපීඩක මානසිකත්වය අවදි කිරීමයි. බොහෝ දෙනා අනුන්නේ දොස් විවේචනය කරන්නට කැමතිය. කොතරම් යහපත් කෙනෙකු වුවද සුළු වරදක් කළහොත්, ඒ යහපත්කම් සියල්ල අමතක කොට වරදම උලුප්පා කතා කිරීම බොහෝ දෙනා පෙළඹෙන්නේ මේ මිනිස් ස්වභාවය නිසාය. 87-89 භීෂණ සමයේ ජවිපෙ සාමාජිකයන්ගේ දිවි බේරාගන්නට වෙහෙසුණු ගැළවුම්කාරයා වූ මහින්ද රාජපක්ෂ රාක්ෂයකු කරන්නට එකල දිවි බේරාගත් ජවිපෙ නායකයින්ම කටයුතු කිරීම මෙය පැහැදිලි කිරීමට ඇති හොඳම උදාහරණයයි. මහින්ද හොරකම් කර තිබේ නම් නඩු පවරා ඒවා අය කරගන්නට ශීලාචාර ක්‍රම තිබේ.

ජවිපෙ ඡන්ද දායකයින් ආකර්ශණය කිරීම පාවිච්චි කරන්නේ මේ මිනිස් ස්වභාවයයි. රට විනාශ වූයේ අනෙක් දේශපාලකයින්ගේ වරද නිසා යැයි මතයක් ජවිපෙ කාලයක් තිස්සේ පතුරුවමින් සිටින්නේ ඇයි දැයි ඔබට දැන් වැටහිය යුතුය. රට විනාශ වීමට සෙසු දේශපාලන පක්ෂ තරමටම ජවිපෙද වගකිව යුතු බව පෙර ලිපියෙන් පෙන්වා දී ඇත. අනෙක් දේශපාලකයන් මෙන්ම ඔවුන්ද හොරුය. අඩු බලයක් තිබුණ නිසා ඔවුන් හොරකම් කළේ අඩුවෙනි. වාර්තා වූයේද අඩුවෙනි. මහා වංචාවක් සම්බන්ධයෙන් ජවිපෙ ඉහළ පෙළේ වෘත්තීය සමිති නායකයන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නැයි අධිකරණය නියෝග කළේ පසුගිය සතියේය.

ජවිපෙ හැමදාමත් උත්සාහ කළේ මොන උප්පරවැටිට්යකින් හෝ බලය ලබාගැනීමටයි. දෙවරක් යුද කළ නොහැකි වූ ඔවුහු දැන් මානසික යුද්ධයක් කරමින් සිටිති. මිනිසුන්ගේ සිත් චණ්ඩ ප්‍රචණ්ඩ තත්වයට පත්කරමින් අනෙකුන් කෙරෙහි ද්වේශයෙන් ක්‍රෝධයෙන් බලන්නට ජනතාව පුරුදු පුහුණු කරවමින් සිටිති. බුදු දහමින් ලද ආභාෂයෙන් කරුණාව මෛත්‍රිය උපේක්ෂාව සංයමය වැනි ගුණාංගයන් වගාකරගෙන සිටි ජන සමාජයක් පාඩදකරණයට ලක් කරමින් සිටිති.

ජවිපෙ සමාජයට කරන මේ විපතෙහි සැබෑ ප්‍රතිඵල දකින්නට තව කාලයක් ගත වනු ඇත. මේ මෝදු වන වෛරය ක්‍රෝධය පුපුරා ගොස් මහා විනාශයක් වන අවස්ථාවක් එළඹෙනු ඇත.

මාලිමාවට ඡන්දය දෙන්නට පෙර ඔබ දෙවරක් සිතා බැලිය යුත්තේ ඔබ කරන්නේ උග්‍ර මානසික රෝගීන් පිරිසකට රට භාරදීමට දායකවීමක් බැවිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link