Last Updated on 8 months by admin
කොලට් සේනානායක
නාරද කරුණාතිලක
ජෝසප් ජෙකොබ්ගේ මුල්ම බිඩ්පායි කතා ඉංග්‍රීසි පරිවර්තනයක් – Credit: catawiki.com
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂු භික්ෂුනින් වහන්සේලා බණ කියන හැම විටකම සිය ශාස්තෘන් වහන්සේගේ ධර්මය පැහැදිලි කිරීමට ජාතක කතා ඉදිරිපත් කර තිබේ. බුදු සසුන ලංකාවේ ජීවමානව පවතින නිසා බුදු සසුන රටට පැමිණි පිළිවෙළ සහ රටේ පැතිරුණ ආකාරය පිළිබඳ සියලු ඉතිහාස තොරතුරු අප සතුව පවතී. එ නිසා ජාතක කතා ඉදිරිපත් කරමින් බණ කීමේ ඓතිහාසික සම්ප්‍රදාය ඉතා පහසුවෙන් වටහා ගැනීමට සිංහල බෞද්ධයෙකුට පුළුවන. මේ හැකියාව ඉන්දියාවේ බෞද්ධයකුට නැත. බොහෝ ඉන්දියානුවන් බුදුන් පහළ වූයේ ඉන්දියාවේ බව දන්නා නමුදු ඔවුන්ට බුද්ධාගම ආගන්තුක ආගමකි.
බුදු සසුන පැතිර ගිය හැම භූමියකම ජාතක කතාද පැතිරුණ බව නිසැකවම කීමට පුළුවන. ඊට හේතුව භික්ෂු භික්ෂුණින් වහන්සේලා බණ කියද්දි නොවරදවාම ජාතක කතා භාවිත කිරීමයි. අතීතයේ ග්‍රීක රාජධානිවලටද බුදු දහම පැතිර ගිය නිසා එම රාජධානි තුළ ජාතක කතා පැතිරුණු බව පිළිගැනීමට පුළුවන.
පිතගොරස් (පෛතගොරස්) නමින් හැඳින්වෙන්නේ ග්‍රීක භික්ෂුවක බව පෙර ලිපියකින් විස්තර කරන ලදී. ඒ ගැන යළි සිහි කළොත් සෙමෝස් දිවයිනේ සිට බුදුන් හමුවීමට භාරතයට පැමිණි මෙතුමා තක්ෂිලා විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබා එහිම ආචාර්යවරයකු වශයෙන් කටයුතු කර භික්ෂුවක් වශයෙන් පෙරළා ග්‍රීසියට ගියේය.
වර්තමාන දකුණු ඉතාලියේ කෝට්‍රෝනයේ (පැරණි මැග්නා ග්‍රීසිය) ආරාමයක් තනාගත් එතුමා එය ග්‍රීක තරුණ තරුණියන්ට දැනුම සපයන අධ්‍යාපන පීඨයක් බවට පත්කළේය. පිතගොරස්තුමා ප්‍රසිද්ධ ආචාර්යවරයකු සහ ධර්ම දේශකයකු වශයෙන් කටයුතු කළේය. මෙතුමා ද අනිකුත් බුද්ධ ශ්‍රාවකයින් පරිද්දෙන්, බෞද්ධ සම්ප්‍රදාය අනුව යමින් ධර්මය දේශනා කරද්දී ජාතක කතා භාවිත කළේය.
ග්‍රීසියෙන් බුදු සසුන අතුරුදහන් වූ පසු පිතගොරස් නමින් භික්ෂුවක විසූ බව කාටත් අමතක විය. පිතගොරස් නමැති ගණිතඥයා මෙන්ම ඊසොප් නම් උපමා කතා කී වහලා යන චරිත දෙකම බටහිර උගතුන් ලොවට ඉදිරිපත් කළ කතාන්දර දෙකකි. බටහිර උගතුන් පැවසූ නිසා අපේ බොහෝ උගත්තුද ඒ කතාන්දර කියති. පාසල්, විශ්වවිද්‍යාල සහ ගුරු අභ්‍යාස විද්‍යාලයන්හි බටහිරුන්ගේ කතාන්දර උගන්වති.
අපරගෝයානය වශයෙන් බෞද්ධ පොත පතේ සඳහන් වන භාරතයට බටහිරින් පිහිටි රටවල් වෙත බුදුදහම ගෙනගියේ පිතගොරස් භික්ෂුව පමණක්ම නොවේ. අතීත බෞද්ධ තොරතුරු හෙළිකරමින් එවැනි භික්ෂූන් ගැන තොරතුරු ඉදිරිපත් කරනවාට පවා අකමැත්තෝ සිටිති. භාරතයේ වයඹදිග ප්‍රදේශවල පැවති ග්‍රීක රාජධානි පසු කලෙක තුර්කි ජාතික රජවරුන් අතට පත්විය. මොවුන් ද බෞද්ධ රජවරුන් වශයෙන් බුදු සසුනට විශාල සේවයක් කර තිබේ. බුදු දහම අපරගෝයානයේ වඩාත් ජනප්‍රිය වීමට තුර්කි රජවරුන්ගෙන්ද විශාල මෙහෙයක් සිදු වුණි. මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වූයේ මුස්ලිම් ආක්‍රමණ හේතුවෙනි. තුර්කිය, පර්සියාව, ජයගත් ඉස්ලාම් සේනා වයඹ දිග ඉන්දියාව ආක්‍රමණය කරමින් ඔවුන් ජයගත් භුමි ප්‍රදේශයන්ගෙන් බුදු සසුන අතුරුදන් කළහ. මේ සිදුවීම්වලින් සියවස් කිහිපයක් ගත වූ පසු ඉස්ලාම් කලාපයෙන් බෞද්ධ ශිෂ්ටාචාරය අතුරුදන් වී එහි ජීවත්වන මිනිසුන්ට බුදු දහම අමතක විය.
මධ්‍යතන යුගයේ අරාබි බලය යටපත් කරමින් යුරෝපීය බලය ලොව පැතිර ගිය පසුව මැද පෙරදිග සහ ආසියාවේ භාෂා ශාස්ත්‍රාදිය ගැන සෙවූ උගතුන් පිරිසක් යුරෝපයේ බිහිවූහ. මොවුන් හැඳින්වෙන්නේ ප්‍රාචීන භාෂා ශාස්ත්‍රාදිය ගැන දත් උගත් පඬිවරුන් යන අරුතැ’ති ‘ඔරියන්ටලිස්ට්ස්’ යන නාමයෙනි. සුදු ජාතිකයින් වූ මොවුන් බොහෝ දෙනෙකුට ප්‍රාචීන ලෝකය ගැන සෙවීමට ඔවුන්ගේ රටවලින් සහ වෙළඳ සමාගම්වලින් නොයෙකුත් ආධාර උපකාර ලැබුණි.
මොවුන් මැද පෙරදිග සහ පෙරදිග ගැන නොයෙක් තොරතුරු ප්‍රකාශ කර තිබේ. භාරතයේ බුදු සසුන පිළිබඳ ඉතිහාස කතා බොහෝමයක් පිළියෙල වන්නේ ඉහත කී ප්‍රාචීන ශාස්ත්‍රඥයින් ඉදිරිපත් කළ තොරතුරු ආධාරයෙනි.
ජෝසප් ජෙකොබ් (1854-1916) පෙරදිග තොරතුරු අනාවරණය කරදුන් ප්‍රාචීන ශාස්ත්‍රඥයෙකි. යුදාගමට සම්බන්ධ ජනශ්‍රැතී සොයා ලේඛනගත කිරීම ඔහුගේ මූලික පරමාර්ථය වූයේය. ජේකොබ්ට ග්‍රීසිය, රෝමය, පර්සියාව සහ මැද පෙරදිග රටවලින් සතුන්ගේ උපමා කතා රාශියක් අසන්නට ලැබුණි. මේවා එක් රැස් කළ ජේකොබ් රට රටවල පැතිර පවතින සත්වයින් සම්බන්ධ එක සමාන උපමා කතාවන්හි මුල බෞද්ධ ජාතක කතා යයි සිතුවේය.
ජේකොබ් තමන් රැස් කළ සතුන් පිළිබඳව කියවෙන ජන කතා කොටස් දෙකකට වර්ග කළේය. ඊළඟට මේවා ‘ඊසොප්ගේ කතා’ සහ ‘බිඩ්පායිගේ කතා’ යනුවෙන් වෙන් වෙන්ව මුද්‍රණය කළේය. ඒ පොත්වලට ඔහු ලියූ හැඳින්වීම්වලින් පැහැදිලි වන්නේ ඊසොප් කවුරුන්ද? බිඩ්පායි කවුරුන්ද? යනුවෙන් ප්‍රශ්න දෙකක් ජේකොබ්ට ඇතිවූ බවයි. නමුත් පසුකලෙක ඒ ගැටලු විසඳා ගැනීමට මෙන්ම යුදෙව්වවන් අතර පැවති ඇතැම් බෞද්ධ කතා සොයා ගැනීමටද ජේකොබ්ට හැකි විය.
මේ ඔහු ඇසු යුදෙව් ජන කතාවකි.
එක්තරා වනාන්තරයක තාපසයෙක් හිටිය. අවිවාහක ජීවිතයක් ගත කළ මොහු සමග රැළෙන් වෙන් වී ජීවත්වූ වලහෙක් මිත්‍ර වුණා. ගල්ගුහාවක එකට වාසය කරන්ඩ තරම් ඔවුන්ගේ මිත්‍රත්වය තහවුරු වුණා. දවසක් තාපසයා දවල් ආහාරය ගෙන ටිකක් නිදාගත්ත. ඔහුගේ මුහුණේ මැස්සෙක් වසා සිටින බව වලහා දැක්ක. කීප වරක්ම මැස්සා එළවා දැමූ නමුත් ඌ ආයෙ ආයෙත් ඇවිත් තාපසයාගේ මුහුණේම වහපු නිසා වලහාට තරහ ආව. ඌ අසල තිබු ලොකු ගල උස්සගෙන ඇවිත් තාපසයගෙ නහයෙ වහලා හිටි මැස්සව යට වෙන්ඩ අත ඇරිය. මැස්සයි තාපසයයි දෙන්නම මිය ගියා.
මීට ඉතා සමාන කතාවක් සිංහලයන් අතර ද පවතී. ඒ කතාවේ වලහා වෙනුවට වඳුරෙක් සහ තාපසයා වෙනුවට රජෙක් සිටී. රජතුමා නින්දට ගිය අතර ඔහු ළඟ සිටි වඳුරු ආරක්ෂකයා මැස්සා රජුට කරදර කරන බව දැක රජතුමාගේ කඩුව ගෙන මැස්සාට කෙටුවේය. මැස්සා ඉගිලුණි. රජු කඩු පහරින් මිය ගියේය. කොච්චර හිතවත් වුණත් මෝඩ මිත්‍රයින් ආශ්‍රය කිරීම විනාශයට කාරණාවක් බව ඒ උපමා කතාවෙන් කියවේ.
ජේකොබ් ඇමෙරිකාවේ පදිංචියට පැමිණි අතර ඔහුගේ ලියවිලි බොහෝමයක මුල් පිටපත් ඇමෙරිකාවේ සුරක්ෂිතව පවතී. ඊසොප්ගේ උපමා කතා පිළිබඳ වැඩි විස්තර සොයන්නන්ට ජේකොබ්ගේ ලිපි ලේඛනවලින් ගත හැකි ප්‍රයෝජනය මෙතෙකැයි කිව නොහැක. ජේකොබ් හැරුන විට ඊසොප්ගේ සහ බිඩ්පායිගේ උපමා කතා ගැන සෙවූ ‘ඔරියන්ටලිස්ට්ලා’ විශාල පිරිසක් සිටිති. ඔවුන්ගේ උනන්දුව නිසා මේ කතා හෑම යුරෝපීය භාෂාවකටම පාහේ පරිවර්තනය වී තිබේ. සිංහල ජාතක පොත සකස් වී ඇත්තේ පාලි ජාතක කතා පරිවර්තනයක් ලෙසිනි. ඊට බොහෝ කාලයකට පෙර බෞද්ධ ජාතක කතා සංස්කෘත භාෂාවෙන් පැවතී ඇත. හින්දු බ්‍රාහ්මණයින් පංචතන්ත්‍රය සකස් කර ඇත්තේ සංස්කෘත ජාතක පොත ඇසුරෙනි. පංචතන්ත්‍රය බෞද්ධ ජාතක කතාවලට වඩා පැරණි යයි කියන්නෝ ද සිටිති. පංචතන්ත්‍රයේ පැරණි පිටපත් සියල්ලක්ම විනාශ වී ඇතැයි කියනවා හැර එය ජාතක කතාවලට වඩා පැරණි බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඔවුන්ගෙන් ඉදිරිපත් වී නැත.
පංචතන්ත්‍රය සතුන්ගේ කතා අඩංගු ග්‍රන්ථයකි. එයින් කෙරෙන්නේ සතුන්ගේ කතා ආදර්ශයට දක්වමින් උපදේශ සැපයීමයි. එහි සඳහන් වන ලෙසට මහිලාරෝපයේ විසූ අමරශක්ති රජුගේ විෂ්ණුවර්මන් නමැති පුරෝහිත බ්‍රාහ්මණයා රජුගේ අට හැවිරිදි පුත්‍ර කුමාරයාට මේ කතා කියා දෙමින් ඔහුගේ දැනුම දියුණු කළේය. පංචතන්ත්‍රය සහ ජාතක පොත සන්සන්දනය කරන්නන් වැඩි දෙනෙකු ජාතක කතාවලින් කෙරෙන්නේ උපදේශ සැපයීම යයි සඳහන් කර ඇත. මෙය සාවද්‍ය අදහසකි.
ජාතක කතාවල අඩංගු ඇතැම් සතුන්ගේ කතාවලින් උපදෙස් දීමට අමතරව ලෝක ස්වභාවය පැහැදිලි කිරීම ද සිදුකෙරේ. ඇතැම් සතුන්ට අදහස් ප්‍රකාශ කිරීමට හැකි බව වටහා ගැනීමට විද්‍යා පර්යේෂණ වාර්තා කියවීමට අවශ්‍ය නොවේ. ඕනෑම පුද්ගලයෙකුට තමා අවට ජීවත් වන සතුන් නිරීක්ෂණය කිරීමෙන් මේ යථාර්ථය වටහා ගැනීමට පුළුවන. පුනර්භවය වටහා ගැනීමට නම් ඊට වඩා දියුණු බුද්ධියක් අවශ්‍ය කෙරේ.
ඇලෙක්සැන්ද්‍රියා පුස්තකාලය භාරතයෙන් පිටත ඉහත කී සියලුම පොත් ආරක්ෂා වූ ස්ථානයකි. එම පුස්තකාලය පිහිටුවූ ඇලෙක්සැන්දර් අධිරාජයා ඊට පොත් එවන්නැයි ලෝකයේ රට රටවල නායකයින්ගෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව විවිධ රටවලින් පොත් ලැබුණි. සිංහල දේශයෙන්ද ජාතක පොතේ පිටපතක් යැවුණු බවට වාර්තා තිබේ. ඇලෙක්සැන්ද්‍රියා පුස්තකාලය, ඊජිප්තියානු, ග්‍රීක, රෝම, තුර්කි, සිරියානු, යුදෙව්, අරාබි ආදී ලෝකයේ විවිධ රටවලට අයත් විද්වතුන් පැමිණි ස්ථානයකි.
ඓතිහාසික තොරතුරු ඉදිරිපත් කරන්නවුන් පෙන්වා දෙන ලෙසට ඇලෙක්සන්ද්‍රියා පුස්තකාලය ගොඩනැංවීමට මූලිකව කටයුතු කළ පුද්ගලයකු වශයෙන් ප්‍රසිද්ධ ඩිමෙටි්‍රයස් පැලරියස් ක්‍රි. පු. 300 දී පමණ ඊසොප්ගේ උපමා කතා එක්කොට විශේෂ විරිතකට (Choliambic Verse) කාව්‍ය සංග්‍රහයක් සකස් කළේ ය. එහි කතා දෙසිය තිස් එකක් අඩංගු විය. ඩිමෙටි්‍රයස්ගේ ග්‍රන්ථය ඇලෙක්සන්ද්‍රියානු වාග් විද්‍යාඥයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූයේ ය. ඩිමෙටි්‍රයස් භාවිත කළ කාව්‍ය සම්ප්‍රදාය ඊසොප් උපමා කතා පිළිබඳ අධ්‍යයනයේ දී අතිශය වැදගත් ස්ථානයක් ගනී. දිගු කතාන්දර කෙටිකර විශේෂ විරිත් අනුව ඉදිරිපත් කිරීම මේ කාව්‍ය සම්ප්‍රදායේ විශේෂ ලක්ෂණයක් වූ බැවිනි. ‘කොලියම්බික් සම්ප්‍රදාය’ ග්‍රීකයන් දැන සිටි දිග කතා, කුඩා උපමා කතා බවට පත්වීමේ තීරණාත්මක අවස්ථාවකි.
ක්‍රි. ව. 40 දී ජුලියස් පිර්දුස් නමැති කවියෙක් ඉන් කතා කිහිපයක් ග්‍රීක කොලියම්බික් සම්ප්‍රදායයේ පිහිටා ලතින් භාෂාවෙන් කවියට නැඟුවේය. පිර්දුස්, ඔගස්ටස් අධිරාජයාගේ කාලයේ රෝමවරුන්ට යටත්ව තිබූ ග්‍රීක නුවරක් වූ ටිබේරියස්හි විසූ ග්‍රීකයෙකි. දෙවන සියවසේ ජීවත් වූ බවට අනුමාන කෙරෙන බැබ්රියස් නමැත්තා ඩිමෙට්‍රියස්ගේ මූලාශ්‍රය සහ ලංකාවෙන් ඇලෙක්සන්ද්‍රියානු පුස්තකාලය වෙත යවන ලද ජාතක කතා ආධාර කරගෙන ඊසොප්ගේ උපමා කතා 42ක් කවියට නඟා ඇත. ඉග්නේෂස් දියෝක්නුස් ඊසොප්ගේ කතා 53ක් ග්‍රීක භාෂාවට පෙරළා කාව්‍ය සංග්‍රහයක් සකස් කළේය. ප්ලේනුදෙස් මැක්සිමස් ඊසොප් කතා 144කින් යුත් සංග්‍රහයක් ලතින් බසින් පිළියෙල කර තිබේ. ඔහුගේ කතා සංග්‍රහයට ඊසොප්ගේ චරිතාපදානයක් ද අඩංගු විය.ඊසොප්ගේ කතා ලතින් හා ග්‍රීක භාෂාවලින් කාව්‍යයට නැඟූ හැම පරිවර්තකයකු ම ඒ කතා පරිවර්තනය කර ඇත්තේ තමන් කැමැති පරිදි ඒ කතා වෙනස් කරමින් බව මෙහි දී සැලකිල්ලට ගත යුතු ය. ඉහත සඳහන් කෙරුණු ඊසෝප් කතා ලතින් බසට පෙරළුෑ ජුලියස් පිර්දුස් කවියා ජනප්‍රියත්වයට පත්වූයේ පසු කලක දී ය. 17 වෙනි සියවසේ එංගලන්තයේ විසූ ශ්‍රීමත් විලියම් ටෙම්පල්, ඊසොප් සහ පැලරියස් පිළිබඳව සඳහන් කරමින් පළ කළ විවේචන සංග්‍රහය ඊට හේතුව යි.
මෙහිදී සඳහන් කළ යුතු වැදගත්ම කාරණය ඊසොප් කතා ඇසුරින් නව නිර්මාණ කළ ලේඛකයින් සතුන් උපමාවට යොදාගෙන ලියන කතා සහ පරිවර්තන ‘බෝධිසත්ව කතා’ වශයෙන් සඳහන් කිරීමයි. ‘බෝධිසත්ව’ යන්න ග්‍රීක භාෂාවට ‘ඊසොප්’ වූ පරිද්දෙන් අරාබින් ‘බිඞ්බා’, සිරියානුවන් ‘බිඞ්පා’, පර්සියාවුන් ‘බිඩ්පායි’ ආදී වශයෙන් බෝධිසත්ව යන්න ඒ ඒ භාෂා ව්‍යවහාරයන්ට ගැළපෙන ආකාරයට සකස්කර ගන්නා ලදී.
මේ රටවල් ගණනාවක භාෂා ගණනාවකින් ලියවුණ බිඩ්පායි කතාවක සැකිල්ලකි.
ලී ඉරන මිනිස්සු දෙන්නෙක් වනාන්තරයක් අසල ඉරුම් පට්ටලයක් හදාගෙන ලී ඉරමින් හිටිය. ඔවුන් එක දවසක ලී කඳක් පට්ටලය උඩට නංවා ඉරමින් සිටින අතර හදිසි වුවමනාවක් නිසා එතනින් පිටව ගියා. මොවුන් දෙස බලගෙන සිටි එක්තරා වඳුරෙක් එතැනට පැමිණ ලී කඳ උඩ වාඩිවී ලී ඉරන්නන් සවිකර තිබුණු කූඤ්ඤයක් ඇද්ද. උගේ වල්ගය, ඉරමින් තිබුණු ලී කඳ අතරින් පහළට වැටී තිබුණ අතර කුඤ්ඤය ගැලවුණ සැණින් වඳුරාගේ වල්ගය ලී කඳට හසුවුනා. ඉරුම් කට්ටලය වෙත පැමිණි ලී ඉරන්නන්ට වලිගය හිරකරගෙන අධික වේදනාවෙන් දඟලන වඳුරා දක්නට ලැබුණි.
ප්‍රාචීන ශාස්ත්‍රඥයින් (ඔරියන්ටලිස්ට්) විශාල පිරිසකට ‘බිඩ්පායි’ කවුරුන්දැයි ප්‍රහේලිකාවක් මතුවුණි. මෙවැනි නමක් ඇති ආචාර්යවරයකු ගැන තොරතුරු අඩංගු කිසිම ඓතිහාසික ලියවිල්ලකින් ඔවුන්ට සොයා ගැනීමට නොහැකිවීම ඊට හේතුවයි. එමනිසා ඔවුන් බිඩ්පායි කවුරුන්දැයි කීමට විවිධ අදහස් ප්‍රකාශ කරන්නට වූහ. ආචාර්යතුමා නැතිනම් පඬිතුමා යන අරුතැති වචනයක් යයි සමහරු කීහ. විද්‍යාපති යන අර්ථය එහි ඇතැයි තවත් සමහරු කීහ. අපගේ උගතුන් වැඩි පිරිසක් කරන්නේ යුරෝපීය උගතුන් කී ඒ කතා ඉදිරිපත් කරමින් රැළේ යෑමයි. ඊසොප් මෙන්ම බිඩ්පායි කෙනෙකුද අපගේ දැනුම අතරට ඇතුළු වී සිටීම ඒ රැළේ යාමේ විපාකයකි.
දෙවන සියවසේ ජීවත් වූ බවට අනුමාන කෙරෙන බැබ්රියස් නමැත්තා ඩිමෙට්‍රියස්ගේ මූලාශ්‍රය සහ ලංකාවෙන් ඇලෙක්සන්ද්‍රියානු පුස්තකාලය වෙත යවන ලද ජාතක කතා ආධාර කරගෙන ඊසොප්ගේ උපමා කතා 42ක් කවියට නඟා ඇත. 2018 නොවැම්බර් 11