Last Updated on 20 hours by admin
කොලට් සේනානායක
නාරද කරුණාතිලක

Pic. credit: wisdom winds
බුදු සසුන කාලයෙන් කාලයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ, සංශෝධන ඉදිරිපත් කරමින් පවත්වා ගෙන එනු ලබන්නකි. අෂ්ට ගරුධර්ම භික්ෂු භික්ෂුණීන් අතර ඇති විය හැකි අනවශ්‍ය සම්බන්ධකම් වැළැක්වීමට කටයුතු කිරීමට ගත් උත්සාහයක් විය යුතුයි. එසේ පැවසීමට හේතුව භික්ෂූන් හා භික්ෂුණීන් එකම විහාරයේ විසූ බවට අතීත තොරතුරු පවතින හෙයිනි. මිහිඳු හිමියන් ලංකා ගමන ඇරඹූ සාංචිය යනු භික්ෂු භික්ෂුණී දෙපාර්ශ්වයම වැඩ විසූ විහාරයකි. අශෝක රාජයාගේ කාලයේ සිංහල දේශයේ කාන්තාවන් පැවිදි කිරීම ඇරඹුණි. ඒ සංඝමිත්තා තෙරණිය ප්‍රධන භික්ෂුණීන් වහන්සේ පිරිසක් සාංචි විහාරයේ සිට මෙහි වැඩම කිරීමෙන් පසුවයි.
මහායානික යැයි පැවසූ පූජා විධි ථෙරවාදී සසුනට එකතු කරගැනීම අවස්ථා ගණනාවක දී සිදු වී ඇත. ශීත කලාපයේ වැඩ විසූ භික්ෂු – භික්ෂුණියෝ ඝණ පාවහන් පළඳින්නට වූහ. දෙවුර වැසෙන සේ සිවුරු පොරවන්නට ගත්හ. විෂ්ණු, බුදුන්ගේ ආරක්ෂකයා කර සිංහල විහාරයට කැඳවීම තවත් නිදසුනකි. ඒ ප්‍රතිසංස්කරණ සියල්ලේම අරමුණ වැඩි වැඩියෙන් දායක දායිකාවන් සම්බන්ධ කරගෙන බෞද්ධ ලෝකය පවත්වාගෙන යාමයි.
අද ඇත්තේ එදා පැවති ලෝකය නොවේ. බෞද්ධයන් කඩුගාන්නන් නැති නමුදු, බෞද්ධ විරෝධීන් පතුරුවන විවිධකාර මතවාද නිසාද සමාජය කලබලයට පත් වෙයි. මේ හැම දෙයකින්ම පෙනෙන්නේ ශාසන ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවයි. භික්ෂුණීභාවය පිළිගන්නැයි ඉල්ලා අධිකරණයට යෑම, අවශ්‍ය කලට ශාසන සංශෝධන ඉදිරිපත් නොවීමේ ප්‍රතිපලයකි.
ඉන්දියාවේ ජෛන ආගමේ ප්‍රතිසංස්කරණ සිදු වී තිබේ. සිය ශාස්තෘවරයා ජලය අපවිත්‍ර වන දෙයක් නොකරන ලෙස අවවාද කර ඇතැයි පවසමින් ජලමුද්‍රිත වැසිකිළි පාවිච්චියෙන් වැළකී සිටි පරිබ්‍රාජකයෝ දැන් එවැනි වැසිකිළි භාවිත කරති.
බ්‍රාහ්මණ දහම සමග සංසන්දනය කරන විට මහාවීරයන් (නිගණ්ඨනාථපුත්ත) දේශනා කරන්නේ අතිශයින් ගැඹුරු විප්ලවකාරී දහමකි. උන්වහන්සේ, පිරිමි මැවුම්කරුවෙකු ගැන ඉගැන්වූ නිර්මාණවාදය ළාමක ඇදහීමක් බව පෙන්වති. මහාවීරයන් පිහිටුවූ ජෛන සසුනේ කාන්තාවන්ට පැවිදි වීමට හැකි විය. ජෛන සසුනට බ්‍රාහ්මණ අදහස් රිංගීම මහාවීරයන්ගේ අභාවයෙන් කලකට පසුව සිදු වූවකි. මෙය බුදුසසුනට ද සිදු විය.
පරෂුර්ම, ජානකීගේ කුසෙන් උපන් ‘දේව’ පුත්‍රයෙකි. ඔහු විෂ්ණුගේ දස අවතාරයෙන් සය වැන්නයි. පරෂුර්මගේ පියා වූ ජමදග්නි බමුණාට සිය බිරියට අනියම් සම්බන්ධයක් ඇතැයි සැකයක් ඇති විය. ජානකී උදේ දියනෑමට ගඟට ගිය විට හිරු සමග හැසිරේ යයි සිතූ බමුණා ‘අම්මාව මර දමන්නැ’යි කීවෙන් පරෂුර්ම කෙටේරියකින් ගසා අම්මාව මරා දැම්මේය.
මෙය කාන්තාව අවමානයට පත් කෙරෙන ආගමික කතාවකි. මෙවැනි කතා අසන්නන්ගේ මොළ දූෂණය වන බව බොහෝ දෙනාට නොවැටහේ. තම අඹුව සූර්යා සමග අනාචාරයේ හැසිරේ යැයි කිසිදු මනුස්සයෙක් නොසිතයි. එහෙත් ජමදග්නි බමුණු ඍෂිවරයා එසේ සිතුවේය. හින්දු බැතිමත්තු මේ කතාව පිළිගනිති. ස්ත්‍රිය පුරුෂයා පවට පොළඔවන බව බයිබලයේද සඳහන් වේ. ඕස්ටේරලියාවේ වෙසෙන ප්‍රසිද්ධ ඉස්ලාම් ඉමාම්වරයෙක්, හිස්වැසුම නැතිව පාරට බසින කන්තාව නොවැසූ මස් කුට්ටියක් ලෙස හැඳින්වීම සමාජය කැළඹූ කතාවක් විය.
යුදෙව් ආගම මැවුම්කාරයෙකු පිළිගනියි. යුදෙව් බයිබලයේ හැටියට කාන්තාව වරදකාරියක් වෙන්නේ යොහොවා මැවු පළමුවෙනි ස්ත්‍රිය එතුමාගේ අණට අකීකරුව පුරුෂයා ඇගේ අදහසට නම්මවාගත් බැවිනි ඒ මූලධර්මය ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් ද පිළිගනිති. යුරෝපයේ චින්තන විප්ලවයක් ඇති විය. එහෙත් ක්‍රිස්තියානි කාන්තාවෝ හිස, මුහුණ වසන වේල් රෙද්ද ඇතිව පූජාවට යති. මෙය අලුත් ගිවිසුමේ ඇති, පෝල්ගේ නියමයක් අනුව සිදු වන්නකි. ’උඹලාගේ හිසකෙස් කැත කරගනිල්ලා. නැතිනම් වසා ගනිල්ලා’ යැයි පෝල් අණ කරයි. ලංකාවේ කිතුණු කාන්තාවන් අතරද දැකිය හැකි මෙය කාන්තාවගේ සිරුර වැසීමේ පෙර සිරිතේ නෂ්ටාවශේෂයකි.
කුණ්ඩලකේශී ජෛන සසුනේ ඉතා ප්‍රබල පරිබ්‍රාජිකාවකි. එතුමිය සැරියුත් හිමියන් සමග කළ වාදයෙන් පසු බුදුන් සොයා ගියාය. බුදුන් වහන්සේ ඇය මහණ කිරීමට අදිමදි නොකළහ. අෂ්ඨගරු ධර්ම නමින් දෙයක් පැනවූයේ නැත. පැවිදි වූ කුණ්ඩලකේශිය කාලයක්ම ගිජ්ජකූටයේ විසූහ. එවැනි උදාහරණ තවත් තිබේ. මෙවැනි පිරිසුදු ඉතිහාසයක් තිබියදී භික්ෂුණිය උපසම්පදාවෙන් කොතරම් ජ්‍යෙෂ්ඨ වුවත් එක් දිනයකට පෙර උපසම්පදා වූ භික්ෂුවක ඉදිරියේ පවා ආසනයෙන් නැගී ගෞරව දැක්විය යුතු යයි බුදුන් වදාළ බව පැවසීම බුදුන්ට කරන අගෞරවයකි. බුදුසසුනේ පැවිදි වූ ස්ත්‍රියකට භික්ෂුණිය යැයි නොකියා සිල්මාතාව යැයි කීම අශීලාචාර ක්‍රියාවකි.
එම නිසා ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කරමින් භික්ෂුණී භාවය පිළිගැනීම කාගේත් අවධානයට ලක් විය යුතු සිද්ධියකි. එයින් වේදනාවට පත් වූවෝ සිටිති. ‘ශ්‍රේෂ්ඨාධිකරණයට භික්ෂූන්ගේ උපදෙස් ගෙන භික්ෂුණියක වන්නට අවශ්‍ය සුදුසුකම් මොනවාද කියා සොයා බලන්නට තිබුණා’ යන්න එවැන්නන්ගේ හඬකි. නමුත්, භික්ෂුණී හැඳින්වීම ඉල්ලා ගොනු කර තිබුණු පෙත්සමට විරෝධය පළ කර එය වළක්වන්නට කිසිවකු ඉදිරිපත් වූයේ නැත. මෙහිදී මතුව ඇති විරෝධතාවේ සැබෑ පදනම, ශාසනික තීන්දු ගැනීමට අධිකරණයට බලයක් තිබේද යන්නයි. මෙය ඉතා සැලකිල්ලෙන් විමර්ශනය කළ යුතු කාරණයකි.
බෞද්ධ ඉතිහාසයට අනුව බුදුසසුනේ කාන්තාවන් පැවිදි කිරීම වටිනා ඓතිහාසික සිද්ධියකි. ආනන්ද හිමියෝ ඒ සඳහා බොහෝ වෙහෙසුනහ. පැවිදි වූ කාන්තාවන් මෙහෙණි සස්න මැයෙන් වෙනම ආයතනයක් පිහිටුවා ගෙන නැත. සඟ සසුන්, මෙහෙණි සසුන් පසුකාලීන නිපදවීම් මිස බුදුන්ගේ කාලයේ දේ නොවේ. බුද්ධ ශාසනය නම් ‘නවාංග ශාස්තෘ ශාසනය’ නමින් හැඳින්වේ. ඒ අංග නවය, සුත්ත, ග්‍යෙය, වෙය්යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යනුයි. මේ සියල්ලම බුද්ධ දේශනාවලට සම්බන්ධය. ශාසන යන වචනය, දේශනාව, උපදේශය, අවවාදය, අනුශාසනාව, ආඥාව, අණ, නියෝගය, ශාස්තෘවරයකුගේ ප්‍රතිපත්ති ඇතුළත් ධර්මය වැනි තේරුම් ඇත්තකි. එසේ බැලූ විට, භික්ෂු ශාසනය, භික්ෂුණි ශාසනය වැනි යෙදුම්වල අර්ථයක් නැත. ඒවා පාරිභාෂිත යෙදුම් පමණි.
සිංහලේ රට භික්ෂුණීන් වහන්සේගෙන් හිස් වන්නට ප්‍රධාන හේතුව රට චෝල ආධිපත්‍යයට යට වීමයි. බ්‍රාහ්මණ (හින්දු) ධර්මය පැතිරවූ චෝල පාලකයන් අනුමත කළ නිර්මාණවාදය යටතේ කාන්තාවන්ට භික්ෂුණීන් විය නොහැකිය. ඊට හේතුව නිර්මාණය කරන්නා (මැවුම්කරුවා) හැම විටම පුරුෂයෙකු වීමයි. චෝල පාලනයට යට වූ සිංහලේත් එය සිදු විය. ලක්දිව බුදුසසුන සමග සිංහල මනස වෙනස් කිරීමට චෝල පාලකයින්ට හැකි විය.
දඹුල්ල සංඝ සභාව ගැන මෙහිදී සඳහන් කළ යුත්තේ එය භික්ෂු ආයතනයක් වශයෙන් භික්ෂුණීන් බිහි කිරීමට බලවත් උත්සාහයක් දැරූ බැවිනි. ඊට බොහෝ බාධක ඇති විය. බොහෝ භික්ෂූහු කාන්තාවන් මහණ කිරීමට විරුද්ධ වූහ. කාන්තාවන් පැවිදි කරන්නට යාමෙන් ආයාසයෙන් රැකගන්නා සසුන අභාවයට යතැයි සමහර භික්ෂුණ් වහන්සේලාට සිතුණි. මිය ගිය දේහයකට යළි පණ දිය නොහැකැයි කී සමහර හිමිවරු බුදු සසුනේ පැවිදි වන කාන්තාවන්ට සිල්මෑණිවරුන් යැයි කියමින් නින්දා කළහ. උන්වහන්සේ අමනාප කරගන්නට දේශපාලනඥයින් කැමති වූයේ නැත. මේ නිසා බුදු සසුනේ පැවිදි වන කාන්තාවකට භික්ෂුණියක ලෙස ජාතික හැඳුනුම්පතක් ලබාගත නොහැකි විය. විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට ඉඩක් නොලැබුණි. ජාත්‍යන්තර නීතිවලට අනුව මෙවැනි ක්‍රියා සැලකෙන්නේ කාන්තා මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ලෙසිනි.
බීබීසීය පසුගිය කාලයේ අවස්ථා ගණනාවක දී බුදු දහමේ අඳුරු පැත්තක් ඇතැයි ලෝකය දැනුවත් කිරීමට වෙහෙස දැරුවේය. සීඑන්එන් ප්‍රවෘත්ති ආයතනය, යුදකාමී බෞද්ධ භික්ෂූන් ඇතැයි කියැවෙන වාර්තා චිත්‍රපටි විකාශනය කළේය. බුරුමයේ චිරතු හිමියන්ගේ ඡායාරූපයක් මුල් පිටුවේ පළ කරමින්, භික්ෂුව ත්‍රස්තවාදයට සම්බන්ධ බව පෙන්වීමට ටයිම් සඟරාව වෙහෙසුණි. ඇතැම් විදේශීය මාධ්‍ය ආයතනවලට, උක්ත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලංකාවේ බුදු සසුනට පහර දීමට අපූරු මාතෘකාවක් විය. ත්‍රෛනිකායික නායක හිමිවරුන් අපකීර්තියට ලක්කිරීමකුත් ඒ ක්‍රියාව නිසා සිදු වේ.
ලංකාව කාන්තාවගේ ගෞරවය හා නිදහස ආරක්ෂා කළ රටකි. බ්‍රිතාන්‍යයට යටත් වූ නමුදු පශ්චාත් යටත් විජිත සමයේ ආරම්භ වූ ගැහැණු දරුවන්ගේ පාසල්, අනුලා, සංඝමිත්තා, විශෘඛා වැනි මෙහෙණින් වහන්සේ නමින් පවත්වා ගෙන යෑමට තරම් දැනුමක් සිංහලයන්ට තිබුණි. කතෝලිකයන් ශාන්තුවරියන්ගේ නම්වලින් ගැහැණු පාසල් අරඹෙන්නේ බෞද්ධයන් අනුකරණය කරමිනි. මදර් තෙරේසා කරුණාවේ මාතාව වශයෙන් ඉන්දියාවේ ප්‍රචාරය වී ඇත. එය තාරා බෝසත්වරියගේ චරිතය අනුකරණය කිරීමකි.
දෙමළ සාහිත්‍යයට අයත් මහාකාව්‍ය පහක් තිබේ. එයින් එකක් වූ කුණ්ඩලකේශී කාව්‍යය ලියැවී ඇත්තේ දකුණු ඉන්දියාවේ විසූ භික්ෂුණියක මුල් කරගෙනය. සිලප්පාදිකාරම් කාව්‍යයේ ප්‍රධාන චරිතය කන්නගී මෙහෙණවරකට ඇතුළු වූ බව කියැවේ. මණිමේඛලායි කාව්‍යයේ සඳහන් මණිමේඛලායි, බෞද්ධ දේවතාවියකි. (දෙමළ, දමිළ, ද්‍රවිඩ යන වචන සැදී ඇත්තේ ‘ධම්ම’ යන වචනයෙන් යයි අදහසක් ද පවතී)
යටගිය භික්ෂුණී ඉතිහාසය යළි මතු කිරීමට වැඩි ශක්තිය ඇත්තේ පුරාවිද්‍යාඥයින්ට හෝ ඉතිහාසකරුවන්ට හෝ නොව භික්ෂුණීන් වහන්සේටය. භික්ෂුණීන් නැති තැන සිව්වනක් පිරිස නැත. එයින් ශාසනය ඉදිරියට ගෙන යෑමේ ශක්තිය ද අඩු වේ.
බුදු සසුන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් ප්‍රචලිත වූ දහමකි. කතෝලික සභාවද ඒ මග ගිය ආගමික සංවිධානයකි. අතීත කතෝලික සභාව පිළිම වන්දනාව අපරාධයක් වශයෙන් සැලකීය. පිළිම හා පිළිම වන්දනාකරුවන් විනාශ කිරීම කතෝලික පූජකවරුන්ගේ ප්‍රතිපත්තිය විය. කාන්තාවන් පිදීම ඔවුන්ගේ සිරිතක් නොවීය. පසුව ඔවුහු එය වෙනස් කර දේවස්ථාන තුළ පිළිම හදන්නට ගත්හ. තාරා බෝසත්වරිය වන්දනාව අනුකරණය කරමින් මඩු මාතා, ජපමාල මාතා, සින්දාත්‍රියේ මාතා, ආදි නම්වලින් මරියා වන්දනාව ඇරඹූහ.
ලෝකයේ භික්ෂුණීන් වහන්සේ නැත්තේය යන්න භික්ෂූන් පිරිසකගේ තර්කයකි. භික්ෂුණ් වහන්සේට කාන්තාවන් මහණ කිරීමට නොහැකි බව එසේ තර්ක කරන්නන්ගේ අදහසකි. චීනයේ භික්ෂුණි ශාසනය පිහිටුවූයේ සිංහල භික්ෂුණීන් වහන්සේලා බවත් චීනයේ තවමත් භික්ෂුණීන් වහන්සේ සිටින බවත් ඊට ප්‍රතිතර්කයකි. මේවායේ ඇත්ත නැත්ත කුමක් වෙතත් කාන්තාවන්ට පැවිදි වීමට මඟ පාදාදීම හා නොදීම බුද්ධ ධර්මය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ.
භික්ෂු භික්ෂුණී විනය කලින් කලට වෙනස් වී ඇත. ලංකාවේ කාන්තාවන්ගේ පැවිදිවීම පිළිබඳ ඉතිහාස වාර්තා තිබේ. කිසිදු ඉතිහාස වාර්තාවක් නැති භික්ෂුණියන් පිළිබඳ තොරතුරු විදේශ රටවල ඇත. කුණ්ඩලකේශී දෙමළ මහා කාව්‍යයේ සඳහන් කුණ්ඩලකේශී භික්ෂුණියගේ චරිතය නිදසුනකි.