මාමාට ලියුමක්

Last Updated on 5 months by admin

මම දැන් ඉස්සර වගේ හැමදාම රචනා නොලියන නිසා මට අකුරු අමතක වේවියි මාමාට දරුණු බයක් ඇතිවී තිබේ. මාමා බය නොකරන ලෙස අම්මාද මට කීපවතාවක්ම කීවාය. මාමා බයවූ විට මාමාට අපස්මාරය හැදෙනවා යැයි ලොකුඅම්මාද මට දැන්වූවාය. ඒ අනුව අපේ මාමා පව්ය. මම අපේ මාමා ගැන රචනාවක් මේ දැන්ම ලියමි. කරුණු අමතක වීමට පෙර ඉක්මණින්ම ලියා ඉවර කළ යුතුය.

මගේ විතරක් නොවේ මාමා අපේ නන්ගිගේද මල්ලිගේද අයියාගේද අක්කාගේද මාමාය. අපේ අම්මා කියන්නේ මාමා ඇගේ එකම සොහොයුරා බවය. අපේ අම්මා කොපි කළ ලොකු අම්මා කියන්නේත් මාමා ඇගේද එකම සොහොයුරා බවය. ඒත් මාමා කියන්නේ ඒ දෙන්නම තමාගේ සහෝදරියන් නොවේ කියාය.ඒ දෙදෙනාම එක පෑන් ඉරෙන් සහෝදරීකමෙන් අයින් කළා කියාය. ඒ, ඒ දෙන්නා මාමාගේ අකලන්ක පවිත්‍ර පිවිතුරු පළමු පෙම බ්ඳ දමන්නට මූලික වූ නිසාලුය.

ඒකෙන් වුණේ මාමාට දැන් ඉන්න නැන්දම්මා ලැබීමය. කරුමෙට ඒ නැන්දම්මාවත් මල්ලිකාලගේ නෑයෙක් නොවේය. මාමා කියන විදිහට ඇගේ කට දිගය. ඇයට මාමා ගෞරවයට කියන්නේ ඩෙන්ගු වයලා කියාය. ඒ, ඒ නැන්දම්මාට දවසක්දා ඩෙන්ගු හැදිලා ඇති නිසාය. ඒ වුණාට අපේ අම්මාද ලොකු අම්මාද ඇයට ආදරය නිසා කියන්නේ අටපට්ටම කියාය. ඒ ඇයි දැයි අපේ තාත්තා තියා දෙයියෝවත් දන්නේ නැත.

මාමාගේ අවාසනාවට නැන්දාට නන්ගිලා නැත. ඉන්නේ මල්ලිලා රොත්තකි. මට කවදාවත් ඒ මල්ලිලා ගාණ මතක හිටින්නේ නැත. සමහර විට හත් අට දෙනෙක් ඉන්නවා විය යුතුය.

තාත්තා මාමාට කැමතිය. ඒ මාමා ලවා හරිම පහසුවෙන් පොල් කඩා ගත හැකි නිසා විය යුතු යැයි මම හඟිමි. මාමාට එලොව පොල් පෙනෙන්නේ නැන්දාට ඇගේ ආච්චී වැහුණදාටය. එවිට ඈ පොල් පිත්තක් ඔසවාගෙන අසරණ මාමා පසුපස්සේ එලවන්නීය. ඒකට මාමා කියන්නේ කඩුලු මතින් දිවීම සඳහා පුරුදු පුහුණු වෙනවා කියාය. නැන්දාගේ අගේ තේරෙන්නේ එතකොටය. නැන්දා නැතිව මාමාට දුවාගන්ඩවත් බැරිය. සෑම සාර්ථක පිරිමියෙකු පසු පසම ගෑනියක් ඉන්නවාය කියන්නේ ඒක වියයුතුය. මාමාට ඔලිම්පික් ඒ අනුව ළඟදීම යාමට පුළුවන් වෙනවාට කිසිදු සැකයක් අපේ අයියාටවත් මටවත් නැත.

නැන්දා අපේ තාත්තාට කියන්නේ මහ එකා කියාය. ඒ නිසා මම අපේ තාත්තාට කීවේ නැන්දාට කුණු වයලා කියා අමතන ලෙසය. තාත්තාට එක එක ඒවා කියන එක කීකරු පුතෙක් වශයෙන් මට දිරවන්නේ නැත.

නැන්දලාගේ ගමේ කරලිනා නැන්දා, නැන්දාට කියන්නේ උම්මාද චිත්‍රා කියාය. කරලිනා නැන්දාගේ මල්ලිලා තුන් දෙනාම වහ කෑවේ නැන්දා නිසා කියාය කරලිනා නැන්දා කියා තිබුණේ. අපේ තාත්තා නම් කිව්වේ නැන්දා නිසා වහ කාපු උන්තුන් දෙනා ෆ්‍රීසියන් වස්සෝ තුන්දෙනෙක් විය යුතුය කියාය.

නැන්දා ආරක්ෂා කරගත යුතුය. බැරිවෙලාවත් ඈ අතුරුදන් වුණහොත් අපේ මාමාට හිතේ වේදනාවට අපස්මාරයට අමතරව ඒඩ්ස් පවා හැදෙන්ඩ පුළුවන් කියා කීවේ මල්ලීය.

මාමා හැමදාම ගෙදරට කොසු ඉදල් ගෙනියයි. නන්ගී කියන්නේ අපේ මාමා විවිධ වර්ගයේ කොසු ඉදල් සන්රක්ෂණය කරනවා වියයුතුය කියාය.

මාමා ඉපදුන දවසේ චන්ද්‍රග්‍රහණයක් සිදුවුණ බව අයියාට සීයා මාර්ගයෙන් හෝ දැනගන්නට ලැබී ඇත. අක්කා කියන්නේ මාමා බෝධිසත්වයෙක් වාගේ කියාය. මාමා නැන්දාට පණටත් වඩා ආදරේ ඇති කියාය. ඒ බව ඇය දැනගෙන ඇත්තේ අහම්බෙනි. ඒ මාමා රාත්‍රී නවයට පවා ළිඳට ගොස් ඇඳුම් හේදීම පවා කරනා හෙයිනි. එබඳු කැපකිරීමක් කළ හැක්කේ බෝධිසත්වයෙකුටම මිස වෙන කාටදැයි ඈ ප්‍රසිද්ධ්යේ ප්‍රශ්න කළාය. එදා සිට මාමා ගෙයින් එළියට බැස්සේ නැත. ගෙදරටම වී භාවනා කරනවා විය යුතුය. මාමා කියන්නේ මාමා දරුණු මිනිහෙක් කියාය. ඒ බොරුය. මාමා මට ආදරේය. කවදාහරි පැස්බර බිත්තරයක් ගෙනත් දීමට මාමා මට දිව්රා පොරොන්දු විය. මමත් අපේ මාමාට ආදරේය. මාමා නැතුව මට ජීවත්විය නොහැක. කුඩා කාලේ ළිඳේ වැටී සිටය මා බේරාගත්තේ මාමාය. මාමාට බුදු සරණයි ! මාමාගේ නම රත්නායකය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link