හරිනි එන්න, සිදුහත් යසෝදරා ගැන මේ ටික කියවන්න

Last Updated on 2 months by admin

This image has an empty alt attribute; its file name is buddha-wife-yasodhara-1024x677-1.jpg

යසෝදරා කළ කැපකිරීම් සිදුහත් කළ කැපකිරීම්වලට වඩා වැඩියි කියා ආචාර්ය හරිනි අමරසූරිය කී කතාව සමාජයේ විවිධ විවේචනවලට ලක් විය. හරිනි මානව විද්‍යාව පිළිබඳව කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියකි. ඇය යසෝදරා සිදුහත් පිළිබඳ ඉහත කතාව කියා ඇත්තේ උගත් තැනැත්තියක වශයෙන් ස්වාධීනව මනස මෙහෙයවා හෝ බෞද්ධ පොතපත කියවා නොව පුණ්‍යකාන්ති විජේනායකගේ කෙටිකතාවක් කියවා ලැබූ අදහස්වලිනි.

පුණ්‍යකාන්ති, මෑත යුගයේ කොළඹ නගරයේ ජීවත් වූ, ඉතා ධනවත් පරපුරක කාන්තාවකි. යසෝදරා, අදින් වසර දෙදහස් හයසියයකටත් වඩා ඈත අතීතයේ අදට වඩා සපුරාම වෙනස් සමාජයක ජීවත් වූ කාන්තාවකි. හරිනිගේ සමාජ හා පෞද්ගලික අත්දැකීම් පුණ්‍යකාන්තිගේ අත්දැකීම්වලටද වඩා සපුරාම වෙනස්ය. මා එසේ කියන්නේ ඇය තවමත් අවිවාහක තැනැත්තියක් බව පළ වන පුවත් සැලකිල්ලට ගනිමිනි. එසේ නොමැතිව ඇගේ පෞද්ගලික ජීවිතය ගැන මට දැනුමක් නැත.

පුණ්‍යකාන්තිගේ කෙටිකතාව මා කියවා නැති හෙයින් එහි ඇතුළත්ව ඇති දේ ගැන මට යමක් කිව නොහැකිය. මා දන්නේ හරිනි මාධ්‍යයට කී කතාව පමණි.

පුණ්‍යකාන්ති යසෝදරාවගේ කැපකිරීම් ගැන කියා ඇත්තේ, ඇය ජීවත් වන අද සමාජයේ අත්දැකීම්වලට අනුව යසෝදරාවට කෙබඳු හැඟීම් පහළ වන්නට ඇත්දැයි උපකල්පනය කරමින් විය යුතුය. එසේ නොමැතිව, සැබෑවටම යසෝදරාවන් තුළ පහළ වූ සිතුවිලි කුමන ආකාරයේ ඒවාදැයි කියන්නට අප කිසිවකුට හැකියාවක් නැත.

එදා සමාජය දර්ශනවාදීන්, චින්තකයින්, තාර්කිකයින් බහුල, පරම සත්‍යය කුමක්දැයි සොයන්නට වෙහෙසුන ශාස්තෘවරුන්ගේ යුගයකි. සමාජයේ ඒ ඒ තත්වයන්හි පුද්ගලයින්ගේ සිතුම් පැතුම් ඇවතුම් පැවතුම්ද ඊට සමගාමීව පැවතිණි. ඒවා අද යුගයට සමාන කළ නොහැකිය.

අප දන්නා කතාවට අනුව, සිදුහත් කුමරා ගිහිගෙය හැර යන්නේ යසෝදරාට හොරෙනි. එහෙත්, සිදුහත් කුමරු, යසෝදරා කුමරියගේ කැමැත්ත ඇතිව ගිහිගෙය හැර ගිය කතාවක්ද බෞද්ධ සාහිත්‍යයෙහි තිබේ. අප දන්නා කතාවලට වෙනස් බෞද්ධ කතා ගණනාවක් තිබේ.

ඒ අනුව ගත් කල, මේ කතා දෙකෙහි යසෝදරාවන්ගේ සිතුවිලි එකිනෙකට වෙනස්ය. අවබෝධයෙන් යුතුව සිය සැමියාට ගිහිගෙයින් නික්ම සත්‍යය සොයා යන ගමනට ආශිර්වාද කරන බිරිඳකගේ හා තමන්ට නොකියා ගෙයින් නික්ම ගිය බිරිඳකගේ සිතුවිලි එක සමාන නොවේ.

මේ නිසා සිදුහත් යසෝදරා වැනි චරිත ඇසුරින් නිර්මාණ බිහි කරන කතාකරුවන් පළල් අවබෝධයකින් යුතුව තම කාර්යයට බැසිය යුතුය.

අප දන්නා බෞද්ධ සාහිත්‍යයට අනුව, සිදුහත් සහ යසෝදරා ‘ලේන කුලයේ සිට ආත්ම ගණනාවක් මුළුල්ලේ අඹු සැමියන් වෙමින් ආ සංසාරගත බැඳීමකින් යුතු දෙපොළකි. එකිනෙකාගෙන් වෙන්ව යාමට අවශ්‍ය චිත්ත ශක්තිය ගොඩනගා ගෙන ඇත්තේ මෙසේ භවයන් ගනනාවක් මුළුල්ලේ ලැබූ අත්දැකීම් මගිනි. අවසාන වශයෙන් වෙස්සන්තර රජු වශයෙන් ඉපදී බිසව දන්දී ලබන්නේ මේ වියෝව සඳහා අවශ්‍ය චිත්ත ශක්තියයි. මන්ද්‍රි දේවියටද යසෝදරාව වී ඉපදී සිය සිත සනසා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබන්නට ඒ අත්දැකීම උපස්ථම්භක වෙයි. යසෝදරා කුමරිය සිදුහත් කුමරු හා විවාහ වන්නේ, ඔහු බුදු වන්නට සිටින තැනැත්තකු බව නොදැන නොවේ. එයද හිත හදාගැනීමට උපකාර වන්නකි.

විසි වන විසිඑක් වන සියවස්වල කාමසුඛල්ලිකානු යෝගයට බර සමාජයක, එහිත් ඉහළ ධනපති පවුල්වල කාන්තාවකට යසෝදරා කුමරියගේ සිතුවිලි පිළිබඳව කියන්නට ඇති හැකියාව ඉතා අඩුය. යටත් පිරිසෙයින්, දියුණු සිතක්, ධර්මය පිළිබඳ දැනුම බුද්ධකාලීන සමාජ, සාමාජික, සාමයික හා ඉතිහාස දැනුම ආදිය නොමැතිව එවැනි කටයුත්තකට අතගැසීමට නොහැකිය.
සංසාරගත පුරුදු අස්මතු කරමින් අදද ඇතැම් පුරුෂයෝ බිරිඳගේ කැමැත්ත ඇතිව පැවිදි වෙති. එසේම, සමහර කාන්තාවෝ, සැමියාගේ ආශිර්වාදය ඇතිව පැවිදි වෙති. අඹු සැමි දෙදෙනාම පැවිදි වූ පවුල්ද තිබේ. මේ නිසා, සිදුහත් යසෝදරා බඳු අතිශය සුවිශේෂ චරිත දෙකක් ඇසුරින් නිර්මාණ කිරීම නුසුදුසු වැඩකි.

පුණ්‍යකාන්ති මේ සිද්ධියට මුල් වූ කෙටිකතාව ලියා චිත්ත සුවය හා ප‍්‍රසිද්ධිය ලබන්නට ඇත. හරිනි අමරසූරියගේ අරමුණ ඊට වෙනස්ය. ඇයට මේ කතාවේ ඇති හැඟීම් දැනීම් වැටහෙන්නට හේතුවක් නැත. ඒ ඇය (අප දන්නා තොරතුරුවලට අනුව), අඹු-සැමි සංයෝගයේ හා වියෝගයේ හැටි ස්වභාව කුමක්දැයි නොදන්නා බැවිනි. මේ කතාව ඇයට දැනෙන්නේ, අන්ධයාට කිරිවල පාට දැනුන හැටි කියන කතාවට සමානවය. ඇය කතාව පාවිච්චි කරන්නේ සිය දේශපාලන අරමුණු හා හාම්පුතුන් සතුටු කිරීම වෙනුවෙනි.

හරිනිගේ අරමුණ, යසෝදරාගේ කැපකිරීම් සිදුහත්ගේ කැපකිරීම්වලට වඩා ඉහළ යැයි කියා කාන්තාවන්ට පොඩි චූන් එකක් දී ඔවුන් සිය මිටියට තබා බැඳගැනීම පමණක් යැයි නොසිතිය යුතුය. බටහිරින් මොළ සුද්ද කර එවන බොහෝ උගතුන්ගේ කාර්යය රටේ හර පද්ධතියට පහර ගසා සංස්කෘතික විපර්යාස සිදු කිරීමයි. ගස කැපීමට වටපිටාව සුද්ද කිරීමයි. හරිනි වැන්නවුන් මේ කරන්නේ, බුදු සසුන හා සිංහල සංස්කෘතිය පිළිබඳව රටවැසියන්ගේ සිත් තුළ අපැහැදීමක් අවිශ්වාසයක් ජනිත කරවීමයි. එයින් ඔවුන්ගේ දේශපාලනයට අත්වන වාසිය කෙටිකාලීන ඵලයයි. අවසන් ඵල නෙළාගන්නේ, විදේශයන්හි සිටින ඔවුන්ගේ හාම්පුතුන්ය.

බෞද්ධ සාහිත්‍යය යනු, තමන්ට අවශ්‍ය පරිදි විචාරයට ලක් කළ හැකි, හිතු හිතූ පරිදි වෙනස් කර නිර්මාණ කළ හැකි ක්ෂේත‍්‍රයක් නොවේ. බෞද්ධ කතාහි ඇත්තේ කමටහනකි. සසරින් නික්ම නිර්වාණය අවබෝධ කරගැනීම බෞද්ධයාගේ පරම බලාපොරොත්තුව විය යුතුය. බෞද්ධ කතාකරුවන් සිය නිර්මාණ මගින් කරන්නේ ඊට අවශ්‍ය මානසික ශක්තිය ගොඩනගා ගැනීමට අවශ්‍ය වටපිටාව සකසා දීමයි. අත්හැරීම නම් වන ගුණය සඳහා මනස පිළිවෙළ කිරීම බෞද්ධ සාහිත්‍යයේ මූලික අරමුණකි. නිවනට මාර්ගය අත්හැරීමයි.

මේ කිසිත් නොසලකා වළං කඩයට පැන්න ගොනා සේ බෞද්ධ සාහිත්‍යයට හිතු හිතු පරිදි අනින්නා කරන්නේ තමන්ගේ ගොන්කම ලොවට පෙන්වීමයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link