Last Updated on 1 month by admin
සෑම් සෙනෙවිරත්න
Pic. credit: bizenglish.adaderana.lk
ජනාධිපතිවරණයට පෙර වේදිකා දෙවනත් කරමින් කී කතා පුහුඝෝෂා වෙමින් පවතී.
‘තෙල් ඇඟට දැනෙන ගාණකින් අඩු කරනවා කියලා කයිය ගැහුවට අඩු කළේ සොච්චමකින්’, බිත්තර වුනත් එහෙම තමා. අඩුවෙලා වැඩි වුණා’, ‘රටින් ගේන අල ළූණුවලට බදු වැඩි කළ නිසා ඉස්සරහට ඒවත් ගණන් යයි.’ ‘රට ළූණුවලට බදු ගැහිල්ල ඉතිං මෙහෙ ළූණු ගලවන කාලෙට හැම ආණඩුවක්ම කොරන වැඩක්නෙ’, ‘මේ වෙද්දි ඇති තරම් ළූණු ගෙන්නල ගබඩා කරගෙන හමාරනෙ’, ‘ඩඩ්ලි පාලන මිලට හාල් දෙනව කිව්වට අනික් පොඩි හාල් වෙළෙන්දන්ට එහෙම දෙන්ඩ බැරිලු’, ‘දැන් නම් හිතෙන්නෙ කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ කියලයි.’ දැන් ජනතාව කියන්නේ ඒ වගේ කතාය.
දැන් තමාට සිදුවී ඇත්තේ, අහක යන නයකු ඔඩොක්කුවට දමාගෙන කනෝ කනෝ කියාගන්නට විදියකුත් නැතිව කසාය බීපු ගොළුවකු මෙන් දිව හපාගෙන ඉන්නට යැයි ජනාධිපතිවරයාට හිතෙනවා නම් පුදුම වෙන්නට දෙයක් නැත. වැවේ ගැඹුර තේරෙන්නේ වැවට බැස ටිකක් ඉදිරියට ඇවිදගෙන යද්දීය.
‘ඩොලර් බිලියන 42ක් කියන්නෙ මහ ණයක්ද?’ ‘ණය ගෙවීම කල්දාගන්න එක රතිඤ්ඤා පත්තු කරන්න තරම් දෙයක්ද?’ ‘අයිඑම්එෆ් ගිහින් ගොඩගිය රටක් නෑ’ කියමින්, මැතිවරණයට පෙර ජනාධිපතිවරයා කයිවාරු ගැහුවා කාටත් මතකය. එහෙත් ණය ගෙවීමට කල් ඉල්ලීම හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි ඉහමුදුණින් පිළිගන්නවා ඇර ජනාධිපතිවරයාට කරන්නට දෙයක් නැති විය.
‘ජා.මු.අ. නැතිවට ණය ගන්න වෙනත් ආයතනවා තියෙනවා,’ වැනි කතා කී මාලිමාවේ ආර්ථික විශේෂඥයින් දුවපු අතක් හොයන්නට නැත.
අඩුම තරමින් සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් කතාකරන්නට වත් ඔවුන් ඉදිරිපත් වු බවක පෙනෙන්නට නැත. මේ නිසා සිදු වන්නේ ඉදිරි අවුරුදු 16 දී අරමුදලේ අගය හරි අඩකින් පහළ යෑම බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. වැඩ කරන ජනතාවගේ ආණ්ඩුව වැඩ කරන ජනතාවට සලකා ඇති හැටි අපූරුය.
ජා.මු.අ. නියෝජිත කණ්ඩායමේ ප්‍රධානත්වය දැරූ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් නිකුත් කළ ප්‍රකාශයක් ජා.මු.අ. නිල වෙබ් අඩවියේ පළ කර ඇත. එහි ‘…ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයෑමට ශ්‍රී ලංකාවේ බලධාරීන් කැපවී සිටින බව අසන්නට ලැබීම අප දිරිගන්වයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට සහය දැක්වීමේ ස්ථීර හවුල්කරුවෙකු වන අතර රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉලක්ක සපුරා ගැනීමට සහාය වීමට සූදානමින් සිටී. තුන් වැනි සමාලෝචනය සඳහා දින නියම කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික කමිටුව සමග සමීපව කටයුතු කරනු ඇත.’
ඒ හැර සාකච්ඡා පිළිබඳ කිසිදු විස්තරයක් එහි අඩංගුව නැත. මේ ප්‍රකාශයට උඩින් ජා.මු.අ. විධායක කමිටුව වෙනුවෙන් පළ කරන ලද වැදගත් සටහනක් තිබේ. කිසිවකුත් නොකියන කතාව එහි අන්තර්ගතව ඇත.
‘මෙහෙයුම අවසානයේ නිකුත් කෙරෙන කාර්ය මණ්ඩල මාධ්‍ය නිවේදනවල, රටක සංචාරයකින් පසු මූලික සොයාගැනීම් ඇතුළත් වේ. මෙම ප්‍රකාශයේ ප්‍රකාශිත අදහස් ජා.මු.අ. කාර්ය මණ්ඩලයේ අදහස් වන අතර ජා.මු.අ. විධායක මණ්ඩලයේ අදහස් නියෝජනය නොවේ. මෙම මෙහෙයුම මණ්ඩල සාකච්ඡාවකට හේතු නොවනු ඇත.’
ශ්‍රී ලංකාවේ වැඩි කතාබහට ලක් නොවන අන්තර් ජාතික මාධ්‍යයන්හි අපේ රට මුහුණ දී ඇති තත්වය පිළිබඳා සාකච්ඡා, සංවාද පැවැත්වෙයි. ඒවායේ සඳහන් පරිදි, අනාගතය පහසු නැත.
ශ්‍රී ලංකාවට අලුතින් ලැබෙන ණය මුදල නිසා මේ දශකය අවසාන වන විට රට නැවතත් උග්‍ර ණය උගුලක හිරවනු ඇතැයි ඇතැම් විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඊට හේතුව, මේ ණය පියවීම සඳහා, ජාතික දල දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ඉහළ අගයන්ගෙන් යුතු ගෙවීම් කිරීමට සිදුවීමයි.
රටේ දැනට ඇති සංචිත ප්‍රමාණවත් වන්නේ මාස 3කට පමණි. ලබන වසරේ රාජ්‍ය ආදායම 43%කින් පමණ වැඩි වනු ඇතැයි ඉලක්ක කර ඇත. මේ වසරේ අගෝස්තුව වන විට රාජ්‍ය ආදායම වැඩි වී ඇත්තේ 28%කිනි. එයින් පෙනෙන්නේ ඉලක්ක කර තිබුණු ආදායමට කිට්ටු වෙන්නට නොහැකි වී ඇති බවය. අනුර ජනාධිපති ධුරයට පත්වූ පසු රු. බි. 120ක බැඳුම්කර නිකුත් කර ඇත්තේ ප්‍රමාණවත් ආදායමක් නැති බැවිනි.
මේ වන විට රාජ්‍ය ආදායමෙන් 95%ක්ම ලැබෙන්නේ බදුවලිනි. ඒ නිසා ලබන වසරේ තවත් 4%කින් බදු වැඩි කිරීම කරළියට ඒම අනිවාර්ය වනු ඇති. ඒ අනුව සියලු භාණ්ඩ හා සේවා මිල ඉහළ යෑම නොවැළැක් විය හැකිය.
ලබන වසරේ මුදල් ඇස්තමේන්තුවට අනුව, ආදායම ප්‍රමාණවත් වන්නේ වියදමෙන් 57%ක් පියවීම සඳහා පමණි. ඉතිරි මුදල සපයා ගත යුත්තේ ණය ගැනීමෙනි. තව දුරටත් අලුතින් විදේශ ණය ගැනීමට නොහැකි නිසා ඒ ණය දේශීය වශයෙන් සපයාගත යුතුව තිබේ.
දීර්ඝකාලීන වශයෙන් සැලකූ විට වහාම කළ යුතුව ඇත්තේ ආදායම් වැඩි කිරීමයි. මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නම් එවැනි දේ නැත. නොගෙවූ බදු අයකර ගැනීම හැරුණු විට විශාල වශයෙන් ආදායම් වැඩි කරගත හැකි ක්‍රම ගැන ඔවුන්ගේ අවධානය යොමුවී නැත.
ජනතාව බලා සිටින්නේ, ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි, උපයන විට බද්ද අඩුකිරීම, වැට් බදු අහෝසිය, ඇතුළු සහන ලැබෙන තෙක්ය. ඇත්ත තත්වය නම් සහන දීමේ හැකියාව නැති බවයි. මැතිවරණය තෙක් නම් ජනතාව රැවටීමේ උප්පරවැට්ටියක් ලෙස යම් යම් සහන ලැබෙනු ඇත. එසේ වුවද, ජනාධිපතිවරණයට පෙර පැවසූ ආකාරයෙන් ඉන්ධන මිල අඩුකිරීමට නොහැකිවීම මහ මැතිවරණයෙන් පසු ලොකු දේ බලාපොරොත්තු නොවිය යුතු බවට ඉඟියකි.
රට ගොඩගත හැක්කේ ආදායම් වැඩි කිරීමෙන් පමණි. උක් වගා කිරීම, වැලි විකිණීම, මැති ඇමති වරප්‍රසාද හා අමාත්‍යංශ අඩු කිරීම වැනි දේ කර රට ගොඩගත හැකි ආකාරයෙන් ආදායම් වැඩිකර ගත නොහැකිය. එය හරියට පරාක්‍රම සමුද්‍රයට වතුර පොල්කටු හැන්දක් දැමීමක් වැනිය. ඒ නිසා ජනාධිපතිවරයා මුහුණපා සිටින්නේ සුළුපටු අභියෝගයකට නොවේ.
රටේ වියදම්වලින් වැඩිම කොටසක් වැය වන්නේ ණය ගෙවීම, රාජ්‍ය සේවයන්ගේ වැටුප් ගෙවීම, සුබසාධනය වැනි දේටය. ඒ කිසිවක් ආයෝජන නොවේ. නැතිනම් ආදායම් වැඩිකරගත හැකි මාර්ග නොවේ. වැටුප් ගෙවීමේදී වැඩිම කොටසක් වැය වන්නේ ආරක්ෂක සේවය, සෞඛ්‍ය සේවය, අධ්‍යාපන සේවය ආදියටයි. ඒවායින් ලැබෙන ආදායමක් නැත. එයින් කියවෙන්නේ, රජයේ වියදම්වලින් වැඩි කොටස වැයවන්නේ ආදායම් නොලැබෙන දේ සඳහා බවයි.
නළු නිළියන් මැරෙන තෙක් විකාශනය කෙරෙන ටෙලි නාට්‍යයක් බඳු හොරු ඇල්ලීමේ නාඩගම නවතා ජනාධිපතිවරයා වහාම කළ යුත්තේ ජනතාවට ඇත්ත කීමයි. ජනාධිපතිවරණයට පෙර පැවසූ කතා සියල්ලම සුරංගනා කතා මිස මහපොළොවේ යථාර්ථය නොවන බව පිළිගැනීමයි.
රජයේ ආදායමින් 95%ක් බදුවලින් පියවා ගන්නා, ණය බරින් මිරිකී සිටින රටක් වේගවත් ආර්ථික වර්ධනයක් කරා යොමු කළ හැකි මාර්ග පාදාගැනීම රජයේ අභියෝගයයි. ඒ මාර්ගය කුමක්ද යන්න මැතිවරණයට පෙර පැහැදිලි කිරීම ජනාධිපතිවරයාගේ හා මාලිමාවේ වගකීමකි.
ජනතාවට කොලේ වැසීම අනාගතයේ සිදුවිය හැකි මහා ජනතා පිපිරීමකට මුල බව ජනාධිපතිවරයා අවබෝධ කරගත යුතුය.