අනුර දිහා කවුරු බලයිද?

Last Updated on 1 day by admin

ජවිපෙ දේශපාලන පක්ෂයක් වශයෙන් ගොඩනැගුණු කාලයේ ඒ ගැන උනන්දු වූ තරුණ තරුණියන්ට මාක්ස්වාදී දේශපාලනය පිළිබඳ දැනුම ලබාදීමේ පරමාර්ථයෙන් පන්ති පහක් පිළියෙල කර තිබුණි. ඒ හැම පන්තියක්ම පැවැත්වූයේ ඉතා රහසිගතවය. ජවිපෙ සාමාජිකයෝ 1971 වසරේ ආයුධ බලයෙන් රාජ්‍ය බලය බැහැර ගැනීමේ උත්සාහයක නියැළුණහ. ඔවුන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පෙලඹවීම ගැන සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරියට ප්‍රශංසා කළ යුතුය.

එම ජවිපෙ වර්තමාන නායක අනුර කුමාර දිසානායක, රටේ ජනාධිපතිවරයා බවට පත්වී පාර්ලිමේන්තුව අමතනු දකින සමහර පැරැන්නෝ පුදුම වෙති. ලෝක දේශපාලනය ගැන වැටහීමක් ඇත්තන්ට නම් එය සාමාන්‍ය සිද්ධියකි. අධිරාජ්‍ය ප්‍රතිපත්තිය අතහැර නැති බටහිරුන් පසුගිය කාලය තිස්සේම සිය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ අලුත් ක්‍රමයකටයි. ඔවුහු ඒ සඳහා යටත් විජිත වශයෙන් පැවති රටවල මාක්ස්වාදීන් හා විප්ලවවාදී පක්ෂ ඒ සඳහා යොදා ගනිති. 1971 අසාර්ථක සන්නද්ධ අරගලයෙන් පසු ජවිපෙ සාමාජිකයෝද ක්‍රමයෙන් ඒ ඉරණමට ගොදුරු වූහ. විජේවීරගේ මරණයෙන් පසුව ජවිපෙ නමින් දේශපාලන භූමියට පැමිණියේ තනිකරම බටහිරුන් මෙහෙයවූ සංවිධානයකි.

අනුර කුමාර දිසානායක ජනාධිපති පසුගිය 07 වෙනිදා පාර්ලිමේන්තුවට පැමිණ දීර්ඝ කතාවක් කළේය. ඔහු, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදියෙකු වශයෙන් පෙනී සිටිමින් අනියම් ක්‍රමවලින් ආණ්ඩු බලය ඇල්ලීමට සිතන සියලුම දේශපාලනඥයින්ට තර්ජනය කළේය. මාක්ස් විප්ලවය යැයි කීවේත් එවැනි ක්‍රමයකට රාජ්‍ය බලය ලබාගැනීමටයි. ධනපතියන් රාජ්‍ය බලය බන්දේසියක තියා බාර නොදෙන බව මාඕ කියා තිබේ. මාලිමා ආණ්ඩුව මොන ක්‍රමයකට වත් සෙලවිය නොහැකි බව අනුර කුමාර ප්‍රකාශ කරයි.

හැම දෙයක්ම අනිත්‍යය යන්න බුදු දහමේ මූලික ඉගැන්වීමකි. බෞද්ධයෙකු බුදුන්ට මලක් පහනක් පූජා කරන්නේත් ඒ අනිත්‍යභාවය මෙනෙහි කරමිනි. එම නිසා ලෝක ස්වභාවය ගැන දන්නා අයෙකුට අනුර ජනාධිපතිවරයාගේ කතාව ළාබාල චණ්ඩියෙකුගේ මොරගෑමකි.

සංස්කෘත භාෂාවෙන් රචිත මහාභාරතය නම් ඉතිහාස කාව්‍යය මෙයින් අවුරුදු දහස් ගණනකට පෙර භාරතයේ කුරු ක්ෂේත්‍රයේ සිදු වූ යුද්ධයක් පිළිබඳ අති දීර්ඝ විස්තරයක් කරයි. යුද්ධයට හේතුව රජ පවුලක නෑ දෙපිරිසක් අතර හටගත් රාජ්‍ය ආරාවුලකි. කුරු ක්ෂේත්‍රයේ සටන ඇරඹුන පසුව භාරතයේ තවත් රටවලටද යුද්ධයට සම්බන්ධ වන්නට සිදු විය. මෙයත් චිචීගේ රොකට්ටුව කතාව වැනි සිද්ධියකි. රොකට්ටුව ගැන අගමැති හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය මාලිමාවේ ගැටුමක් නිර්මාණය කර තිබේ. හරිනි ඉදිරිපත් කර තිබෙන්නේ වැරදි දත්ත යැයි ඇමති නලින්ද ජයතිස්ස කියන විට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු පවා ඇයට ප්‍රශංසා කරන්නට වූහ.

කුරු ක්ෂේත්‍ර යුද්ධයට භාරතයට බොහෝ දුර රටවල් පවා සම්බන්ධ වූ නිසා ලෝක යුද්ධයක් ඇති විය. දෙවිවරු පවා එයින් කලබලයට පත් වූහ. ඇතැම් දෙවිවරු මිනිස් වෙස් ගෙන පෘථීවියට පැමිණියහ. තව සමහරෙක් සතුන්ගේ වෙස් ගෙන ආහ. දෙවන ලෝක සංග්‍රාමය කෙළවර වූයේ ඇමරිකාව ජපානයට පරමානු බෝම්බ හෙළීමෙනි. සමහර ඉතිහාසකරුවන් කියන ලෙසට කුරු ක්ෂෙත්‍ර යුද්ධය කෙළවර වූයේ පාණ්ඩ්‍ය පාර්ශ්වය ඒ හා සමාන භයානක අවි භාවිතා කිරීමෙනි. යුද්ධය අවසන් වන විට කුරු පාර්ශ්වයේ සටන් කළ දස දහස් සංඛ්‍යාත සෙබළුන් අතරින් ඉතිරිවී සිටියේ තිදෙනෙකි. යුද්ධය පිළිබඳ බොහෝ තොරතුරු හෙළිවන්නේ ඔවුන්ගේ ප්‍රකාශවලිනි.

යුද්ධයේදී ශ්‍රී ක්‍රිෂ්ණා මෙහෙයවූ පාණ්ඩ්‍ය පාර්ශ්වය ජයග්‍රහණය කළේය. ඉන්පසුව ක්‍රිෂ්ණා, පාණ්ඩවයන් පස්දෙනා සහ ඔවුන්ගේ පොදු බිරිඳ දෞපදී සමග කෞරවයන්ගේ පියා ධ්‍රතරෂ්ඨ වෙත ගියේය. අන්ධ භාවයෙන් පසුවූ ඔහු සහ බිසව ගාන්ධාරී පරාජය ගැන අසා සොවින් තැවි තැවී සිටියේය. ක්‍රිෂ්ණා ඔවුන්ගෙන් සමාව ඉල්ලූ විට යුද්ධයෙන් සියලුම දරුවන් අහිමි වී වැලපෙමින් සිටි ගාන්ධාරී හඬමින් ක්‍රිෂ්ණාට සාප කරන්ට වූවාය.

කාලයක් ගිය විට පාණ්ඩවයන් අතර භේද ඇති විය. මෙය ඕනෑම ජයග්‍රාහකයින්ගේ සමාජයක සිදුවන්නකි. පාණ්ඩ්‍යයන්ගේ කණ්ඩායම් කලකෝලහාල කරගන්නට වූහ. සාදයකදී සිදුවූ මෙවැනි ගැටුමකදී ක්‍රිෂ්ණාගේ සෙවණැල්ල මෙන් සිටි බලදේව මිය ගියේය. ඒ බව දැනගත් ක්‍රිෂ්ණා ශෝකය පහකර ගත නොහැකිව වනාන්තරයට ගොස් භාවනා කරන්නට විය. දඩයමේ ගිය වනවාසියෙකු යැවූ ඊතලයක්, භාවනා කරමින් සිටි ඔහුගේ පාදය කාගෙන ගියේය. ඒ තුවාලයෙන් ක්‍රිෂ්ණා මිය ගියේය. වනවාසියා ඊතලය යැව්වේ ක්‍රිෂ්ණා ඝාතනයට නොවේ. එම නිසා මෙය ස්වභාව ධර්මය විසින් දෙන ලද දඬුවමකි. කුරු ක්ෂේත්‍ර යුද්ධය නැවැත්වීමේ හැකියාව ක්‍රිෂ්ණාට තිබුණි. ඔහු ඒ නිවැරදි ක්‍රියාව නොකළ නිසා ස්වභාව ධර්මය දඬුවම් පැමිණවූ බව මේ කතාවෙන් උගන්වන පාඩමයි.

මාලිමාව රට පාලනය කළ සුළු කාලය තුළ ඕනෑවටත් වඩා වැරදි කළ ආණ්ඩුවකි. ඒ වැරදි අතර බොරු බේගල් කියා ඡන්දදායකයින් රවට්ටා බලය ලබාගැනීම කැපී පෙනෙන වරදකි. තවත් වැරදි සිය ගණනක ලැයිස්තුවක් සකස් කිරීමට පුළුවන. ජනතාවගේ දැඩි අප්‍රසාදය ලැබූ රනිල් වික්‍රමසිංහගේ වැඩ කොටස ඉදිරියට ගෙනයාම, බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාවේ වුවමනා ඉටුකරමින් හැසිරීම, අධිරාජ්‍යයේ මළගම කියමින් බලයට පැමිණ ඉංග්‍රීසිකාරයන්ටත් අන්ත සුද්දන් ලෙසින් හැසිරීම, බදු අඩුකරන බව කියා වැඩි කිරීම පිට දේශ සමග රහස් ගිවිසුම් අත්සන් කිරීම, ඒවා ජනතාවට නොපෙන්නීම, වෛරයෙන් රට පාලනය කිරීම තවත් වැරදි කිහිපයකි.

බටහිර යුරෝපය දිළිඳු වන්නේය. ඊට ප්‍රධාන හේතුව යටත් විජිත නැතිව යාමයි. එංගලන්තය, ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය, ඉතාලිය, ඕලන්දය, බෙල්ජියම වැනි රටවල් අතීතයේ පොහොසත් වූයේ යටත් රටවල් කොල්ලයෙනි. දැන් මෙම සියලුම රටවල්වලට ඉස්ලාම් සංක්‍රමණිකයන් බලවත් ප්‍රශ්නයක් වී තිබේ. එංගලන්තය, ප්‍රංශය වැනි රටක සමහර පළාත් පකිස්ථානයේ පළාත් දැයි සැකය ඇති කරයි. මේවායේ ‘හොනර් කිලින්’ සිදුවන අවස්ථා පවා වාර්තා වේ. ජාතික ආර්ථිකය දුර්වලවීම සහ සංක්‍රමණිකයන් බලවත්වීම හේතුවෙන් මේ හැම රටකම ජාතික ව්‍යාපාර ගොඩනැගෙමින් පවතී. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතික නායකයෙකි. ඔහුගේ තීරුබදු ප්‍රතිපත්තියේ යටි අරමුණ ඇමරිකාව ලෝක බලවතා කිරීමයි.

ඇමරිකාව ඉන්දියාවට සියයට පනහක තීරුබද්දක් පැනවූයේය. ඇමරිකානු නිෂ්පාදනවලට ඉන්දියාවේ වෙළෙඳපොළ විවෘත කර ඉන්දියාවේ ගොවියා, කිරි නිපදවන්නා සහ ධීවරයා විපතේ නොහෙළන බවත් ඔවුන් හැම දෙනාගේම වගකීම භාරගන්නා බවත් නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේය. නරේන්ද්‍ර මෝදි ‘භගවත් ගීතාව‘ විසින් සකසන ලද ඉන්දියානුවෙකු බව වටහා ගැනීමට මීට වඩා සාක්කි වුවමනා නැත. ඔහු හා සමාන ඉන්දියානුවන් මිලියන සංඛ්‍යාවක් ඉන්දියාවේ වෙසෙති.

කුරු ක්ෂේත්‍ර සංග්‍රාමය ගැන කියවෙන භගවත් ගීතාව යනු ඉන්දියානු අධ්‍යාපනයේ පදනමයි. බි්‍රතාන්‍ය අධ්‍යාපන ක්‍රමය ඉන්දියානුවාගේ ජාතිකත්වයට මොනතරම් හානියක් කළත් හින්දු ඉන්දියානුවාගේ මනස සකස් කිරීමට ගීතාව සමත් වී තිබේ. මහාවංශයට නින්දා අපහාස කරන්නන් ඕනෑ තරම් ඇතත් ගීතාවට අපහාස කරන ඉන්දියානුවෙකු නැත. ඇමරිකානු බදු හමුවේ ඉන්දියානු ජනාධිපතිවරයා මහමෙරක් සේ නොසෙල්වී සිටින්නේ ගීතාවෙන් ලැබී ඇති ශක්තියෙනි.

භගවත් ගීතාවට සමාන ආගමික ග්‍රන්ථයක් සිංහලයන්ට නැත. නමුත් ඔවුන්ට ඉතා ශක්තිමත් බෞද්ධ සංස්කෘතියක් තිබේ. කැප්පෙටිපොළ වැන්නන් බිහිකර ඇත්තේ ඒ සංස්කෘතියයි. බෙදුම්වාදී යුද්ධයට මුහුණ දුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාත් බෞද්ධ සංස්කෘතියේ උරුමයකි. ඔහුගෙන් පසු දුර්වල රාජ්‍ය නායකයින් පරපුරක් බිහිවූ බව රහසක් නොවේ. එය ස්වභාවික හේතුවකට වඩා ලෝක දේශපාලනයේ වුවමනාවකි.

මාලිමා ආණ්ඩුවක් හැදීම, අනුර දිසානායක ජනාධිපති කරවීම, ඔවුන් ලවා විජේවීර ප්‍රධාන දස දහස් ගණන් තරුණ තරුණියන් දිවිපුදමින් හැදූ ජවිපෙට අපහාස කරවීම ඈ සියල්ලක්ම සංවිධානාත්මක ක්‍රියාවක අඟපසඟය. මේ හැම නිසා ඇති වන ස්වභාවික ක්‍රියාව, අනුර කුමාර ප්‍රධාන මාලිමා ආණ්ඩුව ජනතා අප්‍රසාදයට ලක්වීමයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top