අනුර පන්නන්න මාලිමාව ඇතුළේ කුමන්ත්‍රණ?

Last Updated on 4 weeks by admin

ජනාධිපති අනුරකුමාර දිසානායක සහෝදරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුව අමතනු බලා සිටි සිංහලයන් බොහෝමයකගේ ප්‍රීතියට තියෙන්නේ එකම සුළු කාරණාවක් පමණි. ශෝකයට බොහෝ කාරණා තිබේ. ඊට හේතුව ඔහු පැවැත්වූ දේශනය විකාර සහ බොරුවලින් පිරී ගිය හෑල්ලක් වීමයි. කවරෙකු වුවද, ඒ කතාව සකස් කර දුන් පුද්ගලයා සැකයට ලක් කළ යුත්තෙකි.

‘ජනාධිපතිවරයා රාජ්‍ය නායක සමුළුවට සහභාගි වූයේ තැතිගැන්මෙනි, පීඩනයෙනි. ඔහු කමිසයේ බොත්තම් වැරදියට දමාගෙන සිටියේ ඒ නිසාය. ජනාධිපතිවරයාට බොත්තම් පැටලීම ගැන පිටිපස්සෙන් හිටි ඇමති සහෝදර විජිත හේරත් සහ සගයකු හිනාවීම නිසා ජනාධිපති සහෝදරයාට මල පැන තිබුණි. කොළයේ ලියා තිබුණු කතාව නිවැරදිව කියවන්නට නොහැකි වූයේ එම සිද්ධි හේතුවෙනි.’ ආදි වශයෙන් කතාවේ අඩුව වහන්නට හදන්නන් දක්වන අදහස් ප්‍රචාරය වේ. ඔවුන් කුමක් කීවත් ජනාධිපතිවරයා බඳු සූර කථිකයකුට එවැනි අතවරයක් සිදු වන්නට ඉඩක් නැත. ඔහු මෝදිව චූන් කිරීමේ පරමාර්ථයෙන් ඉන්දියාව මහාද්වීපයක් යැයි කියූ බවට පතුරුවන කතාවද පිළිගත නොහැකිය. නිතරම අතිශයෝක්තියෙන් කතා කිරීමේ පුරුද්ද නිසා ආලෝක වර්ෂ යනුවෙන් කියවුනා යැයි කියන එකේ නම් ඇත්තක් තියෙන්නට පුළුවන.

රාජ්‍ය නායකයින් විනාශ කිරීමේ කුමන්ත්‍රණ ලෝකය පුරා සිදු වේ. ඉහත කතාව ජනාධිපතිවරයා බුද්ධිමතෙකු තබා උගතෙකු වත් නොවන බව ලෝකයට පැහැදිලි කරන්නකි. මේ සමග පළ කර ඇති ඡායාරූපය, ආණ්ඩුවේ නිල ප්‍රවෘත්ති වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි. එය ජනාධිපතිවරයාගේ පෙනුම ප්‍රසන්න නැත. රජයේ නිල ප්‍රවෘත්ති වෙබ් සංස්කාරකයින්, ජනාධිපතිවරයා සමග තරහට පළ කරන එකක් දැයි කෙනෙකුට සිතුණොත් පුදුමයක් නොවේ. මෙය, අනුරකුමාර ගෙදර යවා හරිනි අමරසූරිය හෝ රනිල් වික්‍රමසිංහ බඳු නව ලිබරල් අදහස් දරන දේශපාලනඥයෙකු රටේ නායකයා බවට පත් කිරීමේ වුවමනාවෙන් සිදු කරන ලද්දක් බව සමහරුන්ගේ අදහසයි. කතාව නිසා ලංකාව හෑල්ලුවට ලක්වීම රටටම සිදු වන අයහපතකි.

ජනාධිපති මාධ්‍ය අංශය කතාවේ දෝෂ සකස් කර නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක් 13 වැනිදා ප්‍රසිද්ධ විය. එය තවත් වරදකි. ජාත්‍යන්තර සමුළුවකදී ජනාධිපතිවරයා පැවැත් වූ දේශනයක් ඊට දින කිහිපයකට පසුව පුවත්පත් නිවේදනයක් මගින් වෙනස් කිරීමට, වෙනස් පිරිසකට නොපුළුවන. ජනතාව පල් මෝඩයන් යයි සිතන්නන් මෙවැනි ක්‍රියාවකට මාධ්‍ය අංශය පෙළඹවූවා නම් එය වැරදි පාරක ගෙන යාමකි. මෙවැනි ක්‍රියාවලින් සිදු වන්නේ ජනාධිපතිවරයා තව තවත් හෑල්ලුවට ලක් වීමයි.

ජනාධිපති දේශනයේ ප්‍රීති විය හැකි එකම ස්ථානය ‘ඔබ අතේ තිබෙන දුරකතනයෙන් මේ මොහොතේ අන්තර්ජාලය පරීක්ෂා කර බැලුවොත් ලොව වැඩියෙන්ම ඇස් පරිත්‍යාග කරන රට කුමක්ද කියා, ඔබට හමුවන්නේ ඉන්දීය මහාද්වීපයේ කෙළවර තියෙන මා නියෝජනය කරන ඒ ශ්‍රී ලංකාවයි’ යන වැකියයි. එතැනත් ඉන්දීය මහාද්වීපය යැයි කීම වරදකි. බොහෝ දෙනාගේ අවධානය ඒ වැරැද්දට මිස ප්‍රධාන කාරණය වූ ලංකාවේ ඇස් දන්දීම කෙරෙහි යොමු නොවූයේ ඒ නිසාය. සිංහල බෞද්ධ ගුණධර්මවලට පහර ගැසීම යටත් විජිත කාලයේ සිට සිදු වන්නකි. එම නිසා වර්තමාන ලාංකිකයන්ට ඔවුන්ගේ අදීන උරුමය වශයෙන් ලෝකය හමුවේ ප්‍රකාශ කිරීමට හැක්කේ අතීත උරුමයන්ගේ නටබුන් පමණි. ඇස් දන්දීම එවැන්නකි.

සිංහලයන්ගේ දන් දීමට පංති හෝ ජාති භේදයක් නැත. එය පුද්ගලිකව මෙන්ම සාමූහිකවද කළ හැකි ක්‍රියාවකි. බෞද්ධ සාහිත්‍යකරුවන් සිංහලයන්ට උගන්වා ඇත්තේ සතුන් පවා දන් දෙන බවයි. ඒ මගේ ගිය බොහෝ සිංහලයෝ අවුරුද්ද මුළුල්ලේම දන් දෙති. වෙසක් හා පොසොන් පෝය කාලවලදී ඔවුන් දන් දෙන්නේ සැණකෙලියක් ලෙසිනි.

ජනාධිපති සහෝදරයා සමුළුවේදී ලාංකිකයන්ගේ ඇස් දන්දීමේ සිරිත සඳහන් කළේ සිංහල බෞද්ධයාට කරන උපහාරයක් වශයෙන් නම් නොවේ. නව ජවිපෙය සහ මාලිමාව සිංහල බෞද්ධන් ඇගයීමක් නොකරති. මෙහිදී ජනාධිපති සහෝදරයා බොහෝමයක් අවස්ථාවාදීන් ගිය මග යමින් සිංහල බෞද්ධ සිරිතක් තමන්ගේ වාසිය සඳහා භාවිත කළේය. මේ ආකාරයට බෞද්ධ ක්‍රියා සහ උරුම ඩැහැගැනීමෙන් ධනය හා කීර්තිය ඉැපයූ පුද්ගලයෝ සිටිති. ඒ. ටී. ආරියරත්න හොඳම නිදසුනයි. ආරියරත්නගේ සර්වෝදය පටන්ගත්තේ රොඩී ගම්මානයක් ‘නගාසිටුවීම’ සඳහා කළ ක්‍රියාවකිනි. එය හැඳින්වුණේ ‘ශ්‍රම – දානය’ හැටියටයි.

එතැන් පටන් ඔහුගේ සර්වෝදය ශ්‍රමදාන පවත්වන්නට විය. බොහෝ දෙනා, ඒවාට සහභාගි වෙමින් නොමිලයේ ශ්‍රමය සැපයීම සිරිතක් කරගත්හ. ඇතැම් ගුරුවරු පාසල් දරුවන් ආරියරත්නගේ ශ්‍රමදානවලට කැඳවා ගෙන ගියහ. ආරියරත්න නාලන්ද විදුහලේ උගන්වන කාලයේ කොළඹ මරදානේ මුඩුක්කුවක නවාතැන් ගෙන සිටි දිළින්දෙකි. සර්වෝදය ශ්‍රමදාන නිසා ඔහු මහා ව්‍යපාරිකයෙකු වූයේය.

ආධාර කිරීම (ඒඩ්ස්) දානයට වඩා වෙනස් ක්‍රියාවකි. එය පොහොසත් රටවල් හා පොහොසත් පුද්ගලයින් විසින් දුප්පත් රටවල්වලට හා දිළින්දන්ට කරන උපකාරයකි. ආධාර ‘ඒඩ්ස්’, ‘ඒඩ්ස්’ රෝගයේ තත්වයට පත් වන අවස්ථාද තිබේ. මේ දිනවල ලංකාවේ සංවාදයට ලක්ව ඇති යූඑස්ඒඩ්ස් (ඇමරිකානු ආධාර) නිදසුනකි. දෙවන ලෝක යුද්ධය හේතුවෙන් ලෝකයේ රටවල් බොහෝමයක් විපතට පත් විය. ඇමරිකාව යූඑස්ඒඩ්ස් පටන්ගත්තේ දිළිඳු රටවල් නගා සිටුවීමේ වැඩපිළිවෙළක් ලෙසිනි. එය ලංකාවටද දැත් දිගු කළේය. පාසල් ළමයින්ට විස්කෝතු දීම නිදසුනකි. එය දරුවන්ගේ මන්දපෝෂණය වැළැක්වීමේ පරමාර්ථයෙන් කරන ලද්දකැයි පිළිගැනේ. ‘ඇදීහැස’ (ඇමරිකන් දීමනා හැමට සමානයි) විස්කෝතුව රට වැසියන් පිටිවලට ඇබ්බැහි කිරීමේ ප්‍රාථමික අවස්ථාව බව තතු දන්නෝ කියති. ඔවුන්ගේ ලේඛනවලින් පැහැදිලි කරන ලෙසට පාසල් ළමයින්ට නොමිලයේ බනිස්ගෙඩියක් හා විස්කෝතු දීම වෙළෙඳ උපායකි. එහි ප්‍රතිඵලය රටවැසියා තිරිඟු පිටිවලට පුරුදු වී රෝගීන් බවට පත් වීමයි.

පොහොසත් රටක්ව තිබුණු ලංකාව දිළිඳු රටක් වූයේ බටහිර යුරෝපීය ආක්‍රමණ හේතුවෙනි. බි්‍රතාන්‍ය පාලනයෙන් නිදහස් වූ නමුත් දිළිඳු බවින් නිදහස් වීමට ලංකාවට නොහැකි විය. රට වැසියන් දිළිඳු භාවයෙන් මුදවා ගැනීමට කියමින් ක්‍රිස්තියානි සංවිධාන සියගණනක් රටට පැමිණියහ. දිළින්දන්ව දෙවියන් වෙත සමීප කරවීම සඳහා පළමුව ඔවුන්ට සමීප වීමට වෙහෙසුන ඔවුන් දිළින්දන්ට සුළු ආර්ථික ආධාර සපයා තිබේ. යූඑස්ඒඩ්ස් ඔවුන් මුදල් ලබාගත් එක් ක්‍රමයකි.

රටේ දිළිඳුකම පිටුදැකීම රජයට පමණක් කළ නොහැකි ක්‍රියාවක් ලෙසින් සැලකුණු නිසා ලංකාවේ දිළින්දන්ට උපකාර කිරීමට රාජ්‍ය නොවන සංවිධාන බිහි විය. රට බෙදීමට සටන් කළ කොටින්ට උපකාර කිරීමට ද ආධාර සංවිධාන
ඇති විය. කොටින් පැරදූ යුද්ධයෙන් පසුව මානව හිමිකම් ගැන කතා කිරීමට තවත් එන්ජීඕ සංවිධාන ඇති විය. මේ සියල්ලටම පාහේ ප්‍රාණය ලැබී ඇත්තේ යූඑස්ඒඩ්ස් ආධාර මුදල්වලිනි. මේ සංවිධාන සහ ක්‍රිස්තියානි සංවිධාන මගින් කර ඇත්තේම සිංහල බෞද්ධ සාරධර්ම විනාශ කිරීමයි. ජවිපෙ ආරම්භය සැලකිල්ලට ගනිද්දී එය ලංකාවට අත පොවන විදේශීය සංවිධානවලට විරුද්ධව මත ඉදිරිපත් කළ ජාතික දේශපාලන සංවිධානයකි. දැන් එය සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට වෙහෙසෙන විදේශීය ගැත්තන්ගේ සංවිධානයකි.

ඇමරිකානු ආධාර (යුඑස්ඒඩ්ස්) මගින් ලෝකයට අයහපතක් සිදු වී ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ප්‍රකාශයට පත් කිරීම අභීත ක්‍රියාවකි. ඔහු ඇමරිකාවේ බිහි වූ බලගතුම ජනාධිපතිවරයා වශයෙන් ලොව පුරා කීර්තියට පත් වෙමින් සිටියි. ස්වේච්ඡාවෙන් ට්‍රම්ප් අගයන පිරිසක් ලංකාවේද සිටිති. මේ තත්වය හමුවේ රාජ්‍ය නොවන සංවිධානවලට එක් වී සිංහල උරුමයට පහර ගැසූවෝ ජාතික උරුමය ප්‍රකාශ කරන වෙස් මුහුණු දමා ගනිමින් සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link