ජාතක කතාවල යක්කු සහ නූතන දේශපාලනයේ යක්කු

Last Updated on 2 months by admin

පන්සිය පනස් ජාතකයේ අපණ්ණක ජාතකය හා වන්නුපථ ජාතකය තුළ මානව ක්‍රියාකාරකම් පිළිබඳව වටිනා උපදේශයක් ගැබ් වී තිබෙනවා.

අපණ්ණක ජාතකයේදී ගල්කරුවන් “යක්කුන්ට” බිලි වෙනවා.

එසේ වූයේ යකුන් මනුෂ්‍ය වේශයෙන් පෙනී සිටිමින් වාලුකා කතරක දියබරිත වස්ත්‍ර ඇඳගෙන නෙළුම් ඇට කමින් ගැල්කරුවන් ඉදිරියට ආ නිසයි.

මොහොතකට මොළය පාවිච්චි කළා නම් (සම්මා දිට්ඨි) මරු කතරේ දියෙන් ගොඩගත් ගමන් නෙළුම් ඇට අනුභව කරන තෙත ඇඳුම් සහිත මිනිසුන් සිටිය හැකිද කියා සිතා බලන්න තිබුණා.

ඔවුන්ගේ මෝඩකමේ වන්දිය ජීවිතවලින් ගෙව්වා.

වන්නුපථ ජාතකයේ ගැල්සාත්තු නායක “යකුන්” ව හඳුනාගන්නවා. ඉදිරියෙන් ගිය නියාමක ගැල්කරුවාට නින්ද යාම නිසා රැය පුරා කෙන්තාරයේ රවුම් ගැසූ ගැල් කලින් සිටි ස්ථානයටම ආපසු පැමිණීම නිසා සිදුවන්නට ගිය විපතෙන් ගැල්කරුවන්ද ගවයන්ද බේරා ගනු ලබන්නේ බුදු වීමට පාරමිතා පුරමින් සිටි බෝධිසත්වයන් විසින්.

බුද්ධියත් වීර්ය්‍ය පාරමිතාවත් තුළින් බෝධිසත්වයන් පෙන්වා දුන් (භික්ෂූන්ට) උකටලී නොවී සිටීමේ මහඟු ප්‍රතිඵල අදට පමණක් නොව සදාකාලයටම වලංගුයි.

අපේ රටේ ඡන්ද දායකයින් අපණ්නක ජාතකයේ මෙන් හැමදාමත් පක්ෂ දේශපාලනයේ යක්කුන්ට බිලි වුණා.

ජවිපෙ/ජා.ජන බලවේගය කිව්වත් එජාපය කිව්වත් පොහොට්ටුව කිව්වත්, සමගි ජන බලවේගය කිව්වත් මේවා යකුන් විසින් පාලනය කරන සමාජ විරෝධී බලවේග. එය විවේචනයක් නොව අතීතය විසින් ඔප්පු කරන ලද යථාර්ථයක්.

බොහෝ අය සිතන්නේ ජාතක කතා බෞද්ධ සාහිත්‍යයට පමණක් සීමා වන සමාජ සංසිද්ධියක් කියායි.

නිල අධ්‍යාපනයේ මූලිකාංග වන පාසල් හා විශ්වවිද්‍යාල නොතිබුණු යුගවල ජාතක කතා පොදු ජනයා දැනුවත් කිරීම සඳහා ලබා දුන් දායකත්වය අද්වීතිය වන්නේ එවන් අධ්‍යාපන ක්‍රමයක් ලෝක ඉතිහාසයේ කිසි දිනක කිසිම රටක නොතිබුන නිසයි. හෙළ ගැමියා වසර දහස් ගණනකට ඉහතදීත් සිංහල හා පාලි භාෂා දෙකම දැන සිටියා.

ක්‍රිස්තියානි බටහිර රටවල්වල පූජකයින් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යනවරුන් ලෙසින් පත්ව ලතින් බස මූලික කරගත් දැනුම ඉහළ පන්තියට පමණක් සීමා කර තබා ගැනීමට කටයුතු කළා. ඒ තුළින් ඔවුන් ආගම් ප්‍රචාරයට අවශ්‍ය කරන සීමිත දැනුම් ප්‍රමාණයක් වටා දැනුම ගොනු කළා. ඒ දැනුම ඔස්සේ පාලකයින් හා පූජකයින් රටේ පාලන බලය ඔවුන් අත රඳවා තබා ගත්තා. බහුතරය නූගතුන් ලෙස සිටින තාක් කල් පාලනය පහසු වුණා.

ඊට ඉඳුරාම වෙනස් ක්‍රමවේදයක් භාවිතා කරන ජාතක කතා සාහිත්‍යය පන්සල්වලට හෝ රජ මැදුරුවලට සීමා නොකර කටුමැටි බිත්තිවලින් වටවුණු ගෙවල් තුළට පවා ඇතුල් වූයේ රාජ්‍ය පාලනයේ පහසුව සඳහා නොව සැබෑ විමුක්තිය යනු කුමක්ද කියා ජනතාවට පහදා දෙනු පිණිසයි.

ආලෝකය නැති තැන අඳුර විනිවිද දකින්න පුළුවන් සමාජයක් බිහි කිරීම විමුක්තිය සොයා යන ගමනේදී අත්‍යවශ්‍යම සාධකයක් බව ජාතක කතා කර්තෘවරුන් හඳුනාගෙන තිබුණා.

අඳුරේ අතපත ගානවා වෙනුවට ප්‍රඥාව වැඩිදියුණු කර එම ප්‍රඥාව ආලෝකයක් බවට පරිවර්තනය කර ගැනීමට අපේ ගැමියන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් තබා පාසල් අධ්‍යාපනයක්වත් අවශ්‍ය වුණේ නෑ. පන්සල සමග තිබුණු සමීප ඇසුර නිසා බෞද්ධ සාහිත්‍යයේ එන පාලි ගාථා පාලි භාෂාවෙන්ම ඉගෙනගෙන ඒවායේ තේරුම්ද දැනගෙන එදිනෙදා ජීවිතයට ළං කර ගැනීම ඊට හේතුවයි.

එක ගාථාවක පුංචි ඛණ්ඩයකින් දෙන පණිවිඩයක සමස්ත විශ්වයේම ස්වභාවය කැටි වී තිබෙනවා.

” පුප්පං මිලායාති- යථා ඉදම්මේ
කායෝ තථායාති විනාශ භාවං”

මෙහිදී විනාශ භාවයට පත් වෙනවා යනුවෙන් අදහස් කරන්නේ සෑම දෙයක්ම වෙනස් වෙනසුලුයි කියන ධර්මතාවයයි.

ප්‍රඥාවේ ආලෝකය දල්වා ගැනීමට මෙම පුංචි කමටහනම වුනත් ප්‍රමාණවත්.

අපණ්ණක ජාතකයේදී අඥාන ගැල්කරුවන් “යකුන්ට” බිලි වූයේ හේතුඵල පිළිබඳ උපදේශාත්මක භාවය නොහොත් ප්‍රඥාව නොතිබුණු නිසයි. ප්‍රඥාවේ ආලෝකය නැති තැන මෝහාන්ධකාරය රජ කරනවා.

සෑම ප්‍රශ්නයකටම පිළිතුරක් ඇති බව සනාථ කරන ජාතක කතාකරුවා මිනිස් මනසට ගැටලු හමුවේ කලබල නොවී ප්‍රඥාවන්තව, ධෛර්යයෙන් කටයුතු කළ යුතු බව ඉතාමත් සියුම්ව මිනිස් මනසට එන්නත් කරනවා. අපන්නක කතාවේ දෙවන අදියරය නොහොත් වන්නුපථ ජාතකය ඊට නිදසුනක්.

එහිදී අපට හමුවන්නේ බංකොලොත් නූතන දේශපාලනයේ එන “දියසේනලා” නොව පොළොවේ පය ගසා සිටින බෝධිසත්වයෙක්.

එතුමා වැලිකතරේ ඊතණ ගහක් දකින්නේ අහඹුවක් ලෙස නොව සොයා ගිය ගමනක ප්‍රතිඵලයක් ලෙසින්.

ගැල් සාත්තු නායක බෝධිසත්වයන් “ඊතණ ගහ ඇති තැන ජලය ඇත” යන නිගමනයට එළඹෙන්නේ සංසාරික දැනුමක් වූ සම්මා දිට්ඨිය නිසයි.

ඊ තණ ගහ යට ජල උල්පත ගල්තලාවකින් වැසී තිබුණා යනු සමස්ත පැවැත්මම බාධාවන්ගෙන් වැසී ඇත යන පණිවිඩය එළිදැක්වීමයි.

උකටලී වු භික්ෂූන්ට දෙන පණිවිඩයක් සේ එය ජාතක කතාවට ඇතුල් වන්නේ කුළු ගෙඩි පහරකින් එම කළුගල කඩා බිඳිය හැකි බව ඔප්පු කිරීමටයි. එය සංකේතමය කුළු ගෙඩි පහරක්.

71 හෝ 88-89 වකවානුවලදී මෙන්ම අදටත් රැඩිකල්වාදී තරුණයින් කියාගන්නා පිරිස් කුළු ගෙඩි අමෝරාගෙන ඉදිරියට එන්නේ සමාජ බාධක නමැති ගල්තලාව දෙපළුකර අසරණ වූ මිනිසුන්ට දිය බිඳක් ලබාදීමට නොව වෛරී දේශපාලනය විසින් හතුරන් ලෙස හඳුනාගෙන සිටින පිරිස්වල හිස් කබල් කුඩු කිරීමට බව නැගෙන චෝදනා අතිශයෝක්තියක් නොවෙයි.

කුළු ගෙඩි පහර සංකේතවත් කරමින් බුදුන් වහන්සේ උකටලී වුණු භික්ෂූන්ට දේශනා කළේ ධෛර්යමත් වන ලෙසයි. සර්වප්‍රකාරයෙන්ම එය දහම් පණිවිඩයක්.

ශ්‍රී ලංකාවේ වර්තමාන දුර්දාන්තය බංකොලොත් දේශපාලනයට හේතුව බුදු දහමේ ඉගැන්වෙන ප්‍රඥාවෙන් තොර වීමයි. හැකි තරමින් පන්සිල් පද පහ රැකිය හැකි නම්, පටිච්චසමුප්පාදය ඔස්සේ දුක්ඛ සත්‍යය හා ආර්ය අෂ්ටාංගික මාර්ග උපාධාන කරගන්නේ නම්, පුද්ගල ප්‍රශ්න මෙන්ම සමාජ ප්‍රශ්නද බොහෝ දුරට අවම වනු ඇති.

ජවිපෙය/ජාජන බලවේගය වේවා කුමන කණ්ඩායමක් හෝ පළිගැනීම පෙරදැරි කරගෙන “අපි බලයට පැමිණ තොපව කකුල් කෙටියෙන් අල්ලා සක්වළ ගලේ ගසන්නෙමු” යි කියා වහසි බස් දොඩන්නේ සංත්‍රාසය, භීතිය හා අනාරක්ෂිත බව වපුරා ඒ තුළින් හුදු දේශපාලන බලය ලබා ගැනීම සඳහා පමණක් බව සක්සුදක් සේ පැහැදිළියි.

මේ ”යකුන්” නිවැරදිව අදුනානොගත්තොත් අපන්නක ජාතකයේ වෙළෙන්දන්ට සිද්ධ වුණු දේ ලංකාවාසීන්ටත් අත්විදින්න වේවි.

මෙම ලිපියේ ඒකායන අරමුණ පාලකයින් යහමගට ගැනීම නොව යහපත් සමාජයක් බිහි කරන ප්‍රඥාලෝකය ජනතාව තුළ නොපමාව දැල්වීමයි.

” අප්පමාදෝ අමතපදං
පමාදෝ මච්චුනෝ පදං”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link