අපිට ඕන යක්කු බොලව්

Last Updated on 5 days by admin

කිසියම් ජාතියක සංස්කෘතිය යනු ඉතා ගැඹුරු හා සංකීර්ණ විෂය පථයකි. ඕනෑම ජාතියක ප්‍රාණය පවත්වාගෙන යනු ලබන ආගම භාෂාව ආදියද අයත් වීම ඊට හේතුවයි. සංගීතය යනු එම ජාතියේ අනන්‍යතාව සහ උරුමය ප්‍රකාශ කරන මාධ්‍යයකි. ලයනල් රන්වල විසින් අරඹන ලදුව ඔහු පුත් සහන් රන්වල පවත්වාගෙන යන ‘රන්වල බලකායේ’ ‘යක්කු බොලව්’ ප්‍රසංගය අපගේ අවධානයට යොමු වන්නේ ඒ පදනමේ පිහිටාය.

සහන්ගේ අදහස යකුන් හෙවත් යක්ෂයින් යනු යකඩ කර්මාන්තයේ නිරත ජන කණ්ඩායමක් බවයි. මෙය සාවද්‍ය මතයකි. යුරෝපීන්ට බොහෝ කලකට පෙර ආසියාවේ යක්කු යකඩ නිපදවූහ. වැව් දාගැබ් වෙහෙර විහාර තනමින් සිංහල සංස්කෘතිය ගොඩනැංවූවෝ ද යක්කුය.

යක්ෂයෝ ලංකාවේ සහ ඉන්දියාවේ පැතිර සිටි මනුෂ්‍ය වර්ගයකි. දැනුමැත්තන් එකතු කරගෙන ඔවුන් ගැන නිසි පර්යේෂණයක් කිරීම, ඉන්දු ලංකා නෑදෑ සබඳකම් හෙළි කරගැනීමට ඇති මාර්ගයයි. එය බුදුසසුනේ ඉතිහාසය පිළිබඳව මෙතෙක් අනාවරණය නොවුන බොහෝ තොරතුරු දැනගැනීමට මගකි.

මහින්ද තෙරුන් හා සංඝමිත්තා තෙරනිය ලංකාවට වැඩම කිරීමට පෙර, උන්වහන්සේගේ මව් වූ විදිසා දේවිය විසින් ගොඩනැගුවේ යයි විශ්වාස කෙරෙන සාංචි විහාරයේ වැඩ විසූහයි පිළිගැනීමක් පවතී. සාංචි විහාර ගල්කැටයම්හි යක්ෂ උපාසක උපාසිකාවන්ගේ සහ ඔවුන්ගේ දේවතාවියන්ගේ රූ දක්නා ලැබේ. ඒ හා සමාන යක්ෂයින් දැක්වෙන පැරණි ගල්කැටයම් ලංකාවේ නැත. සිංහල වෙස්මුහුණු, යක්ෂයින්ගේ වෛද්‍ය ශාස්ත්‍රයේ කොටසකි. යටත් විජිත පාලන කාලයේ සිට මේවා ගැන වැරදි කතා ගෙතු උගතුන්, යක්ෂයින් ගැන නොයෙක් දුර්මත පතුරුවා තිබේ. රාවණ කතාව හින්දු ආගම පැතිරවීම උදෙසා මෑත කාලයක සිට තදින් පතුරුවනු ලබන දුර්මතයකි.

ලංකාවේ අධ්‍යාපනය සහ මාධ්‍ය විසින් යක්ෂයින් පිළිබඳ පතුරුවන දුර්මත හේතුවෙන් රන්වලගේ ඉතිහාස දැනුමේ අඩුවක් ඇති නමුදු ඔහුගේ ‘යක්කු බොලව්’ ප්‍රසංගය අපේ උරුමය ගොඩනැංවීමට හා ප්‍රචලිත කිරීමට දරනු ලබන වැයමකි. එය ප්‍රශංසනීය ක්‍රියාවකි.

බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉන්දියාවෙන් එංගලන්තයට ගෙන යන ලද පංජාබ් හේවායන්ගේ දරු මුණුබුරන් මැදිහත් වීමෙන්, 1960 ගණන්වලදී පංජාබි ගැමි සංගීතය හා බටහිර ‘පොප්’ සංගීතය කළවම්කර අපූරු සංගීතයක් බිහි විය. එය ‘බංගාරි’ නමින් පසු කලෙක ලෝක ජ්‍රකට වූයේය.

පංජාබ් ප්‍රදේශයේ සිංහලයන්ගේ ආදිම ජනාවාස පැවතියේ යයි මහාචාර්ය සෙනරත් පරණවිතාන පැහැදිලි කර තිබේ. රන්වලගේ ‘යක්කු බොලව්’ ප්‍රසංගය පරණවිතානගේ සොයාගැනීම් සිහිපත් කරන අතර, අපේ උරුමය ලෝකයට ප්‍රකාශ කළ හැකි සංගීතයක් බිහි කළ හැකි බවට, ඒ සාක්ෂ්‍ය දරයි.

‘අපි ලෝකෙ රටවල් ගානෙ යනව. අපි ඉතාලියට ගියාම ඒක ඉතාලිය වගෙයි. අපි ඕස්ට්‍රේලියාවට ගියාම පේනව ඒක ඕස්ට්‍රේලියාව බව. අපි එංගලන්තෙට ගියාම ඒක එංගලන්තෙ වගේ පේනව. අපි ලංකාවට ගියාම ඒක ලංකාව වගේ නෙවෙයි. අර ඔක්කොම වගෙයි.’

‘කර්ණාටක සංගීතෙ හරි මිහිරියි. අරාබි සංගීතෙත් ලස්සනයි. අප්‍රිකානු සංගීතෙත් ලස්සනයි. චීන, ඉතාලි, මේ හැම සංගීතෙම හරි ලස්නයි. ඒත් අපට ඒවාගෙන් අපේකමක් දැනෙනවද? නෑ. ඒ නිසා අපි පුළුවන් තරම් රසවිඳින්න ඕන අපේ සංගීතෙ, අපේ දේවල්.’

සහන් මේ කියන්නේ අපේ උරුමය ගැනයි. සංගීතය, ගායනා හා නැටුම් සංකලනයෙන් ඒ උරුමය හෙවත් ‘අපේකම’ රසිකයනට පහදා දෙන්නට ඔහු වෙහෙසෙයි.

සිරිපා වන්දනාවෙන් අරඹා, දළදා වහන්සේ වැඳපුදා ගෙන, ගම්මැදිවල ගැමියන්ගේ හා නුවරුන්ගේ ජීවිතවල අහුමුළු අතරින් වෑහෙන නෙක රසත්, බෙර, තම්මැට්ටම්, තාලම්පොට ඈ සංගීත භාණ්ඩයන්හි නාද රටා හා නැටුම් ගැයුම්වල අසිරියත් විදහාලමින්, රසික සිත් පහන් කරනුව, සහන් රන්වල ප්‍රධාන රන්වල බලකායේ කලාකරුවන් කලාකාරියන් දැරූ තැත ප්‍රශංසනීයය.

ඉතා ජනප්‍රිය සිංහල ගීත කීපයක කොටස් ඉදිරිපත් කර, ඒවායේ නාදමාලා නිර්මාණය කරගෙන ඇත්තේ සිංහල ගැමි සංගීතයේ නාද රටාවලින් බව පහදා දීම රන්වල බලකාය මෙහි දී කළ ඉතා වටිනා කාර්යයකි. එයින් සිංහල නාදමාලා කෙතරම් පරාසයක් පුරා විසිර පැතිර පවත්නේද යන්න පිළිබඳ අවබෝධයක් ලැබීමේ අවස්ථාව රසිකයනට ලැබුණි.

අපේ සංගීතයෙන් දැනෙන, ‘අපේකම’ යනු කුමක්ද? මෙය ඉතා සංකීර්ණ බරපතල මාතෘකාවකි. කිසියම් සංස්කෘතියක සංගීතයෙන් නැතිනම් ඒ උරුම කරගත් නාද මාලාවලින් අනාවරණය කෙරෙන්නේ ඒ සංස්කෘතියෙහි ජීවන රිද්මයයි. සිංහල සංගීතයේ නාද මාලා, බෙර වාදන, නැළවිලි ගී, ගැමි කවි ආදියේ තාල මගින් ගලා යන්නේ, සිංහල සමාජයේ ජීවන රිද්මයයි.

සිංහලයාගේ වාදන භාණ්ඩවල හඬට විමසිල්ලෙන් කන්දුනහොත්, විසල් වනයක රුස්ස ගස්වල අතු එකිනෙක ගැටෙන හඬ ඔබට ඇසෙනු ඇති. වැහි බිඳුවක් බිමට නැතිනම් වහළයකට, ගල් තලාවකට වැටෙන හඬ ඔබට ඇසෙනු ඇති. රෑසියන්ගේ, ගෙම්බන්ගේ, ලේනුන්ගේ ගෝනුන්ගේ නාදය ඔබට ඇසෙනු ඇති. මඩට බට ගොවීන් බරට අඩිය තබන හඬ, කම්මරුන් යකඩ තලන හඬ, මීගවයින් අං පටලවා ගන්නා හඬ, බල්ලන්, හරකුන් කන්පොට ගසන හඬ ඈ අනේක විධ හඬ ඔබට ඇසෙනු ඇති.

සිංහල නාද මාලාවලින් ඔබට දැනෙන්නේ කිමෙක්දැයි මොහොතකට විමසා බලා තිබේද? එසේ විමසන ඔබට, සිහිල් සුළඟක් යමා යන තාලය, පැසුණු රන් ගොයම සුළඟින් ලෙළෙන තාලය, මහා වැවක දියරැලි නැග බැස යන තාලය, ගොවියා තාලයට ගොයම කපන, මැඩුවම් බාන, කමත බෝල් තබන තාලය දැනෙනවා නියතය.

ඊට හේතුව අපේ මුතුන් මිත්තන් තමන්ට පරිසරයෙන් අසන්නට විඳින්නට ලැබුණු ශබ්ද හා තාල රටාවලින් ලද ආස්වාදය මත සංගීත භාණ්ඩ හා නාද මාලා නිර්මාණය කරගැනීමයි. බුදු දහමින් හික්මුණු ජීවන රටාවද ඊට බලපෑම් කළ බව නිසැකය.

ඒ නාද රටාවල බොහෝ කොටම ඇත්තේ, සෞම්‍ය, සිහිල්, දැමුනු, විවේකී, පහන් බවකි. එයින් පැහැදිලි කෙරෙන්නේ, සිංහලයාගේ ජීවන රිද්මයේ තිබුණු විවේකී, දැමුනු, සිහිල්, පහන් ස්වභාවයයි. උපේක්ෂා සහගත මෛත්‍රීපරවශ ජීවන රටාවයි. බෞද්ධ චින්තනය විසින් සිංහලයාට දුන් උරුමය එයයි.

සිංහල නාද රටා රසවිඳින ඔබට දැනෙන ‘අපේකම’ යනු එයයි. ඒවා අපට ‘දැනෙන්නට’ හේතුව, වසර සිය ගණනක් මුළුල්ලේ, මේ නාද මාලා, රිද්ම රටා ආදිය රසවිඳුම, සිංහල ජාතියේ ජානවලට එක්ව තිබීමයි. (සිංහල නැළවිලි ගීයක් හා රුසියානු නැළවිලි ගීයක් සසඳා බැලුවහොත් ඔබට මේ වෙනස සැණින් වැටහෙනු ඇති. මේ ඒ තරම් දීර්ඝ පැහැදිලි කිරීමකට අවස්ථාව නොවේ).

ප්‍රසංගය අතරතුර, යකෙකුගේ වෙසින් වේදිකාවට පෙරේතයකු ගොඩවීම, රන්වල බලකායේ අමිල උත්සාහය නැසීමට හේතුවක් බව නොකියාම බැරිය. දහඅට සන්නිය නැටීමේ දී දෙපැත්ත කැපෙන වචන කියන්නේ වෛද්‍ය ශාස්ත්‍රයේ කොටසක් ලෙසයි. සිංහල ගැමි කලාව හාස්‍යය හොඳින් හඳුනයි. ඒ දැනුම නැති, හාස්‍යය යනු කුණුහරුප කීම යැයි සිතන පිටස්තරයින්ට තම වේදිකාවේ ඉඩක් දී, සභාව ජරා කිරීමට අවස්ථාව දීම සහන් වැනි අයකුගේ ගෞරවයට හා කීර්තියට හානියකි. අපේ උරුමය කියාපාන ප්‍රසංගයක කුණුහරුප කියමින් ලංකාවේ කීර්තිමත් පුද්ගලයින්ට නින්දා අපහසා කිරීම කිසි සේත්ම ගැලපෙන්නක් නොවේ.

අපේකම, අපේ උරුමයේ අගය සිංහලයන්ට පහදා දෙන්නට සහන් රන්වල ගත් උත්සාහය වෙසෙසින් අගය කළ යුතුය. මේ ඉතිහාස, සංස්කෘතික දැනුම හා රසය මව්බිමේත් විදේශයන්හිත් වෙසෙන සිංහලයින්ට ලබාදී, තවත් පරම්පරා ගණනාවකට ඒ රසය හා දැනුම උරුම කරදීමට සහන් රන්වල ගන්නා උත්සාහය අපගේ වෙසෙස් ඇගැයුමට ලක් වේ.


Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link