අමරකීර්ති දන්නා කවියක් වත් දර්ශනයක් වත් නැතැයි මායියාගෙන් විවේචනයක්

Last Updated on 1 week by admin

(හැබැයි ඕං මං නං නෑ හොඳේ!)

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි

ඡායාරූප ප්‍රියංකර නිවුන්හැල්ලගේ මුහුණුපොත් පිටුවෙනි.

(අගති විරහිතයි)

ටැලිෆෝනය ‘ටිං’ ගෑවේය. මම ලිවීම නවතා දමා ෆෝනයට එබුණෙමි. මුහුණුපොතේ පෝස්ටුවක් කවුරු හෝ මටත් අමුණා ඇත. මටත් නොදැනීම සැර වචන කීපයක් පිට වුනි.

‘…..ඔව් අපි මේ ජාතිවාදය, ආගම්වාදය, අන්තවාද සම්පූර්ණයෙන්ම නැතිබංග කරලා විනාශ කරලා, සංහිඳියාවෙන් සහජීවනයෙන් එක්සේසත්භාවයෙන් යුතු පොහොසත් ලස්සන රටක්….’

‘මොකද මොකද අනේ කලබලේ?’ මායියා පිහියා කැත්ත උරුක් කරගෙන දුවගෙන ආවාය.

‘නෑ නෑ මොකුත් කලබල වෙන්ඩ දෙයක් නෑ.’

‘මං හිතුවේ මාස දෙකෙන් නවත්තනවා කියපු පාතාලේ ගෙට පැනලා කියල. හිටියං නම් මගෙන් ටියුෂන් අරන් යන්නේ උන් අද…’ මායියා පිහියා කැත්ත උරුක් කර පෙන්නුවාය.

‘නෑ.. මේ… මේ… බුකියෙ මේ පෝස්ට් එක දැක්කාම මට නිකං වෙනද නැති තරහක් ආව.’ මම මායියාට ටෙලිෆෝනය දික් කළෙමි. ඇය පොස්ටුව කියවාගෙන ගියාය.

අද ප්‍රසාද් ඉන්දිකගෙ උපන්දිනය. ඔහු ලියපු කවියක් මතකයට ඇවිත් මෙතන පොටෝ එකක් ගත්තා.

‘කළුලෑල්ලේ
තැන තැන
ශේෂ වූ
දෙමළ අකුරු මකා
පටන් ගමි
අලුත් ඉතිහාස පාඩම

‘දුටු ගැමුණු’

ඔහුගේ කවිය මට මතක් කරේ අගා සහීඩ් අලීගේ කවියක කොටසක්

ඒක අමරකීර්තිගෙ නව කවි සලකුණ කෘතියෙ තියෙන්නෙ.

මගේ මතකය අවුරා සිටී ඔබේ ඉතිහාසයේ මාවත

ප්‍රසාද් සුබ උපන්දිනයක් වේවා! දීර්ඝායු වේවා!

‘දැන් මේකෙ මොකටද තද වුනේ? මේ දෙන්නාගෙ පොටෝ එකටද?’

‘ඔය කවියට…’

‘මොකක්ද ඒකෙන් කියන්නෙ..’

‘අර කොටු ඇතුළෙ තිබුණු දෙමළ අකුරු මකලා දුටුගැමුණු රජ්ජුරුවො ගැන ලියන්න ගත්තා කියලනෙ. ඔය පේන්නෙ තවම මකපු තැන්.’

මායියා බක බක ගා හිනාවෙන්නට වුණාය.

‘ඔය කියන්නෙ එහෙම එකක් නෙවෙයි.’

‘එහෙනං?’

‘ඕක එක එක විදියට කියන්න පුළුවන්. දුටුගැමුණු රජ්ජුරුවෝ දෙමළ මිනිස්සුන්ව සමූල ඝාතනය කළා කියලා අර්ථ දක්වන්නත් පුළුවන්. දෙමළ මිනිස්සුන්ගෙ ඉතිහාසය පැත්තකට දාලා දුටුගැමුණු ගැන, උගන්නනවා කියන්නත් පුළුවන්. නැත්තං, සිංහල මහජාතිය සුළුජාතික දෙමළ මිනිස්සුන්ව යටපත් කරගෙන, ඒගොල්ලන්ට අසාධාරණකම් කරනවා කියන්නත් පුළුවන්.’

‘ඉතිං ඒවා වැරදි වැඩනෙ.’ මං ජයග්‍රහණයේ මාවත සොයන්නට පටන් ගත්තෙමි. මොන ජාතියෙන් හෝ මායියාව පරාජය කළ යුතුමය. සාහිත්‍ය ක්ෂේත්‍රයේ කප්ගසා ෆේස්බුක් එකත් හොල්ලාගෙන ඉන්නා චරිත ටිකට කොක්ක ගහගත්තේ නැතිනම් මගේ ලේඛක ජීවිතයට අනාගතයක් නැත. සාහිත්‍ය ලෝකයේ මිතුරන් බුකියේ එකඑකාව වර්ණනා කරගන්නා හැටි දකින විට ආසා හිතෙයි. ඒ නිසා කඳවුරේ පිරිස වෙනුවෙන් මායියා සමග වුවත් සටන් කළ යුතුය.

‘දුටුගැමුණුගෙයි දෙමළ මිනිස්සුන්ගෙයි සම්බන්ධයක් නෑනෙ. ඒ වගේම සිංහලයො දෙමළ මිනිස්සුන්ව පාගාගෙන ඉන්නවා කියන එකත් බොරුවක්නෙ… ඒකනෙ අර අරූන් සිද්ධාර්ථන් අහන්නෙ, සිංහලයො දෙමළුන්ට හතුරුකම් කරනවා නම්, උතුරේ යුද්දෙන් කරදර වෙද්දි දෙමළ මිනිස්සු දකුණට එයිද කියල.’

‘ඇයි මහාවංසෙ තියෙනවලු නේද දුටුගැමුණු දෙමළ මිනිස්සුන්ව මැරුවා කියල.’

‘ඔයා පාලි මහාවංශෙ කියවලා තියෙනවද?’ මහාවංශය තියෙන්නෙ පාලියෙන්. ගයිගර් තමා ඒක ඉංග්‍රිසියට පරිවර්තනය කෙරුවෙ. එයා පාලි වචනවලට ඉදිරිපත් කරන තේරුම් වැරදියි කියල පාලි හොඳට උගත් හාමුදුරුවරු පෙන්නල තියෙනව.’

‘මං හිතාගෙන හිටියෙ මහාවංශය සිංහල පොතක් කියලයි. සිංහල පොතේ ටිකක් කියවලා තියෙනව.’

‘ඕක තමයි ප්‍රශ්නෙ. ඔයා දුටුගැමුණු රජ්ජුරුවො ගැනවත් එළාර ගැනවත් දන්නෙ නෑනෙ. එළාර කියන්නෙ ආක්‍රමණිකයෙක්. චෝලයෙක්. චෝලයොත් පරංගියො, ලන්දේසිකාරයො, ඉංග්‍රීසිකාරයො වගේ ආක්‍රමණිකයො. උං විදේශාධාර දෙන්ඩ මෙහෙ ආවෙ නෑ. දකුණු ඉන්දියාවෙ ප්‍රබලම රාජවංසය තමා චෝල කියන්නෙ. හාමුදුරුවරු දෙමළ කියල තියෙන්නෙ දකුණේ ජෛන ආගමිකයන්ගෙ භාෂාවට. ඒ කාලෙ ජෛනයොයි බෞද්ධයිනුයි අතරෙ ආගමික තරගයක් තිබුණා. බුදුහාමුදුරුවන්ගෙ කාලෙ ඉඳලාම ඔය තරඟෙ තිබුණනෙ. වලගම්බා කතාවෙ ඉන්න ගිරි කියන මනුස්සයා නිඝණ්ටයෙක්. නිඝණ්ඨයො කිව්වෙ ජෛනයින්ට. බුද්ධාගමට පාලි භාෂාව වාගෙ ජෛනයින්ටත් ආගමික භාෂාවක් තිබුණ. ඒ තමා දෙමළ. චෝලයෝ දෙමළ භාෂාව අධිරාජ්‍යයේ භාෂාව කළා.’

මට පොඩි කරකැවිලි ගතියක් දැනෙන්නට විය.

1833 කෝල්බෲක් කැමරන් වාර්තාවෙ තියෙන්නෙ දෙමළ මිනිස්සු කියන්නෙ සංචාරක වෙළෙන්දො කියලයි. එළාර එක්ක සිංහලයොත් හිටිය. අනික දුටුගැමුණු රජ්ජුරුවො එළාරගෙ මිනිස්සුන්ව සමූල ඝාතනය කළේ නෑනෙ. නිකරුණේ මිනිස්සු මැරෙන එක නවත්තන්න අපි දෙන්නා යුද්ධ කරමු කියලා එළාරට අභියෝග කළා. අපේ සමහර උගත්තුන්ගේ ඔළුවට වැටෙන්නෙ නෑ එළාර කියන්නෙ මේ රට බලහත්කාරයෙන් අල්ලාගත්ත ආක්‍රමණිකයෙක් කියන එක. ජානවලින් එන පරගැතිකමයි, හීනමානෙයි, උද්දච්ඡකමයි එකතු වුනාම මහාචාර්යලා වුනත් පිස්සු කෙලිනව. එයාලගේ ගොට්ටො ටික ඒවා අල්ලගෙන පිස්සු පිට පිස්සු කෙලිනවා. එළාර රට අල්ලගත්තෙ සිල් අරගෙන හිටපු වයසක අසේල රජ්ජුරුවන්ව මරලයි. ඊට පස්සේ බුද්ධ ශාසනයට නරක දසාවක් ලබන්න ගත්තා. ඒ විදිහට රටත් ආගමත් විනාශ කරන්න ආපු ආක්‍රමණිකයාව පරදවාපු එක වරදක්ද?

මට කොච්චර තැටමුවත් මායියාට උත්තරයක් හොයාගන්නට බැරි විය.

‘ආක්‍රමණිකයාට වුනත් ගෞරව කරන්න දුටුගැමුණු රජ්ජුරුවෝ කටයුතු කරපු බව මහාවංශෙ තියන විස්තරවලින් පේනව. දුටුගැමුණු රජ්ජුරුවො, එළාර රජ්ජුරුවො මැරුණට පස්සෙ එයාට පක්ෂව හිටපු චෝලයින්වයි සිංහලයින්වයි විනාශ කරන්න කටයුතු කළේ නෑනෙ. ඒ මිනිස්සු ඒ හිටිය විදියටම ජීවත් වුනා. දන්නවනෙ කාළිංග මාඝ?

‘අපොයි දන්නව. අපේ කපිල කුමාර කාලිංගනෙ.’

‘පිස්සුද අනේ, මං කියන්නෙ කාලිංග මාඝ. අපේ රටට පැනලා මහා විනාශයක් කරපු ආක්‍රමණිකයෙක්. එයාලා වගේ වැඩ කළේ නෑ දුටුගැමුණු රජ්ජුරුවො. මහවිජයබාහු, වළගම්බා, සපුමල් කුමාරයා ඔය කිසි කෙනෙක් අහිංසක මිනිස්සුන්ව මැරුවෙ නෑ ප්‍රභාකරන් වගේ. අනික බුද්ධ ශාසනේ රකිනවා නම් පිටරටින් ආපු අයට වුනත් රජකම දෙන එක තමයි සිංහල සිරිත වුනේ. ඔයා අඩුගානෙ නිශ්ශංකමල්ල ගැනවත් දන්නවද?’

‘නිශ්ශංක මල්ලි කිව්වෙ ලේකම් බාප්පලාගෙද ඩේවිඩ් මාමලගෙද?’

‘ඔය කිව්වෙ… ඔය කිව්වෙ… නිශ්ශංක මල්ල කියන්නෙ පොලොන්නරුවෙ හිටිය රජ කෙනෙක්. එයා කියනව එයා කාලිංගයෙක් කියල. නුවර කාලෙ හිටිය කීර්ති ශ්‍රී රාජසිංහ වගේ රජවරු ඉන්දියාවෙන් ආපු නායක්කර් වංශිකයො. සිංහලයන්ට ඒක ප්‍රශ්නයක් වුනේ නෑනෙ. මුරලිදරන්ට ක්‍රිකට් නායකකම දුන්නා නම් මොන සිංහලයද විරුද්ධ වෙන්නෙ?’

‘ඔයාලා සාහිත්‍යය දන්නෙත් නෑ. ඉතිහාසය දන්නෙත් නෑ. නිමිත්ත වරදිනකොට කවිය අර්ථයක් නැති හෑල්ලක් වෙනව. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කතාව ඇදල අරන් ඔය උත්සාහ කරන්නෙ දෙමළ මිනිස්සුන්ට එදත් සිංහලයන්ගෙන් අසාධාරණකම් වුනා කියල කියන්ඩ. ගොබ්බ මිනිස්සුන්ට ඕවා ඇහුණාම හරි චූන්.. දැන් ටිකකට කලින් ඔයාටත් වුනේ.’

මට දැනෙන්නේ මා මයික් ටයිසන් සමග බොක්සිං සටනකට පැටලුණ ගතියකි.

‘මට නම් ඒ කවිය පේන්නෙ මැටියෙන් හදපු කැවුමක් වගේ.’

‘ඒ කිව්වෙ?’

‘කැවුමක් වගේ පේනව. හැබැයි හාල්පිටියි, පැණියි දාලා තෙලේ බැදලා ගත්ත එකක් නෙවෙයි. මැටියෙන් හදපු එකක්. කාලා බැලුවොත් තමයි මැටි කැවුමක් බව තේරෙන්නෙ. හැබැයි ඉතිං කැවුම් කාලා නැති පාණ්ඩුව හැදිච්චි කෙනෙක් කාලා රහයි කියන්ඩත් පුළුවන්. පාණ්ඩුව හැදිච්ච අය මැටි කනවලුනෙ.’

මායියා ඔලොක්කු හිනාවක් දැම්මාය. හරියට මට පාණ්ඩුව ඇතැයි කියනවා වගේය. මට පාණ්ඩුව නැති බව ස්ථිර නිසා මම කරබාගෙන සිටියෙමි.

‘හොඳම හරිය ඒක නෙවෙයි, ඔය අන්තිමට දාලා තියෙන අඝා ෂහීඩ් අලිගෙ කවිය ගැන අමරකීර්ති එයාගෙ නව කවි සරණිය පොතේ ලියල තියෙන විකාර කතා.’

‘අඝා රෂීඩ් අලි කියන්නෙ මොහොමඩ් අලිගෙ කවුරු හරිද?’

‘නෑ අනේ.. එයා ඇමරිකාවෙ හිටිය කවියෙක්. කාශ්මීර්-ඇමරිකන් කවියෙක්, ඉන්දියන්-ඇමරිකන් කවියෙක් කියලත් කියනව. එයා සමහර වෙලාවට කිව්වලු එයා ඉංග්‍රීසියෙන් ලියන ඇමරිකන් කවියෙක් කියලත්. ඔය පෝස්ට් එකේ තියෙන අඝා ෂහීඩ් අලිගෙ කවි කෑල්ල කියවන්නකො.’

‘මගේ මතකය අවුරා සිටී ඔබේ ඉතිහාසයේ මාවත.’

‘ඔයාට නිකං මොකක් වගේද ඒක තේරෙන්නෙ?’

‘ඔයා කියන්නෙ ඒකත් මැටි කැවුමක් වගේ කියලද?’

‘නෑ… මට ඕක පේන්නෙ ඉඳගන්න පැත්තට කකුල් හයි කරපු බංකු ලෑල්ලක් වගේ. ඇත්තටම ඕක අඝාගෙ අදහසකුත් නෙවෙයි. ඕක අඝා හොරකම් කළ එකක්.’

‘ඈෑෑෑෑ? කාගෙන්ද?’

‘පැට්‍රිෂියා ඕනිල්… අන්න එයා තමයි ඔය පේළියෙ අයිතිකාරි. එයා ෂහීඩ්ගෙ අඹයාළුවා. එකට විශ්වවිද්‍යාලෙ වැඩ කරපු කෙනෙක්. සම්මානිත මහාචාර්යවරියක්. ‘ෆෙයාර්වෙල්’ කියන ඔය කවි පන්තිය තියෙන්නෙ, අඝාගෙ The country without a post office කියන පොතේ. කවි පන්තිය අවසානයේ වරහන් ඇතුළෙ ‘ෆෝ පැට්‍රිෂියා ඕනිල්’ කියලා දාලා තියෙනවා දැක්කාම මට පොඩි සැකයක් ආවා, ඇයි මේ කියලා. හොයලා බැලුවාම පැට්‍රිෂියා තවම ජීවතුන් අතර ඉන්නවා. මං එයාට කෝල් එකක් ගත්තා. අරං කිව්වා මං ශ්‍රී ලංකාවෙ කවුඩංගොල්ලෙ මහවිදානෙ කියන ලේඛකයගෙ ලේකම් කතා කරන්නෙ, එයාගෙ පණිවිඩයකට කියල.’

‘අප්පට සිරි…. ඉතිං පැට්‍රිෂියා මහාචාර්යතුමිය මාව අඳුනගත්තාද?’

‘නැතුව නැතුව…’

මම වහාම බඩ මැද්දෙන් පටලවාගෙන සිටි සරම හරියට ඇඳගත්තෙමි. කමිසය පිළිවෙළකට සකසා තට්ටය වැහෙන්නට අතුරා තිබුණු කෙස් රොදට අතින් තට්ටුවක් දැම්මෙමි. ඒ අතරම මගේ කට සටසටගා වැඩ කරන්නට විය.

‘ඒකනෙ, බලන්ඩ ඇමරිකාවේ සම්මානිත මහාචාර්යවරියක් කවුඩංගොල්ලගෙ නම කිව්වම කතා කරනව, ඒකට මෙහෙ ඉන්න එවුන්.’

‘එයා බොහොම හොඳට කතා කළා. මං කිව්වා අඝා ෂහීඩ් ගැන විස්තර ටිකක් දැනගන්න අපට අවශ්‍යයයි කියල. විශේෂයෙන්ම අර කවියෙ අගට එයාගෙ නම දාලා තියෙන්නෙ ඇයි කියන එක ගැන දැනගන්න ඕන කියල.’

මම ගැලවෙන්නට ගිය සරම හරියට ඇඳගත්තෙමි.

‘ඒක ලස්සන කතාවක්. 90 දශකයේ මුල දවසක පැට්‍රිෂියායි එයාගෙ එයාට වඩා වයසින් බාල යාළුවෙකුයි අතරේ වාදයක් ගියාලු 60 දශකයේ ජීවිතය ගැන. පැට්‍රිෂියා තමන් අත්දුටු දේවල් ආශ්‍රයෙන් ඒ යුගය විස්තර කරද්දි යාළුවා එයා බලපු චිත්‍රපටිවලයි කියවපු පොත්වලයි තිබුණ අනංමනං කිව්වාලු. යාළුවා කියන විස්තර කොහොමවත් ඇත්ත ඉතිහාසය නෙවෙයි විකෘතියක් නිසා වාදය කරගෙන යන්න බැරි තත්වයක් ආවලු. හරියට අර 2000න් පස්සේ ඉපදුන එවුන් යුද්දෙ ගැනයි 87-89 භීෂණය ගැනයි කතාකරනවා වගේ… ඒ වෙලාවෙ පැට්‍රිෂියා යාළුවාට කිව්වාලු, ‘යුවර් හිස්ටර් ගෙට්ස් ඉන්ද වේ ඔෆ් මයි මෙමරි’ කියන ඔය වාක්‍යය.’ (මේ සිද්ධිය ප්‍රබන්ධයක් නොව මහාචාර්යවරියගෙන් පුද්ගලිකව විමසා තහවුරු කරගන්නා ලද සත්‍ය තොරතුරකි.)

‘ඒකෙ තේරුම මොකක්ද? මට ලොකු ඉංග්‍රීසි දැනුමක් නෑනෙ අර සෙවල බණ්ඩා කරපු වැඩේ නිසා.’

‘ඒ මොකක්ද? කවුද සෙවල බණ්ඩා?’

‘ඇයි බණ්ඩාරනායක අගමැතියා සිංහල රාජ්‍ය භාෂාව කළ හින්දලුනෙ අපිට ඉංග්‍රීසි බැරි..’

‘එතකොට මට ඉංග්‍රීසි පුළුවන් කොහොමද?’

මට ආයෙත් කටඋත්තර නැති විය.

‘ඒවා පස්සෙ කතාකරමු. දැන් මේ විස්තරය අහගන්නකො. මේ වාදය යන තැන අඝා ෂහීඩුත් ඉඳලා තියෙනවා. පැට්‍රිෂියා එයාගෙ යාළුවාට කිව්ව අර කතාව තමයි අඝා ෂහීඩ් ‘ෆෙයාර්වෙල්’ කවියට පාවිච්චි කළේ. ඒ වාක්‍යය තමයි ලෝක ප්‍රසිද්ධ වුණේ. අමරකීර්තිට වුනත් වැඩියෙන්ම අල්ලලා ගියේ මේ වාක්‍යය. ඇත්තටම අඝා ෂහීඩ් කළේ හොරකමක්. ඒ හොරකමට හිලව්වට තමයි එයා කවිය අවසානෙ ‘ෆෝ පැට්‍රිෂියා’ කියලා වරහන් ඇතුළෙ දාලා මේ කවිය පැට්‍රිෂියාට පිළිගැන්නුවෙ.

‘මාර කතාවක් නේද?

‘ඔව්… ඊට වඩා මාර කතාවක් තියෙනවා අනේ. අමරකීර්ති අවුරුදු දහයක් ගත කරලා තියෙනවා ඇමරිකාවෙ. එයා පීඑච්ඩී එක ගත්තෙ 2004 නෙ. පේරාදෙණියෙ වැඩට එන්න කලින් එයා අවුරුදු හතරක් ඇමරිකාවෙ කෝනල් විශ්වවිද්‍යාලෙ ඉගැන්නුවත්ලු. ඒ හැටියට බැලුවාම අඝා ෂහීඩ් මැරුණ 2001 එයා ඉඳලා තියෙන්නෙ එහෙ වෙන්න ඕන. එහෙව් මනුස්සයා, 2016 පළ කරපු නව කවි සලකුණ පොතේ කියනවා, අඝා ෂහීඩ්ගෙ මේ කවිය ආදර කවියක් විය හැකිය කියල.’

මායියා බක බක ගා හිනාවෙන්නට වුණාය.

‘ඉතිං ඒක එහෙම එකක් නෙවෙයිද?’

‘නෑ… අනේ…. අඝා ෂහීඩ් පුංචි කාලේ කාශ්මීරයේ හැදුන කෙනෙක්. එයා සියා මුස්ලිම් ජාතිකයෙක් කියලා කියනවා. කාශ්මීරෙ කියන්නෙ අනේ ඉස්සර බෞද්ධ රටක්. කාශ්මීරෙට වෙනම සංස්කෘතියක් තියෙනව. ඊයෙ පෙරේද ත්‍රස්ත ප්‍රහාරයක් ඇතිවුන පහ්ල්ගම් පැත්තෙ යේසුස් වහන්සෙ හිටියා කියනවනෙ. උන්වහන්සෙගෙ සොහොන කියල පිළිගන්න ස්මාරකයක් තියෙනවා ශ්‍රීනගර්වල. මධ්‍යතන යුගේ මුස්ලිම් ආක්‍රමණිකයො ඔය පැත්තෙ හිටිය මිනිස්සුන්ව ඉස්ලාම් ආගමට හැරෙව්වා. එතකොට බෞද්ධයො සේරම වගේ ඉස්ලාමිකයන් වුනා. ඒ අයට තමා සුෆි මුස්ලිම්වරු කියන්නෙ. දැන් නම් එහෙ වැඩිපුර ඉන්නෙ සුන්නි මුස්ලිම්වරු. කාශ්මීරයේ බ්‍රාහ්මණයොත් හිටියා. දැනුත් සුළු ප්‍රමාණයක් ඉන්නවා. ඒක මහා දිග ඉතිහාසයක්. පස්සෙ කාලෙක ඇති වුන කාශ්මීර ප්‍රශ්නෙ අල්ලගෙන තමයි අඝා ෂහීඩ් ඔය කවිය කියලා තියෙන්නෙ.’

‘ආාා… කාශ්මීරෙනෙ… හැබැයි මං ඔය යේසුස් වහන්සෙගෙ කතාවයි අර කවුද මුස්ලිම්ලා ගැනයි නම් දැනගෙන හිටියෙ නෑ ඇත්තටම…..’ මම කාෂ්මීර ප්‍රශ්නය කුමක්දැයි කල්පනා කරන අතර ඒ ගැන දන්නා අයකු මෙන් රඟපෑවෙමි.

‘ඔයාලා ඉතිං නූතනවාදියොනෙ. අපේ ඉතිහාසෙ නොදන්නවා වුනාට කාෂ්මීර ප්‍රශ්නය වගේ දේවල් ගැන නම් දන්නවානෙ නේද?’

මගේ ඇඟ හිරිවැටී ගියේය.

‘ටික ටික දන්නවා… අපේ අම්මලා කියනවා කාශ්මීර සාරි ගැන.. මට මතකයි..’ උත්තරය පිටවූයේ කටටත් නොදැනීමය.

‘මොනවද අනේ ඔයා මේ දොඩවන්නෙ….? කාශ්මීර ප්‍රශ්නෙ කියන්නෙ ඒ කාලෙ ලෝකෙම අවධානයට ලක්වුන මාතෘකාවක්නෙ. ඔය අදත් තියෙන්නෙ ඒ ප්‍රශ්නෙනෙ. පකිස්ථානය ඉන්දියාවෙන් වෙන් වුන වෙලාවෙ කාශ්මීරයේ අයිතිය වෙනුවෙන් රටවල් දෙකම ඉදිරිපත් වුන නිසා දේශසීමා ප්‍රශ්නයක් ආවා. අදටත් තියෙන්නෙ ඒ ප්‍රශ්නය. කාශ්මීර ප්‍රශ්නය ගැන හරියට නොදැන මේ කවිය තේරුම් ගන්න බෑ. අමරකීර්ති කියනවා, එයා සන්දර්භගත දාර්ශනිකත්වය කියලා හඳුන්වන ගුණය පැහැදිලි කරන්නයි ‘මගේ මතකය අවුරා සිටී ඔබේ ඉතිහාසයේ මාවත.’ කියන කවි පේළිය පාවිච්චි කරන්නෙ කියල. හැබැයි කවිය ගැන එයා කියලා තියෙන දේවල් බැලුවාම මිනිහා කවිය දන්නෙත් නෑ දර්ශනය දන්නෙත් නෑ කියලයි මට නම් හිතෙන්නෙ.’

‘මොකක්ද.. මොකක්ද? ඒ දාර්ශනිකත්වයද මොකක්ද කිව්වෙ? ඒක මරු කෑල්ලක් තැනකට ගියාම කියන්ඩ. බුකියට දාන්ඩත් එල….’

‘සන්දර්භගත දාර්ශනිකත්වය.’

‘හැබැයි මේ… ඇත්තටම මට ඔය වගේ බර දේවල් එකපාර අල්ලගන්ඩ බෑ අනේ. මං කියන්ඩද වැඩක්… ඔයා ඕක ලියල දෙන්ඩ. එතකොට මට ඒක කියවලා ඕක තේරුම් ගන්ඩ පුළුවන් වේවි. මං මගේ මායියා ලිව්ව එකක් කියලා බෝධි සබාවටත් යවන්නම්. මීට පස්සෙ ඔයා පොත් ලියන්ඩ. මං පලා ලියන්නං.’

(ප.ලි. ලිපිය බෝධි සබාවට යවන්නේ එය හොඳ මට්ටමක තිබුණොත් පමණි. මේ පුනරුද යුගයේ මායියාගේ වුවත් ප්‍රමිතියක් නැති දේකට අනුමැතිය නොදෙමි.)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top