අල්ලනවා නම් මෙන්න හොරු

Last Updated on 2 weeks by admin

2015 ජනාධිපතිවරණයෙන් පැරදී ගෙදර ගිය මහින්ද රාජපක්ෂ බලන්නට බස්රථවලින් පෝළිමේ ගිය ජනතාව, කලකට පසුව මහින්ද පට්ට හොරෙකු යැයි සිතන්නට පටන් ගත්හ. තමන් වැලේවැල් නැතිව ඉන්නේ රාජපක්ෂලා හොරකම් කළ නිසා යැයි සිතන්නට අති විශාල පිරිසක් පෙළඹුනහ. කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත් මහින්ද ගැන කතා අප්‍රිය වී රාජපක්ෂ ඩුබායි, සීෂෙල්ස් ආදී රටවල තැනැපත් කළ ඩොලර් බිලියන දහස් ගණනින් වු මුදල්, ගුවන්යානාවලින් හා නැව්වලින් උගන්ඩාව වැනි රටවලට ගෙන ගිය ඩොලර් කඳු ගැන කතා ජනප්‍රිය වූයේය. රාජපක්ෂවරුද මේ චෝදනා පිළිබඳ ඍජු පැහැදිලි කිරීමක් නොකළහ. පොහොට්ටුවේ දේශපාලකයෝ කලකට පෙර ඔවුන් බලය ලබා ගැනීමට කී මහබැංකු හොරකම් කතාව නොදන්නවුන් සේ රනිල්ගේ පස්සේ ගොස් රැකෙන්නට සිතූහ.

ජනතාව මාලිමාවට බලය දෙන්නට ප්‍රධානම හේතුව වූයේ ජවිපෙ, මහින්ද රාජපක්ෂ ඇතුළු තම විරුද්ධවාදී දේශපාලකයින්ට සහ රටේ දේශපාලන ක්‍රමයට විරුද්ධව දැමූ පරමාණු බෝම්බයයි. දෙවන ලෝක යුද්ධය අවස්ථාවේ ජපානයේ හිරෝෂිමා නාගසකී නගරවලට පරමාණු බෝම්බ වැටුණු පසු අභීතව සිටි ජපානය පරාජය භාරගත් ලෙසටම මාලිමාව හෙළු වෛරය නමැති පරමාණුවෙන් ලංකාවේ දේශපාලන ක්‍රමයම දැවී පිළිස්සුණි.

ජනතාව දේශපාලකයන් පිළිබඳව වෛරයක් ඇතිකර ගත්හ. අනුර දිසානායකගේ ජයට ප්‍රධාන හේතුව රට වැසියා වෛරයට පෙළඹීමයි. ජාත්‍යන්තර දේශපාලනය ගැන සැලකිලිමත් වීමේදී ලෝකයේ ඕනෑම රටක මාක්ස්වාදීන් බලයට පැමිණ ඇත්නම්, ඒ ජනතාව වෛරයට පෙළඹවීමෙනි. මාක්ස්ගේ ‘දාස් කැපිටල්’ නමැති සිද්ධාන්ත සංග්‍රහයේ පංති වෛරය ගැන සඳහන් වේ.

රටේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් සිදු විය යුතුව තිබුණ බව ඇත්තකි. එහෙත් එය කළ යුතුව තිබුණේ ජනතා සිත් වෛරයෙන්, ක්‍රෝධයෙන් මුසපත් කරවමින් නොවේ.

කල් ඉකුත් වී, ජනාධිපතිවරණයෙන් පසු නාමල් රාජපක්ෂ, තම පවුලේ අය විදේශයන්හි සඟවා ඇති ධනය ආපසු රටට ගෙන ඒමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටියේය. එයින් පසුව මාලිමාවේ ප්‍රධාන සටන් පාඨය වෙනස් වූ බවක් පෙනේ. ‘රාජපක්ෂලා උගන්ඩාවට ගෙනගිය ඩොලර් ආපසු ගෙන ඒමට කටයුතු යොදනවායි, වේදිකාවල පුනපුනා ප්‍රකාශ කළ නිලන්ති කොට්ටහච්චිගේ කතාවම නිදසුනකි. ඈ කියන්නේ එම මුදල් උගන්ඩා රජයේ ඇනවුමකට අනුව ලංකාවේ පිහිටි තෝමස් ඩිලාරු සමාගමෙන් මුද්‍රණය කර යැවූ ඒවා බව තමන් ඒ ප්‍රකාශය කරන අවස්ථාවේ පවා දැන සිටි බවයි.

රාජපක්ෂලා ඩුබායිහි තැන්පත් කර ඇති ඩොලර් බිලියන 1100ක් ගැන කියමින් සිටි ජවිපෙ වෘත්තිය සමිති නායකයකු වන වසන්ත සමරසිංහද පීල්ල මාරු කළේය. යහපාලන කාලයේ තමන් මේ පිළිබඳව විමර්ශනය කිරීමට ඩුබායි යන විට, රාජපක්ෂලා එම මුදල් වෙනත් තැනක සැඟවීමට කටයුතු කර තිබුණු බව ඔහු ප්‍රකාශ කළේය.

මහා මැතිවරණය ළංවෙමින් පවතී. බඩු මිල ඉහළ යයි. හාල් හිඟය, මිල අධිකය. කවදාවත් නැතිව පොල් පෝලිමක් හැදී තිබේ. ඉන්ධන මිල අඩු වූයේ බලාපොරොත්තු තබාගෙන සිටි මට්ටමින් නොවේ. අපේක්ෂාභංගත්වයෙන් කම්පා වෙමින් සිටින මාලිමාවට ඡන්දය දුන් මහජනයාට ඇති එකම අස්වැසිල්ල හොරු ඇල්ලිල්ල ගැන බලාපොරොත්තු ඇති කර ගැනීමයි. ඔවුන්ගේ බලාපොරොත්තු ඉහළ දමමින් ‘හොරු අල්ලන විට කෙඳිරිගාන්ඩ එපා’ යයි සහෝදර ජනාධිපතිවරයා කියයි. ‘ඇප කැන්සල් වෙන්නම හොරු අල්ලන්න මාලිමාවට ආසන 125ක් දෙන්නැ’යි ඊයේ පෙරේදා වසන්ත සමරසිංහ කියා තිබුණි. එෆ්සීයිඩීය නැවත පිහිටුවන බවට ප්‍රවෘත්ති පළ වේ. ඒ කියන හැටියට නම් හොරුන් ඇල්ලීමට ඔන්න මෙන්නය. ආණ්ඩුව ලස්සනට ඡන්ද දායකයින් අන්දන්නට සැරසේ.

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරීන් 13 දෙනෙකු සම්බන්ධයෙන් රජයේ බුද්ධි අංශ විමර්ශනයක් අරඹා ඇතැයි ඔක්. 15 වැනිදා මාධ්‍ය වාර්තා පළ විය.

එම මූල්‍ය ආයතනවලින් ඒ පිළිබඳ තොරතුරු වාර්තා ලබාගැනීම පළමු වෙහෙයුම බව බුද්ධි අංශ මාධ්‍යවලට අනාවරණය කර තිබේ. මාධ්‍ය වාර්තාවට අනුව, විදේශයන්හි මුදල් තැන්පත් කරන ක්‍රමවේද සම්බන්ධයෙන් මේ දිනවල බුද්ධි අංශ විශේෂ අධ්‍යයනයක් කරමින් සිටී. මෙය ඉතා දුෂ්කර කටයුත්තක් වුවත් ඒ සඳහා සූක්ෂම ලෙස ක්‍රියාත්මක වන බවත් යමකු ඒ පිළිබඳ තොරතුරු දන්නේ නම් ඒවා ඉදිරිපත් කළ හැකි බවද බුද්ධි අංශ පවසයි.

වසන්ත සමරසිංහ මහින්දගේ ඩුබායි සල්ලි ගැන කළ ප්‍රකාශයට අනුව, කිසිවක් නොදන්නා තොත්තබබුන් සේ සිටින බුද්ධි අංශවලට රාජපක්ෂලා සඟවා ඇති මුදල සොයාගැනීමට පොටක් පාදා ගත හැකිය. රාජපක්ෂලාගේ මුදල් ගැන ඩුබායි බැංකුව වසන්ත සමරසිංහලාට දුන් තොරතුරු ඇසුරින් ඒ මුදල් මාරු කර යවා ඇත්තේ කොතැනකටදැයි සොයාගැනීම අපහසු නැත.

බුද්ධි අංශ මාධ්‍යයට දී ඇති තොරතුරු කියවන ජනතාවට විදේශයන්හි තැන්පත් කර ඇති ධනය ආපසු ගෙන ඒම අති දුෂ්කර ක්‍රියාවක් යැයි සිතේ. ප්‍රසිද්ධ මාධ්‍යයන්හි පළ වන ඇතැම් ලිපිවලින් පවා කෙරෙන්නේ, විදේශයන්හි සඟවා ඇති ධනය ආපසු ගෙන ඒම පහසු කාර්යයක් නොවේ යැයි ජනතාව අතරට මතවාදයක් යැවීමයි.

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පුවත්පතක සැප්. 4 වැනිදා ‘හනිකට කළ හැක්කේ රට යළි ගොඩනැගීමද හොරුන් කුදලෑමද? නමින් පළවූ ලිපියකට අනුව රටේ ධනවත්ම පුද්ගලයින් 10 දෙනා අතර හිටපු ජනාධිපතිවරුන් 4 දෙනෙක්ම සිටිති. ඔවුන් අතරින් වඩාත්ම ජනප්‍රිය ලෝකයේම කතාබහට ලක්ව සිටින හිටපු ජනාධිපතිවරයාගේ වත්කම ඩොලර් බිලියන 11කි. හිටපු ඇමතිවරු 4 දෙනෙක්ද ඒ 10 දෙනා අතර වෙති. එවිට දේශපාලකයන් හැරුණු විට ලැයිස්තුවේ ඉන්නේ දෙදෙවකු පමණි. කණගාටුවට කරුණ නම් මෙවැනි ලිපිවල තොරතුරු සපයාගත් මූලාශ්‍රයක් සඳහන් නොවීමයි. එවිට ඒ ලිපි පල්හෑලි තත්වයට පත් වේ.

ශ්‍රී ලංකාවේ ධනපතියන් පිළිබඳව සඳහන් වන ෆෝබ්ස්, ස්ටැටිස්ටා, මීඩියම් වැනි කිසිදු ප්‍රකට මාධ්‍යයක හිටපු ජනාධිපතිවරුන්ගේ නම් දැකිය නොහැකිය. ඇමරිකාවේ පිහිටි රාජ්‍ය නොවන සංවිධානයක් වන විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සම්මුතිය (International Consortium of Investigative Journalists) ‘පැනමා පේපර්ස්’ සහ ‘පැන්ඩෝරා පේපර්ස්’ මගින් මූල්‍ය වංචාවලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් ගණනාවක් පිළිබඳ තොරතුරු වසර කීපයකට පෙර අනාවරණය කෙරිණි. එම ශ්‍රී ලාංකිකයන් වංචනිකව විදේශයන්හි තැන්පත් කර ඇති මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 9ක් පමණ වේ. එහෙත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොයුරියක වන නිරූපමා රාජපක්ෂ හා ඇගේ සැමියා වූ තිරු නඩේෂන් ගැන විනා මහින්ද රාජපක්ෂ හෝ වෙනත් හිටපු ජනාධිපතිවරයකු පිළිබඳ සඳහනක් ඒවායේ නැත. රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් එහි ඇත්තේ නිරූපමා සහ රාජපක්ෂවරුන් අතර ඇති ඥාතිත්වයයි. ඒ හැර එම ලේඛන මගින් හෙළිදරව් කර ඇති සියලුම පුද්ගලයන් පාහේ ව්‍යාපාරිකයින්ය. රාජපක්ෂවරුන් මීට සම්බන්ධ කෙරෙන්නේ, ඔවුන් නිරුපමා සහ නඩේෂන් හරහා ධනය කොල්ලකෑමට කටයුතු කර ඇතැයි යන සැකය මතය.

පැන්ඩෝරා ලේඛනවල නිරුපමා රාජපක්ෂගේ නම තිබුණු නිසාමදෝ ඒ ලේඛන නිකුත් වූ වහාම ඒ ගැන පරීක්ෂණයක් කරන්නැයි එවක ජනාධිපති ගෝඨාභය අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේය. තිරු නඩේෂන්ගෙන් ප්‍රශ්න කිරීමද සිදු විය. නිරුපමා ඒ වන විට රටේ සිටියේ නැත. එයින් කලකට පසු 2023දී හිටපු ඇමති විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ, ‘ව්‍යවස්ථාදායක සභාව අවශ්‍ය පත්වීම් නොකිරීම’ නිසා අදාළ පරීක්ෂණ නතර වූ බවයි.

Corruption is not the cause යනුවෙන් ඔක්. 8 වැනිදා ft.com හි පළ වූ ලිපිය හොරුන් ඇල්ලීම පිළිබඳ ජනතා අපේක්ෂාව දියාරු කරන තවත් උදාහරණයකි. මේ ලිපියෙහි ශාස්ත්‍රීය වටිනාකමක් ඇතත් මූලාශ්‍ර නොමැතිකම හා සාවද්‍ය මූලාශ්‍ර ඉදිරිපත් කිරීම වැනි කරුණු නිසා අගය හීනය. මේ ලිපියට අනුව, ලංකාවේ සිදු කළ මහා පරිමාණ ව්‍යාපෘතිවලින් මහින්ද රාජපක්ෂට 10% කොමිස් මුදලක් ලැබී තිබේ. වෙනත් කරුණු සනාථ කිරීමට ලියුම්කරු යම් මූලාශ්‍ර දක්වා ඇතත් එම කොමිස් මුදල් ලැබුණු බව සනාථ කිරීමට එවන් මූලාශ්‍රයක් ඉදිරිපත් කර නැත.

එම ලිපියේ අංක 1 යටතේ ඉදිරිපත් කර ඇති මූලාශ්‍රයට අදාළ වෙබ් යොමුව නිවැරදි එකක් නොවේ. එහෙත් ලිපිකරු ඉදිරිපත් කර ඇති තොරතුර අදාළ වෙබ් අඩවියේ වෙනත් තැනකින් සොයාගත හැකිය. The World Bank’s report on stolen assets is called “Few and Far Between” for a reason. It laments that between 2006 and 2012 all developed countries only returned $ 423 million in stolen assets.

වංචනිකව ඉපයූ මුදල් ආපසු ලබාදීමට පිහිටුවා ඇති ලෝක බැංකු ව්‍යාපෘතියක් වන StAR, 2006 – 2012 කාලය තුළ සියලු සංවර්ධිත රටවල් කොල්ලකෑ මුදල්වලින් ආපසු ලබාදී ඇත්තේ ඩොලර් මිලියන 423ක් වැනි සුළු මුදලක් බවයි. මෙවැනි තොරතුරු දකින්නන්, හොරුන් ඇල්ලීමට නොහැකි යැයි සිතා අධෛර්යවත් වෙයි.

ලියුම්කරු ඉදිරිපත් කර ඇති මේ තොරතුර වසර 10කට පෙර 2014 වසරේ පළ කළ වාර්තාවක සඳහන් එකකි. එම වෙබ් අඩවියේ දත්ත අංශයෙහි තොරතුරුවලට අනුව මේ වන විට StAR වැඩපිළිවෙළ යටතේ ඩොලර් බිලියන 10ක මුදලක් විවිධ රටවලට ආපසු ලබාදී ඇත. එයින් පැහැදිලි වන්නේ, 2014න් පසුව ඔවුන්ගේ කටයුතු වේගවත් වී ඇති බවයි.

එම ලිපියේ මාතෘකාව ‘Corruption is not the cause’ මගින් උත්සාහ කරන්නේත් වංචා දූෂණ පිළිබඳව රටේ ඇති ජනමතය දියාරු කිරීමට දැයි සැකයක් උපදී. ලියුම්කරු ලිපිය මගින් ඉදිරිපත් කරන මතවාදය වැදගත් නමුත්, මාතෘකාව මගින් පොදු සමාජයට යන පණිවිඩය වෙනස් එකකි.

හොරුන් ඇල්ලීම ඉතා අපහසු බවට මතයක් පළමුවත්, අල්ලන්නට නොහැකි බවට මතයක් දෙවනුවත් සමාජගත කිරීමේ කිසියම් උත්සාහයක් මේ සියල්ල යට සැඟව ඇති බව පෙනෙන්නට තිබේ. මෙය කෙළවර වන්නේ, මැතිවරණයෙන් පසු, ‘ඔන්න ඔහේ හොරු ඇල්ලිල්ලෙන් කමක් නෑ. අපිට ජීවත් වෙන්න තිබුණාම ඇති’ වැනි මතයක් ජනතාව තුළ ඇති වීමයි.

දේශපාලකයින් වේවා, ව්‍යාපාරිකයින් වේවා, නිලධාරීන් හෝ වෙනත් පුද්ගලයින් වේවා විදේශයන්හි රහසිගතව තැන්පත් කර ඇති මුදල් සොයා ආපසු ලබාගැනීම පහසු කාර්යයක් නොවන බව ඇත්තකි. ඊට හේතුව ඒ සඳහා එවැනි වංචාකාරයින්ට උපදෙස් ලබාදෙමින් ඔවුන් ආරක්ෂා කරන නීතිඥයින් සිටීමයි. එයින් පැහැදිලි වන කරුණ, මේ ජාවාරම්වලට දේශපාලකයින් හා ව්‍යාපාරිකයින් පමණක් නොව නීතිඥයන් වැනි උගතුන්ද සම්බන්ධ බවයි.

අප පැහැදිලි කරන්නේ අදින් වසර 10කට පෙර තිබුණු තත්වයට වඩා මේ වන විට හොරුන් ඇල්ලීමට ඇති පහසුකම් වැඩි බවයි. වංචනිකව රැස් කරන මුදල් තැන්පත් කිරීම පිළිබඳ චෝදනාවට ලක් වූ බොහෝ රටවල් තම රටේ කීර්ති නාමය ආරක්ෂා ගැනීම ගැන සිතා හෝ එවැනි දූෂණ වංචා දුරලීමේ අරමුණින් හෝ අලුත් නීති සම්මත කර තිබේ.

ඒ අතරින් වඩාත් ප්‍රසිද්ධ ක්‍රමය වන්නේ ඉහත සඳහන් කෙරුණු ලෝක බැංකුව යටතේ ක්‍රියාත්මක StAR (Stolen Accest Recovery Initiative) වැඩසටහනයි. StAR වෙත ලෝකයේ විවිධ රටවලින් ලැබුණු පැමිණිවලට අනුව ගොනු කරන ලද ලිපිගොනු සංඛ්‍යාව 563කි. ඩොලර් බිලියන දහස් ගණනින් සොරකම් කරන ලද බව කියන ශ්‍රී ලංකාද්වීපයෙන් නම් ලැබුණු එකම පැමිණිල්ලක් වත් අද වන තෙක් වාර්තා වී නැත. StAR වෙත ලැබුණු පැමිණිලි 141ක් විමර්ෂණය කර ඩොලර් බිලියන 10 ක මුදලක් මේ වන විට පෙරළා අදාළ රටවලට ලබාදී තිබේ. ආපසු ලබාදුන්, රාජසන්තක කරන ලද හා තහනම් කරන ලද මුළු දේපොළ වටිනාකම ඩොලර් බිලියන 16.5කි.

ඩුබාහි සිදු වන මුල්‍ය ජාවාරම් පිළිබඳව විමර්ශනය කිරීමට එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ මහ බැංකුවේ (FIU) හි සහයෝගය ලබාගත හැකිය. උගන්ඩාව, සීෂෙල්ස් පමණක් නොව ලොව බොහෝ රටවල ‘මූල්‍ය බුද්ධි ඒකක’ Financial Intelligence සමග සම්බන්ධ වීමෙන් ඒ රටවල්හි බැංකුවල ශ්‍රී ලාංකිකයන් වංචනිකව තැන්පත් කළ මුදල් තිබේ නම් අනාවරණය කරගත හැකිය. එ.ජා. සංවිධානයේ “goAML” සේවාව භාවිතයෙන් බොහෝ රටවල මුල්‍ය අපරාධ විමර්ශන අංශ හා සම්බන්ධ විය හැකිය. වර්තමානයේ මෙවැනි පරීක්ෂණ සඳහාම නිපදවූ දියුණු පරිගණක වැඩසටහන්ද (AI) තිබේ.

හොරුන් ඇල්ලීම ඉතා අමාරු කාර්යයක් බවට සමාජ මතයක් ගොඩනැගීම ඉතා බරපතල කාරණයකි. එයින් සිදු වන්නේ සැබෑ හොරුන්ට ආරක්ෂාව සැලසීමයි. මෙතෙක් කලක් වසර ගණනාවක් තිස්සේ දේශපාලකයන් ගණනාවක් හොරුන් වශයෙන් සමාජයේ අප්‍රසාදයට ලක්වෙමින් සිටිති. නමුත් විවිධාකාර දූෂණ වචාවලට සම්බන්ධ උගත්තු හා ව්‍යාපාරිකයෝද වෙති.

උදාහරණ ලෙස පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය කෙරුණු ශ්‍රී ලාංකිකයන් දැක්විය හැකිය. බුද්ධි අංශවලට මේ වෙබ් ලිපිනයෙන් ඔවුන් පිළිබඳ තොරතුරු පහසුවෙන් ලබාගත හැකිය. පසුගිය සතියේ පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති අලෙජන්ද්‍රෝ ටොලේඩෝ වසර 20ක් සිරගෙට නියම වූයේ පැන්ඩෝරා පත්‍රිකා ප්‍රකාශයට පත් කළ මාධ්‍යවේදී සම්මුතියේ විමර්ශනවල ආධාරයෙනි.

ඇමරිකාවේ පිහිටි තවත් රාජ්‍ය නොවන සංවිධානයක් වන ග්ලෝබල් ෆිනෑන්ෂල් ඉන්ටර්ග්‍රිටි ආයතනයේ වාර්තාවකට අනුව 2004-2013 කාලය තුළ ශ්‍රී ලංකාවේ ආනයන අපනයන කටයුතුවලදී ව්‍යාපාරිකයන් විසින් හිතාමතාම බිල්පත්වල බොරු ගණන් යොදා වංචාකර ඇති මුදල ඩොලර් මිලියන 37,917කි. ( පිටුව 56)

ශ්‍රී ලංකාවේ ආනයන අපනයන කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් සිදු කරනු ලබන්නේ එක්ස්පෝලංකා හෝල්ඩිං ආයතනය විසිනි. එම සමාගම සහ මේ වංචා අතර සම්බන්ධයක් තිබීමේ ඉහළ සම්භාවිතාවක් පවතී. පුදුමයට කරුණ නම් හොරුන් අල්ලන්නට ආ ජනාධිපතිවරයාගේ පළමු පත්වීම් අතර එම සමාගමේ ප්‍රධානියාද සිටීමයි. දැන් බස්නාහිර ආණ්ඩුකාරවරයා ඔහුය. මේ පිළිබඳව වර්තමානයේ විශාල කතාබහක්ද ඇතිවී තිබේ.

‘හොරුන් ඇල්ලීම අසීරුය’, ‘එය නොකළ හැකිය’, ‘එය දීර්ඝ කාලයක් ගත වන කාර්යයකි’ වැනි කතා පිළිබඳව සැලකිල්ලක් දැක්විය යුත්තේ මේ සියල්ල ගැන අවධානය යොමු කරමිනි. හොරුන් ඇල්ලීම සටන් පාඨය නිසා අනුර කුමාරට රටේ ජනාධිපති වීමට අවස්ථාව ලැබුණි. ඒ සඳහා පසුබිම සැකසුණේ මහින්ද රාජපක්ෂ මහ හොරෙකි යනුවෙන් ජනමතයක් ගොඩනැගීම නිසාය. (ඔහු හොරකම් කර තිබේ නම් ඊට දඬුවම් දිය යුතුය.) ඒ ජනමතය ගොඩ නගන ලද්දේ අනුර දිසානායක ඇතුළු සහචරයන් විසිනි. තමන්ට බලය ලබාගත හැක්කේ මහින්ද ජනතා අප්‍රසාදයට ලක්කිරීමෙන් පමණක් බව ජවිපෙ එදා සිටම දැන සිටියාය. හේතුව, ජවිපෙ සහ මහින්දගේ ඡන්ද පදනම එකක්ම වීමයි.

නිලන්ති කොට්ටහච්චි, වසන්ත සමරසිංහ වැනි අය කියන කතා, ඔවුන් පසුගිය කාලයේ මහින්දගේ මහා ධනස්කන්ධය ගැන ප්‍රචාරය කළ පුවත් සහ පැනමා හා පැන්ඩෝරා ලේඛන, ග්ලෝබල් ෆිනෑන්ෂල් ඉන්ටර්ග්‍රිටි ආදියේ හෙළිදරව් කිරීම් සැලකිල්ලට ගත් විට මහින්ද රාජපක්ෂ හොරකම් කර පිටරට සැඟවූ ධනයක් තිබිය හැකි දැයි විශාල සැකයක්ද මතු වේ.

ඩොලර් බිලියන ගණන් රටට අහිමි කළ ව්‍යාපාරිකයන් පිළිබඳව නම් සාක්කි තිබේ. පැනමා හා පැන්ඩෝරා ලේඛන මගින් අනාවරණය වූ පිරිස හොඳම නිදසුනයි. හොරුන් ඇල්ලීම යටගැසීමෙන් සිදුවන්නේ එම කූඨ ව්‍යාපාරිකයන්ට නිදහස ලැබීමයි. මාලිමාවේ අරමුණ මේ හොරුන්ට නිදහසේ ඉන්නට සැලැස්වීම දැයි සැකයක් ඇති වීමට හේතු තිබේ.

ශ්‍රී ලංකාවේ ඉහළ ධනපතියන් බොහෝ දෙනෙකු එජාපය හා සම්බන්ධය. දැන් මේ පිරිස එජාපය හා සජබ අතර බෙදී සිටිති. තමන්ගේ ආණ්ඩුවක් නැති බොහෝ අවස්ථාවල මේ පිරිස් රටේ මුදල් සංසරණය අඩු කර ආර්ථිකයට හානි කරන බව තතු දන්නෝ දනිති. දැන් මාලිමාව හමුවේ ඒ අභියෝගය තිබේ. බස්නාහිර ආණ්ඩුකාරයාගේ පත්වීම, හොරු ඇල්ලීම අසීරු බවට යන ප්‍රචාරය මෙන්ම offshoreleaks.org වෙබ් අඩවියේ විවිධ මූලාශ්‍රවලින් උපුටා දැක්වෙන ශ්‍රී ලංකාවේ ආයතන 31ක් තිබියදී දේශපාලකයින් හා රාජ්‍ය නිලධාරීන් 13 දෙනෙකු ගැන පමණක් පරීක්ෂණ කිරීමට යෑම ඒ ව්‍යාපාරිකයන්ට දුන් කොළ එළියක් විය හැකිය.

බුද්ධි අංශ හා මාධ්‍ය හොරුන් ඇල්ලීම පහසු නැතැයි කියන අතර මාලිමාව තවමත් හොරුන් අල්ලන්නට බලය දෙන්නැයි කියයි. ‘අපේ පක්ෂයේ හොරු නෑ’ ‘අපේ අයට පුරුදු නැත්තේ හොරා කෑමයි’ ජනාධිපතිවරයා ඊයේ පෙරේදා කියා තිබුණි. අන් සතු දේපොළකට හොර ඔප්පුවක් සාදා මිලියන 36ක් වංචා කිරීමේ චෝදනාවට වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක් නිකුත් කෙරුණේ ජනාධිපතිවරණයට පෙරය. දැන් ඔහු මාධ්‍ය මගහරිමින් සිටින බව නොවැම්බර් 1 දා ‘ඩේලි මිරර් පුවත්පතේ පළ වූ ලිපියකින් පැහැදිලි වෙයි.

හොරැන් කුදලෑම කොතෙක් දුෂ්කරද යන්න, මූල්‍ය වංචා ගැන චෝදනා ලත් ඈයින් සහ පාස්කු ප්‍රහාරය ගැන චෝදනා ලත් ඈයින් මාලිමාවේ ගෙටම රිංගීමට තරම් සූක්ෂ්ම වීමෙන් හා මාලිමාවට එය නොපෙනීමෙන් පැහැදිලි වේ.

අනුර දිසානායක ඇතුළු පිරිස හොරකම් දූෂණ පිළිබඳව මන්තරයක් මෙන් ජප කිරීම නිසා ජනතාව සිටින්නේ දේශපාලකයන් කෙරෙහි වෛරයෙනි. දැන් ළදරු පාසල් යන තොත්තබබාලා පවා මහින්ද හොරා යැයි කියා සිනාවෙති. මෙහි දිගුකාලීන හා සමාජීය විපාක ඉතා අයහපත්ය. 71 සහ 87-89 සමයේ රට අමුසොහොනක් කළ ජවිපෙ එයින් ජන මනසට කළ හානිය ඉතා විශාලය. මාලිමාව වර්තමානයේ ජන මනසෙහි ජනිත කරවන මේ වෛරය ක්‍රෝධය අනාගතයට බලපාන්නකි. බටහිරින් බිහි කළ සමාජ විද්‍යාඥයින් සහ මනෝවිද්‍යාඥයින් ද ඊට වගකිව යුතුයි. අගමැති හරිනි ද සමාජ විද්‍යාඥයෙකි.

අනුර දිසානායක ප්‍රධාන පිරිසගේ අලුත්ම සෙල්ලම නිදහසින් පසු සිටි සියලු පාලකයින් රට විනාශ කළ බවට මතයක් සමාජයට දීමයි. මොවුන්ගේ සටකපට උපායමාර්ග පිළිබඳව සෙසු පක්ෂවල අයට නොවැටහේද? මාලිමාව සමාජගත කරන විනාශකාරී ප්‍රෝඩාවන් පිළිබඳව ජනතාව දැනුවත් කරන දේශපාලකයින්ගේ හා උගතුන්ගේ හිඟයක් පවතී.

රටට වැදී ඇති හෙණය දේශපාලකයින් හොරකම් කිරීමම නොවේ. හොරුන්, සියලු ක්ෂේත්‍රවලට අරක්ගැනීමයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link