අශෝක රන්වලගේ ආචාර්ය උපාධි සහතිකය මෙන්න

Last Updated on 2 weeks by admin

ජීවිතයට ටයිපටියක් නොබැන්ද තරුණයා විවාහ උත්සවය අවස්ථාවේදී නිවැරදිව ටයිපටිය ගැටගහ ගන්නට පුදුම වෙහෙසක් දරයි. නොදන්නාකම විනා පුහු මානයක් නැති මෙවැන්නකු කරන්නේ හිතවතුන්ගෙන් උපදෙස් ගැනීමයි. කාලයක් ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටි අශෝක රන්වල කතානායක තනතුරේ වැඩ භාර ගත්තේ, හිමිදිරියේ ගෙයින් එළියට බසින පීනස් රෝගියකු බූල් ලේන්සුවෙන් ඔළුව වසා ගන්නා ආකාරය සිහිගන්වමිනි. ඔහු කතානායක බොරු කොණ්ඩය දමාගෙන සිටියේ වැරදියටය. එය ඔහුගේ චරිතයේ හා පෞරුෂයේ හැඩතල පැහැදිලි කිරීමකි. ‘පුනරුද යුගයක්’ කරා රට ගෙන යන බව කියන පාර්ලිමේන්තුවක් මෙහෙයවන්නට මෙවන් පුද්ගලයකුට හැකිද යන සැකය ජනතාවට ඇති වූයේ බොරු කොණ්ඩය විකාරයක් කරගැනීම නිසාය.

අනතුරුව පීඑච්ඩී ප්‍රශ්නයක් සාදාගත් ඔහු කතානායක ධුරයෙන් ඉවත් වූයේ පීඑච්ඩී සහතිකය ගෙන්නා ගන්නට කල් අවශ්‍ය බව කියමිනි. ඔහුගේ නම සඳහන්, වසෙදා විශ්වවිද්‍යාලයෙන් නිකුත් කළ බව සඳහන් ආචාර්ය උපාධි සහතිකයක පිටපතක් අපට ලැබී තිබේ. එහි ඉංග්‍රීසියෙන් සඳහන් වන්නේ, 2023 වසරේ සැප්තැම්බර 15 වැනිදා වසෙදා විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සංස්කෘතික හා සන්නිවේදන අධ්‍යයනය උපාධි පීඨයෙන් ඔහුට ජීව රසායන විද්‍යාව (බයෝකෙමිස්ට්‍රි) පිළිබඳ ආචාර්ය උපාධියක් පිරිනමා ඇති බවයි. එම සහතිකයේම ජපන් භාෂාවෙන් සඳහන් වන්නේ ඔහුට ජාත්‍යන්තර සන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් පිරිනමා ඇති බවයි. විශ්වවිද්‍යාලයක ජාත්‍යන්තර සංස්කෘතික හා සන්නිවේදන අංශයකින් ජීව රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් පිරිනැමීම ලෝක පුදුමයකි. මේ සහතිකය කුමක්ද යන්න පිළිබඳ අපට නිවැරදි අවබෝධයක් නැත. ඒ ගැන සොයා බලන්නට රහස් පොලිසිය, අල්ලස් හෝ දූෂණ කොමිසම වැනි ආයතනවලට පුළුවන.

මෙය වෙනත් සහතිකයක් සංස්කරණය කර, කවුරුන් හෝ කළ කවටකමකැයි කෙනෙකු සිතිය හැකිය. එසේ සිතිය නොහැක්කේ, මෙය එවන් සහතිකයක් නම් මේ වන විට සමාජමාධ්‍ය දෙගොඩ තලා යන පෝස්ටුවක් විය යුතු බැවිනි. හිටපු කතානායකවරයාට ආචාර්ය උපාධියක් ඇතැයි කියා පෙන්නන්නට හිතවතකු හෝ ඔහුම හෝ කළ මගඩියකැයි කෙනෙකු සිතන්නටද පුළුවන. වසෙදා විශ්වවිද්‍යාලයට සිදු වූ වැරදීමක් නැතිනම් ජපනුන්ට ඉංග්‍රීසි බැරි නිසා සිද්ධ වුන දෙයක් යැයි කෙනෙකු විහිළුවට මෙන් කියන්නටද පුළුවන. පන්දමට වැඩට ආ ජපන් බස වත් නොදන්නා ජපනෙකුගේ අත්වැරැද්දක් යැයි තවෙකෙකු කියන්නට ඉඩ තිබේ.

ජාතික සංවිධාන එකමුතුව පාවාදී මාලිමා පුහුලමේ එල්ලුන වෛද්‍ය වසන්ත බණ්ඩාර කියන්නේ ‘ඔහු හොර සහතික ඉදිරිපත් කර නැති බව’යි. ප්‍රශ්නය මතුවන්නේ ඒ කතාවේ පොඩි සැක සහිත බවක් ප්‍රදර්ශනය වීමෙනි. හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්න ගතියක් එහි ඇත. ඒ නිසා අපට ලැබුණු සහතිකය, හිටපු කතානායකවරයා තම සහතිකය බව කියමින් ඉදිරිපත් කළ එකක් දැයි සැකයෙන් බලන්නට අපට සිදු වේ. ජපන් ඉංග්‍රීසි භාෂා දෙක දන්නා කෙනෙකු මේ පරස්පර විරෝධය පෙන්නීම නිසා සහතිකය අකුලා ගත්තා විය හැකිය. එය එසේ නම්, එය කූට ලේඛන හැදීම, මුදල් ගෙවා හොර ආයතනයකින් කොළේ වසා සහතිකයක් ගැනීම වැනි විවිධ කාරණාද ඊට සම්බන්ධ විය හැකිය.

වසන්ත බණ්ඩාරගේ අදහස මෙය මාලිමාවට අලුතින් පැන්නවුන් හා ජවිපෙ සාමාජිකයන් අතර ගැටුමේ උච්ඡස්ථානයක් බවයි.

ඇතැමුන් පෙන්වා දෙන්නේ කතානායකවරයා කාදිනල්වරයාගේ අවශ්‍යතාවට පත් කරන ලද අයකු බවයි. රට බෙදීම හා බුද්ධාගම හෑල්ලු කිරීම පිණිස ගෙන එනු ලබන ව්‍යවස්ථා සංශෝධන අනපනත් ආදියේදී සහාය ලබාගැනීම පිණිස එවැන්නක් කළේ යයි ඔවුන් සිතති.

ගොරක දඩමස් කිරීම යයි කී සැණින් මගෝඩි ක්‍රියාවක් ප්‍රකාශ වේ. වෛද්‍ය වසන්ත බණ්ඩාර නව දොරින් හිනා පහල වන කතා කීමට දස්සයෙකි. ‘කතානායක වන්නට ආචාර්ය උපාධියක් අවශ්‍ය නැතැයි’ ඔහු කියයි. එයින් කරන්නේ උගතුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන බවට වහසි බස් දෙඩූවන්ගෙන් එකෙකු, නැති සුදුසුකම් එල්ලාගෙන ජනතාව රැවටීමේ වරද සැඟවීමයි. කතානායක ධුරය දරන්නට පීඑච්ඩී වුවමනා නැති බව ඔහු කියන්නට වුවමනා නැත. එවැනි තර්කයක් ඉදිරිපත් කරන්නා වංචාකාරයකු බව බුද්ධිමතාට වැටහේ. වංචනිකයා යනු ඕනෑම ජඩකමක්, හොරකමක් කිරීමට පුළුවන්කම ඇත්තෙකි.

රන්වලගේ ආචාර්ය උපාධි සහතිකය 2005 වසරට පෙර නිකුත් කළ එකක් නිසා එහි පිටපතක් ‘ඔන්ලයින්’ ක්‍රමයට ලබාගත නොහැකි හෙයින් එය රැගෙන ඒම සඳහා ඔහුගේ සමීපතමයකු ජපානයට යාමට නියමිත බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළ බවට පුවතක් දෙසැම්බර් 15 වැනිදා ප්‍රසිද්ධ කර තිබුණි. මෙයත් අමු කෙබරයකි. වසෙදා විශ්වවිද්‍යාල වෙබ් අඩවිය පවසන පරිදි, 2005ට පෙර නිකුත් කළ සහතික ‘ඔන්ලයින්’ ක්‍රමයට ඉල්ලුම් කළ හැකිය. නමුත් එය එවනු ලබන්නේ තැපෑලෙනි. එසේ පහසුවෙන් අඩු මුදලකින් සහතිකය ගෙන්නා ගැනීම වෙනුවට කෙනෙකු ජපානයට ගුවනින් යවා එය ගෙන්වා ගන්නේ ‘පුනරුද යුගයේ’ අලුත්ම අඩු වියදම් සොයාගැනීමක් විය හැකිය.

ජපන් ගොස් සහතිකය ගෙන ඒමේ කතාව, ජන මනස වෙනත් පැත්තකට කරකැවීමකි. ඒ මෙසේය. ජනතාව ආණ්ඩුවේ ලණුව ගිලී. ‘ඇත්ත නේන්නම්, ගිහිල්ලා ටික දවසකින් ඕක අරන් එයි.’ කියා හිත හදා ගනී. ‘සිංහලයාට යමක් මතක හිටින්නේ දවස් 14යි’ කියා ප්‍රභාකරන් කීවේය.

සියයට තුනේ සිටි මාලිමාවට 69 ලක්ෂයක් ජනතාව ඡන්දය දුන්නේ ඔවුන්ට කියා අන්දවාගන්නට නොවේ. දැන් දකින්නට තිබෙන තවත් පුදුමයක් නම්, රට බේරාගන්නට ඡන්දය දුන් ඇතැම් ‘සබුද්ධික ඡන්ද දායකයින්’ හොරුන් අල්ලන්නට කියා ජනතාව රවටා බලය ඩැහැගත් කම්බාහොරුන්ට, වාල්කම් කිරීමයි. රට ගොඩගන්නට පාර්ලිමේන්තුව උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් පුරවමින් බෙරිහන් දෙමින් සිටි සමහරු දැන්, ‘කතානායකකම කරන්නට ආචාර්ය උපාධි ඕනැද?’, ‘ජීවිතය දිනන්න උසස් පෙළ ඕනැමද?’, ‘ආචාර්ය උපාධි නැතිව රට හදන්න බැරිද?’, ‘රාජපක්ෂ පුතාලාටත් තිබුණේ හොර උපාධි නේද?’ ‘ඉල්ලා අස්වී රටට දුන් ආදර්ශයට අපේ රෙස්පෙට් එක’ ආදි දේ කියමින් හිටපු කතානායක සුද්ද කරන්නට වෙහෙසෙති.

හිටපු කතානායකගේ ආචාර්ය උපාධි සහතිකය ගෙන්නා පෙන්වන බව සහෝදර දොස්තර නලින්ද ජයතිස්ස ඇමතිවරයා කියා තිබේ. අපි එය එනතෙක් බලා සිටිමු. පුදුමයට කරුණ නම්, ආචාර්ය උපාධියට ඉදිරිපත් කළ නිබන්ධනය, උපාධිය ලද අවස්ථාවේ ගත් ඡායාරූපයක් වැනි දෙයක් වත් පෙන්නන්නට ආචාර්ය උපාධිධාරියාට නොහැකි වීමයි.

හිටපු කතානායකවරයාට වසෙදා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් පිරිනමා ඇතැයි සිතීම අසීරු වන්නට තවත් හේතු තිබේ. හිටපු කතානායක රන්වල, කතානායක බොරු කොන්ඩය පළඳින හැටි පමණක් නොව, තමාට ආචාර්ය උපාධිය දුන් බව කියන විශ්වවිද්‍යාලයේ නම වත් නොදනී. කතානායක තනතුරින් ඉල්ලා අස්වීම දැනුම් දෙමින් ඔහු ලියා ඇති ලිපියේ, මෙසේ සඳහන් වේ.

“මා හට ආචාර්ය උපාධිය ලබාදුන් ජපානයේ වසීදා විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාල ලියකියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර ඒවා හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට අදහස් කරමි.”

වසීදා නමින් විශ්වවිද්‍යාලයක් ජපානයේ නැත. ඇත්තේ වසෙදා විශ්වවිද්‍යාලයයි. ජපන් භාෂාවේ ‘සී’ යනුවෙන් ශබ්දයක් වත් නැත. ඇත්තේ, ස, සෙ, සො, සු, හා ශි ශබ්ද පමණි.

සාමාන්‍යයෙන් ආචාර්ය උපාධි පිරිනමනු ලබන්නේ විශ්වවිද්‍යාලවලින් විනා ඒවාට සම්බන්ධ පර්යේෂණ ආයතනවලින් නොවේ. ආචාර්ය උපාධිය සඳහා විශ්වවිද්‍යාලයක ලියාපදිංචි වී ඊට අනුබද්ධ පර්යේෂණ ආයතනයක අදාළ පර්යේෂණ කටයුතු සිදු කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි. උපාධිය නිකුත් කරනුයේ විශ්වවිද්‍යාලය මගිනි.

හැම විශ්වවිද්‍යාලක්ම පාහේ එමගින් නිකුත් කරන ලද උපාධිවලට අදාළ පර්යයේෂණ නිබන්ධන එකතුවක් ලේඛනාගාරය මගින් පවත්වාගෙන යයි. වර්තමානයේ අන්තර්ජාලය මාර්ගයෙන් එම නිබන්ධනවල විස්තර දැක බලාගැනීමේ පහසුකම පවතී. වසෙදා විශ්වවිද්‍යාලයේ පර්යේෂණ නිබන්ධන අන්තර්ජාල විමසුම් වැඩසටහන ‘වයින්’ WINE නමින් හැඳින්වේ. එහි ඉංග්‍රීසි ජපන් දෙබසින්ම අශෝක රන්වලගේ නම යොදා විමසුම් කළද කිසිදු ප්‍රතිඵලයක් දැකිය නොහැකිය. එම නිසා අශෝක රන්වලගේ ආචාර්ය උපාධිය පිළිබඳව අපට ඇත්තේ විශාල සැකයකි. එසේ වුවත් චෝදනාව ඔප්පු වන තෙක් විත්තිකරු නිදහස් බැවින්, අපි, රන්වල තම සහතිකය ඉදිරිපත් කරන තෙක් බලා සිටිමු.

මේ වන විට මැති සබයේ බොරු සහතිකකාරයින්ගේ පෝළිමක් නිර්මාණය වෙමින් පවතී. ඒ අතරට අගමැති හරිනි නිරේකා අමරසූරියගේ නමද ඈඳන්නට සමහරු උත්සාහ කරනු දුටු අපි, හරිනිගේ ආචාර්ය උපාධිය ගැන හොයන්නට අපි යම් වෙහෙසක් ගතිමු. ප්‍රතිඵලය, ඇගේ ආචාර්ය උපාධියට සම්බන්ධ තොරතුරු සොයාගැනීමට අපට හැකි වීමයි.

එය එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ හා ක්වීන් මාගරට් විශ්වවිද්‍යාලයේ ඒකාබද්ධ උපාධියකි. එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ ලේඛනාගාරයේ ඒ පිළිබඳ තොරතුරු තිබේ. ආචාර්ය උපාධි නිබන්ධනයේ මාතෘකාව Guardians of childhood: state, class and morality in a Sri Lankan bureaucracy යන්නයි. ඇගේ උපදේශකවරුන් වශයෙන් කටයුතු කර ඇත්තේ ජොනතන් ස්පෙන්සර් සහ ඇලිසන් ස්ට්‍රැන්ග්ය. දිනය 2011 ජුලි 4 වැනිදාය. අන්තර්ජාල යොමුව http://hdl.handle.net/1842/5881 ය.

ඒ ගැන කියන්නට අපට විශේෂ කතාවක් තිබේ. එය පසුව ඉදිරිපත් කරමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link