ඇමරිකාවෙන් පාඩමක්

Last Updated on 2 months by admin

‘රටක නායකයාගේ උගත්කම මත රටේ දියුණුව හා අභිමානය ගොඩනැගේ’ යන්න වැරදි අදහසකි. එය ඇත්තක් නම් මිචායිල් ගොර්බචොව් රාජ්‍ය නායකයා වශයෙන් පත්කර ගත් රුසියාව වැටෙන්නේ නැත. දෙවන ලෝක සංග‍්‍රමයෙන් පසු ඇමරිකාව ප‍්‍රධාන බටහිර කඳවුරට අභියෝග කළ රුසියාව, සෝවියට් සමූහාණ්ඩුව ගොඩනැංවීමට මූලික විය. බටහිර රටවල්, රුසියාවේ නායකත්වය දැරූ ජෝසප් ස්ටාලින්ට ලෝකයේ බිහිවූ බිහිසුණුම ඒකාධිපතියා ලේබලය දැමූහ. කාලයාගේ ඇවෑමෙන් ලෝකයටම ආදර්ශවත් උගත් නායකයෙකු පෙන්වීමට සෝවියට් දේශයට හැකි විය. ඒ මිචායිල් ගෝර්බචොව්ය. ඔහු සෝවියට් සමූහාණ්ඩුව කැබලි කළේය. රුසියාව දණින් වැටුණි. පුටින් ඉදිරිපත් වී රුසියාව බේරාගත්තේය.

කොංග‍්‍රස් ආණ්ඩු ඉන්දියාව බිම දමමින් තිබුණි. ඇමරිකාව ඒ කාලයේ භාරතීය ජනතා පක්ෂයේ නායක නරේන්ද්‍ර මෝදිට රටට ඇතුළු වීමට විසා බලපත‍්‍රයක් නොදුන්නේය. හින්දු ආගම්වාදියකු වශයෙන් බටහිරුන්ගේ අපකීර්තියට ලක්වූ මෝදි රාජ්‍ය නායකයා වී ඉන්දියාව ලෝකයේ බලවත්ම රටක් බවට පත් කළේය. මෝදි ඉන්දියාවේ අභිමානය ගොඩනැංවීමට කළ වැඩ කොටස අතිමහත්ය. පසුගිය මාසයේ රුසියාව සමග ඇති කරගත් ගල්අඟුරු ගිවිසුම නිදසුනකි. ඇමරිකාව රුසියාවට නොයෙකුත් ආර්ථික සම්බාධක පනවා ඇත. රුසියාවේ ප‍්‍රධාන නිෂ්පාදනයක් වූ ගල්අඟුරු අපනයනය වැළැක්වීමට යෙදූ සම්බාධකය ඉන් ප‍්‍රධානය. මෝදි ඒ සම්බාධකය තුට්ටුවකට ගණන් නොගත්තේය.

ජෝ බයිඩන් උගත් නායකයෙකි. ඔහු යටතේ ඇමරිකාවේ වැටීමක් සිදුවන බවක් එහි වැසියන්ට පෙනේ. ඇමරිකාවේ අදහස් විවෘතම ප‍්‍රතික්ෂේප කිරීමට තරම් චීනය බලවත්වීම නිදසුනකි. ඉරානය බලවත්වීම තවත් උදාහරණයකි. මේ වැටීමෙන් ඇමරිකාව ගොඩගැනීමට හැක්කේ ප‍්‍රබල නායකයෙකුට පමණි. රිපබ්ලිකන් පාක්ෂිකයෝ ඇමරිකාවට ආදරය කරති. හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගත වූ කාලයේ බොහෝ පහරකෑම්වලට ලක්වීම ඔවුන්ට ප‍්‍රශ්නයකි. ඔහුට නඩු පිට නඩු වැටුණි. මේ පිටුපස විදේශ බලවේගයන් ඇත්දැයි සමහරුන්ට සැක ඇති විය. ඇමරිකාවේ අධිකරණය, ජනාධිපති ධුරයේ බලය දරන පුද්ගලයෙකු රජෙකු හා සමාන බව කියමින් ට‍්‍රම්ප්ට පක්ෂව තීන්දුවක් දුන්නේය.

රනිල් වික‍්‍රමසිංහ උගතෙකි. නීතිඥයෙකි. බොහෝ දෙනාගේ අදහස ඔහු හා සමාන කරන විට සජිත් පේ‍්‍රමදාස ලංකාවේ අපොස සාමාන්‍ය පෙළවත් නැත්තෙකු බවයි. කතාව කුමක් වුවත් ඕනෑම ක‍්‍රියාවක් අවසානයේ පචවීම ඔහුගේ ලකුණකි. ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේදී විදේශ ණය ප‍්‍රතිව්‍යුහගතකරණය ගැන අදහස් දැක්වූ ජනාධිපති වික‍්‍රමසිංහගේ කතාවට පිළිතුරු දෙන සජිත් පේ‍්‍රමදාස, රටක මන්දපෝෂණය නිසා පාසැල් දරුවන් ඇද වැටීම සුබද? අසුබද? රටක විරුකියාව සුබද? අසුබද? ආදී වශයෙන් ප‍්‍රශ්න වැලක් අසන්ට ගත්තේය. රටේ ආර්ථිකය කඩා වැටී මිනිසුන් හාමතේ ඉන්න විට අගමැතිකම ගන්නේ නැතිව පැන දිවීම සුබද? අසුබද? යැයි ඇසූ ජනාධිපතිවරයා අන්දරේ සිනාව දැම්මේය.

සජිත් ජාතිකත්වයක් නැත්තෙකි. බලයේ සිටියදී කූරගලට විදුලිය නොදීම, ඔහු බෞද්ධ උරුමයට දක්වන ආදරය පැහැදිලි කරන සිද්ධියකි. ආර්. පේ‍්‍රමදාසගේ මරණයෙන් පසු පේ‍්‍රමදාස පවුල ක‍්‍රිස්තියානි ආක‍්‍රමණයට හසුවූ බව අප‍්‍රකට කාරණයක් නොවේ. රනිල් වික‍්‍රමසිංහ රටේ ඕනෑම සම්පතක් පිටරටට විකිණීමට සූදානම් අයෙකි. බෙදුම්වාදී යුද්ධය පැවති කාලයේ ජාතික සටන හෑල්ලූවට ලක් කළ ඔහුට ඇත්තේ මොන ජාතිකත්වයක් ද?

යම් යම් කරුණුවලින් අනුර දිසානායක තුළ මෙම නායකයින් දෙදෙනාටම සමාන කම් තිබේ. ඔහු 13 වනි සංශෝදනයට පක්ෂවීමෙන් හා උතුරේදී කී සිංහල විරෝධි කතාවලින් පැහැදිලි කරන්නේ ජාතිකත්වය නමින් කිසිම දෙයක් නැත්තෙකු බවයි. බුදු සුසනට දක්වන සැලකිල්ල මිහින්තලයේ නායක හිමියන් අතේ බැන්ද පිරිත් නූල කඩා දමා මෝටර් රථයට ගොඩවීමෙන් පැහැදිලි වේ. ඔහු, 87 89 කාලයේ පක්ෂය වෙනුවෙන් මියගිය සාමාජික සාමාජිකවන් ගැන බිඳක් හෝ හැඟීමක් ඇත්තෙකු නම්, විශ‍්‍රාමික පොලිස් හා හමුදා නිලධාරින්ගේ සංසද පිහිටුවමින් ඔවුන් ලවා රටේ අනගතය තීරණය කරන්නට නොසිතයි.

අනුර දිසානායක දේශපාලන වශයෙන් දුර්වලයෙකි. කිසිම ජාතිකත්වයක් නැති පිට රටවල වෙසෙන පුද්ගලයින්ගේ උපකාරය ලබාගෙන රට ගොඩගැනීමට සැරසීම ඊට නිදසුනයි. ආචාර්ය හරිනි අමරසූරිය වැන්නන් රංචුවක් මාලිමාවේ බුද්ධි මණ්ඩලය වී කටයුතු කරන්නට හේතුව ජවිපෙ නායකයින්ගේ නොහැකියාවයි.

අදීන රටක් ගොඩනැඟීමට සිතන රට වැසියා කළ යුතු පළමු වැනි ක‍්‍රියාව, රනිල්, සජිත්, අනුර යන තිදෙනාම විදේශිීය රටවලට වුවමනා දේශපාලන නායකයින් බව වටහා ගැනීමයි. එය නොවැටහෙන්නන්ට ඒ බව පැහැදිලි කර දීමට ඔවුන් වෙහෙසුය යුතුයි.

ඇමරිකාවේ මහාධිකරණය ඩොනල්ඞ් ට‍්‍රම්ප් පිළිබඳව දුන් ඵෙතිහාසික නඩු තීන්දුවෙන් ලංකාවටත් ප‍්‍රයෝජණයක් ගැනීමට පුළුවන. ජාතිකත්වය පිළිබඳ පදනමක් නැතිව විදේශීන්ගේ වුවමනා සඳහා බලයට පත් වන කිසිම නායකයෙකුට රට ගොඩනැගීමට හා රටේ අභිමානය ඇති කිරීමට නොහැකිය. එවැන්නන් නිසා සිදුවන්නේ රට තව තවත් පිරිහීමයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link