ඇයි, අනුරට අදීන නායකයෙක් වෙන්න බැයිද?

Last Updated on 2 days by admin

ලංකා දේශපාලනයේ රාජපක්ෂ විරෝධය ගුප්ත ක්‍රියාවක් බඳුය. හම්බන්තොට වරාය කොන්ත්‍රාත්තුව චීනයට බාරදීම නිසා ඉන්දියාව සතුරෙකු වීම ඊට හේතුව යයි සිතන්නෝ සිටිති. විරෝධය ප්‍රකාශ වූයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මාර්ගයෙනි. ඒ අවස්ථාවේදී අනුර දිසානායකගේ ජවිපෙ උපරිමයෙන් ඔහුට උපකාර කළේය. රනිල්ගේ අගමැති කාර්යාලය වූ අරලියගහ මැදුරට අනුර කුමාර දිසානායක නිතර ආ ගිය ප්‍රවෘත්ති රුපවාහිනී නාළිකාවලින් මහජනයාට දැකගන්ට ලැබුණි.

ගෝඨා ගෝ හෝම් ක්‍රියාවට රනිල් එක එල්ලේ සම්බන්ධ නොවූයේය. අනුර කුමාර දිසානායක ප්‍රධාන ජවිපෙ ඊට ඍජුවම සම්බන්ධ විය. රනිල්ට ජනාධිපති ධුරය භාරගන්නැයි ගෝඨාභය ජනාධිපතිවරයා ඇරයුම් කරන්ට එය හේතුවකි. ඒ අවස්ථාවේදී පොහොට්ටුවේ මැති ඇමතිවරුන් රනිල් නායකයා කරගැනීම බැසිල්ගේ මගපෙන්වීමක් විය යුතුයි. මන්ද ඔහු පොහොට්ටුවේ නායකයා වූ බැවිනි.

රනිල් වට කරගත් පොහොට්ටුකාරයින් පිරිස රනිල් ගැන කියන්ට ගත් කතා අලියා අතගෑ අන්ධයින් කී කතාවලට සමානය. සැබෑ අන්ධයින් ගැන මහජනයාට ඇති වූයේ අනුකම්පාවකි. රනිල්ගේ පාලනය ගැන කියන පොහොට්ටුකාරයින්ගේ අන්ධ කතා ඇසූ ගෝඨාභයට ඡන්දය දුන් මහජනයා කෝප වූහ. ‘වෙනසක් කරමු’ කියමින් ඔවුන් මාලිමාව වටා රොක්වීම තවත් අන්ධ සීන් එකකි. ඔවුන් කළ යුතුව තිබුණේ අන්ධයන් මෙන් හැසිරෙන්නේ නැතිව මාලිමාව හසුරුවන බලවේගය කුමක් දැයි සොයා බැලීමයි.

මාලිමාව යනු ජවිපෙ ගිලගෙන බිහිවූ දේශපාලන හවුලකි. මෙම ක්‍රියාව අලුත් සමාගමක් පැරණි සමාගමක ප්‍රසිද්ධ වෙළඳ නාමය මිලයට ගැනීම වැනි ක්‍රියාවකි. ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රධාන බටහිර රටවල සිටින ශ්‍රී ලාංකිකයන් සෑහෙන පිරිසක් එහි ඉත්තන් බව ඇත්තකි. ඔවුන් වැඩි දෙනා සිංහලයින් නොවේ. දෙමළ ඩයස්පෝරාව අදෘශ්‍යමානව මාලිමාව යට සිටින්නේ මුහුණු සඟවාගෙනයි. මේ කාගෙත් පොදු ස්වභාවය බෞද්ධයන් නොවීමයි. ඔවුන්ගේ ඇසට, ජාතිකත්වය යනු පටු වැඩවසම් සංකල්පයකි. බලය ලබා ගැනීමට පෙර සිටම මාලිමාවට සම්බන්ධ පුද්ගලයින්ගෙන් සිංහල බෞද්ධ ජාතිකත්වයට විරුද්ධ නොයෙක් අදහස් ඉදිරිපත් විය. අවාසනාව, සංඝ නායකයින් පවා මාලිමාවට ආශිර්වාද කිරීමයි. උන්වහන්සේලා එක්කෝ මැල්කම් කාදිනල් රංජිත් ගිය පාරේ ගියහ. එසේ හිතන්ට හේතුව කාදිනල් ඍජුව කටයුතු කරතැයි ඇතැම් සරසවි මහාචාර්යවරුන් සහ නායක හිමිවරුන් පවා ප්‍රකාශ කර ඇති බැවිනි. විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලැබූ ගෝලයින්ගේ බලපෑමට හසුව නායක හිමිවරුන් නිහඬ වූ බව සමහරුන්ගේ අදහසයි. ‘හිමාලයන් බුඩිස්ට් මන්ක්ස්’ලා නම් තනිකරම කොටි පිල්ලියකි.

මාලිමා ආණ්ඩුව යටතේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ වනු ඇතැයි යන අදහස රට තුළ පැතිර යමින් පවතී. උගත් නැනවත් සිල්වත් භික්ෂුන් වහන්සේලා සිදු වන දේ නිරීක්ෂණය කරමින් සිටිනවා විය යුතුයි. මේ අතර බත්තරමුල්ලේ සීලරතන හිමියන් සිංහල බෞද්ධයාගේ ගැලවුම්කරුවා වශයෙන් රුපවාහිනී නාළිකාවලින් ප්‍රදර්ශනය වේ. ඒකත් සිංහල බෞද්ධයාට ගැහිල්ලක් යැයි බොහෝ දෙනා සිතති. ථෙරවාදී භික්ෂු පනත් කෙටුම්පත් පනත සම්මත කරගැනීමට නායක හාමුදුරුවරුන් යුහුසුළු වන්නේ භික්ෂුවගේ ගෞරවය ආරක්ෂා කිරීමටයි. ඊට බුද්ධ ශාසන ඇමති කැමති වුනොත් මහා පුදුමයකි. එසේ කියන්නේ දැන් ඇතැමුන් ශාසන විරෝධී අලකලංචි වැඩ ගැන පැහැදිලි කරන විට, ‘හිනිදුම කල්වාරිය හදපු මොරටුවෙ පේදුරුබාස්ගේ මුනුබුරා බුද්ධ ශාසන ඇමති වුනා’ වගේ කියා උපමාවක් පාවිච්චි කරන බැවිනි.

රනිල් පසුගිය සතියේ ඉන්දියාවේ චාරිකාවක යෙදුණේය. ඔහු එහි සිට කළ ප්‍රකාශයක් අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයාට තරවටුවකි. ‘මම මෝදි සමග අත්සන් කළ ගිවිසුම් අනුර ක්‍රියාත්මක කළ යුතුයි.’ (දිවයින නොවැ. 25 සඳුදා) රනිල් වික්‍රමසිංහ ජනවරමකින් ජනාධිපති ධුරයට පත් වූවෙකු නොවේ. අනුර විශාල ජනවරමකින් ජනාධිපතිකමට පත් වූයේය. එම නිසා රනිල්ගේ හැසිරීම බොහෝ දෙනාට සැකයකි. ඔහුගේ හඬ ඉන්දියාවේ හඬ යයි බොහෝ දෙනා සිතති. මෙය, ඊශ්වරයාගේ ගෙලේ වසන නාගයා, ‘සැප සනීප කොහොමදැ’යි ගුරුළාගෙන් ඇසුවාට සමාන ක්‍රියාවක් නොවේ.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මුහුණ පා සිටින්නේ එසේ මෙසේ අර්බුදයකට නොවේ. ඔහු රනිල් කියන කතාව භාරගෙන ඉන්දියාවේ මනදොල පිරෙන ඔහු අත්සන් කළ එකඟතා ලේඛන (Vision Document) ක්‍රියාවට නැංවිය යුතුයි. එවිට මැතිවරණ කාලයේ ඔහු කී වීර කතා පුස්වෙඩි බවට පත් වේ. ‘මේ කපේට ආණ්ඩුව වැටෙන්නේ නැතැ”යි මාලිමා ඇමතියෙක් කීවේය. (දෙසැම්බර් 01 දෙරණ) කප කෙසේ වෙතත් ගෝඨාභයට සිදු වූ දේ අනුරටත් සිදු වන්ට පුළුවන.

රනිල්ගේ තර්ජනය නොසලකා අදීන නායකයෙකු වශයෙන් කටයුතු කරන්ට අනුර ජනාධිපතිවරයාට පුළුවන. ඒ සඳහා එකම මග, ඔහුව පිළිගත් සිංහල බහුතරයට තමා පිළිබඳ විශ්වාසය තහවුරු කිරීමයි. ඊට මග, මාලිමාවට අරක්ගෙන සිටින, ජාතික උරුමයට සිනාසෙමින්, බටහිරට වුවමනා හැටියට හැසිරෙන නව ලිබරල්වාදීන්ට හා මාක්ස්වාදීන්ට පා පහර දී සිංහල බෞද්ධ උරුමය තහවුරු කිරීමයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link