ඉතිහාස අජීර්ණයට කව්සිළුමිණෙන් විරේකයක්

Last Updated on 3 hours by admin

කොලට් සේනානායක
නාරද කරුණාතිලක

ගල්පොත සෙල්ලිපිය

පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමාගේ ‘කව්සිළුමිණ’, සිංහල භාෂාවෙන් රචිත ශ්‍රේෂ්ඨතම මහාකාව්‍යය යැයි බොහෝ විද්වත්හු සිතති. ජාතක පොතේ අඩංගු කුසජාතකය මීට වස්තු වී ඇත. මෙම කතාව පදනම් කරගෙන පරාක්‍රමබාහු රජතුමා මහාකාව්‍යයක් රචනා කරන්නට හේතුව, කව්සිළුමිණට විචාර ලියූ කිසිම උගතෙකු පැහැදිලි කර ඇති බවක් අපට දැකගන්නට ලැබී නැත. ඊට හේතුව ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමයයි. සාහිත්‍යය සමග ඉතිහාසය ඉදිරිපත් කිරීමේ සිරිතක් මහාවිහාරය විසින් රටට හඳුන්වා දී තිබූ බව, උගතුන්ට දැනගන්නට ලැබී නැත. මේ විපත ලංකාවේ පැරණි ඉතිහාසය පිළිබඳ දුර්මත හා මෝඩ අදහස් පැතිරීමට හේතුවකි.

බ්‍රිතාන්‍යයන් ඔවුන්ගේ යටත් විජිතයක් ‘ඉන්දියාව’ යනුවෙන් නම් කර තිබේ. ඔවුන් ඒ නාමය සාදාගන්නේ ඉස්ලාමිකයන්ගේ, ‘හින්දුස්ථාන්’ යන නමෙනි. බුදුන් ජීවමාන කාලයේ දඹදිව පැවති ප්‍රධාන ජනපද (රාජධානි) 16ක් ගැන චුල්ල නිද්දේශය සඳහන් කරයි. ජෛන හා බ්‍රාහ්මණ ග්‍රන්ථයන්හි ද මේ රාජධානි ගැන බොහෝ විස්තර තිබේ. කාලිංගය ඉන් එකකි. එහි දේශසීමා නිතර වෙනස් විය. ඊට ප්‍රධාන හේතුව ඇතැම් කාලිංග රජවරුන් රට විශාල කරමින් මහා කාලිංගයක් ගොඩනැංවීමට වෙර දැරීමයි. එවිට අසල්වාසී රටවල් කාලිංගය ජයගැනීමට වෙහෙසුනි. අශෝක රජු කාලිංග රට මගධයට ඇඳා ගත් නමුදු, පසු කලෙක නිදහස් වී නැවත බලවත් රාජ්‍යයක් ඇති විය.

මහාවංශයේ සඳහන් සුප්පාදේවී කාලිංග රජතුමාගේ දියණියකි. විජය, ඇයගේ දුව සිංහසීවලීගේ පුතෙකි. රටින් පිටුවහල් කරන ලද විජය සහ ඔහුගේ පිරිවර සේනාව මෙරටට ගොඩබට පුවත මහාවංශයේ තිබේ. මෙහි රාජ්‍යයක් පිහිටුවූ විජයට අභිෂේකය ලැබීම සඳහා කාලිංග සිරිත් පිළිපදින්නට සිදු විය. එනිසා ඔහු දූතයින් පිරිසක් මවු රටට යැව්වේය. කාලිංග රජු ඒ කටයුත්ත සඳහා වුවමනා උත්සව භාණ්ඩ සමග කුමරියක සූදානම් කළේය. විජයගේ සෙනෙවියන්ට විවාහ වීම උදෙසා කුමරියන් පිරිසකද ඒ සමග පිටත් කෙරිණි. ඒ හැම දෙනාම මදු කුමරියෝ වූහ.

මුල් කාලයේ කාලිංගයේ පාලකයින් බෞද්ධයෝ වූහ. ඔවුන්ගේ අගනුවර දන්ත පුරයේ ආගමික වියවුලක් ඇති විය. ඒ අවස්ථාවේදී කාලිංග නුවර වැඩ විසූ දන්ත ධාතුන් වහන්සේ වැඩමවාගෙන හේමමාලි කුමරිය සහ දන්ත කුමරා කාලිංගයෙන් පිට වී ලංකාවට පැමිණියහ.

පොළොන්නරුවේ සිට රට පාලනය කළ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජතුමා කාලිංග වංශිකයෙකි. එතුමා, ‘තමා ඔක්කාක වංශයෙන් පැවතෙන කාලිංග චක්‍රවර්ති රාජවංශයේ සිංහපුරයේ උපත ලද නිශ්ශංකමල්ල කාලිංග රජු බව’ රුවන්වැලි සෑ පුවරු ලිපියේ සඳහන් කරයි. තමා අයත් විජය රජුගේ පරපුර ගැනත් එතුමා සඳහන් කළ තැන් තිබේ. (ගල්පොත ලිපිය – ඡායාරූපයේ දැක්වෙන්නේ ගල්පොත ලිපියයි.) මේ සියලු කාරණා පිළිබඳ වැඩි තොරතුරු සිංහල සාහිත්‍යයේ අඩංගු වේ.

නිශ්ශංකමල්ල රජුගෙන් පසු කාලිංග මාඝ නමැත්තෙක් බලගතු හමුදාවක් සමග සිංහල රාජ්‍යය ආක්‍රමණය කළේය. ඔහු හින්දු ආගමිකයෙකි. මේ කාලයේ යාපහුව, දඹදෙණිය, ආදී සිංහල බෞද්ධ රාජධානි බිහි කර ඇත්තේ, මාඝ පරාජය කරන්නට වෙහෙසුන සිංහල නායකයන් විසිනි.

මාඝගෙන් රට බේරාගැනීමේ සටනේ නායකත්වය ගත් විජයබා රජුගේ පුත් පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා කුස ජාතක කතාව පදනම් කරගෙන කව්සිළුමිණ රචනා කළේය. එහි ප්‍රධාන චරිතය ගොඩනැගෙන්නේ කාලිංගයේ ‘ඉක්ෂවාකු’ රජ පරපුරේ ‘කුස’ රජු මුල් කරගෙනයි. ඉක්ෂවාකු නමැති සකු නම, පාලි පොත්වල සඳහන්ව ඇත්තේ ‘ඔක්කාක’ යනුවෙනි. එබැවින් ඔක්කාක යන්න ඉක්ෂවාකු යන්නේ පාලි රූපය ලෙස සැලකිය යුතුයි. පබාවතී (ප්‍රභාවතී) කුමරිය ඉක්ෂවාකු රාජධානියට යටත් හෝ එහි උප රාජධානියක්ව පැවති මදුරා (මද්‍රා) රටේ මදු කුමරියකි. මෙය හා විජය කුමරාගේ අභිෂේක කතාව අතර සම්බන්ධයක් තිබේ.

කුස ජාතකය බෞද්ධ කතාවකි. එහි සඳහන් වන ලෙසට කුස රජුගේ මව සීලවතී නම් වූවාය. අබෞද්ධ ගායකයින් බෞද්ධ සීලවතීලා අවමානයට ලක්කරමින් සින්දු හදා රටේ ජනතාවගේ මනස විකෘති කරන තුරු ලංකාවේ සීලවතීලා විසූහ.

කාලිංගය ආගමික ශාස්තෘවරුන් කිහිප දෙනෙකුම සංචාරය කළ ස්ථානයකි. එනිසා බෞද්ධ, ජෛන, බ්‍රාහ්මණ ආගමික පොත්වල කාලිංගය ගැන අප්‍රමාණ තොරතුරු ඇත. බුදුන් වහන්සේ (කාලිංගයේ) ඔක්කාක රාජධානියේ මල්ලයන්ගේ අගනුවර පැවති කුසිනාරා (කුෂී නගර්, අතීතයේ කුසාවතී) හිදී පිරිනිවන් පෑහ. කුසාවතියේ ප්‍රධාන වරාය ‘තාම්රලිප්ත’ හා ‘සිංහපුර’ ගැන ඉතිහාස ගවේෂකයින් බොහෝ තොරතුරු ඉදිරිපත්කර ඇත. ඒ අතර ‘උත්කලා’ කාලිංග රාජ්‍යයේ පළාතක් බව සඳහන් වීම වැදගත්ම කරුණයි. බුදුන්ගේ ප්‍රථම උපාසකයන් දෙදෙනා වූ තපස්සු සහ භල්ලුක උත්කලාවේ වෙළෙඳ සමාගමකි. බුදුන්ගෙන් කේශ ධාතු අටමිටක් ලැබූ එහි නායකයෝ, කාලිංගය ඇතුළු වෙළෙඳාම සඳහා ගිය රටවල් ගණනාවක කේශධාතු චෛත්‍ය ඉදි කළහ. සිංහල දේශයද එයින් එකකි.

ඉතිහාස තොරතුරු සොයන ඇතැමුන් කියන ලෙසට යාපනේ ආර්ය රාජධානියක් ගොඩනැගීමට මුල් වූයේ සිංහල ප්‍රහාරවලින් පසු බැස්ස කාලිංග මාඝයි. ඔහුගෙන් පසුව ආර්ය චක්‍රවර්ති නමැත්තෙකු එහි සිටි බව ඔවුහු කියති. විශේෂත්වය, ආර්ය චක්‍රවර්ති හින්දු ආගමිකයෙකු වීමයි. පුරාණයේ පටන් කාලිංග රාජධානියේ බෞද්ධ – බ්‍රාහ්මණ, බෞද්ධ – හින්දු, බෞද්ධ – ජෛන ආරාවුල් හටගත් බවට තොරතුරු ඇත. මේ ඇතැම් ආරවුල් යුද්ධ බවට පත් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top