ඉස්ලාමය යුද්ධයේ ආගමයි. ඉන්න තැනක සිට සටන් කරපල්ලා! – බඝ්ඩාඩි

Last Updated on 20 hours by admin

2015 මාර්තු මාසයේ (14, 15 හා ආසන්න දිනවල), එකල අයිසිස් සංවිධානයේ නායකයා වශයෙන් කටයුතු කළ අබු බකර් අල් බඝ්ඩාඩි, මුස්ලිම්වරුන් අමතා කළ දේශනයක හඬපටයක් පිළිබඳ ප්‍රවෘත්තියක් ලොව පුරා ප්‍රචාරය විය.

විනාඩි 35ක් පමණ පුරාවට කෙරන බඝ්ඩාඩිගේ දේශනයේදී, ඔහු, ‘මුස්ලිම්වරුනි, ඉස්ලාමය කිසි කලෙක, එක් දිනකට වත් සාමයේ ආගම වූයේ නැත. ඉස්ලාම් යනු යුද්ධයේ ආගමයි.’ යනුවෙන් කියා සිටියේය. (සුදු වර්ගවාදීන්ගේ හා ජිහාඩ් සටන් කණ්ඩායම්වල අන්තර්ජාල කටයුතු ගවේශණයේ යෙදෙන ආදායම් උපයන ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධානයක් වන එස්අයිටීඊ බුද්ධි තොරතුරු කණ්ඩායම, එම කතාව ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත.)

‘ඉස්ලාම් රාජ්‍යයට සංක්‍රමණය නොවී සිටීමට කිසිම මුස්ලිම්වරයෙකුට නිදහසට කාරණයක් නෑ. ලෝකයේ සෑම තැනකම සිටින මුස්ලිම්වරුන් සටනට සහභාගි වීමට පැමිණිය යුතුයි. එය හැම මුස්ලිම්වරයකුගේම වගකීමක්. එසේ ඉස්ලාම් රාජ්‍යයට එන්නේ නැති අය තමන් සිටින තැනක සිට සටන් කළ යුතුයි’ බඝ්ඩාඩි ඒ ප්‍රකාශය ඉල්ලීමක් නොව, නියෝගයකි.

ශ්‍රී ලංකාවද ඇතුළුව දකුණු ආසියාවේ රටවලින් යුද්ධයට සහභාගි වීමට මුස්ලිම් ජනයා ගිය බවට සංඛ්‍යා ලේඛන කීපයක් පසුගිය ලිපියකින් ඉදිරිපත් කෙරිණි. මේ ආකාරයට ලෝකයේ රටවල් ගණනාවකින් මුස්ලිම්වරු යුද බිමට ගියහ.

බඝ්ඩාඩිගේ කතාව ඇතැම් මුස්ලිම්වරුන්ට මේ තරම් වැදගත් වූයේ ඇයි? ‘ඉස්ලාම් රාජ්‍යය’ යනු ඉස්ලාම් බැතිමතුන්ට ඉතා විශේෂ බලපෑමක් කළ හැකි යෙදුමකි. මෙය අරාබි බසින් ‘කිලාෆා, නම් වේ. (ඉංග්‍රීසි යෙදුම ‘කලිෆේට්) ‘කිලාෆා’ යනු ‘කලීෆා’ (ඉංග්‍රීසි – කාලිෆ්) යටතේ පාලනය වන බල ප්‍රදේශයයි. ‘කලීෆා’ යන අරාබි වචනයේ තේරුම ‘අනුප්‍රාප්තිකයා’ය. මොහොමඩ්තුමාගේ මරණයෙන් පසු (ක්‍රි.ව. 632) එතුමාගේ පලනය යටතේ තිබුණු දේශපාලන-ආගමික රාජ්‍යයේ (කිලාෆා) හා එහි ජනයාගේ නායකත්වයට පත් වූ අබු බකර් පළමු කලීෆාය. කලීෆාට දේශපාලන අධිකාරිත්වය මෙන්ම යම් මට්ටමක ආධ්‍යාත්මික නායකත්වයක්ද හිමිය. එතැන් පටන් විවිධ කාලවලදී ‘ඉස්ලාම් රාජ්‍යයන් 4ක් පැවති අතර, 1924දී මුස්තෆා කෙමාල් අට්ටර්ක්, ඔටෝමන් තුර්කි කිලාෆාව අහෝසි කළ පසු ‘කිලාෆා’ රාජ්‍ය ක්‍රමය අවසන් විණි.

මේ න්‍යායට අනුව, 2014 දී බඝ්ඩාඩි කිලාෆාවක් ප්‍රකාශයට පත් කිරීම නිසා, ඔහු, ලෝකයේ වෙසෙන සියලු මුස්ලිම්වරුන්ගේ දේශපාලන නායකයා මෙන්ම ආධ්‍යාත්මික නායකයාද වන බව (කලීෆා) පිළිගැනීමට ඇතැම් මුස්ලිම්වරු පෙළඹුණහ. කලීෆා යනු මොහොමඩ්තුමාගේ අනුප්‍රාප්තිකයා බැවින් ඔහුට පිටුපෑමට මුස්ලිම්වරුන්ට අයිතියක් නැති බව ඔවුන්ගේ විශ්වාසයයි. නැවතත් කිලාෆාවක් හා කලීෆාවරයෙකු බිහිවීම ඔවුන්ට ආස්වාදජනක සිද්ධියක් විය. මෙය ඇතැම් දැඩිමතධාරී මුස්ලිම්වරුන් හා අන්තවාදීන්, විශේෂයෙන්ම හිස්බ්-උට්-ටහ්රිහ්, අල් ඛයිඩා ඇතුළු විවිධ ත්‍රස්තවාදී කණ්ඩායම් උද්‍යෝගයට පත් කරන සිදු වීමක්ද විය. මේ වන විට අයිසිස් සංවිධානය සටන් රැල්ලක් අරඹා තිබුණි. මේ නිසා, බඝ්ඩාඩිගේ නියෝගය පිළිගෙන, විවිධ රටවලින් මුස්ලිම්වරු සිරියාව හා ඉරාකය ඇතුළත් නව කිලාෆාව ආරක්ෂා කරමින් ව්‍යාප්ත කිරීම සඳහා එහි එන්නට වූහ. තවත් පිරිස් තම රටවල සිට සටන් කරන්නට වූහ. සහරාන් ඇතුළු මරාගෙන මැරුණු පිරිස ඇතුළත් වන්නේ මේ දෙවැනි කණ්ඩායමටය.

2016 වසරේ නෝර්වේජියානු ජාතික මාධ්‍යවේදී පෝල් සලාහ්ඩින් රැෆ්ස්ඩල්, එසේ යුද පිටියට පැමිණ සිටි, මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීමේ පෝළිමේ සිටින සටන්කාමීන් පිළිබඳව ‘ඩග්මා: ද බට්න්’ (අරාබි ‘ඩග්මා’ යනු සිංහල බසින් ‘බොත්තම’යි) නමින් වාර්තා චිත්‍රපටියක් නිපදවීය. (පෝල් සලාහ්ඩින් 2009 වසරේ ඇෆ්ගන් ත්‍රස්තවාදීන්ට හසුවී, ඉස්ලාම් ආගමට ඇතුළු වූ අයෙකි.)

එහි සිටින එක් මරාගෙන මැරෙන බෝම්බකරුවකු වන, සවුදි ජාතික අබු ක්වස්වාරාට, සිරියානු ආරක්ෂක හමුදාවට එල්ල කිරීමට ගිය මරාගෙන මැරෙන ප්‍රහාරය අතහැර දමන්නට සිදු වේ. ඔහු පවසන්නේ හමුදාව මාර්ග බාධක යොදා තිබීම තම උත්සාහය ව්‍යර්ථ වූ බවයි. බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට ගිය ගමන විස්තර කරන ක්වස්වාරා මෙසේ කියයි.

“අවුරුදු 32ක් පුරාවට මම වැඩියෙන්ම සතුට දැනුන අවස්ථාව ඒකයි. එය ඔබට හිතාගන්න බැරි විදිහේ හැඟීමක්. මට විස්තර කරන්න බැරි විදිහේ දෙයක්. ඒක විස්තර කරන්න බෑ.”

වරෙක තම ජංගම දුරකතනය පෙන්වන ක්වස්වාරා, බෝම්බය පිපිරවීමට මොහොතකට පෙර තමා පියාට කතා කිරීමට බලාපොරොත්තු වන බවත්, මේ ප්‍රාණ පරිත්‍යාගය පියා වෙනුවෙන් කෙරන්නක් බවත් කියයි. ඔවුන්ගේ අපේක්ෂාව, පාරාදීසයේදී පවුලේ සාමාජිකයන් සමග එකතු වීමය. තමා කිසි දිනෙක පියවි ඇසින් දැක නැති, සිය සිඟිති දුවගේ වීඩියෝවක් නරඹන හෙතෙම, මරණය විසින් වෙන් කරන නමුදු, දුවටත් තමාටත් පාරාදීසයේදී එකතු විය හැකි බව සුසුම් හෙළමින් කියයි.

මරාගෙන මැරෙන පෝළිමේ සිටින එක් සටන්කාමියකු විස්තර කරන පරිදි, සිය වාරය ලැබීමට සමහර විට වසරක් දෙකක් ගත විය හැකිය. පෝළිම එතරම් දිගය. මේ සියල්ල ඔවුන් කරන්නේ අල්ලාගේ සතුට පිණිසය. ජීවිතයේ දුක සතුට දරාගනිමින් අල්ලාගේ සතුට පිණිස තම චේතනාව ස්ථිරව පවත්වාගෙන යා යුතුය.

‘ප්‍රාණ පරිත්‍යාගය’ නිසා තමන්ගේ සියලු පව්වලට අල්ලාගේ සමාව ලැබෙන බව ඔවුන්ගේ විශ්වාසයයි. ‘පළවෙනි ලේ බිංදුව ඇඟෙන් එළියට විසිවෙද්දිම සේරම පව් අහෝසි වෙනව. ඊට පස්සෙ පාරාදීසයට යනව. පාරාදීසෙදි කාන්තාවන් 72 දෙනෙකු විවාහ කරගන්න පුළුවන්.’ ජ්‍යෙෂ්ඨයෙකු ප්‍රාණ පරිත්‍යාගයේ වාසි ගැන අසන ප්‍රශ්නයකට පිළිතුරු දෙන පුහුණුව ලබමින් සිටින ළාබාල සටන්කරුවෙක් කියයි.

කෙසේ වුවත් පසුව, ක්වස්වාරා ඉස්ලාම් ආගම ප්‍රචාරය කිරීමේ කාර්යයේ යොදවනු ලබයි. ඔහු සමග පෝළිමේ සිටින බ්‍රිතාන්‍ය ජාතික අබු බසීර් අල් බ්‍රිටනි ද, තම බිරියට දරුවකු ලැබුණු බව දැනගත් පසු, සිය අදහස අත්හැර දැමීමට සිදුවන බවට ඉඟි කරයි. (මොහු Hannah’s Got Herpes රොක් සංගීත කණ්ඩායමේ ආධුනික සංගීතවේදයකු වශයෙන් කටයුතු කළ ලුකාස් කිනී Lucas Kinney බව පසුව අනාවරණය විණි.)

“මම සටන් බිමට ගිහින් මැරුණොත් ඒක වෙනයි. නමුත් මම ගිහින් බෝම්බයක් පුපුරවා ගන්න හිතමතා තීන්දුවක් ගත්තොත්, බිරිඳයි ළමයිනුයි මට සමාව දෙන එකක් නෑ.” අල් බ්‍රිටනි පවසයි.

මාර්ග බාධක නිසා මෙහෙයුම අත්හරින්නට සිදු වූයේ යැයි ක්වස්වාරා කීවද, චිත්‍රපටයේ අතැම් තැනක ඔහුගේ හැසිරීම්, අංග චලන, ආදිය සැලකිල්ලට ගත් විට, ඔහු අතරමගදී සිය පුපුරුවා ගැනීමේ මෙහෙයුම මගහැර ආපසු පැමිණි බවට සැක පහළ වෙයි. ඔහු බෝම්බ ප්‍රහාරයට යන්නේ හිමිදිරියේ නිසා, මගහැර ඒම පහසු වැඩකි. ඔහුව මරාගෙන මැරෙන ප්‍රහාරක පෝළිමෙන් ඉවත් කර ආගම් ප්‍රචාරයේ යෙදවීම ඊට තවත් සාක්කියකි.

චිත්‍රපටයේ සිටින කිසිදු චරිතයක්, නිෂ්පාදන කාලය තුළ නම් බෝම්බ පුපුරුවා නොගත් බව චිත්‍රපටයේ නිවේදනයේ කෙරෙයි.

මෙවැනි තොරතුරුවලින් පැහැදිලි වන්නේ, ඒ තරම් දැඩි පුහුණුවක් ලැබුවද, මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට තරම් හිත එකඟ කරගැනීම අතිශයින් අසීරු කරුණක් බවයි.

සහරාන් වැනි පුද්ගලයින්ගේ මනස වැඩ කරන්නේ කෙසේද යන්න පිළිබඳව යම් අවබෝධයක් ලැබීමටත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට තරම් හිත සකසා ගැනීම කෙතරම් අසීරුදැයි අවබෝධයක් ලැබීමටත් මේ චිත්‍රපටය ඉවහල් වෙයි. එහෙත්, අපේ සමාජයේ බොහෝ දෙනා සහරාන් ඇතුළු බෝම්බකරුවන් ගැන අදහස් දක්වන්නේ, ඔවුන් බට්ටා රතිඤ්ඤා වැල් පත්තු කළ පිරිසක්ය යන හැඟීම ඇතිවය.

වරෙක, ක්වස්වාරා ප්‍රහාරය පිණිස උපදෙස් ලබාගැනීමට අල් නුසියා සංවිධානයේ ආගමික අංශයේ නායකයා වෙත යයි. “මේක ඔබ සතුව තියෙන ඉතාමත්ම අනර්ඝ දේ වන මනුෂ්‍ය ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්. සල්ලි කන්දක් දුන්නත් මිනිහෙක් තමන්ගේ ජීවිතය නැති කරගන්නෙ නෑ. ඒත් ඔබට පේනව, අපේ කොල්ලො ප්‍රාණ පරිත්‍යාග මෙහෙයුම් සම්පූර්ණ කරන හැටි.”

‘ප්‍රාණ පරිත්‍යාගය’ නමින් මොවුන් මේ හඳුන්වන විනාශකාරී ක්‍රියාව, මුස්ලිම්වරුන්ගේ පොදු යහපත පිණිස නොව, ආත්මාර්ථකාමී හැඟීමෙන් යුතුව සිදු කෙරෙන තත්වයකට පරිවර්තනය වූ බව 1980 දශකයේ මුජහිදින් සංවිධානයට එකතු වී සටන් කළ ඊජිප්තු ජාතික මුස්තාපා හමීඩ් පැහැදිලි කරයි. ඔහු අල් ඛයිඩා හිටපු නායක බින් ලාඩන්ටද වඩා ජ්‍යෙෂ්ඨයෙකි. 2014 දී, හිටපු ත්‍රස්ත විරෝධී විශ්ලේෂකයකු වන ලෙහ් ෆැරල් සමග එක්ව ‘ද ඇරැබ්ස් ඇට් වෝර් ඉන් ඇෆ්ගනිස්ථාන්’ The Arabs at War in Afghanistan කෘතිය පළ කරන ඔහු පසුකාලීනව සටනට එක්වූවන් පිළිබඳ සිය කලකිරීම විස්තර කරයි. ඔහුගේ පැහැදිලි කිරීම සහරාන් වැන්නන්ගේ මානසිකත්වයේ තවත් පැත්තක් පිළිබඳ කදිම අනාවරණයකි.

‘ජිහාඩ් නිසා මේ වන විට දරුණු ප්‍රතිවිපාක ඇති කරන එක් නිෂේධාත්මක කරුණක් නම්, තරුණයින්, ඇෆ්ගනිස්ථානය මුදාගැනීමේ මෙහෙයුම ජයගැනීම කෙරෙහි නොව, දිවි නසාගෙන පාරාදීසයට ඇතුළු වීමට (ඇතුළු වී කාන්තාවන් 72 දෙනකු විවාහ කරගැනීමට) ආසා කිරීමේ ප්‍රවණතාවක් බිහිවීම යැ’යි මුස්තාපා කියයි.

‘සටන සිදු වන රටේ හෝ එය මෙහෙයවන කණ්ඩායමේ හෝ උන්නතියට නොව, සිය පුද්ගලික ආසාවන් සන්තර්පනය කරගැනීමේ අරමුණින් මේ ඇතැම් සටන්කාමීන් දිවි නසාගන්නා බව’ ඔහු පැහැදිලි කරයි.

පීඩිත ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ඔහුගේ පරමාදර්ශයෙන් සමකාලීන ජිහාඩ් සටන් භාවිතය බැහැර වී, ප්‍රාණ පරිත්‍යාගශීලී වීමේ ආශාව හා පළිගැනීම හැර යුද්ධයේදී කිසිවක් වැදගත් නැත යන හැඟීමෙන් සිවිල් ඉලක්කවලට එරෙහිව දිවි නසාගැනීමේ තත්වයක් උද්ගත වූ බවත් අවසානයේ එය, කැමරාව ඉදිරියේ පුරසාරම් දොඩවමින් භයානක ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන මට්ටමට පත්ව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

2011 නොවැම්බර් 11 වැනිදා ‘අද දෙරණ 24’ සිය ‘ඇට් හයිඩ්පාක්’ වැඩසටහනෙන්, සහරාන් හසීම් බෝම්බ ප්‍රහාරයට පෙර පටිගත කර ඇති බව කියන වීඩියෝවක කොටස් විකාශය කළේය. එය නරඹන විට, සහරාන් ඇතුළු පිරිසට, ‘කිලාෆාවට එන්න බැරි නම් ඉන්න තැනක සිට සටන් කරපල්ලා’ යැයි බඝ්ඩාඩි දුන් නියෝගය හා කිලාෆා මූලධර්මය මෙන්ම මුස්තාපා හමීඩ් පැහැදිලි කරන ආත්මාර්ථකාමිත්වය පෙරදැරි කරගත් ප්‍රචණ්ඩත්වයද තදින් බලපා තිබුණු ආකාරය පැහැදිලි වේ.

(මතු සම්බන්ධයි)

මේ සම්බන්ධ පසුගිය ලිපි:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top