Last Updated on 5 days by admin
සෑම් සෙනෙවිරත්න

B-2 Bomber Attacking with Bombs. Image Credit: Creative Common / nationalsecurityjournal.org
ඊශ්‍රායල්- ඉරාන යුද්ධයට සතියක් පිරුණි. ඒ පිළිබඳ කතාවලින් සමාජ මාධ්‍ය පිරී ගොසිනි. මේ බොහෝ තොරතුරුවලට පදනම් වන්නේ ‘යූටියුබ්’ වැනි සමාජ මාධ්‍යවල පළවන විකාර කතා මිස සත්‍යය නොවේ.
‘ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට කිසිම හානියක් සිදුවී නෑ. ඒවායේ සේවය කරන රුසියානුවන්ට කිසිදු හානියක් සිදු වුවහොත් අපි නිකම් ඉන්නේ නෑ’ යැයි පුටින් ඊශ්‍රායලයට තර්ජනය කළ බවට පැතිරුණු සමාජ මාධ්‍ය තොරතුර නිදසුනකි. පුටින් එවැනි ප්‍රකාශයක් කළ බවට කිසිදු තොරතුරක් සොයාගන්නට නැත.
ඉරානයේ න්‍යෂ්ටික යටිපතල පහසුකම් මධ්‍යස්ථාවලට එල්ල කෙරෙන ඊශ්‍රායල් ප්‍රහාර නීති විරෝධී වන අතර වහාම ඒවා නැවැත්විය යුතු යැයි රුසියානු විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කළ ප්‍රකාශයක් නම් තුර්කි පුවත් සේවයක පළ වී තිබේ. (පසුව රොයිටර් පුවත් සේවයද මේ බව වාර්තා කළේය.) ඒ වාර්තාවට අනුව රුසියාව කනස්සල්ලට පත්ව ඇත්තේ බුෂර් න්‍යෂ්ටික බලාගාරයේ සේවය කරන රුසියානුවන්ට ප්‍රහාරවලින් අනතුරක් වේ දැයි සැකයෙනි. රුසියානු වාර්තාවලට අනුව එහි රුසියානුවෝ 200ක් පමණ සේවය කරති. ඊශ්‍රායලය පහර දුන් න්‍යෂ්ටික මධ්‍යස්ථාන අතර බුෂර්ද වී යැයි ඊශ්‍රායලය වරක් පැවසුවද පසුව නිවේදනය කළේ පහර දුන් සෙසු ස්ථානවල නම් සමග අත්වැරදීමකින් බුෂර් නමද සඳහන් වූ බවයි.
මෙහිදී වඩාත් වැදගත් වන්නේ ඊශ්‍රායලය ඉරානයට පහර දුන්නේ ඇයිද යන කාරණයයි. ඇතැමුන්ගේ අදහස මෙය බ්‍රික්ස් සංවිධානය විනාශ කිරීම ඇතුළු පරමාර්ථ මත ඇමරිකාවේ වුවමනාව පරිදි ඊශ්‍රායලය කළ පහරදීමක් බවයි. එහෙත් මේ සිදුවීම යට දීර්ඝ ඉතිහාසයක් තිබේ.
ඉරානය හොර රහසේම න්‍යෂ්ටික බෝම්බයක් නිෂ්පාදනය කරමින් සිටින බවට ඊශ්‍රායලය චෝදනා කළේ අද ඊයේ නොවේ. 2003 වන විට ඉරානය න්‍යෂ්ටික බෝම්බයකට අවශ්‍ය සියලු කොටස් පාහේ නිපදවා පරීක්ෂාවට පවා ලක් කර තිබුණු බව ඊශ්‍රායල ඔත්තු සේවා එම කොටස් හොරා රහසේම ලබාගෙන ප්‍රදර්ශනය කරමින් අනාවරණය කළේ 2018 තරම් ඈතදීය.
ඉරානය සිය මිසයිල් නිෂ්පාදනය ඇරඹූයේ 1980 දශකයේ ඉරාකය සමග පැවති යුද්ධය අවස්ථාවේදීය. උතුරු කොරියාවෙන් හා ලිබියාවෙන් ස්කඩ් මිසයිල මිලදී ගත් ඉරානය, සිරියාවෙන් නිෂ්පාදන තාක්ෂණය ලබාගෙන දේශීය වශයෙන් මිසයිල නිෂ්පාදනය ඇරඹීය. ප්‍රතිඵලය ෂහාබ්-3 මිසයිලයයි. එය උතුරු කොරියාවේ ස්කඩ් මිසයිලයට වඩා විශාල දියුණු මට්ටමේ එකක් විය.
න්‍යෂ්ටික අවි පිළිබඳ ප්‍රවීණයකු වන තාල් ඉන්බාර් පැහැදිලි කරන පරිදි කි.ග්‍රෑ. 500ක් පුපුරණ ද්‍රව්‍ය ගෙන යා හැකි ඕනෑම මිසයිලයකට න්‍යෂ්ටික පිපිරුම් ද්‍රව්‍ය ගෙන යා හැකිය. ෂහාබ් -3 මිසයිල හා එහි වඩාත් දියුණු ඝාඩ්ර්, එමාඩ් හා ෆට්ටා මිසයිලවලට මේ හැකියාව තිබේ. මේ මිසයිල වර්තමාන සටනේදී ඉරානය පාවිච්චි කරන ඒවාය. ඉරානය මෙතෙක් පාවිච්චි කර ඇති මිසයිලවලට ගමන් කළ හැකි දුර කි.මී. 2000ක් පමණ වේ. ඉරානය මේ වන විට කි.මී. 5000ක් දුර යැවිය හැකි මිසයිලයක් දියුණු කරමින් සිටී.
මේ වන විට 60%ක සංශුද්ධතාවෙන් යුතු යුරේනියම් විශාල තොගයක් ඉරානය සතුව තිබෙන බව ප්‍රසිද්ධ කාරණයකි. මෙය පොදු කටයුතු සඳහා අවශ්‍ය න්‍යෂ්ටික ශක්තිය නිපදවීමට අවශ්‍ය මට්ටමට වඩා බෙහෙවින් ඉහළ සංශුද්ධතා මට්ටමකි. මේ මට්ටම 90% දක්වා ඉහළ දැමුවහොත් පරමාණු බෝම්බ 10ක් සැදීමට හැකිය. ඉරානය ඉතා රහසිගතව න්‍යෂ්ටික සීමාව ඉක්මවා ගොස් ඇති බවට ඉන්බාර් සැක පහළ කරයි.
එහෙත් පරමාණු බෝම්බ නිෂ්පාදනය සඳහා නිසි ප්‍රමිතියේ යුරේනියම් තිබීමම ප්‍රමාණවත් නැත. එය අවියක් වශයෙන් වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලියක්ද අවශ්‍ය වේ. ඒ සඳහා පහසුකම් ඉරානයේ අස්ෆහාන් පර්යේෂණාගරය සතුය. ඊශ්‍රායලය පසුගියදා මේ න්‍යෂ්ටික පර්යේෂණාගාරයට ප්‍රහාර එල්ල කළ බව වාර්තා විය.
ජාත්‍යන්තර පරමාණු බල ඒජන්සිය පවා ඉරානයේ සත්‍ය න්‍යෂ්ටික ශක්තිය පිළිබඳන නිසි සොයාබැලීමක් කර නැතැයි ඉන්බාර් චෝදනා කරයි. ඉරානය එම ආයතනයට පෙන්වා ඇත්තේ සිය න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානවලින් කොටසක් පමණක් වීම ඊට හේතුවයි. තම ආයතනයට ඉරානය සතු න්‍යෂ්ටික බෝම්බ සැදීමට හැකි මට්ටමේ යුරේනියම් පිළිබද තොරතුරු සොයාගත නොහැකි තත්වයක් මතුව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධාන ප්‍රකාශ කර තිබේ. මේ තත්වය නිසා ඉරානය සමග කොතරම් හිතවත්කම් තිබුණද රැසියාව, චීනය වැනි රටවල් ඉරානයට පක්ෂව යුද බිමට එතැයි බලාපොරොත්තු විය නොහැකිය.
පසුගිය අප්‍රේල් මාසයේ ඕමානයේ මැදිහත්වීමෙන් ඇමරිකාව හා ඉරානය අතර න්‍යෂ්ටික බල සීමා පිළිබඳ සාකච්ඡා ඇරඹිණි. ඊශ්‍රායලය දිගින් දිගටම අවධාරණය කළේ ඉරානයේ වෑයම සාකච්ඡා දිගට අදිමින් පරමාණු බෝම්බ නිෂ්පාදනයට අවශ්‍ය කාලය ලබාගැනීම බවයි. ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කළේ සාකච්ඡා අතරමග තිබියදීය.
ප්‍රහාර එල්ල කිරීමේදී ඊශ්‍රාලය තෝරා බේරා යුධමය වශයෙන් වැදගත් ස්ථාන, හමුදා නිලධාරීන් හා න්‍යෂ්ටික විද්‍යාඥයින් ඉලක්ක කළේය. එහෙත් ඉරානය ඊශ්‍රායලයේ පොදු ස්ථානලට පවා ප්‍රහාර එල්ල කළේය. එය සැලකිල්ලට ගත යුතු කරුණකි. අලුත්ම වාර්තාවලට අනුව ඉරානය පොකුරු බෝම්බ සහිත මිසයිල ප්‍රහාර එල්ල කර ඇත. මේ නිසා ඇමරිකාව යුද්ධයට මැදිහත් වනු ඇතැයි ඇතැම් විශ්ලේශකයෝ සැක පහල කරති.
මේ වන විට ඊශ්‍රායලය හමුවේ පවතින ලොකුම අභියෝගය ටෙහෙරානයට නුදුරින් පිහිටි කියොන් නගරය අසල කන්දක් හරා මීටර් 80ක් පමණ ගුඹුරු ස්ථානයක ඉදිකර ඇති ෆොර්ඩෝ න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානය පුපුරුවා හැරීමයි. එහි ආරක්ෂාව සඳහා ඉරාන-රුසියානු මිසයිල පද්ධතියක්ද ස්ථාපිත කර තිබේ. මේ මිසයිල් පද්ධතිය මේ වන විටත් ඊශ්‍රායලය විසින් විනාශ කර ඇතැයි වාර්තාවේ.
එහෙත් භූගත බංකරයේ පිහිටි න්‍යෂ්ටික මධ්‍යස්ථානය විනාශ කිරීම සඳහා අවශ්‍ය පිපිරුම් ශක්තිය තමන් සතුව නැති හෙයින් ඊශ්‍රායලය ඒ ශක්තිය ලබාදෙන්නැයි ඇමරිකාවෙන් ඉල්ලා සිටී. ඇමරිකාව සතු ‘බන්කර් බස්ටර්’ බෝම්බ මගින් භූගත බංකර් විනාශ කළ හැකිය. කි.ග්‍රෑ. 13.600ක් බරැති මේ බෝම්බවලට අඩි 200ක් පමණ ගැඹුරක් විනිවිද යා හැකිය.
ඇමරිකාව මේ යුද්ධයට සම්බන්ධ වීම පිළිබඳ ඇත්ත කතාව එයයි. සුනිල් හඳුන්නෙත්ති සහෝදරයාගේ මතය නම් ඇමරිකාව දුර්වල නිසා මේ ප්‍රහාර එල්ල කරන බවයි. ජනාධිපති ට්‍රම්ප් තවමත් ඒ පිළිබඳ තීරණයකට පැමිණ නැත. ඔහු ඒ සඳහා සති දෙකක් කල් ඉල්ලා තිබේ. මේ බංකරය විනාශ කළහොත් යුද්ධය එතෙකින් අවසන් වන බවට සැක නැතැයි යුද විශේෂඥයෝ කියති.
ඉරානය සතුව තවත් මෙවැනි භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථායක් තිබේ. ඒ නටාන්ෂ් ය. එය ෆොර්ඩෝට වඩා විශාල එකකි. ඊශ්‍රායලය ඊටද ප්‍රහාර එල්ල කර ඇති නමුත් භූගත කොටසට හානි සිදුවී නැත. එසේම ඒ අවට ඉරානය විසින් හාරා ඇති උමංවලටද ඊශ්‍රායලය තවමත් පහර දී නැත.
මේ තරම් ගැඹුරේ සැදූ න්‍යෂ්ටික මධ්‍යස්ථාන කිසි සේත්ම පොදු කටයුතු සඟා අවශ්‍ය න්‍යෂ්ටික ශක්තිය නිෂ්පාදනයට යැයි සිතිය නොහැකිය. එසේ හෙයින් ඊශ්‍රායලයේ සැකය සාධාරණ එකකි. එමෙන්ම ඔවුන්ගේ බුද්ධි අංශද සෙසු රටවල බුද්ධි අංශවලට වඩා දක්ෂ බවක් පෙනේ.
ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවීම කලාපයේ සෙසු මුස්ලිම් රටවල් ගණනාවකටද තර්ජනයකි. ඉරානය ෂියා මුස්ලිම් ලෝකයේ ප්‍රබලයාය. සවුදිය සුන්නි මුස්ලිම්වරුන්ගේ ප්‍රබලයාය. සුන්නි – ෂියා ගැටුම මොහොමඩ්තුමාගේ අභාවයේ පටන් මේ දක්වා තිබෙන එකකි. ඉරානය අයිසිස් ISIS සංවිධානයට විරුද්ධ බව පෙන්වන ඇතැම්හු එහි අරුත ඉරානය ත්‍රස්තවාදයට විරුද්ධ බව යැයි කියති. මෙය මුළාවකි. අයිසිස් යනු සුන්නි මුස්ලිම් ත්‍රස්ත සංවිධානයකි. ඉරානය අයිසිස් සංවිධානයට විරුද්ධ වීමට හේතුව එයයි.
ඉරානය නඩත්තු කරන ෂියා මුස්ලිම් ත්‍රස්ත සංවිධාන ගණනාවක් තිබේ. හිස්බොල්ලා, හුති ඒ අතර ප්‍රධානය. මේ සංවිධාන සියල්ලම ෂියා මුස්ලිම්ය. ඇතැම් වාර්තාවලට අනුව ඉරානය මේ වන විටත් මේ ත්‍රස්ත සංවිධාන අරාබි ලෝකය වටා සීරුවන් තබා අවසන්ය.
පසුගිය කාලයේ වාර්තා වූ තවත් වැදගත් කාරණයක් වූයේ ඊශ්‍රායලය සහ මුස්ලිම් රටවල් අතර වර්ධනය වූ සුහදතාවයි. ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ ඩුබායි නගරය අරාබි කලාපයේ සහජීවන කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමයි. ආයෝජකයෝ ටෙල් අවිව් සහ ඩුබායි අතර සැරිසරමින් ආයෝජන අවස්ථා සාකච්ඡා කරමින් සිටියහ. සවුදිය, ජෝර්දානය, ඊජිප්තුව 90% ක් පමණ සුන්නි මුස්ලිම් ජනයා ඇති රටවල්ය. තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් යන රටවලද සැලකිය යුතු සුන්නි මුස්ලිම් ජනකායක් සිටිති.
යුද්ධය නිසා අරාබි ලෝකය ඊශ්‍රායලය සමග පැවති සුහදතා වර්ධනය ගිලිහෙමින් තිබෙන බවක් මතු පිටින් පෙනෙන්නට තිබුණද අරාබි රටවල් ඍජුවම මේ අර්බුදයට මැදිහත් නොවනු ඇතැයි ඇතැම් විශ්ලේශකයෝ පෙන්වා දෙති. යුද්ධය අතරතුර පවා ඇතැම් අරාබි නායකයින් ඊශ්‍රායලය සමග ඇති ආයේජන සාකච්ඡා හොර රහසේම පවත්වාගෙන යන බවත් ඉරානය දුර්වල කිරීම ඔවුන්ගේ අරමුණ බවත් වාර්තා වේ.
ඉරානය පරමාණු බෝම්බයක් නිෂ්පාදනය කළහොත් අනිවාර්යයෙන්ම සුන්නි මුස්ලිම් කඳවුර අනතුරට වැටේ. එහෙයින් මෙය හුදු ඉරානය හා ඊශ්‍රායලය අතර ප්‍රශ්නයක් යැයි වරදවා තේරුම් නොගත යුතුය.