ඔළුවට ගහනවා වගේ පෙන්නා බඩට ගහන රනිල්ගේ ව්‍යවස්ථා සෙල්ලම

Last Updated on 2 months by admin

‘බොක්සිං ගහද්දි ඔළුවට ගහනවා වගේ පෙන්නලා බඩට ගහනවා’ කියලා ජේආර් ජයවර්ධන කිව්වා. එහෙම කිව්ව ජේආර්, ‘මට රකින්න පරපුරක් නැත ඔටුනු පලඳවන්න කුමාරයෙක් හෝ කුමාරියක් නැත’ කියලා පෝස්ටරුත් ගහලා, තමන්ගේ දේශපාලන පරම්පරාව ගෙනියන්න රනිල් වික‍්‍රමසිංහව පාර්ලිමේන්තුවට ගෙන්නගෙන අර බොක්සිං කතාව කරලාම පෙන්නුවා. දැන් රනිලුත්, රුවන්ව පාර්ලිමේන්තුවට එක්කරගෙන ඇවිත් පරම්පරාව ඉදිරියට ගෙනියන්න උත්සාහ කරනවා.

ප‍්‍රංශයේ චාල්ස් ඩිගෝල් වගේ වෙන්න හිතාගෙන විධායක බලතල සහිත ජනාධිපතිවරයකු සහිත වර්තමාන ව්‍යවස්ථාව හැදුවෙ ජේආර්ගෙ මූලිකත්වයෙන්. ඒකට සෑහෙන්න වෙහෙසුන කෙනෙක් තමයි රනිල්. රනිල්ට මේ ව්‍යවස්ථාව ගැන හොඳ අවබෝධයක් තියෙනව. ඒ නිසා ‘ඔළුවට ගහනවා වගේ පෙන්නලා බඩට ගහන පරම්පරාවෙ රනිල්, නියමිත කාලයේදි ජනාධිපතිවරණය පවත්වනවා කියන එක දිහාත් අපි බලන්න ඕන, බොක්සිං කතාවත් ඔළුවේ තියාගෙනයි.

රනිල්ගෙ කතාව අහන හැමෝම හිතාගෙන ඉන්නෙ නියමිත පරිදි වසර අවසානයේ ජනාධිපතිවරණය තියේවි කියලයි. පහුගිය දවසක, අර්ථනිරූපණයක් ලැබෙන තෙක් ජනාධිපතිවරණය කල්දාන්න කියල අතුරු තහනම් නියෝගයක් ඉල්ලමින් ව්‍යාපාරිකයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. නඩුව අහක ගිය බව ඇත්ත. එහෙම නඩුවක් කලිනුත් දාලා තිබුණ බව මට මතකයි.

නමුත් ජනාධිපතිවරණය කල් දැමීමේ සූක්ෂ්ම වැඩපිළිවෙළක් තියෙනවාද කියලා මේ දිනවල සිද්ධ වෙන දේවල් නිසා සැක හිතෙනවා. ව්‍යවස්ථාවේ තැන් දෙකක ජනාධිපති ධුර කාලය වසර 5 සහ 6 යනුවෙන් දෙආකාරයෙන් තිබෙන නිසා එය ස්ථාන දෙකේම වසර 5 යනුවෙන් සංස්කරණය කළ යුතු බවට යෝජනාවක් ඇවිත් තියෙනවා. මේ නිසා රනිල් කාගෙත් කනෙන් රිංගලා තව අවුරුද්දක් අල්ලගෙන සිටීවිද කියලා ජනතාවට සැකයක් ඇතිවෙලා තියෙනවා. ජේආර්ගෙ ලාම්පු කළගෙඩි සෙල්ලම මතක අය තවම ඇතිනෙ.

එහෙමත් කරන්න පුළුවන්ද? බොක්සිං ගහද්දි මූණට ගහන්න යනවා වගේ පෙන්නලා බඩට ගැහිල්ලේ න්‍යාය දේශපාලනයේදි ප‍්‍රගුණ කළ අය ගැන විශ්වාස කරන්න අමාරුයි.

නීතිය කියන්නේ, යම් අරමුණක් සාක්ෂාත් කරගන්න ලියපු ලේඛනයක්. එහි අර්ථ දැක්වීම කියලා කියන්නෙ, නීති ලියල තියෙන වචනවල අන්තර්ගත තේරුම මතුකිරීමටයි. වචනත් එක්ක සෙල්ලම් කරන්න දන්න සමහරු, උසාවිවලදි කවුරුවත් බලාපොරොත්තු නොවුණ දේ කරලා පෙන්නලා තියෙනව.

කවුරුත් දන්න පරණ උදාහරණයක් තමයි, කොල්වින් ආර් ද සිල්වා, ගොයම් කොළේකට මුවාවෙලා කොහොමද වෙඩි තියන්නෙ කියලා උසාවියට තර්කයක් දාලා තමන්ගෙ සේවාදායකයාව නිදහස් කරගත්ත සිද්ධිය. සාක්කිකාරයා ගොයම් කොළේ කියලා කිව්වෙ, කමතක කන්දක් වගේ ගොඩගහල තිබුණ ගොයම් ගොඩක් කියන අර්ථයෙන්. කොල්වින් උසාවියට පෙන්නුවේ ගොයම් ගහක කොළයක්. නඩුකාරයාගෙ දැනුම මදිකම නිසා කොල්වින් නඩුව දිනුවා.

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන නිතරම කියනවා එයා තමයි සිගරැුට් දුම් ඉරිල්ල නවත්තන්න ලොකුම සේවය කළේ කියල. ඒ කතාවෙ ඇත්තක් නැත්තෙ නෑ. නමුත් එයා ගෙනාව පනත යටතේ, ප‍්‍රසිද්ධ ස්ථානවල දුම් ඉරීමේ වරදට අල්ලලා උසාවි ඉදිරිපත් කළ කිසිම කෙනෙකුට දඩුවම් දෙන්න බැරි වුනා. හේතුව මොකක්ද? සැකකරුව අත්අඩංගුවට ගන්න බලය ඇති පිරිස ගැන සඳහන් වාක්‍යයේ එක් ‘හෝ’ යන්නක් අඩුයි. මේක ව්‍යාකරණ දෝෂයක්. ‘ඔහු හෝ ඇය‘ කියන එක උදාහරණයකට ගත්තොත්, මේකෙ ඒ දෝෂය තියෙනවා. ඔහු හෝ ඇය හෝ යනුවෙන් එය නිවැරදි විය යුතුයි. මෛත‍්‍රිගෙ පනතෙත් අවසාන ‘හෝ’ යන්න නැති නිසා සැකකරුවකු අත්අඩංගුවට ගන්න අවස්ථාවේ සිටිය යුතු නිලධාරින් කවුද යන්න නිවැරදිව සඳහන් වෙලා නෑ. දුම්කොළ සමාගමේ නීතිඥයා මේ තර්කය දැම්මාම අධිකරණයට සිද්ධ වුනා පළවෙනි නඩුවේදිම චූදිතයාව නිදහස් කරන්නට. ඒ පනත යටතේ දඩුවම් දීම එතනින් නතර වුනා. මෛත‍්‍රී නම් තවම කයිවාරු ගහනවා පනත ගැන.

ඇමරිකාවේ පහුගිය දවස්වල අපූරු නඩු තීන්දුවක් දීලා තියෙනවා. එක් නගරාධිපතිවරයකු, වාහන අලෙවි ආයතනයකින් සිය වසම සඳහා වාහන මිලදී ගත්තා. ටික දිනකට පසුව ඔහුට ඩොලර් දහස් ගණනක චෙක්පතක් ලැබෙනවා අර ආයතනයෙන්. මීට විරුද්ධ අධිකරණ කටයුත්තකින් නගරාධිපති වැරදිකරු වුණා. නමුත් ඔහු ඇපෑලක් ඉදිරිපත් කළා. ඔහුගේ තර්කය වුනේ, ඔහුට ඒ මුදල ලැබුනේ වාහන මිලදී ගැනීමෙන් පසු මිස පෙර නොවන නිසා එය අල්ලසක් නොවන බවයි. අධිකරණය ඔහුගේ තර්කය පිළිගෙන ඔහුව නිදහස් කළා.

ඇමරිකාවේම තවත් අධිකරණ තීන්දුවක් නිසා පසුගිය දිනවල ලෝකයේ ලොකු කතාබහක් ඇති වුණා. නඩුපිට නඩුවලට මූණදෙමින් සිටි හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්, ජනාධිපති ධූරය දරමින් සිටියදී කරන ලද කටයුතු සම්බන්ධ ජනාධිපති මුක්තිය පිළිබඳ අර්ථ දැක්වීමක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ඔහු මේ ඉල්ලීම කළේ බොහෝම කල්යල් බලමින් ඉඳලයි. ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා, ‘ජනාධිපති ධුරය දරමින් කළ කටයුතු ගැන ඔහුට ජනාධිපති මුක්තිය ඇති බවට.

මේ තීන්දුවෙන් පස්සෙ තව අපූරු දෙයක් සිද්ධ වුණා. ඒ පසුබිම මෙහෙමයි. ට‍්‍රම්ප් ජනාධිපතිවරයාට එරෙහිව ඇති නඩුවක් අහපු විනිශ්චයකාරයෙක්, ට‍්‍රම්ප් වැරදිකරු බවට තීරණය කර, නුදුරු අනාගතයේ දිනයක තීන්දුව දෙන්න දින නියම කරලා තිබුණා. මේ තීන්දුව ඉක්මනින් ආවොත් එය ට‍්‍රම්ප්ගෙ දේශපාලනය තදින් බලපායි කියන සැකය තිබුණා. ඔහුට එලඹෙන මැතිවරණයේ අපේක්ෂකත්වය නැතිවෙන්න පවා ඉඩක් තිබුණා. නමුත් අර තීන්දුව ආවා විතරයි, මේ නඩුකාරයා තීන්දුව දෙන දිනය ඈතට දැම්මා. දැන් ට‍්‍රම්ප්ගේ දේශපාලන අනාගතය ආරක්ෂිතයි.

මේ එකම සිද්ධියක් වත් සාමාන්‍ය මිනිසුන් තබා ඇතැම් නීති විශාරදයින් වත් බලාපොරොත්තු වුන දේවල් නෙවෙයි.

නීතිය අඩංගු වචන ටික හරියට ලියලා නීති රාමුව නිවැරදිව පෙන්නලා නැතිනම් හෝ ඒ වගන්තිවල යම් දොසක් ඇත්නම් හෝ ඒ අතරින් රිංගා යන්න දක්ෂ නීතිඥයින්ට පුළුවන්. ඒකට අධිකරණයට දොස් කියලා වැඩක් නෑ. වරද නීති කෙටුම්පත්කාරයින්ගෙ මිස අධිකරණයෙ හෝ විනිසුරුවරුන්ගෙ හෝ නෙවෙයි.

ඒ වගේම විනිශ්චයකාරයින්ටත් පුළුවන් වචන අල්ලාගෙන අර්ථකථන සපයන්න. ඒකත් අමතකර කරන්න එපා. ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථකථන සපයද්දි එහෙම දේ නොවෙනවාම වෙන්න බෑ. ට‍්‍රම්ප්ට පක්ෂව ලැබුණු අර්ථ නිරූපණය ගැනත් එහෙම කතා කියනවා. ට‍්‍රම්ප්ගෙ නඩුතීන්දුව දෙන දිනය කල් දමාපු එකත් නීති රාමුව ඇතුලෙ ඉඳගෙන කළ වැඩක්. ඒකෙ වාසිය ට‍්‍රම්ප්ට ආවා. ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථදැක්වීමෙන් පසුව අනික් නඩුකාරයා ඒ තීරණය ගත්තෙ යම් හේතුවක් ඇතිවයි. විනිශ්චයකාරයින්ව පත් කරන්නෙත් ජනාධිපතිනෙ.

රනිලූත් නීතිඥයෙක්. ඒ වගේම ජනාධිපතිවරයෙක්. ජේආර්ගෙ පරපුරේ කෙනෙක්.

රනිල් දැන් සිංහල බෞද්ධයින් වෙනුවෙන් අභීතව කතා කරනවා. පාසල් දරුවන්ට ආහාර බෙදනව. ලයිට් බිල අඩු වෙලා. ඔළුවට ගහන්ඩ යනවා වගේ තමයි පෙනෙන්නෙ. හැබැයි අවුරුදු 6, 5 කරන්න යන අල්ලපනල්ලෙ වටෙන් අත කරකවල බඩට ගහයිද කියන්න බෑ.

ජනාධිපතිවරණය තියෙන්නෙ ඔක්තෝබර්ලු. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමටෙලු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link