Last Updated on 6 days by admin
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD
Pic. credit: direct.kboo.fm
ශ්‍රී ලංකාවේ කම්කරු අරගල හෝ ශිෂ්‍ය අරගල එසේත් නැතිනම් පාසල් ගුරුවරුන්ගේ හෝ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලවල පොදුවේ දක්නට ලැබුණු දුර්වලකම වූයේ දූෂිත පාලන ක්‍රමය විසින්ම ප්‍රසිද්ධියේ හෝ රහසිගතව මෙම සටන්වලට උපත දීම, ඒවා පවත්වාගෙන යාම, අවශ්‍ය අවස්ථාවලදී ඒවායේ ක්‍රියාකාරීන් ඝාතනය කිරීම හෝ විනාශ කිරීම පිළිබඳව සාමාන්‍ය ජනතාව නොදැන සිටීමයි.
පැරණිම හා හොඳම උදාහරණය බෝල්ෂෙවික්-ලෙනිනිස්ට් පක්ෂයේ නායක කොල්වින් ආර් ද සිල්වා, කම්කරු ව්‍යාපාර මෙහෙයවන අතරේම බ්‍රිතාන්‍ය පාලකයන් සමඟත් සහයෝගයෙන් කටයුතු කිරීමේ උපක්‍රම භාවිතා කිරීමයි. ලන්ඩනයේ LSC විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධි දෙකක්ම කොල්වින් ආර් ද සිල්වා ලබාගෙන ඇත. ඔළුව එංගලන්තයේය, කකුල ලංකාවේය.
ශ්‍රී ලංකා ධනේශ්වර සමාජයේ දූෂිතම පුද්ගලයකු වූ ජේ.ආර්. ජයවර්ධන සමගද කොල්වින් ආර් ද සිල්වා පවත්වාගෙන ගියේ ඉතාමත් සුහද මිත්‍රත්වයක්.
1970 සමගි පෙරමුණ ආණ්ඩුවේ මැති ඇමතිකම් දරමින් ලංකා සමසමාජ පක්ෂය (පසුව නෙරපා දමන තුරුම), ලංකා කොමියුනිස්ට් පක්ෂය අගමැති සිරිමා බණ්ඩාරණායක සමග පවත්වාගෙන ගියේ සහයෝගිතා වැඩපිළිවෙලක්. නෙරපා දැමීමෙන් පසුව පමණක් සිරිමාගේ රජය ධනේශ්වර බව, දූෂිත බව කියන්න එන්.එම්.පෙරේරා පෙළඹුණා.
හරිනි අමරසූරිය කියන්නෙත් ලංකාවේ ඉහළම පෙළේ ධනේශ්වර පවුලකින් පැවැතගෙන එන, ධනේශ්වර පන්තියේ දියණියන් ඉගෙන ගත් කොළඹ බිෂොප් විද්‍යාලය වැනි වරප්‍රසාද ලත් පාසලක ඉගෙන ගත් කාන්තාවක්. කටින් මොන මොන කතා කිව්වත් අවිඥානික මනසේ හෝ රැඳී ඇති ජාන ශක්තිය නිලීනව හෝ ක්‍රියාත්මක වීම ඇයට නවතාලිය නොහැකියි.
Fredrick Engels හා Karl Marx අතර තිබුණු සම්බන්ධය හා අවබෝධය සුවිශේෂී තත්ත්වයන් යටතේ ඇතිවුණු පුද්ගල බැඳීමට එහා ගිය ඓතිහාසික සංසිද්ධියක්.
එවැන්නක් ශ්‍රී ලංකාවේ කිසිදාක සිදුවන්නේ නැත. 1948 බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය අවසන් වුවත් අද දක්වාත් ශ්‍රී ලංකාවේ යටත් විජිත වහල් මානසික තත්ත්වය අවසන් වී නැත.
ජනතා පරමාධිපත්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කොතරම් පුරසාරම් දෙඩෙව්වත්, ක්‍රියාවට නැංවීමේදී බොහෝ දේ ජනතාවගෙන් උදුරා ගැනීම අදටත් සිදු වෙමින් පවතිනවා.
සුද්දා යටත් විජිත වැසියන් රැවටුවද බ්‍රිතාන්‍ය වැසියන් හෝ පාර්ලිමේන්තු සගයන් රැවටුවේ නෑ. එසේ කළේ නම් ඔවුන්ගේ ක්‍රමය නිසැකවම කඩා වැටෙන බව ඔවුන් දැන සිටියා.
බ්‍රිතාන්‍යයන් අපට වෙස්ට්මිනිස්ටර් ක්‍රමය හඳුන්වා දුන්නත් එය අපට ආගන්තුක දෙයක්.
ව්‍යවස්ථා සංශෝධනයකදී, අපට ගැලපෙන පාලන ක්‍රමයක් හඳුන්වා දීමට 1948 සිට අද දක්වාත් ලංකාව පාලනය කළ කිසිම කණ්ඩායමකට නොහැකි වූයේ යටත් විජිත වහල් මානසික තත්ත්වය ලංකාවේ සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂවලට පමණක් නොව රෝහණ විජේවීරගෙන් පසු ජනතා විමුක්ති පෙරමුණටත් උරුම වීම නිසයි.
1972 ජනරජ ව්‍යවස්ථාව සකස් කිරීම පවා බෝල්ෂෙවික්-ලෙනින්වාදී, එක පයක් එංගලන්තයේ සහ එක පයක් ලංකාවේ තබාගෙන සිටි ඊනියා න්‍යායාචාර්ය කොල්වින් ආර් ද සිල්වාට බාරදීම හොඳ උදාහරණයක්.
1962 කතෝලික (හමුදා) කුමන්ත්‍රණයේ චූදිතයින් එංගලන්තයේ ප්‍රිවි කවුන්සිලය විසින් නිදහස් කිරීම නිසා ඇති වුණු තුවාලය සනීප කරගැනීමේ අරමුණින් ව්‍යවස්ථාව සංශෝධනය කිරීම දේශපාලනයේ තවත් එක් තීරණාත්මක අවස්ථාවක්.
ශ්‍රී ලංකාවට ඩොමිනියන් තත්ත්වය ලැබුණු මොහොතේම කළ යුතුව තිබුණු බ්‍රිතාන්‍ය අධිකරණයේ බලපෑමෙන් නිදහස් වීම 1972 දක්වා කල් තැබීමට සිදු වූයේ ශ්‍රී ලංකාවේ කසිකබල් පක්ෂ දේශපාලනයේ දුර්දාන්ත බව නිසයි.
මේ පව් ගෙවා දැමීම සඳහා තව කොපමණ කාලයක් ලක්වැසියනට අවශ්‍ය වේවිද?
අනාගතය භාරගන්නට සිටින දේශපාලකයින් පිළිතුරු සොයා ගත යුතු සැබෑ ප්‍රශ්න අතර මේවා ඉදිරියෙන්ම තිබේ.