ඕෂෝ සහ අපේ සිපයි

Last Updated on 2 months by admin

හැත්තෑව දශකයේදී පමණ ඇමෙරිකාව, කාන්තාව ගලවා ගැනීමේ නීති පිහිටුවීම ආරම්භ කළාය. ඊට එක හේතුවක් වූයේ, ව්‍යාපාරික ආයතනයන්ට කාන්තා ශ්‍රමය අවශ්‍ය වීමයි. මේ කාලයේ කාන්තා හිංසනය නමින් දෙයක් ශ්‍රී ලංකාවේ නොතිබුණි. වාමාංශිකයන් වෙහෙසුණේ පංති සටන ජයග්‍රහණය කිරීමටය. ‘සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව්’ කියද්දී එහි ස්ත්‍රී පුරුෂ භේදයක් කොයින්ද? මේ පංති සටනේ ස්වරූපය වෙනස් කිරීමට බටහිර රටවල ඉගෙනීමට ගිය කාන්තාවන් දෙතුන් දෙනෙකුට හැකිවිය. ඔව්හු, කාන්තාව පුරුෂාධිපත්‍යයෙන් ගලවා ගැනීමට ඉදිරිපත් වූහ. මෙය ජනප්‍රිය වන්නේ ‘කාන්ති විමුක්තිවාදය’ යනුවෙනි.

හැත්තෑව දශකය ඇරඹෙද්දී ලංකාවේ සිදුවූ ප්‍රධානම කටයුත්තක් වූයේ, විප්ලවවාදී චීන කොමියුනිස්ට් පක්ෂය කැඩී එයින් හටගත් ජනතා විමුක්ති පෙරමුණ සිංහල බෞද්ධ තරුණ තරුණියන් සන්නද්ධ අරගලයකට පෙළ ගැස්වීමයි. ලෝකය ගැන ඉතාම අඩු දැනුමක් තිබුණු අසරණ තරුණ පිරිසට රුසියාවේ සිට පැමිණි විජේවීර පැවසූ සන්නද්ධ විප්ලවය පරණ පාන්වලින් සැදූ ගල්බනිසයක් බව තේරුම් ගියේ නැත. ඔව්හු එය ලිපෙන් බාගත් උණු කැවුමක් ලෙස බාරගත්හ.

මේ කාලයේ ඇමරිකාවේ සහ එංගලන්තයේ පත්තර කඩ බොහෝමයක ‘ප්ලේ බෝයි’ සඟරා සඳහා ඉහළ තැනක් දී තිබුණි. ජර්මනිය ප්‍රංශය, ඇතුළු බටහිර යුරෝපයේ රටවල් බොහෝමයක ජනප්‍රියම කැලැන්ඩරය වූයේ ප්ලේ බෝයි කැලැන්ඩරයයි. ප්ලේ බෝයි සඟරා පිරී තිබුණේ නිරුවත් කාන්තා ඡායාරූපවලිනි. ඒවායේ බාල වයස්කාර ගැහැනු ළමයින්ගේ නිරුවත් රූප අංඩගු විශේෂ පිටු කිහිපයක් තිබුණි.

ප්ලේ බෝයි සඟරා රජ කළ ඇමෙරිකානු සමාජයේ කාන්තාවන්ට විශාල දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට සිදු විය. පාසල් ශිෂ්‍යාවන් දුම්රිය නැවතුම් පොළේ, බස් නැවතුම් පොළේ කෙසේ රැඳී සිටියේදැයි වර්තමාන පරපුරට සිතාගන්නට නොහැකිය. කර්මාන්ත ශාලාවන්හි රැකියාවලට පැමිණි කාන්තාවන් නිරතුරුවම හිංසනයට ලක් විණි. එමනිසා කර්මාන්ත ශාලාවන්හි රැකියා සඳහා එන කාන්තාවන්ට ආරක්ෂාව ලබාදීමට රජයට සිදු විය. මෙය ඇරඹුණේ ඇමෙරිකාව පුරා පිරිමින්ට කාන්තා හිංසනය ගැන උගන්වන පංති ආරම්භ කිරීමෙනි. කාන්තා හිංසනය වැළැක්වීමේ නීති බිහි වන්නේ මෙයින් පසුවය.

කාන්තා හිංසන නීති සහ පශ්චාත් නූතනවාදී චින්තනය අතර සම්බන්ධතාවක් පවතී. ඊට හේතුව පශ්චාත් නූතනවාදයෙන්, කාන්තාව ඉතිහාසය පුරා පීඩාවට හා හිංසනයට ලක් වී සිටි බව පෙන්වාදීමයි. ඒ අදහස් ඉදිරිපත් කළ වුන් තර්ක කළ ආකාරයට පුරුෂයින් කාන්තාවන් වර්ණනා කිරීම පවා ලිංගික අවශ්‍යතාවකි. සංස්කෘත සාහිත්‍යයේ මහා කවියා කාලිදාසටවත් ඔවුන්ගෙන් ගැලවෙන්නට නොපුළුවන. ඇමෙරිකාවේ පදිංචි වී පශ්චාත් නූතනවාදී ඇහෙන් බලා ලංකා සමාජය ගැන ලියූ පඬියන්ගේ පොත්වලින් මීට වඩා හොඳ කතාන්දර අහුලා ගැනීමට පුළුවන. ස්වාමියා මළ ලංකාවේ දෙමළ ගැහැනුන් පුරුෂ නිමිත්ත සංකේත කරගෙන තනි කරලට කොණ්ඩය ගොතා එහි අග මලක් බැඳ පිටදිගේ එල්ලාගෙන ඇවිදින හැටි එවැන්නෙකු ලියා තිබුණි.

පශ්චාත් නූතනවාදී දැක්මට අනුව, පැරණි සමාජ සාරධර්ම සියල්ලකින්ම කෙරෙන්නේ රදලයින්, රටවැසියන්ව වහලුන් වශයෙන් තබා ගැනීමයි. ජාතිකත්වය, දේශප්‍රේමය, ආගමාලය ආදී හැම දෙයකින්ම සුළු ජාතීන්ට හිංසනයක් සිදුවේ. ඊට විසඳුම වැඩවසම් සමාජයේ සිට පැවත එන සාරධර්මයන් සියල්ල ඉරා කඩා සුනුවිසුනු කර සමාන සමාජයක් ගොඩනැගීමයි. ඔව්හු, මේ සඳහා ඩිකොන්ස්ට්‍රක්ට් යනුවෙන් වචනයක් භාවිත කරති. ඩිකොන්ස්ට්‍රක්ට්කරුවෝ ජාතික කොඩිය වශයෙන් සිංහ කොඩිය භාවිත කිරීමට විරුද්ධත්වය දක්වති. ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට විශේෂත්වයක් දැක්වීම හෙළා දකිති.

පශ්චාත් නූතනවාදී චින්තනය ඉදිරිපත් කිරීමට මූලික වූවන් අතර ප්‍රංශ ජාතිකයින් කිහිප දෙනෙක් කැපී පෙනෙති. කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගයාත්‍රී චක්‍රවර්ති ස්පිවාක්, එම අදහස් ඉංග්‍රීසි කතාකරන සමාජයට ඉදිරිපත් කළවුන් අතර ඉදිරියෙන්ම සිටී. ඇය, ප්‍රංශ සිතුම් පැතුම් ඉතාම රසවත් ආකාරයට ඉංග්‍රීසි බසින් ඉදිරිපත් කළ, ඇමරිකාවේ පදිංචිව සිටි ඉන්දියානු කාන්තාවකි. ඒ හේතුවෙන් ස්පිවාක්ගේ ලිපිවලට ඉන්දියානුවන්ගෙන් ඉහළ ඉල්ලුමක් ලැබුණි. ඇය ඉන්දීය රජයේ පද්ම භූෂණ සම්මානයෙන්ද පිදුම් ලැබුවාය.

ලෝකයේ වෙසෙන බුද්ධිමත් මනුෂ්‍යයින්ට, පැරණි සමාජයෙන් උරුම වූ සංස්කෘතික හරයන් විනාශ කිරීම සඳහා පශ්චාත් නූතනවාදයෙන් ඇරයුම් ලැබේ. මේ ඇරයුම ඉන්දියාවට බලපෑම් කළේ එය ඇමරිකාවට හෝ එංගලන්තයට බලපෑම් කළ ආකාරයට නොවේ. ලන්ඩනයේ ජීවත් වූ මාක්ස් ඉදිරිපත් කළ කොමියුනිස්ට්වාදය, එංගලන්තයට හෝ එංගලන්තය විසින් ගොඩනගන ලද ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය වැනි රටවලට සහ ඉන්දියාව, ලංකාව වැනි රටවලට බලපෑම් කළ ආකාරය වටහා ගැනීමෙන් මෙය තේරුම් ගැනීමට පුළුවන. ඇමරිකාව රහස් පොලිසිය යොදවා කොමියුනිස්ට්වාදීන් දඩයම් කළාය. බ්‍රිතාන්‍යයේ මේ දඩයම ඉතාම සූක්ෂම ආකාරයකට සිදු විය. ලංකාව, ඉන්දියාව වැනි රටවල කොමියුනිස්ට්වාදියෝ බඩපිනුම් ගැසූහ.

ඉන්දියාව භාෂා විශාල සංඛ්‍යාවක් භාවිත වන ජාතීන් විශාල සංඛ්‍යාවක් වෙසෙන රටකි. රටේ බොහෝ සාරධර්ම බ්‍රාහ්මණ ඉගැන්වීම් පදනම් කරගෙන සකස් වී තිබේ. පශ්චාත් නූතනවාදයෙන් කෙරෙන්නේ මේ හැම දේටම පහරදීමයි. එයින් ආගම්, ජාතීන්, කුල, ස්ත්‍රී පුරුෂභාවය ආදී වශයෙන් ජනයා බෙදා වෙන්කර ඔවුනොවුන් අතර ගැටුම් ඇති කරයි. එම ක්‍රියා මෙහෙයවන්නන්ට බටහිර විශ්වවිද්‍යාලවලින් සහ ‘ෆෝඩ්’, ‘රොකෆෙලර්’ බඳු විවිධ පදනම්වලින් නොයෙකුත් ආධාර ලැබේ. ඉන්දියාවේ දලිත් සංවිධාන නිදසුනකට ගතහොත් දලිතයන් හින්දූන්ගෙන් ඈත් කරමින් ක්‍රිස්තියානි කරන සිය ගණනක් ඉවැන්ජලික සංවිධාන ඉන්දියාව තුළ ක්‍රියාත්මක වේ.

ප්‍රසිද්ධ සිංහල සින්දුවක, ‘සාදු පියේ භගවා’ කියා බුදුන් ඇමතෙයි. හින්දූහු දෙවිවරුන්ටත් භගවාන් කියති. ඇමෙරිකාවට පැමිණි ඉන්දියාවේ විශ්වවිද්‍යාලයක දර්ශනය පිළිබඳ ආචාර්යවරයෙක් රාජනීස් භගවාන් නමින් ප්‍රසිද්ධ විය. පශ්චාත් නූතනවාදියකු නොවූ ඔහු පශ්චාත් නූතනවාදයෙන් කියවෙන අදහස්වලට සමාන අදහස් ඇමරිකාව තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අදහස් කළ අයෙකි. අනුගාමිකයින් පිරිසක් සමග ඔරිගන් ප්‍රාන්තයේ රාජනීස්පුරම් නමින් ජනපදයක් පිහිටුවාගත් ඔහු, එහි සිට දේශන පවත්වන්නට වූයේය. හෙතෙම ඊට මග පාදාගත්තේ ක්‍රිස්තියානි මූලධර්ම හෑල්ලු කෙරෙන දේශන මාලාවකිනි. එවිට ඇමෙරිකාවේ ක්‍රිස්තියානි දේවගැතිවරුන් සහ දේශපාලනඥයින් විශාල පිරිසක් කුපිත වූහ.

ඕෂෝ (සාගරය) යනුවෙන් නම වෙනස් කරගත් රාජනීස් අලුත් ආගමක් දේශනා කරන්නට වූයේය. ලෝකයේ බිහිවූ කිසිම ශාස්තෘවරයකු ස්ත්‍රියගේ උසස් බව පිළිගන්නට කැමති නොවූයේ යැයි පැහැදිලි කළ ඔහු, කාන්තාව පුරුෂයාට වඩා උසස් බව කියමින් ‘ශීලා’ නමැති ඉන්දියානු ඇමරිකානු කාන්තාව තම ආගමේ ප්‍රධාන ශ්‍රාවිකාව බවට පත් කළේය. නිදහස්ව උපදින පුද්ගලයා සංවිධානාත්මක ආගම් විසින් විනාශ කරන බව පැවසූ රාජනීස් ‘ෆ්‍රී සෙක්ස්’ (නිදහසේ කාම සුව විඳීම) නමින් දර්ශනයක් ඉදිරිපත් කරමින් ස්ත්‍රී පුරුෂයින්ට රිසි සේ හැසිරීමට හැකි නිදහස් සමාජයක් බිහිකිරීමට මහන්සි ගත්තේය. මෙවිට ඇමරිකානු මාධ්‍යයන්ගෙන් ඕෂෝට ‘සෙකස් ගුරු’ යනුවෙන් අලුත් නමක් ලැබුණි. ඔව්හු, රාජනීස් සමාජ සාරධර්ම වනසන සමාජ ද්‍රෝහියකුයැයි හැඳින්වෙන පුළුල් ප්‍රචාරයක් ඇරඹූහ. හැංගිමුත්තන් සෙල්ලම කරමින් මහජනයා වනසන්නේ ‘ප්ලේ බෝයි’ වැනි කාම සඟරා මිස තමා නොවන බව, එවිට රාජනීස් පැහැදිලි කළේය.

රාජනීස්ගේ ක්‍රියාකාරකම් අවසන් කිරීමට, රාජනීස්පුරම් වැටලූ ඇමරිකානු පොලිස් හමුදාවට හැකි විය. ඔව්හු රාජනීස් සිරභාරයට ගෙන පිටුවහල් කළහ. මේ වනවිට බටහිර යුරෝපයේ හැම රටකම පාහේ ඕෂෝ මධ්‍යස්ථාන පිහිටුවා තිබුණි. දහස් ගණනක් ජර්මන් ජාතිකයෝ ඕෂෝ මධ්‍යස්ථාන සමග සම්බන්ධ වී සිටියහ. කොතරම් පිරිවරක් සිටියත් ඇමරිකාවෙන් පිටුවහල් කළ රාජනීස්ට බටහිර යුරෝපයේ කිසිම රටකට ඇතුළු වීමට නොහැකි වූයේ, ඒ හැම රටක්ම ඕෂෝ සමාජ ද්‍රෝහියකු වශයෙන් පිළිගත් බැවිනි. අවසානයේ ඉන්දියාවට පැමිණි ඕෂෝ රෝගියෙකු ලෙස මිය ගියේය. තමාට සිරගෙදරදී විස කැවී ඇතැයි ඔහු පවසා තිබේ.

මෑත කාලයක සිට ලංකාවේ පත්තර සඟරා ආදියේ ඕෂෝ ගැන විස්තර අඩංගු ලිපි පළ වේ. ඕෂෝගේ දේශන අඩංගු පොත් කිහිපයක්ම සිංහලයට නැගී ප්‍රකාශයට පත් ව තිබේ. මුහුණු පොතේ ද ඕෂෝගේ වාක්‍ය නිතර දක්නා ලැබේ. ඕෂෝ සිය ජීවිතයෙන් සැපයූ ප්‍රයෝගික ආදර්ශය ගැන වැටහීමක් නැතිව ඕෂෝ ඇමරිකාවේදී කළ දේශන අසන්නකුට ඕෂෝ පශ්චාත් නූතනවාදියෙකැයි සිතෙන්නට පුළුවන.

පශ්චාත් නූතනවාදය වනාහි දැනට කාලයකට පෙර ඇමරිකාවේ සංවාදයට ලක්වූ හොඳටම පරණ කොට්ට වුණු මතවාදයකි. එයින් ඉදිරිපත් වන මොනම අදහසක්වත් ලංකාවට නොගැළපේ. පශ්චාත් නූතනවාදී අදහස් ඉදිරිපත් කරන්නන් වැඩිදෙනෙකුට රට බෙදීමේ වුවමනාව තිබේ. එවැන්නෝ බුදු සසුන අභාවයට පත්කිරීමට සහ සිංහල ජාතිය දුර්වල කිරීමට වෙහෙසෙති. ඔවුන් එසේ හැසිරෙන්නේ ‘සිපොයි’ මානසිකත්වයෙනි. පොදුජනයාගේ බසින් කියන්නේ නම් ‘සිපයි’ මානසිකත්වයෙනි.

‘සිපොයිස්’ යනු ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලකයින් තම ප්‍රයෝජනයට පිහිටුවූ ඉන්දීය ජාතිකයින්ගෙන් සැදුම්ලත් රෙජිමේන්තුවකි. ඒ රෙජිමේන්තුව දැන් නැත. සිපොයි මනසින් කටයුතු කරන ඉන්දියානුවෝ ලක්ෂ සංඛ්‍යාවක් සිටිති. රාජනීස් භගවාන් සිපොයියෙක් නොවේ. බටහිර දර්ශනයක් ජීර්ණ කරගෙන ඉන්දියාව වැනසීම රාජනීස්ගේ පරමාර්ථය නොවීය. ඕෂෝගේ ෂබාස් India My Loveපොත කියවීම රාජනීස් මවුබිමට දැක්වූ ආදරය පැහැදිලි කරගැනීමට ප්‍රමාණවත් වේ. ඉන්දියානු මාතාවට දැඩි ලෙස ආදරය කළ ඔහු, ඇමරිකාවෙන් ඉන්දියාවට පැමිණි දර්ශනය, ඇමරිකාව තුළ ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වූයේය. එවිට ‘නිදහස් නිවහල්’ ඇමරිකාව, රාජනීස් අත්අඩංගුවට ගෙන මහා අපරාධකරුවකු පරිද්දෙන් ඇමරිකාවෙන් පිටුවහල් කළේ මන්දැයි කල්පනා කිරීම, අප කියන දේ අවබෝධ කරගැනීමට මාර්ගයකි.

(2019 මාර්තු 31 සතිඅග අරුණ පුවත්පත)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link