Last Updated on 10 hours by admin
සෑම් සෙනෙවිරත්න
සහෝදර හිනිදුම සුනිල් සෙනෙවි ඇමති කියන අතීත කතා අඩංගු යූටියුබ් වීඩියෝවක් සංසරණය වෙමින් පවතී. ඔහු කියන්නේ හිනිදුම කල්වාරිය ඇත්තේ ඔහුගේ මහගෙදරට අල්ලපු වත්තේ බවයි. ඒ කතාවට අනුව හිනිදුම මහාබෝධි වත්තට ඇමතිවරයාගේ ගෙදර සිට යන්නට ගත වන කාලය විනාඩි පහකි. ඒ කියන්නේ කි.මී. 2ක පමණ දුරකි.
සහෝදර ඇමති කියන හැටියට, ඔහුට මතක කාලයේ ප්‍රදේශයේ කිතුණුවන් හා බොදුනුවන් අතර කිසිදු ගැටුමක් තිබී නැත. ප්‍රදේශයට අවශ්‍ය වඩු, මේසන්, බාබර් වැනි කාර්මිකයින් පුරුදු පුහුණු කෙරුණේ කල්වාරියෙනි. කල්වාරිය ආශ්‍රය නිසා තමන් ආගමික සහජීවනය කෙරෙහි නැඹුරු වූ බවත් හෙතෙම කියයි. ඇමතිවරයා කලකට පෙර කරපු ඒ ඉතිහාස ප්‍රකාශයේ අඩුපාඩු ඇත. අපගේ වෑයම ඇමතිවරයාගේ කතාව අසා වැරදි අදහස් ඇති කරගත් හැමට සැබෑ ඉතිහාස කතාව කීමයි.
එදා කිතුනු පියවරුන්ගෙන් එල්ල වූ තාඩන පීඩනවලට පිළිතුරු වශයෙන් භික්ෂුන් වහන්සේලා ඔවුන් සමග පළමු වරට වාදයකට ගියේ හිනිදුම ආසන්නයේ පිහිටි බද්දේගම ගනේගමදීය. ඒ 1865 වසරේදීය. එහි උච්ඡතම අවස්ථාව 1873 දී පානදුරා වාදයයි.
පානදුරාවාදයෙන් පරාජය වූ කිතුනු පියවරුන් බෞද්ධයන් බිලී බෑමට අලුත් උපක්‍රම සොයා ඇත. යටත් විජිත පාලනය නිසා දුප්පත්කමේ පතුලට වැටී සිටි බෞද්ධයන් නම්මාගැනීමට මුදල් හා වෙනත් තෑගිබෝග දීම ඔවුන්ගේ එක් උපක්‍රමයක් විය. අදටත් ලංකාවේ කොයි පළාතට ගියත් තෑගි බෝග දී ආගමට හරවා ගැනීමේ සිද්ධි අසන්ට ලැබේ.
1893 වසරේ මිෂනාරීන් පිරිසක් බෞද්ධයින් විසූ හිනිදුම ප්‍රදේශයේ පල්ලියක් අරඹති. හිනිදුම පිහිටියේ පළමු බෞද්ධ – කිතුනු වාදය පැවති බද්දේගමට සැතපුම් 25ක් පමණ දුරිනි. තොටගමුවේ රාහුල හිමි වැඩසිටි තොටගමුවේ විජයබා පිරිවෙන, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් සසුන්ගත වූ කුමාර මහා විහාරය, ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් පැවිදි බිමට පත් රත්ගම දේවපතිරාජ පිරිවෙන ඇතුළු ප්‍රසිද්ධ විහාරස්ථාන සිය ගණනකින් හා මෑත යුගයේ රට දැය සමය වෙනුවෙන් විශාල සේවාවක් කළ භික්ෂුන් වහන්සේ වැඩ විසූ ගාලු දිස්ත්‍රික්කයේ, හිනිදුම පිහිටියේ තරමක් රට ඇතුළට වන්නටය. තරමක් හුදෙකලාවේ පිහිටි මේ ප්‍රදේශය මිෂනාරීන්ගේ ඉලක්කය වූයේ එවන් ප්‍රදේශවල ජනයා ආක්‍රමණය කිරීම පහසු බැවිනි. මුදල් හා වෙනත් දෑ බෙදා දෙමින් ප්‍රදේශයේ බෞද්ධයින් යම් පිරිසක් කිතුණු ආගමට හරවා ගන්නට පියවරු සමත් වූහ.
මේ ධර්මපාලතුමා බෞද්ධ පුනර්ජීවනය පිණිස කටයුතු කරමින් සිටි කාලයයි. හිනිදුම පල්ලියක් අරඹා බෞද්ධයින් කිතුනු ආගමට හරවා ගන්නා පුවත ඇසූ ධර්මපාලතුමා, හිනිදුම ඒ කිට්ටුවෙන්ම ඉඩමක් මිලදී ගත්තේය. ඒ, අදත් හිනිදුම උඩුගම පාර අද්දර දැකිය හැකි මහාබෝධි වත්තයි. එහි බිම් ප්‍රමාණය අක්කර 135කි. ධර්මපාලතුමා වත්ත මිලදී ගත්තේ අරමුණු දෙකක් වෙනුවෙනි. එක් අරමුණක් වූයේ, දුප්පත්කම නිසා මිෂනාරීන්ගේ පාක්කුඩම්වලට යට වී කිතුනුවන් බවට පත් වන බෞද්ධයින්ට වත්තේ වැඩ කර ආදායමක් ලබාගැනීමට මාර්ගය පාදා දීමයි. අනෙක් අරමුණ ඉතා පළල් එකකි. එය ධර්මපාලතුමන්ගේ ජාතික නිදහස් සටනේ එක් අංගයකි. ආර්ථික දියුණුවකින් තොරව ජාතික නිදහස උදාකරගත නොහැකි බව එතුමාගේ අදහස විය. ආර්ථික දියුණුව අත්පත් කරගැනීමට නම්, සිංහලයින්ද සුද්දන් මෙන් වතු වගාවට යොමු විය යුතු බව එතුමා පෙන්වා දුන්නේය. හිනිදුම වත්ත, එය ආදර්ශයෙන්ම සිංහලයන්ට පෙන්වා දීමකි. එහි ප්‍රදේශයේ ජනතාවට වෘත්තිය පුහුණුවද ලබා දුන් බවට කිසියම් තැනක සටහන්ව තිබුණු මතකයක් ඇතත් එය තහවුරු කරගැනීමට නොහැකි විය.
ආර්ථික සමෘද්ධිය උදාකර ගැනීමට නම් රටේ කර්මාන්ත ආරම්භ කළ යුතු බව ධර්මපාලතුමන් අවබෝධ කරගත්තේ විදේශයන්හි කළ සංචාරයන්හිදීය. ඇමරිකාව, ජපානය හා යුරෝපා රටවල සංචාරය කළ හැම අවස්ථාවකම ධර්මපාලතුමා කර්මාන්ත ශාලා නැරඹීමට ගොස් ඇත. ඒ දැනුම මත පිහිටි එතුමා ලංකාව දියුණු කළ හැක්කේ කර්මාන්ත ඇරඹීමෙන් බව විශ්වාස කරන්ට විය. ඒ අනුව සිය පියාගේ මුදලින් ශිෂ්‍යත්ව අරමුදලක් ඇරඹූ ධර්මපාලතුමා පිරිසක් විදේශයනට යවා කර්මාන්ත පුහුණුව ලබා දුන්නේය. පේෂකර්මාන්තය, ගිනිපෙට්ටි, පිඟන් කර්මාන්තය හා මල් කර්මාන්තය ඒ පුහුණු කරුවන් යොදවා අරඹන ලද කර්මාන්ත කීපයකි. ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පිණිස එතුමා මාලිගාකන්දේ පාසලක් ඇරඹීය. අද ආනන්ද බාලිකා විදුහල බවට පත්ව ඇත්තේ ඒ පාසලයි.
ලංකාවේ පළමු වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඇරඹෙන්නේ, 1893 බ්‍රිතාන්‍ය පාලන සමයේදීය. දුම්රිය සේවයේ සහ තේ කර්මාන්තශාලාවලට අවශ්‍ය උසස් නිලධාරීන් පුහුණු කිරීම එහි අරමුණ විය. එයින් පසු වෘත්තීය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කළේ ධර්මපාලතුමන් විසිනි. හිනිදුම සුනිල් සෙනෙවි ඇමතිවරයා පුංචි සන්දියේ කල්වාරියේ ඉටිපන්දම් පත්තු කරන්නට පාවිච්චි කළ අලියා ගිනි පෙට්ටි, ධර්මපාලතුමන්ගේ කර්මාන්ත වැඩසටහනේ එක් ප්‍රතිඵලයකි.
“පණ්ඩිත ශාස්ත්‍රඥයෝ, පණ්ඩිත වාණිජයෝ, පණ්ඩිත ශිල්පීන්, පණ්ඩිත කර්මාන්තකාරයින් නැති රට ශුන්‍යයි. වෙද්දු වැඩි රටේ ලෙඩ්ඩු වැඩියි. නීතිඥයෝ වැඩි රටේ අධිකරණ ශාලාවන් වැඩියි.”
“හාල්, මුං, කඩල, පරිප්පු පරදේශිකයන්ගෙන් ගන්නේ මන්ද? තමන්ගේ කෙත්වතු වවාගෙන වී, හාල්, ලූනු, කහ, මිරිස් සියල්ලක්ම මේ රටින්ම ලබාගන්ට වීර්ය වැඩිය යුතුයි.”
“අපි නානකොට හමේ ගාන්නේ පියර සෝප්. කන්නේ එංගලන්තයේ විස්කෝතු, වාඩිවෙන්නෙ සුද්දො හදාපු පුටුවල, අපි බොන්නෙ රටකින් ගෙනාපු ටින්කිරි… අපේ රටේ ඉන්න පේෂකාර්මිකයො බඩගින්නේ. අපි අඳින්නෙ වෙන රටවල වියන රෙදි…”
“අපේ සමහරු පරජාතික පැෂන් ගැනීමට සැරසී සිටින නමුත් ඒ සඳහා වුවමනා කරන මහත් වියදම කෙසේ ලැබේ දැයි කල්පනා නොකිරීම බරපතල වරදකි. අනුන් යටතේ රක්‍ෂාවක් කොට ලැබෙන වැටුප් මද වුවොත් අනුන්ට ණය වෙලාවත් පරසිරිත් සම්පූර්ණ කර ගැනීමට බලාපොරොත්තු වීම විලිබිය රහිත ක්‍රියාවකි.”
ඒ ධර්මපාලතුමන්ගේ වචනයි. ‘අපේ අධ්‍යාපනයට තාක්ෂණික විෂය මාලා එකතු කළේ ධර්මපාලතුමා ඒ පිළිබඳ කතා කරලා අවුරුදු 100කට විතර පසුව’ යැයි මහාචාර්ය වසන්ත දේවසිරි පැහැදිලි කරන ලිපියක් බෝධි සභාව පළ කර තිබේ. ධර්මපාලතුමන් පෙන්වා දුන් මග යන්නට කිසිදු ආණ්ඩුවකට හැකි නොවිණි. යම් උත්සාහයක් දැරුවේ 1970 සමගි පෙරමුණු ආණ්ඩුව පමණි. රටින් ගෙනැවිත් කෑමේ රුදාව දැනුනේ බේත් පේත්තක් ගෙන්නට වත් ඩොලරයක් නැති තැනට රට වැටුණු පසුවය.
හිනිදුම කල්වාරියේ විවිධ කාර්මිකයන් පුහුණු කළ ආකාරයට, රටේ තවත් ප්‍රදේශන්හි දේවස්ථානවලින්ද වෘත්තීය පුහුණු පාඨමාලා ඇරඹුණි. දොන් බොස්කෝ, ඇක්වයිනාස් එසේ ඇරඹුණු ප්‍රසිද්ධ වෘත්තිය පුහුණු ආයතන දෙකකි. ඒවා ඇරඹුණේ, 1933 අනගාරික ධර්මපාලතුමන්ගේ අපවත්වීමෙන් වසර 20 – 30 කට පමණ පසුවය. ඇක්වයිනාස් ආයතනය ඇරඹුණේ 1953 දීය. fදාන් බොස්කෝ ආයතන ඇරඹුණේ 1963 වසරේය.
ධර්මපාලතුමන්ට තරම් රටේ දියුණුව පිණිස ඵලදායී වැඩපිළිවෙළක් මෙතෙක් පැවති කිසිදු ආණ්ඩුවකට තිබුණේ නැත. මාලිමාවටත් එවැන්නක් නැත. ස්වෛරීබව, නිවහල්බව, හොඳ සිරිත්, සෞඛ්‍යය, දැනුම, කාර්මීකරණය, වැනි අංශ ගණනාවක් පිළිබඳව එතුමාගේ අවධානය යොමුවූ තිබුණි. අවාසනාවට ධර්මපාලතුමන් ගැන වැඩි දෙනෙකු දන්නේ, එතුමන් බුද්ධගයාව හා ඉන්දියාවේ වෙනත් බුද්ධ භූමිත් බෞද්ධයන්ට ලබාදෙන්නට සටන් කළ බව පමණි.
මාලිමාවේ ඇතැම් උගතුන්ට අනුව නම් ධර්මපාලතුමා පිස්සෙකි. ඩී.බී. ජයතිලක වැන්නන් පවා මුට්ටකාසිකාරයා කියමින් නින්දා කර එතුමන්ට රටත් එපා කරවූ පසුබිමක ඒවා පුදුම වෙන්නට කාරණා නොවේ.
බ්‍රිතාන්‍ය පාලකයන් ධර්මපාලතුමන් ඉන්දියාවේ නිවාස අඩස්සියට පත් කළේ එතුමන් ලංකාවේ ක්‍රියාත්මක කළ වැඩසටහන් කඩාකප්පල් කිරීමේ අරමුණ ඇතිවය. එක් පැත්තකින් දේශපාලකයෝ ධර්මපාලතුමාගේ ජාතික නිදහස් සටන සියතට ගත්ය. එයින් ලංකාවේ මිෂනාරීන්ට ලොකු වාසියක් ලැබුණි. ඔවුහු ධර්මපාලතුමන් ඇරඹූ වෘත්තීය පුහුණු වැඩපිළිවෙළත් අතට ගත්හ. හිනිදුම කල්වාරිය මේසන්ලා බාබර්ලා පුහුණු කරන්නේ, ධර්මපාලතුමන්ගෙන් කොල්ලකාගත් වැඩපිළිවෙළට අනුව යමිනි.
කතෝලික දේවස්ථානයෙන් ආගමික සහජීවනය පුරුදු වූවා යැයි කියමින් සුනිල් සෙනෙවි ඇමති සහෝදරයා ලෝකයට අඟවන්නට හදන්නේ, බෞද්ධයන් සහජීවනය නොහඳුනන බවයි. අසවේදුගේ කාලයේ දරුවන් කිඹුලන්ට කන්නට දුන් සිදුවීම්වල සිට 1883 පාස්කු දවසේ බෞද්ධයින්ගේ පෙරහැරකට කොටහේනේදී පහර දී ජුවන් නයිදේ උපාසකයාව මරා, අටපිරිකර 500ක් තිබුණු කරත්ත ගිනිතබා ගොනුන්ගේ ඇස් උගුල්ලා දැමූ සිද්ධිය ඇතුළු සහජීවනය පිළිබඳ බොහෝ කතා අමතක කර කිතුනුවන් සමග සහජීවනයෙන් ජීවත් වන්නට බෞද්ධයන්ට පුළුවන් විය. බෞද්ධයන් කිසි කලෙක ඒවාට පළිගන්නට ගියේ නැත. එසේ වුවත් කතෝලික මූලස්ථානය අදටත් බුදු සසුන ආක්‍රමණය කරමින් සිටින අයුරු මින් පෙර ලිපියකින් පැහැදිලි කෙරිණි.
වීඩියෝවේ කියවෙන හැටියට ඇමතිවරයාගේ මුල් නම සුනිල් ශාන්තය. සුනිල් සෙනවි නම දුන්නේ ඔහු කවියෙකු කිරීමට සිතූ මහාචාර්ය සුනිල් ආරියරත්නය. ‘දෙමළ වංශයට පූර්විකාවක්’ ග්‍රන්ථයේ සඳහන් වන ලෙසට සුනිල් ආරියරත්න ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙනෙන් ඉගෙන විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළු වූ ශිෂ්‍යයෙකි. නමුත් ඔහු තමාට මග පෙන්වූ භික්ෂුව සහ පිරිවෙන ගැන ඇගැයීමක් නොකරයි. කතෝලික පියවරුන්වම පසසයි. ‘ගුරා හිටගෙන හුජ්ජ කරනකොට ගෝලයින් දුව දුව හුජ්ජ කරන බව’ අනාගරික ධර්මපාලතුමා කියා තිබේ.
ඉතිහාසය විමසන්නෙකුට සුනිල් සෙනවි සිය අතීතය ගැන කියන තොරතුරුවලට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ තොරතුරු දැනගන්ට ලැබේ.