කවුරැත් කතා නොකරන බංගාලි දේශයේ ගැටුම් මැද සිදු වූ බෞද්ධ සංහාරය

Last Updated on 1 month by admin

බංගාලි දේශයේ ජනතාව සර්වජන ඡන්දයෙන් බලයට පත් කළ ෂයික් හසීනා අගමැතිවරිය පන්නා ගත් පිරිස ඇයගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුව ප‍්‍රචණ්ඩකාරී ආකාරයෙන් කොල්ලකෑම ප‍්‍රතිවිප්ලවයකි. ලෝකයේ දිළිඳු රටක්ව පැවති බංගාලි දේශය සංවර්ධනය වූ රටක් බවට පත්කිරීම හසීනාගේ නායකත්වයෙන් බංගාලි දේශයේ සිදුවෙමින් පැවති විප්ලවයයි. ඊට විරුද්ධව ඇති වූ ප‍්‍රතිවිප්ලවය අදෘශ්‍යමාන විදේශ හස්තයකින් මෙහෙයවූවකි. ඔවුන්ට හමුදාවේ සහාය ලබාදීම සහ බටහිර මාධ්‍යයන් ක‍්‍රියා කළ ආකාරය විදේශීය හස්තය පැහැදිලි කෙරෙන වටිනා සාක්කි දෙකකි. වැදගත්ම සාක්කිය පිටරටවල විසූ මහලු මොහොමඞ් යුනුස් විප්ලවයේ දරුවා වශයෙන් අන්තර්වාර පාලනයේ නායකයා වීමයි.

යුනුස්ගේ ලොකුම හපන්කම නෝර්වේ රටේ බැංකුවල තැන්පත් වූ නෝර්වේ ජාතිකයින්ගේ විශ‍්‍රාමික අරමුදල්වලට පොලියක් ලැබෙන පරිදි, බංගාලි දේශ වැසියන්ට ග‍්‍රාමීය ණය ක‍්‍රමයක් සකස්කර දීමයි. ඔහු යම් පමණකට ලංකාවේ විසූ ඒ. ටී. ආරියරත්නට සමානය. විශේෂත්වය නෝබල් තෑග්ග ලැබූවෙක් වීමයි. ආසියාතිකයෙකුට නෝබල් තෑග්ග ලබා ගැනීම ඉතාම අපහසු ක‍්‍රියාවකි. ඔවුන්ට පිලිපීනයෙන් දෙන මැග්සයිසේ සම්මානය තිබේ.

බි‍්‍රතාන්‍යයන් ඉන්දියාවට නිදහස දෙන්නේ රට කඩා පකිස්ථානය නමින් ඉස්ලාම් රටක් නිර්මණය කරමිනි. එහි නැගෙනහිර කොටස හෙවත් වත්මන් බංගාලි දේශය, බටහිර පකිස්ථානයේ ප‍්‍රාන්තයක්ව පැවතුණි. නැගෙනහිර පකිස්ථානයේ දේශපේ‍්‍ර්මීහු, බටහිරුන්ගෙන් නිදහස ලබාගැනීම සඳහා නිදහස් ව්‍යාපාරයක් ආරම්භ කළහ. ‘අවාමි ලීග්’ නම් වූ එය මර්දනය කිරීමට පකිස්ථානය පාරා මිලිටරි කණ්ඩායම් යෙදවුවාය.

ලංකාවේ ජවිපෙ මර්දනය සඳහා ප‍්‍රා, කළු බළල්ලූ වැනි සංවිධාන තිබුණි. එවැනි රහස් හමුදාවලින් බේරී රට නිදහස් කර ගැනිමට මුජිබර් රහමන්ගේ නායකත්වය සමත් විය. ෂයික් හසීනා යනු එකල ප‍්‍රතිවිප්ලවවාදීන් අතින් ඝාතතය වූ මුජිබර් රහමන්ගේ දියණියයි. ඇයට විරුද්ධව වීථි බැස්ස පිරිසේ නායකයින් වැඩි පිරිස එදා අවාමි ලීගය විනාශ කිරීමට වෙහෙසුන පාරා මිලිටරි හමුදාවලට නෑකම් ඇත්තෝ වෙති.

ෂයික් හසිනා පැන්නීම සඳහා ප‍්‍රතිවිප්ලවය මෙහෙයවූවන්ගේ පූර්ව ක‍්‍රියාව වූයේ බංගාලි දේශයේ මුස්ලිම් අන්තවාදීන් බිහි කිරීමයි. ඔවුහු ඇෆ්ගනිස්ථානයේ තලිබාන්වරුන්ට සමාන වූහ. බංගාලි බෞද්ධයින් බංගාලි තලිබාන්ලාගේ ප‍්‍රධාන ඉලක්කය විය. ඔවුන්ගේ ප‍්‍රහාරවලට ලක් වූ සමහර හාමුදුරුවරු මියන්මාරයට පලා ගියහ. ස්වල්ප පිරිසක් රැුකවරණය සොයා ලංකාවටත් පැමිණ ඇත.

බංගාලි දේශය පිහිටුවීමට උපකාර කළ ඉන්දියාව ප‍්‍රතිවිප්ලවය හමුවේ කටයුතු කළ ආකාරය ඇතැම් ඉන්දියානුවන්ගේ විවේචනයට හසු වේ. මෝදිගේ රජය හින්දු අන්තවාදී රජයක් ලෙස බංගාලි දේශිකයන්ට ඒත්තු ගැන්වීම කලක සිට සිදුවූ බව ඒ කවුරුත් දැනගත යුතු වැදගත්ම කාරණයයි. ලංකාවේ ගෝඨාභය රාජපක්ෂ රජය බිහි වන පෙර නිමිති පහල වෙද්දී, බොදු බල සේනාව නමින් සංවිධානයක් ජනප‍්‍රිය වූයේය. එහි ඇතැම් නායකයෝ සවුදි අරාබිය වැනි ඉස්ලාම් අන්තවාදය පැතිරවූ රටවල් හා සබඳකම් පැවැත්වූවෝ වෙති. ගෝඨාභය ජනාධිපතිවරයා ‘එක රටක් එක නීතියක් කොමිසමේ’ නායකයා වශයෙන් කටයුතු කිරීමට පත් කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමි සවුදි ගිය භික්ෂුවකි.

ෂයික් හසීනා රජය පවතිද්දී රට තුළ ඉස්ලාම් අන්තවාදය හිස එසවූයේය. බෞද්ධ, හින්දු, කතෝලික ආගම් අදහන සුළු ජන කණ්ඩායම්වලට පහරදීම ප‍්‍රතිවිප්ලවයේ කැපී පෙනෙන අංගයකි. එවිට හින්දුන්ව ආරක්ෂා කිරීමට මුස්ලිම් අන්තවාදියෝ කොටසක් පැමිණියහ. බටහිර මාධ්‍යයෝ ඔවුන්ගේ මනුස්සකම ලොවට කීහ. පහර කෑ හින්දූන් පිරිසක් ඉන්දියාවට පලා ආහ. බෞද්ධයන් බොහෝමයකට මිය යාම සහ ඉස්ලාම් ආගම පිළිගැනීම හැර විකල්පයක් නොවිණි. හින්දු, කතෝලික වැනි බලවත් ආගම් සිය බැතිමතුන්ට එරෙහිව ක්‍රියාත්මක වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව විරෝධතා දක්වන නමුත් සංහාරයට ලක්වූ බෞද්ධයන් ගැන කතාකරන්නට කෙනෙක් නැත.

ඉන්දියානු පොළොවෙන් බුදුසසුන අතුරුදහන් වූයේ මීට සමාන ආකාරයටමය. දකුණු ඉන්දියාවේ බැබළුන බුදුදහම වඳ කළේ හින්දු ප‍්‍රචණ්ඩත්වයයි. ලංකාවේ ඒල්ටීටීඊය ක‍්‍රියාකාරි වූ සමයේ උතුරේ බෞද්ධයන්ට ක‍්‍රිස්තියානි කල්ලි තෝරා ගැනීමට සිදු විය. ඒ සිදුවීම් ගැන කතා නොකර බුද්ධාගම අයිති සිංහලයන්ට පමණක් ද? ඇයි දෙමළුන්ට බුද්ධාගම හොඳ නැද්ද? වැනි තර්ක නගන උගත්තු සිටිති. මොහොමඞ් යුනුස්ද මහලූ වන තෙක්ම බටහිරුන්ට සේවය කළ උපාධිධාරියෙකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link