ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු ආගම්වලින් පටන්ගෙන ආගම දේශපාලනයෙන් ඉවත් කරමු

Last Updated on 2 hours by admin

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා

Pic. credit: NPR

දර්ශන හඳුන්ගොඩගෙයි, ගාමිණී වියන්ගොඩගෙයි සාකච්ඡාව ඇරඹුණු ආකාරය තුළින්ම මා හට හැඟී ගියේ සුප්‍රසිද්ධ “රයිගමයා” හා ගම්පොළයා” නාට්‍යය විද්‍යුත් මාධ්‍ය ඔස්සේ කරළියට නංවා ඇති බවයි.

ශුද්ධ වූ මුහුණුවරකින් සංවාදය ඇරඹුණත්, ජනාධිපතිවරණයේ එළිපත්තේ සිට මාලිමාව දිනවීම සඳහා අශුද්ධ වූ මාවතකට දෙදෙනාම ක්‍රමයෙන් ප්‍රවේශ වූ ආකාරය වසන් කිරීමට ඔවුන් දෙදෙනාටම හැකියාවක් නොතිබුණේ “බළලුන් ගලේ පැහැරූ” න්‍යායට මොවුන් දෙදෙනාත් ගොදුරු වී තිබීම නිසයි. කතාව තුළ ඔවුන් දෙදෙනා වරින් වර පැහැරූ දේවල් වහ ගැනීම ඔවුනට ප්‍රශ්නයක් වන බව කල්තියා දැන ගැනීමේ හැකියාවක් මොවුන් දෙදෙනාටම නැති බව පැහැදිලි වුණා.

ජනතා විමුක්ති පෙරමුණට මේ දක්වා රටේ පාලන බලය හිමි නොවීම, මෙවර ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට වාසිදායක තත්ත්වයක් ඇති කළ හැකි බලවත් සාධකයක් වන බව ගාමිණී වියන්ගොඩ පැවසුවා.

රට විනාශය කරා ඇදගෙන ගිය එක්සත් ජාතික පක්ෂයත්, මහින්ද යටතේ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු පෙරමුණත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අතින් වරින් වර වර්ණනාත්මක ඇගයීම්වලට ලක්වුණු බව හා ගාමිණී වියන්ගොඩ කියන අලුතෙන් බිහිවුණු ජන විඥානය අතර තිබෙන සම්බන්ධය ගැන කතා කළහොත් ඉන් හටගන්නේ හාස්‍ය රසයක් පමණයි.

වියන්ගොඩ පුන පුනාම උත්සාහ කළේ ජනතා විමුක්ති පෙරමුණ අතීතයේදී රට පාලනය කළ පිරිස් අතින් සිදුවුණු වරදවල්වලට සම්බන්ධයක් නැති නිසා සැබෑ වෙනසක් ප්‍රාර්ථනා කරන ජනතාවගේ උදහසට ජවිපෙය ලක් නොවන බවයි.

71 හා 88-89 වකවානුවලදී ලක්ෂයකට ආසන්න සිංහල බෞද්ධ තරුණ ජනතාවක් ඊනියා විප්ලව කිරීමට ගොස් දංගෙඩියට දැක්කීම වියන්ගොඩගෙයි, හඳුන්ගොඩගෙයි මීටර්වලට හසු නොවීම ගැන මා පුදුම වන්නේ නැහැ.

ඒ අවාසනාවන්ත අතීතය තුළ අද ඔය ශුද්ධවන්තයින් වෙසින් ජනතා විමුක්ති පෙරමුණට සුදුහුණු ගෑමට වියන්ගොඩ හා හඳුන්ගොඩ වැන්නන් උත්සහ කරන්නේ ජන විඥානයේ කොටස්කරුවන් වීමට නොව, රටේ සැබවින්ම වෙනසක් සිදුවිය යුතු බව සිතන පතන මිනිසුන්ගේ වේදනාකාරී සිතුවිලි තමන් වෙත පවරා ගනිමින් යුගයේ වීරයින් වීමට ගත් දුබල උත්සාහයක් බව මනාව පැහැදිලි වුනා.

ආගම දේශපාලනයෙන් ඈත් කර තිබිය යුතුයි යන මතය ජන විඥානයට ඇතුළු වූයේ කාල් මාක්ස් “ආගම අබිං” කියා කියූ පසුවයි.

මාක්ස් එසේ කීවේ බුදු දහම හෝ හින්දු ආගම ගැන හිතා නොව ක්‍රිස්තියානි ආගම් සමූහය තුළ තිබූ සමාජ විරෝධී ලක්ෂණ නිසයි.

යුරෝපාකරේ පැතිර තිබුණු ආගම් ධනවාදයට ආවැඩුවේ පොදු ජනතාව කොමියුනිස්ට්වාදයට බිලිවේවිද කියා තිබුණු බිය නිසයි.

කතෝලික ආගමත්, ක්‍රිස්තියානි ආගම් සමූහයත් දුප්පතුන් ධනවාදයට එරෙහිව මාක්ස්වාදය වැළඳගනිදෝ යන බියෙන් පසුවුන නිසා, ක්‍රමයෙන් ජනතාව තුළ පැතිර ගිය නිදහස හා සමානාත්මතාවයට බාධා වන අන්දමින් කෙරෙන සමාජ විරෝධී ආකල්ප හා ක්‍රියාදාමයන් අබිං ලෙස හැඳින්වීමට මාක්ස් පැකිලුනේ නැහැ.

බුදු දහම ආගමක් නොවන බව පැහැදිලිවම ජන විඥානයට ඇතුළු වී තිබෙන අවධියක, බුදු දහම පමණක් රාජ්‍ය පාලනයෙන් ඈත් කර තබන්නට ජවිපෙ ඇතුළු ජාතික ජන බලවේගයේ සාමාජික පිරිස් වරින් වර කරන නින්දිත ප්‍රකාශයන් හා එම කණ්ඩායමේ සාමාජිකාවන්ගේ බෞද්ධ විරෝධී ආකල්ප මගින් මනාව පැහැදිලි කරනවා.

ඇත්තෙන්ම ආගම් දේශපාලන කටයුතුවලින් ඈත් කර තැබීම නරක අදහසක් නොවෙයි.

යමෙකුට එසේ කිරීමට අවශ්‍ය නම් සියල්ලටම කලින් ක්‍රිස්තියානි ඉස්ලාම් හින්දු ආගම් දේශපාලනයෙන් ඈත් කර තැබිය යුතුයි.

මන්ද එම කණ්ඩායම් දරුණු අන්දමින් ලෝක දේශපාලනයට බලපෑම් කරන නිසයි.

ගාමිණී වියන්ගොඩ හිතන අන්දමට ශ්‍රී ලංකාවේ “අලුත් ජන විඥානයක්” ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත් වීමකින් තොරව ජනතාවගේම අවශ්‍යතාවයක් වෙනුවෙන් බිහිවෙමින් පවතිනවා.

පොදු ජන විඥානය ගොඩ නැගෙන ආකාරය හා එයට හානි වන අවස්ථා ගැන අප විසින් වසර පනහකට පමණ පෙර පර්යේෂණාත්මකව පැහැදිලි කර ඇත.

එම අදහස් කුණු කූඩවලට දමා අද යුගයේ වීරයින් බවට පත්ව ඇති පිරිස් සමාජ විරෝධී ආගම්වල මෙහෙයවීමෙන් බුදු දහමට හානි කරනු පිණිස “නිරාගමික” බහුබූතයක් දේශපාලන කරළියට ගෙන ඒමට උත්සාහ කරනවා.

යුදෙව් ආගම සමඟ තිබුණු ඓතිහාසික වෛරය නිසා හිට්ලර් වැනි සාතන් කෙනෙකු බලයට පත්කර යුදෙව් ආගම පමණක් නොව යුදෙව්වන්ද මුළු ලෝකයෙන්ම තුරන් කර දැමිය යුතු බව තම දේශපාලන න්‍යාය පත්‍රයට ඇතුළු කරගත් වතිකානුව මුළු යුරෝපයටම කළ විනාශය ගලේ කෙටූ අකුරු මෙන් ඉතිහාසයට එකතු වී ඇත.

“ලබ්බට තැබූ අත පුහුලටත් තබන්නා සේ” යුදෙව්වන්ට ඉගැන්වීමට උත්සාහ කළ පාඩම බෞද්ධයින්ටත් ඉගැන්වීමට සාමූහිකව ගෙනයන ඉතාමත් නින්දිත, පහත් ක්‍රියාදාමයන් දේශපාලන වශයෙන්ම පරාජය කළ යුතුව තිබෙනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link