කාදිනල්තුමා රට බෙදන්න හදන්නේ පාප්තුමන් වෙන්න හිතාගෙනද?

Last Updated on 3 weeks by admin

මාලිමා රජයේ කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහගේ නායකත්වයෙන් කිසියම් පිරිසක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ආ ගිය තැනක් යයි කියමින් කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ භාවනා පුහුණු මධ්‍යස්ථානයට ඇතුළු වීමට (16 දිනයේ) උත්සාහ දැරීම ඉතාම අප්‍රසන්න එමෙන්ම භයානක අනාගතයක පෙර නිමිත්තකි. මෙය සිදුවන්නේ මාලිමා හිතවාදීන් මානව හිමිකම් නසන පැසිස්ට් ක්‍රියාවන්හි නියැලීමේ පුවත් රටේ විවිධ තැන්වලින් ඇසෙන අතරයි. අඟුණකොළපැස්සේ ගොවි රැස්වීමකට කඩාපැන එය විසුරුවා හැරීම, මාතලේ ප්‍රදේශයේ වෙසෙන, මුහුණු පොතට තොරතුරු සපයන අයෙකුගේ නිවසට ගොස් ඒ පවුල බියගැන්වීම නිදසුන් දෙකකි.

මහින්ද ජයසිංහ උපඇමති නාගානන්ද භාවනා මධ්‍යස්ථානයේ ගේට්ටුව ළඟ සිට කී කතා රූපවාහිනී නාළිකාවලින් ප්‍රසිද්ධ විය. භාවනා මධ්‍යස්ථානය බලහත්කාරයෙන් අල්ලා ගත් ඉඩමක් බවට අවට ගම්වාසීන්ගෙන් පැමිණිල්ලක් ලැබුණ බව ඔහු කියයි. ගැටලුව මතු වන්නේ පොලිසියට සහ අධිකරණයට අයත් කටයුතු, මහින්ද ජයසිංහ අතට ගැනීම භයානක ක්‍රියාවක් බැවිනි. ජවිපෙ භීෂණ ක්‍රියා නිසා ලංකාව නරකාදියක් වූ කාලයක් තිබුණි.

මහින්ද ජයසිංහ ජීවිතයේ කවර දවසක වත් පන්සලකට උපකාර නොකළ මලක් පහනක් පූජා නොකළ අයෙකැයි තතු දන්නා අය කියති. ඔහු අනුන්ගේ දේපොළකට හොර ඔප්පුවක් සාදා රු. මිලියන 32ක වංචාවක් සම්බන්ධ සිද්ධියේ චූදිතයෙකි. දැන් ඒ නඩුව යට ගොස් ඇත. නාගානන්දය ජාත්‍යන්තර කීර්තියක් දරන බෞද්ධ අධ්‍යාපන ආයතනයකි. මේ ඊට සම්බන්ධ භාවනා මධ්‍යස්ථානයයි. මේ සිද්ධිය කවියෙකු දැක්කේ බඹරුන් එන නෙළුම් මලකට පණුවන් පැමිණීමක් ලෙසටයි.

ජාතිවාදීන් උතුරේ බෞද්ධ උරුමයන් විනාශ කිරීමේ සටන අතහැර නැත. කන්කසන්තුරේ තිස්ස විහාරය කඩා දමන්නැයි උද්ඝෝෂණ කිරීම සාක්කියකි. ඊට නායකත්වය සපයන දේශපාලනඥයින්ගේ අදහස උතුරේ දෙමළ නිජබිම්වල බෞද්ධ විහාර ආරාම නොතිබිය යුතු බවයි. ඔවුන් හිතන ඉතිහාසයට අනුව, ඉන්දියාවේ සිට පැමිණි බෞද්ධ ධර්මදූතයන් පිළිගෙන ලක්දිව බුදුසසුන පිහිටුවූ දේවානම්පිය තිස්ස සිංහල රජතුමා කල්ලතෝනියෙකි.

මේ අතර රිය අනතුරකට ලක්ව සිටින මාලිමා මන්ත්‍රීවරයෙකුගේ දුක සැප බැලීමට අගමැති හරිනි අමරිසූරිය උතුරේ රෝහලකට ගියාය. ඇය තර්ජනයට පත්ව ඇති උතුරේ විහාර ගැන සැලකිල්ලක් නොදැක්වූවාය. හරිනි අගමැති ධුරයට පත් වන්නට පෙර සිටම කිසියම් පරමාර්ථයක් සපුරා ගැනීමට වෙහෙසෙන්නියකි. ඇය හැසිරෙන්නේ සිංහල ජාතියට, බුදුසසුනට හා රටේ සංස්කෘතියට හානිදායක ලෙසටයි.

මැල්කම් රංජිත් කාදිනල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ මෙහෙයුමක යෙදී සිටියි. එය, රැවුල ගිනි ගනිද්දී සුරුට්ටුව පත්තු කිරීමට සමාන දෙයක් නොවේ. ඉතාම සැලසුම් සහගත උපායශීලී වැඩපිළිවෙළක අවසානයයි. එතුමා සිය අතීත සිරිත අත නොහැර රට දෙකඩ කිරීමට සැරසෙන්නේ, මීළඟ පාප් තනතුර පිළිබඳ ලොකු බලාපොරොත්තුවක් ඇතිව බවට කතෝලික බැතිමතුන්ගෙන්ම චෝදනා එල්ල වේ.

ලංකාව පුරා විදුලි සැපයුම හදිසියේ අක්‍රිය වීම පානදුරේ ග්‍රීඩ් විදුලි සැපයුම් උපපොළ ආශ්‍රිත විදුලි පද්ධතියේ වඳුරෙකු ගැටීම නිසා සිදු වූවක් බව ලංකාවේ බලශක්ති ඇමති කුමාර ජයකොඩි 09 දින ප්‍රකාශ කළේය. ඔහු විදුලි ඉංජිනේරුවරයෙකු බව පැවසේ. මේ කතාව, කලා හෝ සෞන්දර්ය උපාධිධාරියෙකු කී දෙයෙක් නම් විකාර කතාවක් වශයෙන් සලකා සිනාවට ලක් කිරීමට පුළුවන. ඔහුගේ කතාව මහජනයා මුලාකිරීමට කළ ප්‍රකාශයක් බව පෙන්නා හාස්‍ය රසයට සීමා කර යට ගැසීමට ඇතැමුන් කටයුතු කරතත් එහි භයානක පැත්තක් තිබේ.

ඉන්දියානු මාධ්‍යකරුවෝ ඇමතිවරයාගේ කතාව සරදමට ලක් නොකරති. ඔවුන් හැසිරෙන්නේ ඉන්දියාව හින්දු රාජ්‍යයක් බව සලකමිනි. ඉන්දියාවේ හනුමාන් කෝවිල් දහස් ගණනක් තිබේ. දුසේරා නමින් එහි කෙරෙන වාර්ෂික උත්සවය නිම කෙරෙන්නේ රාවණා පිළිස්සීමෙනි. අගමැති නරේන්ද්‍ර මෝදිත් ඊට සහභාගි වේ. මෝදි පාලනය යටතේ අරාබියේ පවා හින්දු කෝවිල් ඉදිවී තිබේ.

හෑම වසරකම ඉන්දියාවේ හින්දු කෝවිල්වලට ගොස් පූජා පවත්වන දේශපාලන නායකයින් රොත්තක් ලංකාවේ සිටිති. ඉන්දියාවේ හින්දු ආගමික සංවිධාන රහසින් ඔවුන්ගේ ආධාර ලබමින් ලංකාවේ හින්දු ආගම බලවත් කිරීමට කටයුතු යොදති. ඔවුන් ඒ සඳහා කරන ආයෝජන ගැන සෙවීමක් ලංකාවේ සිදු නොවේ. ආර්. ප්‍රේමදාස මුන්නේශ්වරම තෑගි ඔප්පුවකින් හින්දුන්ට පිරි නැමීම එහි එක් අවස්ථාවකි.

රාම කතාව සිංහල ද්වීපයට සම්බන්ධ දෙයක් නොවේ. ඒ ඇත්ත යටකර හනුමාන් විනාශ කළ ලංකාව, ශ්‍රී ලංකාව බව තහවුරු කිරීම කාලයක සිට සිදුවන්නකි. එය වෘත්තිය ඉතිහාසකරුවන් යොදවාගෙන කෙරෙන ව්‍යාපෘතියකි. ‘සල්ලිවලට බළල්ලුත් ඤාව් කියනවා’ යන්න නූගතුන් යනුවෙන් හඳුන්වනු ලබන ‘පොඩි මිනිසුන්ගේ’ කතාවකි. ‘බුදුන් උපන් රට ලංකාවයි’, ’වැද්දන් ආදිවාසීන්ය’ ආදි වශයෙන් මහාවංශයේ නැති පච වැලක් ගෙතී ඇත්තේ මෙම කටයුත්ත වෙනුවෙනි. ආදිවාසීන් පිළිබඳ වෙනම වගන්තියක් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දැමීම සමහරුන්ගේ වුවමනාවයි. එහි පරමාර්ථය ව්‍යවස්ථාවෙන්ම මහාවංශය බොරු ලේඛනයක් බවට පත් කර වැද්දන් සිංහල ජාතියෙන් වෙන් කිරීමයි.

මාලිමා රජය පත් වූ තැන් සිට වන සතුන්ට අප්‍රමාණ විපත් සිදු වේ. උන් අතර ලක්පොළොවේ ආදි සතුන් වූ වඳුරන් සහ රිළවුන් කැපී පෙනේ. පශු වෛද්‍යවරුන් පිරිසක් ආණ්ඩුවේ වුවමනාවට වැඳිරියන්ගේ ගර්භාෂ විනාශ කරති. මැති ඇමතිවරුන් කියන හැටියට පොල් හිගවීමට සහ පොල් මිල ඉහළ යාමට හේතුව මෙම සතුන්ය. කෘෂිකර්ම ඇමති ලාල්කාන්ත වගා විනාශ කරන්නන් වශයෙන් සලකා වඳුරන් අල්ලා පාළු දූපතකට දැමීමට සැරසේ. පාළු දූපතක අතරමං වන උන් බඩගින්නේ මිය යෑම වැළැක්විය නොහැක. කෑම දුන්නත් සුපුරුදු පරිසරයෙන් ඈත් කිරීම නිසා උන් මනස විකෘති වී වැනසෙති. ගොවිපලට එන සතුන්ට ඕනෑම දෙයක් කරන්නැයි ලාල්කාන්ත වගාකරුවන්ට කීවේය.

අනාගතයේ කිසියම් දිනෙක, ‘මාලිමා ආණ්ඩුවෙන් වඳුරු සංහතියට සිදුවෙමින් පවතින හානිය දුටු බුද්ධිමත් වඳුරෙක් පානදුර ග්‍රීඩ් විදුලි උපපොළට පැන රටේම විදුලිය නැති කළා’ යැයි හින්දු දේවකතා ගොඩට තවත් කතාවක් ඇතුළු වීමට ඉඩ ඇත. එබැවින් ඇමති කුමාර ජයකොඩි කී පානදුරේ වඳුරා, හින්දු ආගම ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළේ, මහජනයාට නොතේරෙන ක්‍රියාවකි. චීනයට වඳුරන් යැවීමේ යෝජනාවේ පටන් රිළවුන් වඳුරන් ගැන සංගණන කාර්යාවලිය දක්වා සිදුවීම් ඉන්දියානු මැදිහත්වීමක් වන්නටත් පුළුවන. චීනයට වඳුරන් යැවීමට යෝජනා කිරීමෙන් පසු චීනුන් හා වඳුරන් පිළිබඳ ආන්දෝලනාත්මක ලිපි විදෙස් මාධ්‍යවල පළ විණි.

‘සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා යන්න’ මිෂනාරීන් ගෙතූ ප්‍රසිද්ධ කියමනකි. ඒ මෝඩයින් නැගී සිටි අවස්ථා ඉතිහාසයේ සඳහන් වේ. අත් පා බැඳගෙන සයනයේ සිටි දුටුගැමුණු, මෝඩයින් වෙනුවෙන් නැගී සිටි නායකයෙකි. බුදුදහම විනාශ වීගෙන යාම ගැමුණු කුමාරයා අවදි වීමට හේතුවයි. ලක්ෂ සංඛ්‍යාවක් රට වැසියෝ ගැමුණු නායකයා කරගෙන එතුමා සමග නැගී සිටියහ. එළාරට සේවය කළ සිංහල යෝධයෝද ඔවුන් සමග එක් වූහ.

මාලිමා ආණ්ඩුවට විරුද්ධ ජනතාවට නායකත්වය දෙන දේශපාලකයින්ට චෝදනා නගමින් ඔවුන් බිම දැමීමේ වැඩපිළිවෙළක්ද පවතී. ජාතික සටනක දී ප්‍රතිපත්ති මිස පුද්ගලයාගේ වටිනාකමක් නැත. මහින්ද ජයසිංහ, අනුර දිසානායක, හරිනි අමරසූරිය ආදී සියලු දේශපාලන නායකයින් කටයුතු කරන්නේ ප්‍රතිපත්තියකට අනුවය. ඒ ප්‍රතිපත්තිය නිසා සිංහල ජාතිය පිරිහී බුදුසසුන අභාවයට පත් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link