Last Updated on 2 hours by admin
කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි

පීඩිත පංතිය ගළවා ගැනීම සඳහා ලංකාවේ වමේ ව්‍යාපාරය බිහි කළ සියලු නායකයින් ධනපති පංතියේ අයයි. ඒ සියලු දෙනා උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයට හෝ වෙනත් බටහිර රටක යාම ඊට සාක්කියකි.
මේ කාලයේ රටේ ගැමියන්ට එංගලන්තය ගැන දැනුම නොතිබුණි. ඔවුන් බොහෝමයකගේ දරුවන්ට පාසැල් නොතිබුණි.
එංගලන්තයට ගිය පොහොසත් තරුණයින් පිරිස සමසමාජ පක්ෂය පිහිටුවූයේ රටේ දුප්පතුන්ව රැවටීමට නොවේ. එංගලන්තයේදී මාක්ස්වාදී ව්‍යාපාරයට ගොදුරු වූ ඔවුහු, පංති අරගලයකින් ලෝකය වෙනස් වෙතැයි පිළිගත්හ. ඉගෙනුම නිමකර රටට පැමිණි ඔවුහු, කම්කරුවන් එකතු කරමින් වෘත්තීය සමිති පිහිටුවන්නට ගත්හ.
මෙය ලංකාව දිළිඳු රටක් වීමට ප්‍රධාන හේතුවකි. වමේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණ වුයේ සාදුකින් පෙළෙන පංතියක් ඇති කිරීමයි. එමනිසා ඔවුහු, පෞද්ගලික හා රාජ්‍ය ආයතන දුර්වල කරන වැඩ වර්ජන සඳහා කම්කරුවන් උසිගැන්වූහ.
වසරකට වැඩි කාලයක් වැල්ලවත්ත රෙදිමෝල වැඩ වර්ජනය මෙහෙයවූ කොස්තා සහෝදරයා රෙදි මෝල වසා දමන බව ප්‍රසිද්ධියේ කියා සිටියේය.
වාමාංශික ව්‍යාපාරයේ පියා වශයෙන් සැලකෙන පිලිප් ගුණවර්ධන, බණ්ඩාරනායක 1956 පිහිටුවූ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ නායකයෙක් විය. බණ්ඩාරනායක ඝාතනයෙන් පසුව සමසමාජ කොමියුනිස්ට් පක්ෂ නායකයින් සිරිමාවෝ බණ්ඩාරනායක සමග ආණ්ඩුවක් පිහිටුවූහ.
වාමාංශියන්ගේ මෙම දේශපාලන ක්‍රියාවලිය හොඳින් අධ්‍යයනය කළ යටත් විජිතවාදීහු, ආපසු ඔවුන්ගේ අතට ලංකාවේ පාලනය ලබාගැනීමට හොඳම මග නිර්ධනයින්ගේ දරුවන්ට රටේ පාලන බලය අත්කරදීම බව මැනවින් තේරුම් ගත්හ. ආර්. ආර්. සමරකෝන්ගේ ‘කැලණි පාළම’ ඔවුන්ගේ දැනුම අවදි කළ නාට්‍යයකි. සමරකෝන් අනාගත සිදුවිමක් කල් ඇතිව ප්‍රකාශ කළේ යයි සිතන්නෝ සිටිති.
මේ කාලයේ ලංකාවේ ඇතැම් තානාපති කාර්යාල සිය පරමාර්ථ ඉටුකර ගැනීම සඳහා කලාකරුවන්ට අනුග්‍රහය දැක්වූහ. තානාපති කාර්යාල නිලධාරීන් සතුටු කිරීමට පොත් ලියූ, නාට්‍ය හැදූ, ගී ගැයූ කලාකරුවන් මහ පිරිසක් ඒ කාලයේත් විසූහ. ඔවුන් අතරින් ඇතැමෙකු දරුවන් අධ්‍යාපනය සඳහා රට යවාගත්තේ තානාපති නිලධාරීන් සතුටු කිරීමෙනි.
කැලණි පාලම යට පැල්පත්වල ජීවත්වූ දිළින්දන් පිළිබඳ පුවතක් ‘කැළණි පාලම’ නාට්‍යයේ කතා සාරයයි. හැම ගංවතුරකටම කැලණි පාලම යට ජිවත් වන ඔවුහු පීඩාවට පත් වෙති. එවිට මෙම පීඩිතයන් කරන්නේ පාරට ගොඩවී ඉටිරෙදි ආවරණ හදාගෙන ඒවා යට ජීවත්විමයි.
මෙය මහපාරේ බස් සහ වෙනත් වාහනවලින් ගමන් කරන ජනයාට පීඩාවකි. ඔවුන්ගේ පැමිණිලි අසන පාලකයෝ ප්‍රශ්නය විසඳීම පොලිසියට භාර කරති. ගංවතුර යම්තමින් බැස යද්දී පොලිසිය පැමිණ පාරේ වෙසෙන පැල්පත් වාසින් පාලම යටට පන්නා දමයි.
කැලණි පාලම නාට්‍ය කතාවෙන් විස්තර වන්නේ ගංවතුරක් නිසා පාරට පැමිණි නිර්ධනයින් පිරිස පිළිබඳවයි. පාලම යට ජිවත් වූ පැල්පත් වාසීන්ගේ නායකයා වූ චුට්ටෙ අයියාගේ පුතා මෙවර පීඩිතයන් පාලම යටට එළවා දැමීමට පැමිණි පොලිස් කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරයි.
මෙය නිර්ධනයින් ලවා නිර්ධනයින්ට පහරදීමකි. චුට්ටේගේ පුතා නිසා නිර්ධනයෝ දෙකට බෙදෙති. සමහරෙකුට චුට්ටේ නිසා පොලිස් මර්දනය මෙහෙයවන ඔහුගේ පුතා වූ පොලිස් නිලධාරියා සමග සටන් කළ නොහැකි වෙයි.
හොඳින් නිරීක්ෂණය කරන විට පසුගියදා මතුගම නගරයට පැමිණ උද්ඝෝෂණය කළ දෙපිරිසද කැලණි පාලම නාට්‍යයේ දෙකට බෙදුන පිරිසට සමාන බව පෙනේ. ඒ දෙපිරිසටම හරිනි අමරසූරිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් කරන්නට යන සංස්කෘතික විරේකය හොඳින් වැටහේ. ප්‍රතිසංස්කරණ නිසා ඔවුන්ගේ දරුවන්ට හා සිංහල බෞද්ධ සංස්කෘතියට සිදු වන විනාශයත් වැටහෙයි. නමුත් පිරිසක් දේශපාලන වාසි පතා හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට හොඳක් කියා මොර දෙති.
ගත වූ කාලයේ නොයෙක් සමාජ ප්‍රතිසංස්කරණවලට හා අර්බුදවලට මුහුණ පා අත්දැකීම් ලබාසිටින ජනතාව, වහලුන් මෙන් හැසිරිය යුතු නැත. මේ අවස්ථාවේ වහලුන් සේ හැසිරෙන කෙනෙකු වෙත්ද, ඔවුන් වින කරන්නේ දරුවන්ට පමණක් නොව රටටමය.
