Last Updated on 5 hours by admin
කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි

එහා හන්දියේ කසිප්පු කයිතන් පට්ට වේගෙන් දුව ආවේය. ඌ කොයිතරම් වේගෙන් දුවගෙන ආවේද කිව්වොත්, මට හැංගෙන්ඩ වෙලාවක් නැති විය. මායියා පොලට ගිහින් නිසා, ඈ ඉස්සරහට දමා ඇඟ බේරාගන්නටත් විදියක් නැත. පුනරුද යුගයක් ඇරඹීමට ඡන්දය දෙමුයි ගමේ එවුන් උසිගැන්වීමේ විපාක මේ තරම් වේගයෙන් විඳින්ඩ වෙතැයි මට හීනෙන්වත් හිතුණේ නැත. මුංගෙන් බේරීමට මා කියූ බොරු දැන් මටම නැත. ඒ නිසා මම දැන් මගේ පින් පොතේ අගට වෙන්නට බොරු පොතක් නඩත්තු කරගෙන යමි. ඒකත් අතට ගත් මම මූණ හංගාගෙන සිංහ සෙයියාවෙන් කයිතන්ට මූණ දුන්නෙමි.
‘ඈ බං විදානෙ, මොකක්ද දැන් මේ වෙන්ඩ යන්නෙ?’
කයිතා මගේ මහ කෑල්ල හලා කතා කිරීම දරුණු අනතුරක් පිළිබඳව සංඥාවකි.
‘ඇයි මොකද වෙලා තියෙන්නෙ?’
‘උඹ මේ මහ ලොකු ලේඛකයෙක් කියන හින්දා උඹේ කීම අහලා අපි මුන්ට ඡන්නෙ දුන්නෙ…. හරිද?’
‘ඔව් ඔව් හරි හරි මං මහ ලේඛකයෙක් තමයි… ඉතිං…’
‘උඹ කිව්වේම ඉර අනික් පැත්තෙන් පෑව්වත් මුං කවදාවත් හොරුත් එක්ක ඩීල් දාන්නෙ නෑ කියල. හරිද?’
‘හරී…’
‘දැන් අන්න පුංචි ඡන්දෙන් සභා පිහිටුවන්න තරම් බලයක් ලැබිලා නැති තැන්වලට අනික් පක්ෂවල උංව එකතු කරගෙන බලය පිහිටුවන්ඩ යනවලු.’
‘නෑ????’
‘ඥෑහ් නෙමේ, හොව්. ඒකවත් දන්නෙ නෑ. අපි හිතාගෙන හිටියෙ තමුසෙ මේ ලෝකෙ නොදන්න දෙයක් නෑ කියල. අපේ මස්සිනාට කතාකොරලා තියෙනවා කෝටියක් දෙන්නං ඒ පැත්තට එන්ඩ කියල.’
‘කෝටියක්? අප්පට සිරි… දැන් අපි මොකද කරන්නෙ කයිතො?’
‘ඒක නොතේරෙන හින්දා තමයි තමුසෙ හෙයාගෙන ආවෙ.’
‘අපි ඒකෙන් බාගයක් ඉල්ලමු. ජීවිත කාලෙටම ඇතිනෙ.’
‘තමුසෙත් මාර බඩුවක්නෙ ඕයි… හොරකම් නවත්තන්ඩ පුනරුදේට ඡන්දෙ දෙමු කියලා ගමටම අඬබෙර ගහපු තමුසෙ කටින්ද ඕයි ඔය කතාකරන්නෙ?’
‘නෑ නෑ… උපදේසයක් අහපු හින්දයි මං කාලෝචිත උපදේසයක් දුන්නෙ…’
‘ඊට හොඳයි අසූචි වලක් කඩාගෙන කනව. අපි මේවා නවත්තන්නෙ කොහොමද කියන එක දැනගන්ඩයි මට ඕන.’
මම දහ අතේ කල්පනා කළෙමි. එකවරම කැහිල්ලේ රජ්ජුරුවන්ව මගේ සිහියට ආවේය.
‘අපි ගිහිං කැහිල්ලේ රජජුරුවන්ට කියමු.’
‘උන්නාන්සෙ මේක හරියට විසඳයිද?’
‘ආයෙ මොනවද? මං දන්නැද්ද කැහිල්ලේ රජ්ජුරුවන්ගෙ හැටි. යංකො යංකො.’
මම කයිතන් වත් ඇදගෙන කැහිල්ලේ රජජුරුවන් හමුවෙන්නට ගියෙමි.
‘පස්වාන් දහසකට….’
‘නෑ නෑ… වඳින්ඩ ඕන නෑ. මේක පුනරුද යුගේනෙ සහෝදරයා… මොකක්ද මගෙන් කෙරෙන්ඩ ඕනැ.’
කයිතාගේ මූණ බැබළෙන්නට විය. මගේත් එසේමය.
‘හාමුදුරුවනේ….’
‘නෑ නෑ… සහෝදරයා කිව්වාම ඇති.’
‘එහෙමයි..’
‘ඒවා ඕනැත් නෑ. ගරු නම්බුනාම මොකෝවත් ඕන නෑ. මං දැන් පඩි ගන්නෙත් නෑ. පඩිය යනවා භාණ්ඩාගාරෙට. භාණ්ඩාරෙන් මට වියදම් කරනව. ඒක මරු බං. දැන් මං ඉස්සරට වඩා ඩබල් වියදම් කරනව. ඉති කියහංකො විස්තරේ… මොකද මේ කාලෙකට පස්සෙ?’
‘කවුන්සිලේ කට්ටිය හොරු ඒක ඩීල් දාන්නෙ නෑ කිව්වට ඩීල් දාන්ඩ යනවලු.’
‘වෙන්ඩ බෑ…’
‘මහපොළෝ පල්ල ඇත්ත.’
‘කොහොමද දන්නෙ?’
‘මේ කයිතගෙ මස්සිනාට කතාකරලා තියෙනවා කෝටියක් දෙන්නං ඒ පැත්තට එන්ඩ කියල.’
‘හරි අපි ඌ උල තියමු.’ එතකොට හරිනෙ. රාජ පුරුෂ සහෝදරයිනි, ඇදං වරෙව් ඌව.
මොහොතකින් රාජපුරුෂ සහෝදරයෝ ඌව ඇදගෙන ආහ.
‘උල තියාපියව් ඕකව.’
‘ඒකට වගකියන්ඩ ඕන මං නෙමෙයි දේවයන්..’
‘සහෝදරය, සහෝදරයා…’
‘ඒකට වගකියන්ඩ ඕන මං නෙමෙයි සහෝදරයා.’
‘එහෙනං?’
‘අපේ ගමේ එවුන්නෙ මාව පත් කෙරුවෙ. පත් කෙරුවෙ නැත්තං. මං බලෙන් දින්නෙ නෑනෙ. දිනුවේ නැත්තං මට ඩීල් දාන්ඩ බෑනෙ. ඒ හින්දා ඕකෙ වගකීම මටනං ගන්ඩ බෑ.’
‘ඇදං වරෙව් ගමේ එවුන් සේරම.’
මොහොතින් රාජසබාව ගමේ එවුන්ගෙන් පිරුණි.
‘උලතියාපියව් මුං සේරම.’
‘නෑ නෑ නෑ… අප්පච්චියේ, අපි මූට ඡන්දෙ දුන්නෙ නෑ. නැද්ද බං? කියහල්ලකො ඇත්ත. අපි එකෙක් වත් දුන්නෙ නෑ.’
‘තොපි එකෙක් වත් ඡන්දෙ දුන්නෙ නැත්තං කොහොමද යකෝ ඌ දිනුවෙ?’
‘කොම්පියුටර් ජිල්මාට් එකකින්.’
‘බොරු නොකියා හිටපියව්. මං දන්නෙ නැද්ද තොපේ හැටි. ඡන්දෙ දීල කෙලවුනාම දුන්න එකෙක් හොයන්ඩ නෑ ලොවෙත්.’
‘බොරු නෙවෙයි මහාරාජෝත්තමයාණන් වහන්ස.’
‘ඔව් උඹලා අවංක එවුන් වාගෙ පේනව තමයි.’
මහාරාජෝත්තමයාණන් වහන්ස වචන දෙක වැඩ කළ බවක් පෙනේ.
‘ඒකනෙ මහාරාජෝත්තමයාණන් වහන්ස. අනික ඉතිං මේකට වග කියන්ඩ ඕන ඩීල් දාන්ඩ අනික් පැත්තෙන් කතා කරපු මනුස්සයාවනෙ මහාරාජෝත්තමයාණන් වහන්ස. ඌ කතාකරපු හින්දානෙ මේ මනුස්සයත් කැමති වෙලා තියෙන්නෙ මහාරාජොත්තමයාණන් වහන්ස.’
හැම වාක්‍යය්ම අවසානයේ මහාරාජෝත්තමයාණන් වහන්සැයි යෙදීමේ ආනිශංස දිට්ඨධම්මවේදනීයවම ලැබුණි.
‘ඇදං වරෙව් එහෙනං ඌව.’
විනාඩි පහෙන් මිනිහා එතනය.
‘උල තියාපියව්. නෑ… කටු ඉඹුලේ නග්ගපියව්. අර ටියුෂන් ටීචර් මට අලුත් දඬුවම් පාඩමක් කියල දුන්න ඊයෙ පෙරේද.’
‘සහෝදරයා මේකට වගකියන්ඩ ඕන මං නෙවෙයි. පක්ෂය.’
‘ඒ කොහොමද බොල?’
‘පත්තර වාර්තා අරගෙන බලන්න, අපි මුල පටන්ම කිව්වේ අපි පක්ෂ සම්බන්ධ කරගන්නෙ නෑ, අපි සම්බන්ධ කරගන්නෙ පුද්ගලයින්ව කියලයි.’
‘ඒ කියන්නේ පක්ෂ තමයි හොරකම් කරන්නෙ? පුද්ගලයො නෙවෙයි.’
‘මෙහෙමයි… This is something that must be understood in a very intelligent, scientific, realistic way, comparing with the arguments of Marx and Feuerbach, and in accordance with scientific socialist theories.’.
‘ඒ… ඒ… මේ… ඒ?’ කැහිල්ලේ රජ්ජුරුවන්ට ඒ ටික ඇහිලා නෑ වගේය.
‘සහෝදරයා, මේක බොහෝම සබුද්ධිකව විද්‍යාත්මකව යථාර්ථවාදීව මාක්ස් හා ෆියෝබාගේ තර්ක විතර්ක සමග තුළනාත්මකව ගලපමින් විද්‍යාත්මක සමාජවාදී න්‍යායන්ට අනුකූලව අවබෝධ කරගත යුතු දෙයක්.’
‘ආ… ඔව් නේන්නං.’
‘ඒ අනුව, මෙවැනි කාරණයකදී වගකීම පැටවෙන්නෙ පක්ෂයට මිස පුද්ගලයාට නෙවෙයි.’
‘ඈ බං… උඹලා එක පැත්තකින් කියනවා අපි පක්ෂ සම්බන්ධ කරගන්නෙ නෑ පුද්ගලයින්වයි සම්බන්ධ කරගන්නෙ කියල. දැන් උඹට කෙලවෙන්ඩ යද්දි උඹ කියනවා, මේක මගේ වරදක් නෙවෙයි පක්ෂයේ වගකීමක් කියල. නිකං මඤ්ඤං මඤ්ඤං වගේ නැද්ද?
‘මෙහෙමයි… සාමාන්‍යයෙන් ඕනැම කාරණයකදී පක්ෂයේ තීරණයයි වලංගු. පුද්ගලයාගේ තීරණය නෙවෙයි. අපි මේක පක්ෂයක් හැටියට ගත්ත තීරණයක් මිස මගේ පුද්ගලික තීරණයක් නෙවෙයි. අපි කට්ටිය සම්බන්ධ කරගන්නෙ, පක්ෂ වශයෙන් නෙවෙයි පුද්ගලයින් වශයෙන් කියලා කිව්ව එකේ යථාර්ථයත් ඒකයි. පුද්ගලයා සම්බන්ධ වුනාම ඔහු හෝ ඇය පක්ෂයේ සාමාජිකයකු බවට පත් වෙනවනෙ. එතැන් පටන් ඒ අය පක්ෂයට යටත්නෙ.’
‘තේරුන්නෑ….’
‘මේක බුද්ධිමතුන්ට පමණක් තේරෙන ගැඹුරු දේශපාලන ආර්ථික නියායයක්.’
‘හරි හරි… දැන් තේරුණා. ඒ කියන්නෙ තමුන්ගේ පක්ෂය තමයි මේකට වගකියන්ඩ ඕන.’
‘අන්න හරි… හරියට හරි.’
‘එතකොට පක්ෂෙ කියන්නෙ ගොඩනැගිල්ලද, බෝඩ්ලෑල්ලද?’
‘දෙකම.’
‘එහෙම බෑ. නිශ්චල දේපොලවලට දඬුවම් දුන්නට මිනිස්සුන්ට කිසි චූන් එකක් නෑ. දඬුවමක් දුන්නාම මිනිස්සුන්ට පොඩි චූන් එකක් එන්ඩ ඕනැනෙ. ඒකට ඉතිං අඩුගානෙ මළගිය ප්‍රාණකාරයෙක්ව වත් අල්ලගන්ඩ ඕනැ.’
‘ඇයි නැත්තෙ? දේපොල ගිනි තියල, කුඩුපට්ටම් කරලා මිනිස්සු කොච්චර නම් චූන් ගත්තද අර කාලෙ? ගෙවල් ඇතුළෙ තියෙන දේවල් අරං යන එකත් චූන් වැඩක්නෙ. හොරකමටම නෙවෙයි මං කියන්නෙ.‘
‘කවුද තමුන්ගෙ පක්ෂයෙ ලොක්ක? නිසි වගකියයුත්තා?’
‘ලේකම්නෙ.’
‘ඇදං වරෙව් ඌව.’
‘ගෑනු කෙනෙක් ඉන්නෙ. සිල්වියා.’
‘පාරෙ ඇදං එන්ඩ එපා. තොපිට නඩු වැටෙයි. රතු වෑන් එකෙන් පරිස්සමට එක්කං වරෙව්. තාප්පෙන් ඇතුළෙ ඕන එකක්.
‘මොහොතකින් රාජ සහෝදරයෝ සිල්වියා කුදලාගෙන ආවෝය.’
‘ගල්ගහලා මරාපියව් ඕකිව. බයිබලේ හැටියට ගෑණුන්ට දෙන දඬුවම ඒකනෙ.’
‘අයියෝ මේ මොන අපරාදයක්ද දෙයියනේ…’
සිල්වියා විලාප දෙන්නට වූවාවය. මගේ ඇස්වලිනුත් කඳුළු කඩාගෙන වැටෙන්නට විය.
‘මේකට වගකියන්ඩ ඕන මං නෙවෙයි. මැතිවරණ කොමිසම. කොමිසම තමයි අපේ පක්ෂය නිල වශයෙන් පිළිඅරගෙන බලාත්මක කළේ. පක්ෂෙ නැත්තං මාත් නෑනෙ.’
‘අම්මප ඇත්ත නේන්නම්. තව ටිකෙන් මේ බවලතී නිකරුණේ දඬුවම් විඳිනව. මෙතුමියව අන්තඃපුරයට කැඳවාගෙන ගොස් හොඳට සංග්‍රහ කරපියව්. කට්ටියක් ගිහින් ඇදං වරෙව් මැතිවරණ කොමිසමේ ලොක්කව.’
මොහොතකින් රාජ සහෝදරයෝ මැතිවරණ කොමිසමේ ලොක්කාව ටයිකෝට් පිටින්ම උස්සාගෙන ආහ.
‘මූව ඡන්ද පෙට්ටියකටම දාලා ඇනගහල මූදට දාපියව්.’
‘මං නෙමෙයි මේකට වගකියන්ඩ ඕනැ. ආණ්ඩුව. මැතිවරණ කොමිසම මගේ යටතේ තිබුණට ආණ්ඩුවෙ එකක්.‘
‘බොරු කියන්ඩ එපා. ඒක සුවාදීන ආයතනයක්.’ කැහිල්ලේ රජ්ජුරුවෝ ගිගිරූහ.
‘නෑ නෑ අර්ධ සුවාදීන. අර්ධ කිව්වට අර්දමත් නෙමෙයි. බලන්ඩකො ගිහින් අපේ වෙබ් සයිට් එකේ තියෙන්නෙත් ආණ්ඩුවෙ පාටමනෙ. ඒකෙන් සංකේතවත් කෙරෙන්නෙ මේක ආණ්ඩුවෙ ආයතනයක් කියලනෙ.’
සියලු දෙනාම ජංගමේට එබුනෝය. කතාව ඇත්තකි.
‘ඇදං වරෙව් ආණ්ඩුවෙ ලොක්කව.’
‘සහෝදරයා, උන්නාන්සෙට විරුද්ධව නඩු පවරන්ඩ බෑනෙ. අනික නඩු නැතුවමත් මේ දවස්වල බඩු හම්බවෙලා ඉන්නෙ. ඔය හැටි වද දෙන්ඩත් හොඳ නෑනෙ.’
‘ඒ කිව්වෙ?’
‘ඇයි පත්තරවල, ෆේස්බුක් එකේ එහෙම දැක්කෙ නැද්ද?
‘නෑනෙ. වියදම් පිරිමහන්ඩ ඒ සේරම සැපසම්පත් අතෑරලනෙ මාත් ඉන්නෙ? දැන් එතකොට අපි මොකද බොලව් මේකට කොරන්නෙ? මොකාක් හරි ජල්ලියක් අල්ලලා රට්ටුන්ව පොඩ්ඩක් ශේප් කරගන්ඩ වෙනව.’
‘උන්නැහෙව පත් කොරන්නෙ ජනතාවනෙ. ඒ හින්දා මේකට වගකියන්ඩ ඕන ජනතාව.’
කොමිසමේ ලොක්කා හින්ට් එකක් දුන්නේය.
‘ඇ බොල තෝ කියන්නෙ රටේම ජනතාව උල තියන්ඩ කියලද? ඔව් හැබැයි මේකෙ වැඩිහරියක් ඉන්නෙ උල තියන්ඩ ඕන එවුන් නං තමයි.’
‘නෑ නෑ… සංකේතවත් කරන්ඩ එකෙක් දෙන්නෙක් උල තිබ්බාම ඇති.’
‘හරි නේන්නම්. දඬුවම සංකේතවත් වෙන්ඩනෙ ඕනැ. වරදක් කෙරුවොත් බේරෙන්ඩ බෑ කියන පණිවිඩේ සමාජෙට දෙන්ඩනෙ ඕනැ. හරි, තොපි දෙන්නානෙ මේ පැමිණිල්ල අරගෙන ආවෙ. සාමාන්‍ය ජනතාව නියෝජනය කරන්ඩ මෙතන වෙන කවුරුවත් ඇත්තෙත් නෑනෙ.’
රජ්ජුවෝ මාත් කයිතාත් දෙස බලා කියන්නට වූවේය.
‘අපි වගකියන්ඩ නං අපි ආණ්ඩුවට ඡන්දෙ දීලා තියෙන්ඩෙ එපායැ. අපි නම් දෙයි මුන්ට? නේද කයිතො?’ මම කයිතන්ගේ පස්ස පැත්තට ඇඟිල්ලෙන් අනිමින් කිව්වෙමි.
‘එහෙමයි එහෙමයි…’ කයිතන් යෝජනාව ස්ථිර කළේය.
‘ංඈ මහවිදානයො, උඹ මා එක්ක කිව්වනෙ උඹ ආණ්ඩුවට ඡන්දෙ දුන්නෙ කියල.’ කැහිල්ලේ රජ්ජුරුවෝ ඇස්ගෙඩි දෙක ලොකු කරමින් ඇසුවේය.
‘ඒ මං බොරුවට කිව්වෙ රජතුමනි.’
‘යකෝ උඹ මටත් බොරු කියනවද?’
‘බොරු කියන එක ජනතාවගේ ප්‍රොජාතන්තරවාදී අයිතියක්.’
මම ටිකක් බරසාරව කීවෙමි. කැහිල්ලේ රජ්ජුරුවෝ හිස වනා ළඟට එන්නැයි මට කතා කළේය. මම රජුට කිට්ටු වුණෙමි. උන්නැහේ මගේ කනට කර රහසක් කීවේය. හෙට වන විට මුළු රටටම ආරංචිය යනු ඇත. මගේ කනට කර රහසක් කියන්නට තරම් රජ්ජුරුවන් මා එක්ක හිතවත් බව රටම දැනගත් විට ලේඛකයකු වශයෙන් මට ඇති කීර්තිය පිදුරුතලාගල කන්ද තරම් ඉහළට යනු ඇත.
‘උඹට කියන්ඩ මහවිදානේ මං දුන්නෙත් නෑ බං.’
දැන් ඉතිං වැඩේ ශේප් බව කිරිගහට ඇඟිල්ලෙන් ඇන්නා වගේ ෂුවර්ය. මම කයිතන්ට ඇහැක් ගසා සංඥාවක් දෙමින් ඌ කිට්ටුවට ගියෙමි.
‘මුන් දෙන්නාව අල්ලා උල තියාපියව්.’
කැහිල්ලේ රජ්ජුරුවන් නියෝග කරන හඬ ඇසුණි. එනපොට හොඳ නැති බව දැනගත් මම කයිතාවද ඇදගෙන දුවන්නට පටන් ගත්තෙමි.
‘යකෝ තොපි බලං ඉන්නෙ ඕකුන් දෙන්නාව ඇදගෙන ගිහිං උලතියාපියව්.’
රාජ පුරුෂ සහෝදරයෝ අප පසුපස දුව එන භයානක ශබ්දය ඇසුණි. දොරටුපාලයින් වශයෙන් සිටියේ කයිතාගෙන් පිනට බොන එවුන් දෙන්නෙකි. උන් අපිට පිටවෙන්නට දී දොර වැසුවෝය. අපි දෙන්නා තවමත් දුවමින් සිටිමු. ඊළඟ ඡන්දය එනතෙක්ම දුවන්නට අපිට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.