කිලිං සිරි ලංකා

Last Updated on 22 hours by admin

ඩේවිඩ් ඇන්තනි

තොරණ පිළිබඳ විස්තර භාරත ඉතිහාසයේ සඳහන් වේ. සංස්කෘත සහ දෙමළ කවි පොත්වල තොරණ ගැන කියැවෙන පද්‍ය දකින්නට පුළුවන. ගුත්තිල කාව්‍යයේ ‘සැණකෙළි වර්ණනාව’ භාරතීයන් තොරණ ඉදිකළ අයුරු කියැවෙන ස්ථානයකි. ‘වේදිස ගිරි’ (සාංචි) විහාරයට ඇතුළු වන දොරටු හතරේම තොරණ තිබී ඇත. සිංහලයෝ, තොරණ ඉදිකිරීමේ ඒ පැරණි සිරිත අද දක්වා ආරක්ෂා කරති. ඊට හොඳම සාක්කිය වෙසක්, පොසොන් සමයන්හි රටපුරා ඉදිකෙරෙන තොරණ සමූහයයි.

ලස්සන චිත්‍ර හා පාට පාට විදුලි බල්බ නූතන වෙසක් තොරණවල ප්‍රධාන අංග දෙකකි. තොරණ වගේ ඇඳුමෙන් පැළඳුමෙන් සැරසෙන කාන්තාවන් රාජස්ථානය වැනි ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල දකින්ට පුළුවන. ශරීරයේ පච්චා කෙටීමත් ඈත අතීතයේ සිට ඉන්දියාවේ ඇතැම් කාන්තාවන්ගේ චාරිත්‍රයකි.

බුදුහම හා වෙසක් තොරණ භාරතයෙන් අභාවයට පත් වූ නමුත් තොරණ හා සමාන මගී බස් රථ ඉන්දියාව, පකිස්ථානය, බංගාලි දේශය වැනි රටවල සුලභ දර්ශනයකි. මැද පෙරදිග හා යුරෝපයේ රටවල එවැනි සිරිත් නැත. ඉන්දියාවේ දුරගමන් පටන් ගන්නා
ඇතැම් බස්රථ ඉදිරියේ, ගමනාන්තය දක්වා වීඩියෝ චිත්‍රපට නැරඹිය හැකි බව සඳහන් දැන්වීම් පුවරු දක්නා ලැබේ.

ලංකාව තවත් සිංගප්පුරුවක් කිරීමට ජේආර්ට මෙන්ම ඔහුගේ බෑණා රනිල් වික්‍රමසිංහටත් වුවමනා වූයේය. සිංගප්පුරුව යනු එහි බිහිවු බටහිර ගැති ඒකාධිපති දේශපාලන නායකත්වය නිමැවූ රටකි. මාලිමා ආණ්ඩුව රනිල්ගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන ආණ්ඩුවකි. සිංගප්පූර් ක්‍රමයේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළක් ඔවුන් පටන්ගෙන තිබේ. පොලිසිය යොදවා බස් හා ත්‍රිරෝද රථවලින් අනවශ්‍ය අලංකරණ මෙවලම් ඉවත් කෙරෙන්නේ ප්‍රවාහන සේවය ‘ක්ලීන්’ කිරීමටයි. ඊයේ උසස් පොලිස් නිලධාරියෙකු කීවේ කවුරුන් අකමැති වුවත්, ඔවුන් භාරගත් ඒ කටයුත්ත නොනවත්වන බවයි.

පොලිස් දෙපාර්තමේන්තුව යටත් විජිත පාලන සමයේ බ්‍රිතාන්‍ය පාලකයින් ආරම්භ කරන ලද්දකි. පාලකයන් ඔවුන්ට කාකි නිල ඇඳුමක් නියමකර තිබුණි. සේවකයින්ට නිල ඇඳුම් නියම කිරීම යටත් විජිත පාලනයේ එක් ලක්ෂණයකි. නිදහස ලැබූ ලංකාවේ පාලකයෝ ඒ කටයුත්ත ඉදිරියට ගෙනගියහ. දැන් ළදරු පාසැල්වල ළමයින්ටත් ‘යුනිෆෝම්’ ඇඳීමට සිදුව තිබේ.

1956 බණ්ඩාරනායකගේ ආණ්ඩුව සිංහල රාජ්‍ය භාෂාව කළාය. ඊට පසුව වෙද ගුරු ගොවි කම්කරු පිරිස්, සුදු රෙද්දක් හා කමිසයක් ජාතික ඇඳුම කර ගත්හ. බණ්ඩාරනායක ආණ්ඩු නිසා ඔවුන්ගේ ළමයින්ට සිංහලෙන් උසස් අධ්‍යාපන ලැබීමට මග පෑදුණි. විද්යෝදය සහ විද්යාලංකාර පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පරිවර්තනය කෙරුණෙන්, ඒ ළමයින්ට විශ්වවිද්‍යාලවලට යන්නට හැකි විය. අනුර කුමාර ජනාධිපතිවරයා විද්‍යාලංකාරයේ උසස් ඉගෙනුම ලැබුවෙකි. බණ්ඩාරනායකලා නිසා සිංහලෙන් උසස් අධ්‍යාපන ලබා ලොකු ලොක්කන් වූ බොහෝ දෙනා දැන් කලිසම කමිසය ටයි පටිය ඔවුන්ගේ ‘යුනිෆෝමය’ කරගෙන සිටිති.

ජනාධිපති වූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ‘ඩබල් පොකට්’ කමිස අඳින්නෙකි. ඔහු වෛවාරණ පාටවලින් යුත් ‘ඩබල් පොකට්’ කමිස ඇඳ සිටිනු රූපවාහිනී නාළිකාවලින් දක්නා ලැබේ. කියුබානු විප්ලවයට සහභාගි වූ චේ ගුවේරා ‘ඩබල් පොකට්’ කමිස ඇන්දේය. කාකි කමිසයක් මිස පාට පාට කමිස ඔහු භාවිතා කළේ නැත. ජවිපෙ සාමාජිකයන්ව කලක් හැඳින්වුනේ චේගුවේරාකාරයින් නමිනි.

විප්ලවයෙන් පසු ස්ටාලින්, රුසියාව රතු හමුදාව යොදවා පාලනය කිරීමට වග බලා ගත්තේය. මොංගෝලියාව වැනි රටවල, බෞද්ධකම සිරගෙදරට යාමට හේතුවක් විය. පෝලන්තය නැගෙනහිර ජර්මනිය ආදී කොමියුනිස්ට් රටවලටත් පොලිස් ආධිපත්‍යය පැතිර ගියේය. මේ හැම රටකම වැසියන්ට පොලිස් නීතිවලට යටත්ව ජීවත්වන්ට සිදු විය.

පොලිසිය ගමනාගමනය ‘ක්ලීන් කිරීම’ භාරගත් පසුව බොහොමයක් බස්රථවල බුලත්විට කන මගීන්ට යාමට නොපුළුවන. ඉස්සර දුර ගමන් යන බස් රථ රියදුරන් නිදිමත වැළැක්වීමට බුලත් විටක් හැපූ නමුත් දැන් එසේ කළ නොහැක. බොහෝ ත්‍රිරෝද රථ රියදුරන් වැඩ ඇරඹුවේ බුද්ධ රූපයට හෝ යේසු රූපයට හඳුන්කුරක් පත්තුකර වැඳ නමස්කාර කිරීමෙනි. දැන් ත්‍රිරෝද රථවල ප්‍රතිමා තැබීමත් වරදකි.

‘ක්ලීන්’ ශ්‍රී ලංකාව සැදීමට මහජනයා පෙළීම නිවැරදි දෙයක් යයි සිතන රටවැසියෝ මහජන නිදහසට විලංගු වැටෙන හැටි නොදකිති. ඔවුන් කරන ඒ වරදට වන්දි ගෙවන්නට සිදු වන්නේ ඔවුන්ගේ දරු මුනුපුරන්ටය. ඉරානයේ ඉස්ලාම් විප්ලවය සිදු කළ මිනිසුන්ගේ දරුවෝ දැන් නිදහස උදෙසා දිවි පුදති. ෂයික් හසිනා පන්නා දැමූ බංගාලි දේශ අරගලකරුවන් ඉස්ලාම් අන්තවාදය පතුරුවන බව තස්ලිමා නස්රින් පෙන්වා දි තිබුණි.

‘Clean Sri Lanka’, ගමේ මිනිසුන්ගේ වහරට ‘කිලිං සිරි ලංකා (killing Sri Lanka) ය. ඒ කතාවේ ඇත්තක් තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link