Last Updated on 3 hours by admin
කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි

බොරු කීම මනුෂ්‍ය ස්වභාවයකි. බොරු කියා සතුටු වීම බොහෝ මනුෂ්‍යයන්ගේ ගතියකි. කවි සින්දු අසමින් චිත්‍රපටි නාට්‍ය නරඹමින් ප්‍රීති වන ලෙසටම, බොරු අසමින් ප්‍රීතිවීමද, බොහෝ මනුෂ්‍යයන්ගේ සිරිතකි. මේ ගැන අධ්‍යයනය කරන්නන්ට තාලපුට සූත්‍රය අතිශයින් ප්‍රයෝජණවත්ය. බොරුව සංසාරයේ පැවත්ම ගොඩනැඟී ඇති මුදුන් කණුවක් බව එයින් වටහා දෙයි. එම නිසා මාලිමා ආණ්ඩුව ජනතා අප්‍රසාදයට පත් වන්නට මූලික හේතුව වන්නේ එහි නායකයින් බොරු බේගල් කීම යයි සිතීම වැරදි විනිශ්චයකි. ඔවුන් පමණක් නොව ලංකාවේ බොහෝ දේශපාලනඥයෝ බොරු කියති. එය රට යටත් විජිතයක්ව පැවතීමේ ප්‍රතිඵලයකි. ලංකාව යටත් කරගත් බ්‍රිතාන්‍යයන්ට සිංහලයන්ගේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට හැකි විය. ඔවුහු ලංකාවට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය හඳුන්වා දුන්හ. මෙම ක්‍රමය යටතේ කණ්ඩායමක, පක්ෂයක සහ රටේ නායකයා වීමට ඕනෑ කරන්නේම බොරුවේ නිපුණතාවයි. දේශපාලන පක්ෂවලට හා නායකයින්ට බැඳී සිටින පුද්ගලයින්ගේ පැවැත්ම රැඳෙන්නේ බොරුව හඳුනාගත්තත් එය නරක දෙයක් හැටියට නොපෙන්වා සිටි තරමටයි.
බොරු කීමට සහ ඇසීමට කැමති නමුදු, බොරුවලට රැවටීමට ඇති අකමැත්තද මනුෂ්‍යයින්ගේ ලක්ෂණයකි. මෙම ස්වභාවය පැහැදිලි කරන ජාතක කතා ගණනාවක් තිබේ. මේ කතා වටහා ගැනීමට සහ විග්‍රහ කිරීමට හැකි වන්නේ බුද්ධියේ තරමටය. ජාතක කතා ඇසුරින් බණ කීමේ සිරිතේ මුල එයයි. කුස ජාතකය නිදසුනකට ගනිමු. එය පදනම් කරගෙන ලියවුන කවි පොත් දෙකක් විද්‍යමානව පවතී. එකක් අලගියවන්න මුකවෙටිගේ කුස ජාතක කාව්‍යයයි. පරාක්‍රමබාහු නිරිඳුන් රචනා කළ කව්සිළුමිණ අනෙකයි. කව්සිළුමිණේ හැටියට පබාවතී කුමරිය කුස කුමාරයා සමග අමනාප වූයේ ඔහු අවලස්සන තරුණයෙකු වූ නිසා නොවේ. කුස ඇතුළු ඔහුගේ පවුලේ සියලු දෙනාත් මුළු රාජ්‍ය යන්ත්‍රයමත් ඇයව රැවටූ හේතුවෙනි. මාලිමාව කෙරෙහි රට වැසියන් විශාල පිරිසක් අමනාප වී සිටින්නේද එහි නායක නායිකාවන් බොරු කී නිසා නොවේ. බොරුවලින් තමන්ව රැවටුන බව වටහා ගැනීමෙනි.
‘අප දැන් කවුරුන් විශ්වාස කරන්නද?’ යන්න දැන් රටේ මහජනයා හමුවේ ඇති ප්‍රශ්නයයි. ඊට හේතුව මාලිමා නායකයින් කී බොරු ඉදිරිපත් කරමින් ඔවුන්ව පතුරු ගසන දේශපාලනඥයින් වැඩි පිරිසක් මීට පෙර රට පාලනය කිරීමට හවුල් වී තිබීමයි. අඩු තරමින් තමන් කළ වැරැදි පිළිගෙන ස්වයං විවේචනය කිරීමේ ගුණය වත් ඔවුන් බොහෝ දෙනෙකුට නැත. මහජනයා රටේ යහපත් පාලනයක් ඇති කිරීම උදෙසා මාලිමාව බලයට පත් කළේ ඇතැම් දේශපාලකයන්ගේ ජඩ අදූරදර්ශී හා අයහපත් ක්‍රියා හේතුවෙනි. එහි විපාකයක් හැටියට බලයට පැමිණි මාලිමාව රට පාලනය කරන්නේ විදේශීය රටවල්, බෙදුම්වාදී කොටින් හා ජාමූඅ වැනි ආයතන කිහිපයකට වුවමනා ලෙසටයි. මේ තරමට හිරිකිත ආකාරයකට බටහිර රටවල් හා බෙදුම්වාදීන් හමුවේ වැඳ වැටුණු වෙනත් ආණ්ඩුවක් ලංකාවේ තිබී නැත. මොවුන් මේ ක්‍රමයට තව වසර කිහිපයක් රට පාලනය කළොත් සිංහලයාට, සිංහල භාෂාවට සහ සිංහල සංස්කෘතියට දෙවියන්ගේ පිහිටය. ඒ විනාශයට පාර හැදීම බටහිරුන්ගේ උපක්‍රමයයි.
නැගෙනහිර ජර්මනිය යුද්ධයෙන් පසු බිහිවූ පොලිස් රාජ්‍යයකි (Stasi ස්ටාසි). එහි වැසියන්ට දේශපාලනඥයින්ගේ නියෝග පිළිපැදීම හැර වෙන කිසිම නිදහසක් නොවිය. මාලිමාවට විරුද්ධව දේශපාලන සංධානයක් ඇති විය යුත්තේ ඔවුන් රට ඒ ආකාරයේ ස්ටාසි රාජ්‍යයකට ගෙන යන බව පෙනෙන බැවිනි. එය පැරදවිය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සැම දෙනා එක් වී දේශපාලන සංධානයක් ඇති කරගැනීමෙනි. ඊට අදාළ වැදගත්ම ක්‍රියාවක් පසුගිය දිනක සිදු විය. ඒ සජිත්ගේ සමගි ජන බලවේගය සහ රනිල්ගේ එජාපය එකතු වීමයි.
ඒ සමග රනිල් වික්‍රමසිංහගේ දැනුම ප්‍රකාශ වන වීඩියෝවක් අන්තර් ජාලයේ සංසරණය වෙමින් පවතී. එමගින් රනිල් කියන්නේම බි්‍රතාන්‍ය පාලන සමයේ එංගලන්තයේ ජනප්‍රිය වූ ලිබරල්වාදය නිසා ලංකාවට සිදු වූ යහපත ගැනයි. බුදුදහම සුරක්ෂිත වීම සහ එය බටහිර රටවල උගතුන් අතරට පත්වීම ඔහු පෙන්වන ප්‍රධාන යහපත් සිදුවීම් දෙකකි. සිංහල බස යට කර ඉංග්‍රීසි භාෂාව නැගීමත් ඔහු දකින්නේ හොඳක් ලෙසටයි. ඒ කාලයේ සිටි භික්ෂුන් වහන්සේ පවා ව්‍යක්ත ලෙසින් ඉංග්‍රීසි දැනුම ලබා සිටි බව රනිල් කියයි. ඔහුගේ තර්කය ඉංග්‍රීසි අධ්‍යාපනය නිසා බයිබලය කියවා මිෂනාරීන් සමග වාද කර ජයගැනීමට ඔවුන් සමත් වූ බවයි. ලිබරල් පාලකයින් බුදුසසුන නගා සිටුවීමට වෙහෙසුන හැටි ඔහු කියයි. රොබ්ට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ භාර්යාව ශ්‍රී පාදය වන්දනා කරන්නන්ගේ පහසුව තකා අම්බලමක් හැදෙව්වාලු. සිංහලයන් පාලනය කිරීම උදෙසා දන්ත ධාතුව ආරක්ෂා කළ යුතු යයි ජෝන් ඩොයිලි රටේ ආණ්ඩුකාරයාට කීවාලු.
රනිල් අගයන ජෝන් ඩොයිලි තරම් වංචනික නිලධාරියෙකු බි්‍රතානය පාලන කාලයේ ලංකාවට පැමිණ නැත. ඔහු බි්‍රතාන්‍ය ඔත්තු සේවයේ ප්‍රධානියා බව ලාංකිකයන්ට නොවැටහුණි. (බලන්න The Kandyan Wars, Geoffrey Powell) ඇඳුමෙන් පැළඳුමෙන් කතාවෙන් අහිංසක සිල්වත් බෞද්ධ උපාසකයෙකු වූ ඩොයිලි උඩරට නායකයින්, භික්ෂූණ් වහන්සේ, පමණක් නොව කලාකරුවන්ද රවටමින් ඔවුන් සිංහලේ රජුට විරුද්ධව පොළඹවා තිබේ. එය වෙනම ලිපියකින් පැහැදිලි කළ යුත්තකි. ඩොයිලි සිංහලයන්ව කොතරම් රැවටුව්ද යන්නට, ‘ඩොයිලි උතුමා නියතයෙන්ම බුදු වන බෝසත්වරයෙකු බව’ සඳහන් කරන ගජමන් නෝනා ලියූ කවි පෙළම සාක්කියකි. ඇය ඩොයිලි බෝසතුන්ගේ ශ්‍රී පාද පත්මයට මල් අතුරා නමදින්නට අවසර පතයි. කවි කියවූ ඩොයිලි ඇයට පොඩි ඉඩම් කෑල්ලක් ලබා දෙයි.
ලිබරල්වාදීන් අත් දෙකෙන්ම ඔසවන රනිල්, සිංහල මාධ්‍යයෙන් මහාවිද්‍යාල හා මධ්‍ය මහාවිද්‍යාලවලින් සරසවියට පැමිණි ගැමි තරුණ තරුණියන් මෝඩයන් කරයි. මාලිමා නායකයින් ජාත්‍යන්තර සමුළුවලට ගොස් කරන විගඩම් දකින රට වැසියන්ට ගැමි උගතා මෝඩයෙකු සේ පෙනෙයි. මේ අතර වන්දිභට්ටයින් කරන්නේ රනිල් මහා බුද්ධිමතෙකු හා රට ගලවාගත් පුද්ගලයා වශයෙන් ප්‍රචාරය කිරීමයි.
ළමා හිංසනය වැළැක්වීමට නීති හදන මාලිමා ආණ්ඩුවේ කාන්තා හා ළමා කටයුතු ඇමතිනී සරෝජා සාවිත්‍රී පෝල්රාජ් පාර්ලිමේන්තුවේදී කී කවියක් කීවාය.
වේවැල් කෝටු නාරන් සියඹලා අතු
කිතුල් පොල් ඉරටු සහ කසඹිලිය අතු
මෙවන් ඉපල් මගෙ දැසට නොපෑ යුතු
පමා නොවී යමි අකුරට මෙයින් මතු
පෝල් රාජ් නොදන්නා නමුදු, මෙවැනි දැ සිදුවී ඇත්තේ ලිබරල්වාදීන් ලංකාවේ පාසල් ඇරඹූ පසුවයි. ඒ කාලයේ, ‘නඩුදාන මහත්තුරුන්’ පාසල්වලට පැමිණ ළමයින් පාසල් එනවා දැයි සොයා බලා තිබේ.
මාලිමා ආණ්ඩුවේ ජනපති හා ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ කතා කරන ඉංග්‍රීසි සහ මොනම ඉංග්‍රීසියක් වත් නොදන්නා මැති ඇමතිවරුන් ගැන නොයෙක් විකට කතා අන්තර්ජාලයේ පැතිරේ. ‘බිග් කුච්චන්’ අතිශයින් ජනප්‍රිය කතාවකි. ඉංග්‍රීසි තටමන මේ දේශපාලනඥයින් රැළ ‘ෆුල් සූට්’ ඇඳීමට දක්වන්නේ පුදුම ආශාවකි. මොවුන් පස්සේ යන තකතීරු සිංහලයන්ට බටහිරුන් උසස් යයි සිතෙන මනස ඇති වේ. එවැන්නන් ඕල්කොට්ගේ ප්‍රතිමාවට මල් තියා වඳින්නට පටන් ගත්තොත් පුදුම විය යුතු නැත. ඔවුන්, බි්‍රතාන්‍යයන් ලංකාව අල්ලා ගත්තේ මොන වාසනාවකට දැයි යන හැඟුමින් කටයුතු කරන්ඩ පුළුවන. මෙහිදී බුද්ධිමතුන්ගේ යුතුකම මාලිමාව යනු රනිල් ඇරඹූ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යන දේශපාලන සංවිධානයක් බව රට වැසියාට කියා දීමයි. එදා රටවැසියන් ඩොයිලි කවුන් දැයි තේරුම් නොගත්තා සේම අද වැඩි දෙනෙකු රනිල් කවුරුන් දැයි වටහාගන ඇති බවක් නොපෙනේ.
රොබට් නොක්ස්, ඕලන්දයන් ලංකාව ඇල්ලීමට පැමිණ සිටි කාලයේ සිංහල රාජධානියේ රඳවාගෙන සිටි ස්කොට්ලන්ත ජාතිකයෙකි. මවගේ අභිමතය පරිදි ක්‍රිස්තියානි දේවස්ථානයක නැවතී පූජකවරුන්ගෙන් අධ්‍යාපන ලබමින් සිටි ඔහු පියා භාරයේ තිබූ නැවට ගොඩ වන විට වයස දහහතරක බාල වයස්කාරයෙකි. ඔහු කෝඩිනර් පියතුමා, කෝලබෲක්, කැමරන් වැනි ලිබරල් අදහස් දැරූ උගතෙකු නොවේ. ඉතා අවංක පුද්ගලයෙකු බවට ඔහුගේ ලියවිලි සාක්කි දරයි. නමුත් රොබට් නොක්ස් කවුරුන් දැයි රට වැසියාට දන්වන්නන් කරන්නේ ඔහු ඩොයිලාගේ ගොඩේ දමා පෙන්නීමයි.
බි්‍රතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම යටතේ නැවක කප්පිත්තා වූ ලොකු නොක්ස් කිසියම් වුවමනාවක් නිසා ත්‍රිකුණාමලය අසල ඔහුගේ නැව නැංගුරම් දමා තිබේ. එහි සිට රටට ගිය නැවියෝ රජුට නොදන්වා සෑහෙන කාලයක් රටේ විසුවෝය. මේ නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීමට රජුට සිදු විය. නමුත් ඒ කිසිවෙකු අධිකරණයකට ඉදිරිපත් කර නැත. සිරගේක රඳවා නැත. පියා උණ රෝගයක් වැළඳී මිය ගිය බව නොක්ස් ලියයි. ඔහු බ්‍රහ්මචාරී ජීවිතයක් ගෙවමින් ලංකාවේ විසුවේය. මේ අතර සුළු වෙළඳාාම් කළේය. නිවසක් හදාගත්තේය. ඔහු සමග පැමිණි සෙසු පිරිස සිංහල කාන්තාවන් සමග විවාහ වෙමින් සිංහලයින් බවට පත් වූහ. නොක්ස්ගේ පියාගේ වහලා වශයෙන් කටයුතු කළ අප්‍රිකානුවා සිංහල කාන්තාවක හා විවාහ වී සිංහලයකු හැටියට රටේ බින්න බැස්සේය.
ලංකාවේ විසි වසරක් සිටි නොක්ස් තවත් මිතුරෙකු සමග ඕලන්ද නැවක නැගී එංගලන්තයට ගියේය. ඒ ගමන අතුරතුරදී ලංකාවේ ගත කළ ජීවිතය ගැන තොරතුරු සටහන් කළේය. ඔහු ලංන්ඩනයේ සිටියදීත් ලංකාවේ සිදුවීම් මතක් වන විට ලියා තැබුවේය. ක්‍රිස්තියානි ආගම ගැන නොදන්නා සිංහලයන් සමග දිගු කලක් සිටි තමාට ආපසු මව් රටට යන්නට මග පෙන්වූයේ මැවුම්කාරයා බව නොක්ස් සඳහන් කරයි. ඔහු නැවේදී ලියූ තොරතුරු සංග්‍රහය පසු කලෙක පොතක් වශයෙන් මුද්‍රණය විය. නොක්ස්ගේ පොත කියවූ ඩැනියෙල් ඩිෆෝ නමැති ලේඛකයා රොබින්සන් කෲසෝ නවකතාව ලියූ බව සමහරු කියති. නොක්ස්ගේ පොත පසු කලෙක An Historical Relation of Ceylon නමින් පොතක් හැටියට මුද්‍රණය වී තිබේ. ‘එදා හෙළදිව’ නමින් සිංහලට පරිවර්තනය වී ඇත්තේ එයයි.
යමෙකුට රොබට් නොක්ස් ගැන තොරතුරු දැනගැනීමට මූලාශ්‍ර ඇත. ලිබරල්වාදීන් ගැන විස්තර කෙරෙන තොරතුරු සංග්‍රහයන් රාශියකි. රනිල් කරන්නේ ලිබරලුන් ගැන වෙනත් අර්ථ දැක්වීමකි. බුදුදහමට හා සිංහල ජාතියට සේවය කළ ලිබරල්වාදීන් ගැන ඔහු කියයි. මෙයත්, ‘පස් දුන්න නිසා පස්දුන් කෝරළය යැයි කියනවා’ට සමාන කතාවකි.
මාලිමාව කී බොරු නිසා තමන් රැවටුන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන විශාල පිරිසක් සිටිති. කඩාවැටුණ මනස් ඇති ඔවුන් රනිල් කියන කතා අසමින් ඔහු පස්සේ යන ස්වභාවයක් පෙනේ. බටහිරුන්ට වුවමනා එයයි. මාලිමාවේ ආර්ථික ගුරු රනිල් බව රහසක් නොවේ. ටික දිනක් සිරභාරයේ සිටි රනිල් මාලිමාවේ හතුරෙකු වශයෙන් පෙනුනාට එය සැබෑවක් නොවේ. රටට වුවමනා අදීනයන් මිස ගජමන් නෝනලා නොවේ.