ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී

Last Updated on 9 months by admin

බුදුන් ජීවමාන කාලයේ සිටම ඉන්දියාවේ ගුජරාතය ගවපට්ටි හිමියන්ට වාස භූමි වූ ප‍්‍රදේශයකි. එයින් බිහි වූ ‘වල්ලබායි පතෙල්’ නමැති දේශපේ‍්‍රමී නායකයා, ගවපට්ටි හිමියන් ශක්තිමත් කිරීම සඳහා ‘කිරි ගොවියන්ගේ සංගමයක් ආරම්භ කිරීමට සිතූවේය. ඇමතිවරයකු වූ ඔහු ඒ කටයුත්ත ‘ත‍්‍රිභුවනදාස් පතෙල්’ට භාර කළේය. ඔහු ‘ආනන්ද්’ ග‍්‍රාමයෙහි ‘Anand Milk Union Limited’ (AMUL) ඇරඹුවේය. ‘මෙහි සාමාන්‍යාධිකාරිවරයා ලෙස, ඇමරිකාවේ උසස් අධ්‍යාපන ලැබූ ‘වෙර්ගේස් කුරියන්’ රිංගවන ලද්දේ ඇමරිකානු මිෂනාරි සංවිධානයක් විසිනි’ යන්න වෙනම කතාවකි.

ඉන්දියාව කිරි නිපදවූ, එහෙත් කිරිපිටිි ආනයනය කළ රටකි. මේ තත්වය වෙනස් කිරීමට කැපවූ ඉන්දීය පාලකයෝ, ඒ සඳහා ‘අමුල්’ සංගමයට උපකාර කළහ. 1956 වසරේ ‘අමුල්’ නියෝජිතයින් පිරිසක් ස්විස්ටර්ලන්තයේ ‘නෙස්ලේ’ මූලස්ථානය වෙත ගියේ ඊට අවශ්‍ය උපදෙස් ලැබීමටය. මී කිරි නිපදවන ඉන්දියාවට කිරිපිටි නිපදවිය නොහැකි යයි නෙස්ලේ සමාගම ඔවුන්ට පැහැදිලි කළාය. චාරිකාව නිමකර පැමිණ වැඩි කලක් යාමට පෙර අමුල් පර්යේෂකයෝ කිරිපිටි නිපදවූහ.

ඉන්දියාවට ළමා කිරිපිටි නිපදවූයේ ග්ලැක්සෝ සමාගමයි. ඔවුන් පරදා ළමා කිරිපිටි නිපදවීමට අමුල් සමාගමට හැකි විය. රටට බටර් හා කේජු ආනයනය කළ සමාගම්වල බල බිඳින්නට සමාගමට හැකි විය. වැදගත්ම කාරණය මේ හැම ක‍්‍රියාවකදීම ඉන්දියාව පාලනය කළ අගමැතිවරුන් ප‍්‍රධාන ආණ්ඩුවේ සහාය සමාගමට ලැබීමයි. නිදහස් සටන පැවති කාලයේ සිටම ක‍්‍රියාත්මක වූ ‘ජාතික චින්තනය’ මඟින් ඉන්දියාව ගොඩනැංවුන බව මෙහිදී වටහාගත යුතුය.

ශ‍්‍රී ලංකා රජය 1973 වසරේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පිහිටුවූවාය. අමුල්හි ආදර්ශය ලබමින් කිරිපිටි, යෝගට්, බටර්, ගිතෙල්, කේජු ආදි කිරි ආහාර නිපදවීමේ ආයතනයක් පිහිටුවීමට කොබ්බෑකඩුව ඇමතිවරයා තීරණය කළේය. මෙය අමුල් සමඟ සම්බන්ධකම් පැවැත්වූ ඔහුගේ ලේකම්වරයකුගේ උපදෙස් මත සිදුවූවක් බව අප අසා තිබේ.

පශු සම්පත් මණ්ඩලයෙන් තෝරාගන්නා ලද නිලධාරින් කිහිප දෙනෙකු අමුල් වෙත යැවිණි. දෑවුරුද්දක පුහුණුවකින් දැනුම හා මාර්ගෝපදේශ ලැබ ආපසු පැමිණි ඔවුහු, පොල් ත‍්‍රිකෝණයේ කිරි සංගමය, එහි කිරි සමුපාකාර ව්‍යාපාරය සහ කුලියාපිටිය, වීරගම යෝගට් කර්මාන්ත ශාලාව’ ඇරඹීම ආදි කටයුතු ගණනාවක් කළහ.

මේ අතර 77 දේශපාලන පෙරළියෙන් ජේආර් බලයට පත්වූයේය. ඔහු පළාතේ අනුගාමිකයකුගේ ඉල්ලීම මත කුලියාපිටියට නුදුරින් පිහිටි පන්නල, ‘නෙස්ලේ කිරිපිටි කම්හලක් ඇරඹීමට සහාය දුන්නේය. ජාතිකත්වය යනු කුමක්දැයි නොදත් සෞම්‍ය මුර්ති තොණ්ඩමන්ට පශු සම්පත් මණ්ඩලය භාර ඇමතිකම ලැබුණි. ඔහු පොල් ත‍්‍රිකෝණයේ කිරි සමිතිවලින් රැස් කෙරෙන කිරි, පන්නල නෙස්ලේ සමාගමට සැපයීමට කටයුතු සැලසුවේය. ලංකා කිරි කර්මාන්තයම හාන්සි විය.

රනිල් ජනාධිපතිවරයාගේ පාලනය යටතේ ලංකාවේ ජාතික උරුමයෙන් වැඩි කොටසක් ඉන්දියානු සමාගම් සතු වෙමින් පවතී. පශු සම්පත් මණ්ඩලයේ සම්පත් අමුල් සමාගම අතට පත් වන ලකුණු දිස්වේ. ජවිපෙ ගොවි සම්මේලනයේ සහාය ඊට ලබාගැනීම අමුල් සමාගමේ කටයුතුවලට පහසුවකි. ඉන්දියාවට ගිය අනුර කුමාර දිසානායක ප‍්‍රධාන නියෝජත පිරිස අමුල් වෙත ගෙන යාමට හේතුව එය විය හැකිය.

‘අමුල් සමාගමට පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිබිම් නොදෙමු’යි ජවිපෙ ගොවි සංවිධානයේ නායකයා කියයි. ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී කියා කතාවක් සිංහලයන් අතර පවතී.

1 thought on “ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී”

  1. සුගතපාල මැන්දිස්

    බෙහොම වටිනා ලිවිලකි.
    කොලට් හා නරද සගයන් දෙපොළට දිගාසිරි !!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link