Last Updated on 4 months by admin
ඩේවිඩ් ඇන්තනි
Pic. credit: The Hindu
බංගාලි දේශය වනාහි ලෝක බලවතුන්ට අතිශයින් වැදගත් ඇති රටකි. ඊට ප‍්‍රධානම හේතුව අනාගත ලෝකයේ මහා බලවතුන් බවට පත්වෙමින් සිටින ඉන්දියාව සහ චීනය මැද පිහිටි රට වීමයි. ඊට බලපාන තවත් කාරණා තිබේ.
එය සුන්නි මුස්ලිම් රටකි. ජාත්‍යන්තර දේශපාලනයේ දී, ආගම පදනම් කරගෙන සුන්නි මුස්ලිම් රටවල් එක කඳවුරකට එකතු කර සවුදිය බඳු බටහිරට දැඩි සේ හිතවත් මුස්ලිම් රටක ආධාරයෙන් ඒ රටවල් පාලනය කිරීම බටහිරුන්ගේ දේශපාලන උපායකි. බංගාලි දේශයේ පැතිරෙන ඉස්ලාම් මූලධර්මවාදය වෙනත් මුස්ලිම් රටවල ආධාර ලබයි.
ජර්මනිය මූලස්ථානය කරගත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් (ESOHR) පසුගිය සතියක ප‍්‍රකාශයට පත් කළ වාර්තාවකට අනුව සවුදි අරාබිය ඇදහිය නොහැකි අයුරින් මානව හිමිකම් උල්ලංඝණය කරන රටකි. පසුගිය ජුලි 25 වෙනිදා පමණක් එහි පිරිමින් 98 දෙනෙකු සහ කාන්තාවනු දෙදෙනෙකුට මරණ ද`ඩුවම දී තිබේ. සවුදිය රට වැසියන් ඝාතනය කිරීම, ගතවූ වසර සමග සන්සන්දනය කරන විට සියයට 42 ක වැඩිවීමකි. ඒ ගැන ඒ තරම් උනන්දුවක් නොදක්වන බටහිර මාධ්‍ය බංගාලි දේශයේ ෂයික් හසීනාගේ ආණ්ඩුව මානව හිමිකම් කඩකරන බවට චෝදනා කරති. ඊළාම් යුද්ධය පැවති සමයේ ලංකාව මානව හිමිකම් උල්ලංඝණය කරන රටක් බව ලෝකයට ඒත්තු ගැන්වීමට ඔවුහු හැම උපක‍්‍රමයක්ම පාවිච්චි කළහ.
වංග රට ගැන පැවසෙන නොයෙකුත් ප‍්‍රවාද කතා සිංහලයන් අතර තිබේ. ඉතිහාසකරුවන් පැහැදිලි කරන ලෙසට සිංහල ඉතිහාසයේ සඳහන් වංග රට, බංගාලි දේශයේ කොටසකි. මෞර්ය පාලන කාලයේ වංග රට බෞද්ධ රාජ්‍යයකි. පසු කාලයක වංගය පාලනය කළ පාල වංශයේ රජවරු කීර්තිමත් බෞද්ධ පාලකයෝ වූහ. දිල්ලි සුල්තාන් සමයේ වංගයේ බුදුසසුන චොප්ප විය. බෞද්ධයන් සුළු පිරිසක් වනාන්තර ගතවී ආරක්ෂා වූහ. මෑත කාලයේ දේශපාලන රැකවරණ සඳහා ලංකාවට පැමිණි බංගාල දේශ භික්ෂුන් වහන්සේලා පිරිසක් ද සිටිති.
බි‍්‍රතාන්‍ය පාලකයෝ ඉන්දියාවට නිදහස ලබාදීමට පෙර පකිස්ථානය නමින් ස්වාධීන ඉස්ලාම් රාජ්‍යයක් ඇති කළහ. එය ඉන්දියාවේ දෙකෙළවර පිහිටි භූමි කලාප දෙකකින් සමන්විත වූයේය. නැගෙනිර කලාපය වර්තමාන බංගාලි දේශයයි. බටහිර කලාපය වත්මන් පකිස්ථානයයි. සම්මතයට සමස්ත පකිස්ථානය ඉස්ලාම් රටක් වූ නමුත් එහි නැගෙනහිර ප‍්‍රදේශය බටහිර පකිස්ථානයේ යටත් විජිතයක් වශයෙන් පැවතිණි. එහි වැසියෝ පාලකයන්ට විරුද්ධව නිදහස් සටනක් ඇරඹූහ. ඊට ඉන්දියාවේ සහාය ලැබුණි.
මුජිබර් රහ්මන් මෙම සටනේ නායකයා වූයේය. ඔහුට රටේ බලය ලබාගත හැකි වූ නමුදු හමුදා කුමන්ත‍්‍රණයක් මගින් මරණයට පත් කෙරිණි. දේශපේ‍්‍රමීන් ඉවත් කර මූලධර්මවාදීන්ට රටේ දේශපාලන බලය ලබාදීම මුජිබර් රහ්මන් ඝාතනය යට සැඟවුන හේතුවකි.
එම ඝාතනය සිදුවෙද්දී රහ්මන්ගේ දියණිය ෂයික් හසීනා රටේ නොසිටි නිසා ඇගේ ජීවිතය බේරුණි. රටට ඇවිත් සිය පියාගේ අවාමි ලීගයේ නායකත්වය භාරගත් හසීනා බංගාලි දේශය ගොඩගැනීමේ දුෂ්කර කාර්යය හිසට ගත්තාය. එය සාර්ථක විය. ආසියාවේ දුප්පත්ම රට වශයෙන් පැවති බංගාලි දේශය ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් කිරීමට ඇයට හැකි විය. බටහිරට නොබැඳුන ඇය ඉන්දියාව සහ චීනය සමග එක්ව කටයුතු කරන දේශපේ‍්‍රමී නායිකාවකි.
ෂයික් හසීනාගේ ආණ්ඩුව පෙරළීමට ඇති වූ ශිෂ්‍ය කැරැල්ල ලංකාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පහ කිරීමට මූලික වූ රැල්ලට සමාන එකක් යයි ලංකාවේ ඇතැම් විචාරකයෝ කියති. එහි නායකයින් විශ්වවිද්‍යාල සිසුන් පිරිසකි. බංගාලි දේශයේ නිදහස් සටනට සහභාගි වූ රණවිරුවන්ගේ දරුවන්ට රටේ පරිපාලන සේවා රැකියාවලින් සියයට 30 ක් වෙන් කිරීම ෂයික් හසීනාගේ ආණ්ඩුවේ තීරණයකි. මෙම කෝටා ක‍්‍රමය නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝණය වී මානව හිමිකම් කඩ වී උගතුන්ට විශාල විපතක් සිදුවෙතැයි උද්ඝෝෂකයෝ කියති. අධිකරණය ඔවුන්ට පක්ෂ තීන්දුවක් දී තිබේ.
කෝටා ක‍්‍රමයට රැකියා ලබාදීම බටහිරුන්ගේ සංකල්පයකි. කෝටා ක‍්‍රමය නිසා සුළු ජාතීන්ට හා සුළු ආගමිකයන්ට යහපතක් සිදු වන බව මානව හිමිකම් සංවිධාන කියති. ඇත්තටම ලංකාව වැනි රටක නම් මෙයින් කෙරෙන්නේ සිංහල ජාතිය දුර්වල කිරීම සහ බුදු සසුන කඩා දැමීමයි. මෙම ක‍්‍රමය නිසා රටක ආරක්ෂක සේවය වැනි ඉතා වැදගත් පාලන අංශවල බිඳ වැටීමක් සිදු වේ. යටත් විජිත යුගයේ සිටම කිසියම් ක‍්‍රමයකට කෝටා ක‍්‍රමය ලංකාවේ ක‍්‍රියාත්මක වේ. ජාතික රාජ්‍ය සභාවේ සහ පළාත් පාලන ආයතනයන්හි කාන්තාවන්ට කෝටා ක‍්‍රමයට ආසන ලබා දීම එහි උච්ච අවස්ථාවකි. තව කලක් යනවිට දේශපාලන ආයතනයන්හි සමරිසියන්ට ආසන සංඛ්‍යාවක් වෙන්කිරීම සුදුසු යයි අදහස් ඉදිරිපත් වීමට ඉඩ ඇත. රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා ඉඩම් හා නිවාස බෙදාදීමේ දී කෝටා ක‍්‍රමයෙන් ඔබ්බට ගොස් තිබේ.
ගෝඨාභය පලවා හැරීමෙන් පසු බලයට පත් වූ රනිල් වික‍්‍රමසිංහ යළි යළි ප‍්‍රකාශ කරන්නේ රට භාරගැනීමට නායකයෙකු නොසිටි අවස්ථාවේ තමන් රට භාරගත් බවයි. ඒ අදහස පිළිගැනීමට අකමැත්තවුන්ගේ තීරණය ගෝඨාභය පලවා හැර රනිල් බලයට පත්කිරීම බටහිරුන්ගේ කුමන්ත‍්‍රණයක් බවයි. රනිල් බලයට පත්වීමෙන් පසු රටේ සිංහල බෞද්ධ බලය දුර්වල වී තිබේ. රටේ සම්පත් විශාල වශයෙන් විදේශිකයන් අතට පත්වී ඇත. පොහොට්ටුවේ පෙති ගැලවී ගොසිනි.
ෂයික් හසීනා යටතේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් බංගාලි දේශයේ සිදුවෙමින් පවතී. ඇය ජාතික සටනට සහභාගි වූ හමුදා භටයින්ගේ දරුවන්ට රජයේ රැකියාවලින් සියයට තිහක් වෙන්කිරීමට තීරණය කිරීමද රටේ අනාගත ස්ථාවරත්වය සඳහා ගත් වැදගත් තීන්දුවකි.
බටහිර ජනමාධ්‍ය ෂයික් හසීනා සහ ඇයගේ ආණ්ඩුව ගැන නොයෙක් දුර්මත වපුරති. අප ඒ බව තේරුම් ගැනීමට සමත් විය යුතුයි.