ට්‍රම්ප් ලංකාවේ ජනාධිපතිවරණයට ඉල්ලුවා නම් මළාට දිනන්න බෑ

Last Updated on 5 days by admin

නඩු පිට නඩු වැටුණු සියලු ජනමාධ්‍යවලින් හා ප්‍රචාරක දැන්වීම් හරහා මරු පහරවල් වැදුණු ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපතිවරණය ජය ගත්තේය. ඒ විදිහේම ඉරණමකට ගොදුරු වූ මහින්ද රාජපක්ෂ පරාජය වූයේය. ‘අග්ලි ඇමරිකන්’ කියා පොතක් තිබේ. එය, ‘අවලස්සන ඇමරිකානුවා’ නමින් සිංහලට පරිවර්තනය වී තිබුණි. ‘අග්ලි ශ්‍රී ලාන්කන්’ යනුවෙන් පොතක් නැත. ‘අග්ලි ඇමරිකන්’ නමින් පොතක් ලියවුනාට ඇමරිකානු ජනාධිපපතිවරණයෙන් හෙලිවන්නේ එකී ඇමරිකානුවා කඩවසම් චරිතයක් බවයි.

ජෝ බයිඩන් බලයට පැමිණි පසු, ට්‍රම්ප්ට එරෙහිව දිගින් දිගටම විවිධ චෝදනා එල්ල විය. පෝළිමට නඩු වැටුණි. ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නට ට්‍රම්ප්ට අවස්ථාවක් නොලැබෙනු ඇතැයි මතයක් පවා ගොඩනැගුණි. මේ පසුබිමේ, ෆ්ලොරිඩා ආණ්ඩුකාරවර, ට්‍රම්ප්ට වඩා වයසින්ද අඩු (47 වියැති – ලංකාවේ හැටියට නම් තරුණ යැයි කියන) රොන් ඩිසැන්ටිස්ට රිපබ්ලිකන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලැබෙනු ඇතැයි රටේ විශාල කතාබහක් ඇති විය.

එම සමයේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් (ඒපී හෝ රොයිටර්) මගින් ට්‍රම්ප් පිළිබඳ මහජන මතය විමසීමේ සමීක්ෂණයක් පැවැත්වූවාය. එහිදී අනාවරණය වු වැදගත් කාරණයක් මෙසේ සම්පිණ්ඩනය කළ හැක.

‘අපි හිතාගනෙ හිටියෙ ඩිසැන්ටිස්ට අපේක්ෂකත්වය ගන්න සහයෝගය දෙන්න. ඒ වුනාට දැන් අපිට තේරෙනවා ට්‍රම්ප්ට මෙච්චර ගහන්නෙ ඇයි කියල. ඉතාම පැහැදිලියි ට්‍රම්ප් තමයි ආණ්ඩුවට ඉන්න ප්‍රබලම ප්‍රතිවාදියා. ට්‍රම්ප්ව බිම දැම්මොත් ආණ්ඩුවට ඊළඟ ඡන්දෙත් දිනන්න පුළුවන් කියලා එයාල හිතනවා. ඒ කියන්නේ ට්‍රම්ප් තමයි වීරයා. ඇමරිකානු දේශපාලනය ප්‍රබුද්ධ ක්‍රියාවක්. මඩගැහිල්ලක් නෙවෙයි.’

බයිඩන්ගේ ඩිමොක්‍රටික් ආණ්ඩුව ට්‍රම්ප්ට විරුද්ධව මොනතරම් දැඩිව කටයුතු කළා ද කීවොත්, අවසානයේ නීතිඥ සමාගම්වලටද තර්ජනය කළේය. ‘උඹලා ට්‍රම්ප් වෙනුවෙන් පෙනී හිටියොත්, අපි උඹලට එක නඩුවක් ගන්න දෙන්නෙ නෑ.’ මේ තර්ජනවලට බිය නොවූයේ මුදල් ගැන නොතකන එක් පැරණි නීතිඥයෙකු පමණි.

කල් යල් බලා ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ, ජනාධිපති මුක්තිය පිළිබඳ මෝසම නිසා ආණ්ඩුවට අකුලා ගන්නට සිදු විය. බෝධි සභාවේ පළ කළ පෙර ලිපියකින් මේ ගැන විස්තර වූයේය.

අවසානයේ සිදු වූයේ තර්ජන බියගැන්වීම් නින්දා අපහාස අසත්‍ය පරදවමින් ට්‍රම්ප් ඇමරිකවේ ජනාධිපති ධුරයට පත්වීමයි.

කාලයක පටන්ම ට්‍රම්ප් ලතින් ඇමරිකානුවන්ට විරුද්ධ පුද්ගලයකු වශයෙන් ප්‍රසිද්ධව තිබුණි. ඇමරිකාවට මත්ද්‍රව්‍ය ගෙන එන්නේ ලතින් ඇමරිකානුවන් බවත්, ලතින් ඇමරිකාවෙන් එන අනවසර සංක්‍රමණිකයන් නිසා රටට විශාල හානියක් වන බවත් ට්‍රම්ප් දිගින් දිගටම කීවේය. ඔහු ඇමරිකාවේ දකුණු මායිමේ දැවැන්ත තාප්පයක් බඳින්නට යෝජනා කළේද අනවසර සංක්‍රමණිකයන් වළක්වන්නටය. ඉතිහාසය පුරා ලතින් ඇමරිකානුවන්ගේ ඡන්ද වැඩි වශයෙන්ම වැටුණේ ඩිමොක්‍රටික් පක්ෂයටය. මෙවර ජනාධිපතිවරණයේ විශේෂ කාරණය ලතින් ඇමරිකානු ඡන්දදායකයින් ට්‍රම්ප්ට විශ්වාසය ප්‍රකාශ කිරීමයි.

හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ඉදිරියට දමාගෙන අප්‍රිකානු ඇමරිකානුවන්ගේ ඡන්ද වැඩි වශයෙන් ලබාගැනීමට කමලා හැරිස් උත්සාහ කළාය. පසුගිය මැතිවරණයේදී බයිඩන් සමස්ත කළු ඇමරිකානු ඡන්දවලින් 90%ක් ලබාගත්තේය. එහෙත් මෙවර කමලාට ලැබුණේ 80%ක් පමණි. ට්‍රම්ප්, රිපබ්ලිකන් අපේක්ෂකයකු 2000 වසරට පසු ලබාගත් ඉහළම කළු ඇමරිකානු ඡන්ද ප්‍රතිශතය වූ 20% හිමි කරගත්තේය.

ට්‍රම්ප්, චීනය සමග තදින් හැප්පෙන චරිතයකි. පසුගිය වාරයේ ඔහුගේ කාලය තුළ චීනයෙන් ඇමරිකාවට ආනයනය කරන බඩුවලට විශාල බද්දක් පැනෙව්වේය. මෙවරත් ඔහු ඒ ගැන පුනපුනා කිව්වේය. කමලා හැරිස් කොමියුනිස්ට්කාරියක බව ඔහු ජනතාවට ඇඟෙව්වේය.

ඇමරිකාවේ විශාල චීන ඇමරිකානුවෝ පිරිසක් සිටිති. ඇමරිකාවේ වෙසෙන ආසියාතිකයන් අතරින් වැඩිම පිරිස චීනුන්ය. නමුත් මෙවර ආසියානු ඡන්ද ප්‍රතිශතය වැඩි කරගන්නට ට්‍රම්ප්ට හැකි විය.

සුදු ජාතිකයන්ගේ ඡන්ද ප්‍රතිශතය පසුගිය වාරයේ ලැබූ මට්ටමින් ස්ථාවරව තබාගන්නට ට්‍රම්ප් සමත්ව තිබුණි.

ට්‍රම්ප්, ජාතිවාදියකු වශයෙන් හංවඩු ගැසුණු අයෙකි. ඔහුට අකමැති කළු ජාතිකයන් විශාල පිරිසකි. ට්‍රම්ප් ලතින් ඇමරිකානුවන්ට විරුද්ධ මත දරන්නකු වශයෙන් ප්‍රසිද්ධය. ට්‍රම්ප්ගේ චීන විරෝධය ඉතා පැහැදිලිය. එසේම ඔහු දූෂිත පුද්ගලයකුන් වශයෙන් විශාල ප්‍රහාරයකට ලක් විය. එසේ තිබියදීත් ට්‍රම්ප් සුදු ජාතිකයන්ගේ ඡන්ද ස්ථාවරව පවත්වා ගන්නටත්, කළු ඇමරිකානුවන්ගේ, ලතින් ඇමරිකානුවන්ගේ, ආසියානුවන්ගේ මෙන්ම වෙනත් සුළු ජනකොටස්වලත් ඡන්ද ප්‍රතිශතය වැඩි කරගන්නටත් සමත් වුයේ කෙසේද?

‘කඩවසම් ඇමරිකානුවා’ යනුවෙන් පෙර සඳහන් කළේ ඇමරිකානු චරිතයේ බුද්ධිමත් ස්වභාවයයි. කටකතා අවලාද නින්දා අපහාස බොරුවලට ඇමරිකානු චරිතය දුර්වල කිරීමට නොහැකිය. ඇමරිකානුවා ඇමරිකාවට දැඩි ඇල්මක් ඇත්තෙකි. ඇමරිකානු අධ්‍යාපනයෙන් කරන්නේම ඇමරිකානුවාගේ මහඟු ගුණය දරු පරපුරට උරුම කිරීමයි.

කොවිඩ් වසංගතයෙන් වැඩිපුරම බැටකෑ රට ඇමරිකාවයි. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම නිසා ලෝක ආර්ථිකයට එල්ල වූ දැඩි බලපෑම ඇමරිකාවටද පොදුය. මේ නිසා ඇමරිකාවේ ආර්ථිකයටත් සිදු වූ බලපෑම සුළුපටු නැත. එහි බලපෑම තවමත් පවතී. ඉන්ධන, පාරිභෝගික භාණ්ඩ ආදියේ මිල මෙන්ම නිවාස කුලී ආදිය වේගයෙන් ඉහළ ගියේය. මේ ආර්ථික කඩාවැටීම පොදුවේ සියලු ඇමරිකානුවන්ට බලපෑම් කළේය. එය ට්‍රම්ප් කෙරෙහි විශ්වාසය ඇති වන්නට එක් හේතුවක් විණි. මාධ්‍ය ආයතන ආදියෙන් කළ බොහෝ සමීක්ෂණවලදී මේ බව අනාවරණය වී තිබුණි.

දේශපාලන මඩ ප්‍රහාරවලට නොරැවටීමට තරම් ඡන්දදායකයින් ඥානවන්ත වීම තවත් හේතුවකි. ට්‍රම්ප්ට එරෙහිව මාධ්‍ය හා දැන්වීම් මගින් දැඩි ප්‍රහාර එල්ල කරමින් කමලා හැරිස්ව පුම්බන්නට කෙතරම් උත්සාහ කළද ඡන්දදායකයින් ඒවා මායිම් කළේ නැත. මැතිවරණය ආසන්නයේ ඔහුට විරුද්ධව ප්‍රචාරය කළ මඩ දැන්වීම් තවමත් රට පුරා ප්‍රදර්ශනය වේ. ට්‍රම්ප්ට එරෙහිව නඩු පිට නඩු වැටෙද්දී, ඒ දෙස වෙනත් කෝණයකින් බලන්නට තරම් ඇමරිකානුවෝ බුද්ධිමත් වූහ. ‘මේ මිනිහාට මෙච්චර ගහන්නේ, මිනිහා වැඩකාරයා හින්දයි’ යැයි කල්පනා කළ පිරිස් ට්‍රම්ප්ගේ පැත්ත ගත්හ.

ලතින් ඇමරිකාවෙන් හොර රහසේ ඇමරිකාවට රිංගන්නන්ට හා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට එරෙහිව ට්‍රම්ප් නගන හඬ තමන්ට අදාළ නොකර ගන්නට තරම් ලතින් ඇමරිකානුවන් නුවණක්කාර වූ බව සමීක්ෂණවලදී අනාවරණය වී තිබුණි.

ඇමරිකානු දේශපාලන විචාරකයින්ට අවබෝධ නොවුන කරුණක්ද ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට දැඩි බලපෑමක් කළේය. ට්‍රම්ප්ට, ලතින් ඇමරිකානු, ආසියානු සහ වෙනත් කුඩා ජන කණ්ඩායම් හා කළු ඇමරිකානු ඡන්ද වැඩි ප්‍රතිශතයක් ලැබීමට බලපෑ ප්‍රධාන සාධකය වූයේ එය බව අපගේ වැටහීමයි.

සේවකයන්ට ලැබෙන සන්තෝසම් මුදලවලට බදු ගැසීම නැවැත්වීම ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රතිපත්තිවලින් එකකි.

සන්තෝසම් මුදල් දීම ඇමරිකාවේ චාරිත්‍රයකි. එය ඇතැම් සේවකයන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක්ද වේ. සේවාවන් සපයන ආයතනයන්හි බොහෝ සේවකයෝ වැටුපට වැඩි මුදලක් සන්තෝසම්වලින් උපයති. ඇතැම් තැනක සේවකයකු එක් රැයට ඩොලර් දෙතුන් සීය සන්තෝසම් වශයෙන් උපයයි. වසරකට ඩොලර් 600ක් උපයන ඕනෑම ඇමරිකානුවකු ආදායම් බදු ගෙවිය යුතුය. ඒ අනුව බලන කල සන්තෝසම් සඳහා ඇමරිකානුවන් ගෙවන බදු මුදල සුළුපටු නැත. සමීක්ෂකයන්ගේ ප්‍රශ්නවලට මොන උත්තර දුන්නද, මේ කාරණය සන්තෝසම් ලබන්නන් ට්‍රම්ප් වෙනුවෙන් ඡන්දය දෙන්නට විශාල හේතුවක් වූ බවට සැක නැත.

ඇමරිකාවේ ඡන්දදායකයින් හා ලංකාවේ ඡන්දදායකයින් අතර ලොකු වෙනසක් තිබේ. සිංහලයින් දුර්වල කිරීම ලංකාවේ මැතිවරණයේ ප්‍රධාන ක්‍රියාවකි. බෞද්ධයන් දුර්වල කිරීම තවත් උවමනාවකි. එය තේරුම් ගන්ඩ නොහැකි වු හෝ තේරුම් ගන්නට වුවමනාවක් නැති ජාතිකවාදී කඳවුර බලය ලබා ගැනීමට වෙන් වෙන්ව සටන් කරයි.

සතුරු කඳවුරෙන් මඩ ප්‍රහාර හා චෝදනා පිට චෝදනා එල්ල වුවද ඉතිහාසයේ දෙවැනි වයස්ගතම ජනාධිපතිවරයා වශයෙන් වාර්තාවක් තබමින් ඇමරිකානු ජනාධිපතිවරණය ජයගන්නට ට්‍රම්ප්ට හැකි විය. නමුත් ඔහු ලංකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූවා නම් මළාට ජයගන්නට ලැබෙන්නේ නැත. ‘ට්‍රම්ප්ගේ ෆයිල් එක මං ගාව තියෙනවා’, ‘ඔය ඇමරිකාවේ බිස්නස් සේරම පටන් අරන් තියෙන්නෙ අපේ රටේ ඩොලර් ප්ලේන්වලින් ගෙනිහින්’ වැනි කතා දෙක තුනක් කී විට ට්‍රම්ප් හාන්සිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link