තණකොළ කන කැළේ රජා

Last Updated on 22 hours by admin

දෙවන ලෝක සංග්‍රාමය සමයේ ජර්මනියේ විසූ චින්තකයෝ නාසිවාදය අගයති. මේ කලයේ සිටි පාප්තුමා ඉතාලියේ අඥාදායක මුසොලිනිට පක්ෂව කටයුතු කළේය. යුද්ධය නිමවූ පසු සෝවියට රුසියාවෙන් බැහැර රටවල පවා ස්ටාලින් පුදන්නෝ බිහි වූහ. ලංකාවේ පාසල් පොත්වලට වින්සන්ට් චර්චිල් ඇගැයෙන පාඩම් ඇතුළු විය.

හිට්ලර්, මුසොලිනි, ස්ටාලින්, චර්චිල් යන සිව්දෙනාම යුද අපරාධකරුවෝ වෙති. ඔවුන් හැම දෙනාම කටයුතු කර ඇත්තේ නින්දිත ජාතිවාදීන් ලෙසටයි. මෙයින් පැහැදිලි කෙරෙන්නේ ඕනෑම රටක නූගතුන් සමග උගතුන්ද දේශපාලන බලය හිමි කරගන්නා අපරාධකරුවන් පස්සේ යන බවයි.

සත්ව ලෝකයේ නායකයා පස්සේ අනිත් සතුන් යෑම රැලේ යාම නම් වේ. දේශපාලනඥයින් පස්සේ යාමත් රැලේ යාමකි. සතුන් සහ මනුෂ්‍යයින් අතර පවතින ප්‍රධාන වෙනස සතුන් නිතරම ඥානවන්ත සහ ශක්තිවන්ත නායකයෙකු තෝරා ගැනීමයි. යුරෝපා රටවල ජනයා රැලේ ගිය හිට්ලර්, මුසොලිනි, ස්ටාලින්, චර්චිල් යන නායකයින් නිර්භීත පුද්ගලයින් වශයෙන් සැලකේ. බියගුලු, බොරු කියන, වටිනාකමක් නැති කෛරාටිකයින් නායකයින් වශයෙන් තෝරාගැනීම හා ඔවුන් පස්සේ යෑම යටත් විජිත වශයෙන් පැවති රටවල් බොහෝමයක සිදුවන්නකි. ඊට හේතුව ඒ රටවල ජාතික නායකයින් මරා දැමීම සහ ජාතික හැඟීම් ඇති ස්වදේශිකයන්ව අධ්‍යාපන හරහා විනාශ කිරීම යටත් විජිත ප්‍රතිපත්තිය වීමයි. මීට හොඳම නිදසුන ලංකාවයි.

‘ඉන්ඩියන් ටුඩේ’ පුවත්පතෙහි මැයි 06 දා අපූරු ප්‍රවෘත්තියක් පළ විය. එය තමිල්නාඩුවේ මහ ඇමති ඇම්. කේ. ස්ටාලින්ගේ ඉල්ලීමකි. දරුවන්ට ඉංග්‍රීසි හෝ හින්දි නම් නොදමා දෙමළ නමක් දෙන්නැයි ඔහු දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි. තමිල්නාඩුවේ කිසිවෙකු ස්ටාලින් යනු දෙමළ නමක්ද කියා ප්‍රශ්න කළ බවක් දැනගන්නට නැත. ඒ වෙනුවට ඔවුහු ස්ටාලින්ට හුරේ දමති. ස්ටාලින් සිය දරුවන්ව උගතුන් කර ඇත්තේ දිල්ලියට යවා ඉංග්‍රීසි ඉගැන්වීමෙන් මිස තමිල්නාඩුවේ තියාගෙන දෙමළ ඉගැන්වීමෙන් නොවේ.

මේ ක්‍රියාව ලංකාවේත් සිදු වී තිබේ. පෞද්ගලික විශ්වවිද්‍යාල හැදීමට එරෙහිව නැහෙන්ඩ හැදූ ඇතැම් ජවිපෙ නායකයින්ගේ දරුවන් පිටරට පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට යවා ඉගෙනුම ලබා දී ඇත. ඊට හොර සල්ලි වුවමනා කෙරේ. මාලිමාවේ අගමැති ආචාර්ය උපාධිය ලබන්නට පිටරට ගිය පිළිවෙළ දැනගැනීමට රටේ ඡන්ද දායකයින්ට අයිතියක් ඇත.

බුදුදහම මිනිසුන්ට අදීනව සිතන්නට උගන්වයි. කාලාම සූත්‍රයෙන් කියැවෙන්නේ පුද්ගලයා තිරිසනෙකු මෙන් රැලේ නොයන අදීනයෙකු විය යුතු බවයි. අතීතයේ බුදුදහම පදනම් කරගෙන නගර හා රාජධානි ගොඩනංවා තිබේ. පෙෂාවරය නමින් හඳුන්වන පුරුෂපුරය නිදසුනකි. එය අවුරුදු දහසකට වැඩි කාලයක් ලෝකයේ අගනුවර වූයේය. හතර වැනි බෞද්ධ ධර්ම සංඝායනාව පැවැත්වූයේ මෙහිය. කනිෂ්ක රජු පුරුෂපුරයෙහි ලෝකයේ විශාලතම හා ලස්සනම චෛත්‍යය ඉදි කළේය. එතුමා අයිති කුෂාන රාජවංශය විසින්, සංස්කෘත, ලෝක භාෂාවක් කරන ලදි. කුෂාන රාජ්‍යයෙහි කොටසක් වූ ගාන්ධාරය, ලෝකයේ විශිෂ්ඨතම කලාකරුවන් විසූ භූමිය වූයේය. නමුත් කුෂාන රාජ්‍යයේ හදවතේ ගොඩනැගනු පකිස්ථානය පොහොසත් රටක් නොවේ. වර්තමාන ගාන්ධාරයේ කාන්තාවන්ට ප්‍රසිද්ධියේ ගීයක් ගැයීමේ නිදහස නැත. ඒ හැම දෙයක්ම සිදු වූයේ කලාපයේ බෞද්ධ බලය නැතිකර දැමීමෙනි.

ජවිපෙ, ලංකාවේ බිහි වූ අතිශයින් ප්‍රචණ්ඩකාරී දේශපාලන සංවිධානයකි. එජාප නායකයින් ඔවුන්ව පරාජය කළේ ප්‍රචණ්ඩත්වය භාවිත කිරීමෙනි. මෙහි ප්‍රතිඵලය සිංහල ජාතියේ කොන්ද බිඳීයාමයි. බෞද්ධ ගම්, අබෞද්ධ ගම් බවට පත් විය. සිරකඳවුරුවලට කොටු වූ ඇතැම් බෞද්ධ තරුණ තරුණියන් ඒවායෙන් පිට වූයේ අබෞද්ධයන් ලෙසිනි. ජවිපෙ වෙනස් වීමෙන් හැදුන මාලිමාව බලයට පත් කිරීම සඳහා වෙහෙසුන පුද්ගලයින් හා සංවිධානයන්හි ප්‍රධාන පරමාර්ථය වූයේත් ලංකාවේ සිංහල බෞද්ධ බලය විනාශ කිරීමයි.

පළාත් පාලන මැතිවරණයෙන් මාලිමාව පසුබෑවේ මන්ද යන්න බොහෝ දෙනෙකුට ප්‍රශ්නයකි. දළදා ප්‍රදර්ශනය සහ වෙසක් උත්සව පවත්වමින් ඒ ආසන්නයේ මැතිවරණය පැවැත්වීම ඊට හේතුව යයි මාලිමා ඇමතියෙක් කියයි. විරුද්ධ පක්ෂයේ ඇතැමුන් කියන්නේ ඔවුන් ඒ හපන්කම කළ බවයි. වැදගත් කාරණාව එය නොවේ. අනුර කුමාර දිසානායක ජනාධිපති මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බලයේ රඳවා ගැනීමද, දෙමළ ඩයස්පෝරාවේ වුවමනාවකි.

ක්‍රිස්තියානි සහ ඉස්ලාම් දඩයක්කාරයින් නිසා සිංහයා වඳ වෙන්නට වූයේය. ඉන්දියාව ගුජරාට් ප්‍රාන්තයේ සිංහ අභයභූමියක් ඇරඹූයේ සිංහයා මිහිතලයෙන් වඳවෙන්නට නොදී රැකගැනීමටයි. සිංහල යනු ලිඛිත ඉතිහාසයක් ඇති ලෝකයේ වෙසෙන පැරණිම ජාතියකි. ඔවුන්ට සමාන ලිඛිත වංශකතාවක් කාශ්මීරයටද ඇත. බෞද්ධ කාශ්මීරය, සිංහල දේශය සමග සම්බන්ධව සිටි රටකි.

මහාවංශයේ අඩංගු සිංහල ජාතියේ කතාව ඇරඹෙන්නේ සිංහයෙකුගෙනි. මේ කතාවේ මුල පිළිබඳ මතභේද පවතී. සමහරු බෙංගාලය ඊට සම්බන්ධ කරති. තවත් සමහරුන්ට මෙය සුරාශ්ට්‍රයේ කතාවකි. සිංහයන් ඉරානය වැනි රටවලත් වාසය කළ නිසා මෙවැනි පැරණි ජන කතාවක උපත සිදු වූයේ කුමන රටක දැයි නිශ්චිතව කීමට නොපුළුවන. මේ සිංහයින් පිළිබඳ කාශ්මීර කතාවකි.

සිංහ පැටියෙක් බැටළු රංචුවක් සමග හැදුනේය. ඌ හැසිරුනේ බැටළුවකු විදිහටමය. දිනක් දඩයමක් සොයන සිංහයෙකුට බැටළු රංචුවට මැදි වූ තරුණ සිංහයා දක්නට ලැබුණි. ඌ බැටළු රංචුව සමීපයට ගියේය. බැටළුවෝ සිංහයා දැක දුවන්නට ගත්හ. සිංහ නාම්බා සිංහයාට කොටු විය. ඌ අඬන්ට ගත්තේය. සිංහයා නාම්බාව කැඳවාගෙන අසල පිහිටි ජලාශය වෙත ගියේය. නාම්බා, ජලාශයේ පිළිබිඹු වන තමාගේ සහ අනික් සිංහයාගේ ඡායා දුටුවේය. බැටළු රංචුවේ සිටියාට තමා සිංහයෙකු බව ඌට තේරුණි. ඌ හිස ඔසවා ගෙරෙව්වේය.

කැලේ රජා වශයෙන් සැලකෙන සිංහයාව බැටළුවෙකු කරන්නට පුළුවන් බව මේ කතාවෙන් දෙන පණිවිඩයයි. මිනිසුන්ව මේ තත්වයට පත් කරන්නේ ඔවුන්ගේ මනස වෙනස් කිරීමෙනි. වෙනත් වචනයෙන් කියන්නේ නම් මෙය මිනිසුන්ව මානසික වහල්භාවයට පත් කිරීමකි. ඇතැම් ආගම්වලින් ත්‍රස්තවාදීන් බිහි කරන්නේ ළමයින්ගේ මනස වෙනස් කිරීමෙනි. ගාසා තීරයේ සරණාගත කඳවුරු තුළ මෙය සිදු වෙයි. කොටි හමුදාව පරාජය කිරීමෙන් පසුව බොහෝ සිංහලයන්ගේ මනස වෙනස් කිරීම, සංවිධානාත්මකව කරන ලද දෙයක් බව බොහෝ දෙනා නොදනිති. අනුර කුමාර දිසානායක සහ මාලිමාව බලයට පත් කිරීමට ඒ වෙනසට ගොදුරු වූ ඡන්දදායකයෝ කටයුතු කළහ.

පසුගිය දිනක පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේදී මාලිමාවේ ඡන්ද අඩු විය. ඊට හේතුව ඡන්ද දායකයින්ගේ බුද්ධි ප්‍රබෝධයයි. ඔවුන්ට මග පෙන්වූයේ කවුරුන් දැයි සෙවිය යුත්තේ වංශකතා කියවීමෙනි. මහාවංශයේ දුටුගැමුණු රාජ කතාවේ, කාවන්තිස්ස රජතුමා වෙත නිදහස්කාමීන් පැමිණි හැටි විස්තර වේ. කාවන්තිස්ස රජතුමා කිසිවෙකුට, ‘මා අනුව එන්න’ (‘කම් ෆලෝ මී’) කියා නැත. මහජනයා විවිධ කාරණා නිසා ඇත්ත වටහා ගනිති. සිංහ කතාවෙන් කියැවෙන්නේ බැටළුවෙකුව සිටි සිංහයා, සිංහයෙකු වූ පිළිවෙළයි. පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලින් ඇඟවෙන්නේ සිංහලයන් තමන් කවුරුන් දැයි වටහා ගනිමින් සිටින බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top