තාරා වන්දනාව මරා උපන් මරියා වන්දනාව

Last Updated on 3 months by admin

ඉතාලියේ පිහිටි ‘මැඩෝනා දි ත්‍රෙවිඥාන  ප‍්‍රතිමාව’ (Madonna di Trevignano) අවුරුදු ගණනාවක් තිස්සේ ලක්ෂ සංඛ්‍යාවක් බැතිමතුන්ගේ වන්දනාවට ලක්වූවකි. යේසුතුමාගේ මව මරියතුමිය නිරූපනය කෙරෙන එම ප‍්‍රතිමාව අලංකාරය. ප‍්‍රතිමාවේ දෑස්වලින් නිරතුරුව රතුකදුළු ගලන බව බැතිමතුන්ගේ විශ්වාසයයි. එනිසා රෝමය සමීපයේ පිහිටි ප‍්‍රතිමාව පිහිටි ස්ථානය අනුහස් ඇති තැනක් ලෙසින් සැලකේ. එහි යන්නන් අතර ලෙඩ දුක්වලින් පෙළෙන්නන් සහ බැතිමත්තු විශේෂ වෙති.

මරියතුමියගේ ප‍්‍රතිමාවේ දෑසින් ලේ ගැලීම ගැන නොයෙකුත් කතා තිබේ. ඒ ගැන සොයා බැලීමක් කළ වතිකානුවේ බිෂොප්වරුන් මෙය ජනයා මුළාකිරීමක් බව ප‍්‍රකාශ කර ඇත. (වතිකානු පුවත්, ජුනි 24) මරියතුමියගේ දෙනෙතින් ගලන රුධිරය ප‍්‍රතිමාවේ තවරන ඌරු ලේ හෝ සායම් වර්ගයක් විය යුතුය යන අදහස බිෂොප්වරුන් වෙතින් ඉදිරිපත් වී තිබේ. ත්‍රෙවිඥාන යන නමේ සම්භවය ගැන ද අප සිතිය යුතු දේ බොහෝ ඇත. මෙහිදී අප පැහැදිලි කරන්නේ ඒ කිසිවක් නොවේ.

රෙපරමාදු ක‍්‍රිස්තියානි ආගමිකයෝ මරියා වන්දනාවක් නොකරති. මරියාගේ හාස්කම් පිළිගන්නේ මරියා වන්දනා කරන කතෝලිකයින් පමණකි. ඊට හේතුව පෙරදිගට පැමිණි පාප්තුමාගේ නියෝජිතයින් පෙරදිග වාසීන් අතර බෙහෙවින් ජනප‍්‍රිය වූ වන්දනාවක් මරියා වන්දනාව වශයෙන් සිය ආගමට අවශෝෂණය කරගෙන තිබීමයි.

දකුණු ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තය අතීතයේ බෞද්ධ රාජධානියකි. මිහිඳු හිමියන් ප‍්‍රධාන අශෝක රාජයාගේ ධර්ම ¥තයින් ලංකාවට පැමිණි කාලයේම අශෝක ධර්ම දූතයින් පිරිසක් කේරළයේ ධර්ම ප‍්‍රචාරය සඳහා ගිය බවට සාධක තිබේ. ලංකාවේ වංශකතාවලින්ද ඊට සාක්ෂ්‍ය පෙන්නීමට පුළුවන. කේරළ බෞද්ධයින් ඔවුන්ගේ භාෂාවෙන් පන්සල හඳුන්වා ඇත්තේ ‘පල්ලි’ යන නමිනි. වර්තමානයේ, පල්ලිය, කතෝලික දේවස්ථානය සඳහා භාවිත කෙරේ.

රාජාවලියේ සඳහන් වන ලෙසට දිග් විජයන් ගණනාවක් කර කේරළය ප‍්‍රබල රාජධානියක් වශයෙන් ගොඩනැගූ සෙංගුවාට්ටුවාන් රජතුමාගේ සමයේ කන්නගී දේවතාවිය පිදීම ඇරඹුණි. සිලප්පාදිකාරම් නමැති දෙමළ බෞද්ධ මහාකාව්‍යයෙන් කියැවෙන්නේ දේවතාවියක බවට පත් වූ කන්නගීගේ කතාවයි. ඇයගේ දුව මණිමේඛෙලෙ වූවාය. කන්නගී දියණියට ඒ නම දෙන්නේ ඇයගේ පියා වූ කෝවලන් විසිනි. ඔහු චෝල රටේ සිටි කීර්තිමත් වෙළෙඳ සමාගමක හිමිකරුවෙකුගේ පුතෙකි. මුහුදු ගමන් ගිය සිය පරම්පරාවේ සාමාජිකයන් මුහුදට අධිපති මණිමේඛෙලෙ නම් දේවතාවිය වන්දනා කළ බව කෝවලන් කියයි. මණිමේඛෙලෙ සාගරයට අධිපති බෞද්ධ දේවතාවියක බව ඔප්පු කෙරෙන ශාස්ත‍්‍රීය ලිපි ගණනාවක් ප‍්‍රසිද්ධ වී තිබේ.

යුරෝපීය ආක‍්‍රමණවලින් පසු කේරළය බෞද්ධයින්ගෙන් හිස් වූ රටක් බවට පත් විය. එහි වර්තමාන ප‍්‍රජාව සැදෙන්නේ හින්දු මුස්ලිම් කතෝලික සහ ප්‍රොසේතන්ත ක‍්‍රිස්තියානි ආගමිකයන් එක්වීමෙනි. කේරළය ගොඩනැගූ ප‍්‍රතාපවත් සෙංගුවාට්ටුවාන් රජු ගැන සිංහල ඉතිහාසයේ සඳහන් වන නමුදු කේරළ ඉතිහාස පොත්වල එවැන්නෙකු නැත. කන්නගී දේවතාවිය බවට පත්වූ කන්නගී ගැන තොරතුරු ස්වල්පයක් හෙළි වී ඇත. ඒවායේ කියැවෙන ලෙසට මධුරාව ගිනි තැබූ කන්නගී, කේරළයේ භික්ෂුනී ආරාමයකට ගොස් පැවිදි වූවාය.

ප‍්‍රබල බුදුසසුනක් පැවති කේරළයේ බෝධිසත්ව වන්දනාව බෙහෙවින් ජනප‍්‍රිය වී තිබුණි. එම සසුන යටතේ අවලෝකිතේශ්වර බෝසත්වරිය පිදීම සිදු විය. ‘දරුවෙකු වඩාගත් මව’ අවලෝකිතේශ්වර දේවියගේ පතිනිය වශයෙන් සැලකෙන තාරා බෝසත්වරියගේ අවස්ථාවකි. දරුවා වඩාගත් බෝසත්වරිය වන්දනා කිරීම, දඹදිව රාජ්‍යයන්හි පමණක් නොව බුදුසසුන පැවති චීනය වැනි රටවලද පැවතිණි.

යේසුස් වහන්සේගේ මව මරියා හාස්කම් කළ හැකි කාන්තාවක බව මුල් ක‍්‍රිස්තියානි බයිබල් පොත් කිසිවක සඳහන් නොවේ. ඒවාට අනුව එතුමිය ජේසුස්, ජෝසප්, ජේම්ස්, සීමන්, ජූඩ් යන දරුවන් පස් දෙනාගේම මව වූවාය.

හාස්කම් පෙන්වන මරියා සහ මරියා වන්දනාව ඇරඹෙන්නේ බෞද්ධ බෝසත්වරිය අනුව මරියතුමිය නිර්මාණය කරගැනීම හේතුවෙන් බව ඔප්පු කිරීමට බොහෝ සාධක ඇත. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන මණිමේඛලා දෙවඟන හාස්කම් කරන්නියකි. මඩු පල්ලිය පවා පැරණි බෞද්ධ වන්දනා ස්ථානයක් මත ඉදිකරන ලද්දක් බව ඔප්පු කිරීමට බොහෝ සාක්ෂ්‍ය තිබේ. ඒ හැම දෙයින් පෙනෙන්නේ මරියා වන්දනාව ලෙසින් වෙනත් වේෂයකින් ඉදිරිපත් වී ඇත්තේ, පැරණි බෝසත්වරිය වන්දනාව වෙනස් කර ක‍්‍රිස්තියානි බයිබලයට අනුව යුරෝපීය බිෂොප්වරුන් නිර්මාණය කරගත් දෙයක් බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link