තිස්ස විහාරයේ සිද්ධිය දේදුනු සංස්කෘතියේ පෙරහුරුවක්

Last Updated on 1 week by admin

ඉස්ලාම් විප්ලවය මඟින් අයතුල්ලා කුමේනි බලයට පත් වීමෙන් පසු ඉරාන වැසියන්ට, ෂා රජුගේ කාලයේ පැවති නිදහස නැති විය. මීට සමාන දෙයක්, එයින් කලකට පෙර රුසියාවේ සිදු විය. එසේම, කියුබාව, වියට්නාමය, චීනය වැනි රටවලත් සිදු වූ දෙයකි. ලංකාවේද සිදු විය හැකිය. විප්ලවයට පෙර හා පසු රුසියානු සාහිත්‍යකරුවන් ගැන දැනුම ඇති කර ගැනීම කාරණය වටහා ගත හැකි එක මගකි.

සාමාන්‍යයෙන් බොහෝමයක් රටවල හොඳ ලේඛකයින්ගේ ස්වභාවය අදීනභාවයයි. ස්ටාලින්ගේ පාලනය යටතේ රුසියාවේ ඊට වෙනස් දෙයක් සිදු විය. රුසියාව අදීන ලේඛකයින් සිටි රටකි. විප්ලවයෙන් බිහි වූ රජය සාහිත්‍ය සංගම් පාලනය කරන්නට වූ අතර ඒවායේ ඉහළ නිලතල ආණ්ඩුවේ පන්දම්කාරයින්ට හිමි විය. ගෝර්කි, ඇලෙක්සැන්ඩර් යෙල්ෂිනිට්සිංගේ විවේචනයට ලක් වන්නේ ඔහු ලෙනින්ව විවේචනය කරමින් ස්ටාලින්ට පක්ෂව සිටි හෙයිනි. 1927 දී රුසියාවේ කොමියුනිස්ට් ඇකඩමිය විසින් ගෝර්කි, ‘නිර්ධන පංතියේ ලේඛකයා’ යනුවෙන් නම් කරන ලදි. ඒ වන විට ඉතාලියේ සිටි ගෝර්කි, 1932 දී පෙරළා රුසියාවට ආවේය. ගෝර්කිට රුසියාවේ ඉහළම සම්මානය වූ ලෙනින් සම්මානයත්, කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභා සාමාජිකත්වයත් ලැබුණි. ඔහු උපන් ගම, ‘ගෝර්කි’ යනුවෙන් නම් කෙරිණි. ‘රුසියානු රජය ගෝර්කිව කොමියුනිස්ට් පක්ෂයේ සොල්දාදුවකුගේ තත්වයට පත් කළා’, ගෝර්කි පිළිබඳ විශේෂඥයකු වූ ආර්මින් ක්නිජ් Armin Knigg පවසයි. සංගම් සහ සෝවියට් සභාවන්හි ඉහළ නිලධරයෝ තමන්ගේ හා පක්ෂයේ පැවැත්ම උදෙසා ලේඛකයින් හා කලාකාරයින්ගේ උපකාරය ලබා ගත්හ. එනිසා කලාකාරයකුගේ පැවැත්මට පන්දම් ඇල්ලීම අවශ්‍ය විය. මේ නිසා අදීන ලේඛකයන් රටින් අතුරුදහන් වන්නට විය.

කලාකරුවන් හා මාධ්‍යකරුවන් ළං කරගැනීම ලංකාවේ දේශපාලන නායකයින්ගේත් සිරිතකි. එය පටන් ගත්තේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා විසිනි. ජෝතිපාල, එම්. එස්. ප්‍රනාන්දු පමණක් නොව ගාමිණී ෆොන්සේකා, සයිමන් නවගත්තේගම වැනි කලාකරුවන්ද ප්‍රේමදාසගේ සේවකයින් වූහ. ප්‍රේමදාස කලාවට ඇල්මක් ඇත්තකු වශයෙන් පෙනී සිටිමින් කලාකරුවන් අගය කරන්නට විය. ‘කලා ගම්’ හදමින් ඔවුන්ට දේපොල දුන්නේය. එවිට තව තවත් කලාකරුවෝ ඔහුට ළං වූහ. දේශපාලනඥයා කලාකරුවාට ලංවීම අල්ලසකි. දේශපාලනඥයාට ළං වන කලාකරුවා කරන්නේත් වැරදි ක්‍රියාවකි.

මහින්ද රාජපක්ෂ මාධ්‍යකරුවන්ට උපකාර කළ ජනාධිපතිවරයෙකි. වරක ඔහු දේශප්‍රේමය නැති දේශපාලනඥයා කවුරුන් වැන්නෙකු දැයි මහජනයාට පැහැදිලි කළේ ‘විප්ලවවාදී’ ගායිකාවකගේ ගීයක පද ඉදිරිපත් කරමිනි. ඇය ගයන, ‘කළුගල්වලට විකුණා ගෙන සීගිරිය, සීගිරි කුරුටු ගී බයිලා කළ හැකිය’ ගීතයේ අර්ථය ඇතැමුන් වටහාගත්තේ මහින්ද රාජපක්ෂගේ කතාවෙන් පසුවයි. මේ ලෙසට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පැසසුමට ලක් වූ, ඔහුගෙන් උපකාර ලබාගත් ගායක ගායිකාවන්, නළු නිළියන්, මාධ්‍යකරුවන් වැඩිදෙනෙක්, අවස්ථාව පැමිණි වහා රාජපක්ෂ එළවීමේ අරගල සංදර්ශනයට එක් වූහ. බලය හා ධනය නැති වූ පසු ඔහුට එල්ල වූ චෝදනා වෙනුවෙන් ලිපියක් ලියන්නට සිටි බොහෝ දෙනා ඔහු අතැර ගිය බව සමීපතමයෝ කියති.

මැවුම්වාදය ප්‍රතික්ෂේප කරන බුදු දහමට පංති සටන ව්‍යාජයකි. එය ලෝක ධර්මය නොවේ. සියලු සත්වයින්ට පොදු වූ සහ මනුෂයින්ට විශේෂ වූ ලෝක ධර්මතා පවතී. ස්ත්‍රීන් හා පුරුෂයන් අතර ඇති වන ප්‍රේම සම්බන්ධය නිදසුනකි. එය ලෝක ධර්මයකි. ඊට විරුද්ධව කාන්තාවන් සමග ප්‍රේම සම්බන්ධකම් නොපැවැත්වීම මුල් යුගයේ ජවිපෙ සාමාජිකයන්ගේ ප්‍රතිපත්තියක් වූයේය. අවසානයේ පක්ෂයේ නායක රෝහණ විජේවීර ඒ ප්‍රතිපත්තිය උල්ලංඝණය කළ බවට චෝදනා ලැබීය. කැරැල්ල අසාර්ථක වී වනාන්තරවලට පසුබසින ඇතැම් සහෝදරවරු, ඔවුන් සමග එන සහෝදරියන්ට ප්‍රේම කරන්නට ගත්හ. ඇතැම් විට සහෝදරවරු දෙතුන් දෙනෙක් එක තරුණියකට ප්‍රේම කළහ.

බුදු දහම මාක්ස්වාදීන් අතින් ප්‍රතික්ෂේප වන්නට එක් හේතුවක්, එයින් ලෝක ධර්මය ප්‍රකාශ වීමයි. මාක්ස්වාදයෙන් පැහැදිලි කෙරෙන ‘විප්ලවවාදියා’ ලෝක ධර්මයට යටත් නොවන සුපිරි චරිතයකි. එය තනිකරම බොරු සිතුවිල්ලකි. මනස්ගාතයකි. මාලිමා ආණ්ඩුව සමාජයේ දූෂකයන් නැති කරන මුවාවෙන් කරන්නේත් මහජනයා රැවටීමයි. කාන්තාවක වට කරගෙන ඇය කාමයේ වරදවා හැසිරුනේ යැයි ගල්ගසන්නට සූදානම් පිරිසක් ඇමතූ යේසුස් වහන්සේ, ‘මෙතැන වරදක් නොකළ අයෙකු ඇත්නම් (කාමයේ වරදවා නොහැසිරුන) පළමු ගල ගසන්නැයි කී බව’ බයිබලයේ සඳහන් වේ. උන්වහන්සේ ඒ පැහැදිලි කරන්නේ ලෝක ධර්මයකි.

මාක්ස්වාදය ලෝකයේ වැඩියෙන්ම ප්‍රචාරය වූයේ කලාව හා සාහිත්‍යයේ ආධාරයෙනි. ඒ කටයුත්ත වෙනුවෙන් ලෝකයේ බොහෝ රටවල් අළලා ක්‍රියාත්මක වූ සෝවියට් ප්‍රතිපත්තියක් තිබුණි. මාක්ස්වාදීන් විශ්වවිද්‍යාල තුළ බලයට පත් කිරීම, ඉන්දියාවේ මාක්ස්වාදී ව්‍යාපාරයේ විශේෂ උපක්‍රමයක් වූ බව ඉන්දීය විචාරකයන් පෙන්වා දී ඇත. ආණ්ඩුවේ පාසල් පොත් නිර්දේශ කරන හා පුස්තකාල පොත් අනුමත කරන ආයතනවලට මාක්ස්වාදීන් රිංගවීම ලංකාවේ සිදු වූ ක්‍රියාවකි. ඔවුන්ගේ උදව්ව නිසාම කවියන් හා ලේඛකයන් බවට පත් වූ පිරිසක් ලංකාවේ බිහි වුණි. මොවුන් කළ යුතු වූයේ සමාජවාදය පැතිරවීමයි.

නවකතා මගින් පීඩිතයාගේ වේදනාව සහ ඊට විසඳුම ඉදිරිපත් කිරීමට රුසියානු විප්ලවයෙන් පසු ලෝකයේ විසූ ප්‍රසිද්ධ ලේඛකයින් ගණනාවක්ම උත්සාහ දැරූහ. මෙවැන්නන්ට ආර්ථික හා වෙනත් ආධාර සැපයීම ඒ ඒ රටවල සෝවියට් පිලේ තානාපති කාර්යාලවලින් සිදු විය. හෙන්රි ජයසේනට ‘හුණුවටයේ කතාව’ නාට්‍යය නිපදවීමට නැගෙනහිර ජර්මන් තානාපති කාර්යාලය උපකාර කිරීම නිදසුනකි. ලංකාවේ මාක්ස්වාදී කලාකරුවන් සෑහෙන පිරිසක් බිහි කිරීමට සෝවියට් දේශයේ ආධාර වැඩපිළිවෙළට හැකි විය. එය ආදර්ශයට ගත් බටහිර රටවල් ඇන්ජීඕ සංවිධාන හදමින් ඔවුන්ට වඩා දරුණු හා සූක්ෂම ආකාරයකට ඒ ක්‍රියාව කරන්නට වූහ.

කලාව කා සඳහාද? කලාව කුමක් සඳහාද? වැනි මාතෘකා ඒ කාලයේ ලංකාවේ අතිශයින් ජනප්‍රිය වූයේය. මාක්ස්වාදීන් කීවේම, ‘කලාව ජනතාව සඳහා බව’යි. ඔවුහු ජනතාවාදී නමින් කලා හා සාහිත්‍ය සංගම් පිහිටුවා ගත්හ. මේවාට සම්බන්ධ වූ පුද්ගලයන්ට නොයෙක් වාසි ලැබුණි. ඇතැමුන්ට දරුවන් පිටරට යවා අධ්‍යාපනය ලබා දීමට හැකි විය. වික්ටර් හියුගෝ ලියූ ‘ලෙස් මිසෙරබ්ලෙස්’ කැි ඵසිැර්ඉකැි නවකතාවෙන් ප්‍රකාශ වූයේත් පීඩිතයන් වශයෙන් හැඳින්වූ ජනතාවගේ වේදනාවයි. ‘මනුතාපය’ ඒ ප්‍රංශ නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනයේ සිංහල පරිවර්තනයකි. වමේ මතවාදය පාසල් ළමුන්ගේ ඔළුවලට රිංගවීමට වාමාංශිකයන්ට හැකි වූයේ මෙවැනි පොත් පාසල්වල නිර්දිෂ්ඨ ග්‍රන්ථ කිරීමෙනි. ‘මනුතාපය’ නිසා එහි පරිවර්තක ඊරියගොල්ල, ධනය සහ ප්‍රසිද්ධිය ලැබුවේය.

කුලියාපිටිය ජනාකීර්ණ නගරයක් බවට පත්වි විශාල කාලයක් ගත වී නැත. අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල මන්ත්‍රී යුගය එහි මූලික අවස්ථාවකි. ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් ඇසුරු කළ ඊරියගොල්ල, ක්‍රිෂ්ණමුර්තිවාදියෙකු වශයෙන් ප්‍රසිද්ධ විය. දේශපාලනයට පිවිස සිටි ඔහු ප්‍රසිද්ධව සිටියේ වාමාංශික අදහස් දරන්නෙකු ලෙසටයි. ඊරියගොල්ලගේ ‘මනුතාපය’ පරිවර්තනය එවැනි අදහසක් පැතිරයාමට හේතුවකි.

කාලයාගේ ඇවෑමෙන් එජාපයට බැඳුන ඊරියගොල්ල රටේ අධ්‍යාපන ඇමතිවරයා වූයේය. ඔහු සැබැවින්ම කෙබඳු පුද්ගලයෙකු දැයි බොහෝ දෙනා දැනගත්තේ එයින් පසුවයි. ඊරියගොල්ලගේ සර්වාගමික ප්‍රතිපත්තිය නිසා සිංහල බෞද්ධයන් විසූ කුලියාපිටිය ආසනයේ ජන සංයුතියේ වෙනස්වීමක් සිදු විය.

වර්තමාන කුලියාපිටිය නගරය ආසන්නයේ ප්‍රසිද්ධ ‘කෑගහන පල්ලියක්’ තිබේ. අවුරුදු දහයකට දොළහකට පෙර මඩුවක් වැනි කුඩා නිවසක ඇරඹි ඒ යාච්ඥා මධ්‍යස්ථානය වර්තමානයේ නගරය අසල ඇති දැවැන්ත ස්ථානයකි. යාච්ඥා සඳහා එහි එන බැතිමතුන්ගෙන් සියයට අනූනවයක්ම පළාතේ විසූ බෞද්ධ පවුල්වලට සම්බන්ධ අය වීම විශේෂ කාරණයකි. යාච්ඥාවෙන් ලෙඩ සුව කිරීම පිළිබඳව මෙම ස්ථානය ප්‍රසිද්ධියක් උසුලයි.

මේ ස්ථානයට සම්බන්ධ පාස්ටර්වරයෙක් පසුගිය කාලයේ ලොකු කරදරයකට මුහුණ පෑවේය. ඊට හේතුව ඔහුගේ පුතා හෘද රෝගියෙකු වීමයි. ඔහුගේ හදවතේ ‘සිදුරක්’ ඇති බව වෛද්‍ය පර්යේෂණවලදී හෙළි විය. ඔහු ළමයාව සුව කරගත්තේ ඉන්දියාවට ගොස් හදවත් ශල්‍ය කර්මයක් කිරීමෙනි. මේ බව යාච්ඥා මධ්‍යස්ථානයට යන බොහෝ බැතිමත්තු නොදනිති. දැනගත්තත්, ඇතැමුන්ට එය ප්‍රශ්නයක් නොවේ. තවමත් යාච්ඥා මධ්‍යස්ථානයට සේවය කරන පාස්ටර්වරයා එහි එන බැතිමතුන්ගේ අසනීප සුව කිරීමට යාච්ඥා මෙහෙයන් පවත්වයි.

මැල්කම් රංජිත් කාදිනල් කාදිනල්වරයා ඉතා මෑතක ප්‍රකාශයක් කරමින්, මාලිමා රජයෙන් පාස්කු ප්‍රහාරය ගැන සාධාරණයක් ඉටු වන බවට සංඥාවක් නැතිනම් පාරට බහින්නට සිදු වන බව කීවේය. අතීතයේ කතෝලික බිෂොප්වරුන් සිංහල බෞද්ධයන්ට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර, විශාල පර්යේෂණ ග්‍රන්ථයකට තරම් මාතෘකාවකි. එතුමා මේ කතාකරන්නේ ඉතිහාසය සැලකිල්ලට නොගනිමිනි. මාලිමා රජය බිහි කිරීමට රදගුරුතුමා දැරූ වෙහෙස බුද්ධිමතුන්ට රහසක් නොවේ. යාච්ඥා කල්ලි කරන්නේ, කතෝලික සභාව කරන ආකාරයේ දේශපාලනයක් නොවුනද, දෙපිරිසම වෙහෙසෙන්නේ මනුෂ්‍යයින්ගේ මොළ දූෂණය කිරීමට හා බුදු සසුන විනාශ කිරීමටයි.

පාස්ටර් පියා හදවතේ සිදුරක් ඇති තමා ළමයා ඉන්දියාවට කැඳවා ගෙන ගොස් ශල්‍යකර්මයක් මගින් සුව කරගැනීමේ කිසිම වරදක් නැත. එවැන්නෙකු තමන්ට යාච්ඥාවෙන් ලෙඩ සනීප කළ හැකි යැයි මහජනයාට කීම තනිකරම වංචාවකි. ජෙරම් කරන්නේත් මෙයමයි. වංචනිකයින්ට හසු වීම බොහෝ මනුෂ්‍යයින්ගේ ස්වභාවයකි. නුවණැත්තන් කළ යුත්තේ ඔවුන්ට පිහිට වීමයි.

යාච්ඥා කල්ලි රකින ඇතැමුන් කරන්නේ, සැබෑ ප්‍රශ්නයට උත්තර නොදී බලි තොවිල් ආදි යාතු කර්ම විවේචනයට ලක් කිරීමයි. ඒ සියල්ල වෛද්‍ය ක්‍රම මිස ඇදහිල්ලෙන් රෝග සුව කිරීම් නොවේ. කලක් හේතුවාදී සංවිධානය නමින් ඉතා ප්‍රසිද්ධ සංවිධානයක් ලංකාවේ තිබුණි. ආචාර්ය කාලෝ පොන්සේකා, ඒබ්‍රහම් ටී කොවුර් වැනි උගතුන් පිරිසක් එහි නායකත්වය දැරූහ. ඔවුහු යාතු කර්ම පවත්වන වෛද්‍යවරුන් කපටියන් කිරීමේ විශාල වෑයමක නිරත වූහ. ඔවුන්ගේ මතවාදී සංග්‍රාමයේ ප්‍රතිඵලයක් ලෙස ගම්වලින් යාතු කර්ම පවත්වන වෛද්‍යවරු අතුරුදහන් වූහ. ඒ සමග පැරණි වෛද්‍ය ශාස්ත්‍රයක් රටට අහිමි විය. දැන් ඒ තැන, පාස්ටර්වරුන්ට හා යාච්ඥා මධ්‍යස්ථානවලට හිමි වී තිබේ.

විනාශ වන සංස්කෘතියක් යළි ගොඩනැගීමට පුළුවන. එහෙත් එසේ ගොඩනැගෙන්නේ පැරණි සංස්කෘතිය නොවේ. ඉන්දියාව, පකිස්ථානය වැනි රටවල තාක්ෂණයෙන් හා සංවර්ධනයෙන් බොහෝ දියුණු නගර හා ගම් ඇත. එහෙත් ඉස්ලාම් හෝ හින්දු ආගම් අදහන ඒ කිසිම තැනක බෞද්ධ යුගයේ ඒවායේ පැවති සත්ව කරුණාව, මෛත්‍රිය නැත. ලංකාවේ ගම සංවර්ධනය කළ හැකිය. එහෙත් වඳ වූ සිංහල ගම යළි පිහිටුවිය නොහැකිය.

ලංකාවේ බුද්ධ ශාසන හා සංස්කෘතික ඇමතිවරයාට රටේ පෙරළියක් ඇති කිරීමට වුවමනා වී ඇති බව ඔහුගේ කතාවලින් පැහැදිලි වේ. ඊයේ පෙරේදා කන්කසන්තුරේ තිස්ස විහාරයේදී සිදු වූයේ, ඔහු කරන්නට යන පෙරළියේ පෙරහුරුවක් විය යුතුය. ඔහු පවසන ‘දේදුනු සංස්කෘතිය’ සිංහල බෞද්ධ සංස්කෘතිය නොවේ. දේදුනු සංස්කෘතියට ඉස්ලාම් සංස්කෘතිය හෝ කතෝලික සංස්කෘතිය විනාශ කළ නොහැකිය. එහෙත් කිසිම ශක්තියක් නැති සිංහල බෞද්ධ සංස්කෘතිය චප්ප කිරීමට එයට හැකියාව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top